වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

තාරකා යුද්ධය

ලබන වසරේදී තරු ගැටුමක් ඇති වන බවට අනාවැකියක් පළ වෙලා. මේ තරු ගැටුමට වෙන් වූ දිනය වෙන්නේ ලබන 2017 වසරේ ජනවාරි 26 වැනිදා යි. ගැටෙන තරු දෙක වන්නේ ශාරුක් ඛාන් සමඟින් රිතික් රෝෂන්.

මේ විදියට අනාවැකි පළ වෙන්නේ මේ දෙදෙනාගේම අලුත්ම චිත්‍රපට දෙක නිකුත් කරන්න එකම දිනයක් තෝරා ගෙන සිටීම නිසා යි. දැන් හැමෝම කතා කරන්නේ, ශාරුක් රඟන රාහුල් ධෝලාකියා අධ්‍යක්ෂණය කළ Raeess චිත්‍රපටයත් රිතික් රෝෂන් රඟන සන්ජේ ගුප්තා අධයක්ෂණය කළ Kaabil චිත්‍රපටයත් එකම දිනයක නිකුත් කරන්න යොදා ගැනීම ගැනයි. මේ චිත්‍රපට දෙකම ත්‍රාසජනක කතාපුවත් ගෙන එන චිත්‍රපට වීමත් විශේෂයි. හැබැයි මේ චිත්‍රපට දෙකේම ප්‍රධාන නිළි චරිතයට පණ දෙන්නේ ඉහළ ප්‍රසිද්ධියක් ලද නිළියන් නම් නෙවෙයි.

Raeess චිත්‍රපටයේ නිළිය වන්නේ පාකිස්තාන නිළියක වන මිහිරා හෆීස් ඛාන්. 2011 වසරේ පාකිස්තානු චිත්‍රපටයක් වන Bol හි රංගනයෙන් සිනමාවට පිවිසි ඇය Bin Roye Manto, Ho Maan Jahaan වැනි චිත්‍රපටවලත් රංගනයේ යෙදුනා. Kaabil චිත්‍රපටයේ රඟන යමී ගෞතම් කණ්ණඩ හා තෙළිඟු චිත්‍රපටවලින් පිවිසි නවක නිළියක්. ප්‍රභූ දේවාගේ Action Jackson චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ප්‍රසිද්ධියක් ලැබුවා.


අම්මා වගේ

අසූව දශකයේ බොලිවුඩ් තිරය ඔපවත් කළ ශ්‍රී දේවිගේ ජනප්‍රියත්වය අදටත් නොවෙනස්ව පැවතීම පුදුමයක් නෙවෙයි. විවාහයෙන් වසර ගණනාවකට පසුව ඇය දායක වූ English Vinglish චිත්‍රපටයෙන් ඇය ඒ බව ඔප්පු කළා. පසුගිය වසරේ Puli දෙමළ චිත්‍රපටයේත් ඇය විශේෂ චරිතයක් නිරූපණය කළා.

ඇයගේ දියණියක් දෙදෙනා වන ජාන්වි සහ කුෂි දැන් නව යෞවනියන්. මේ දෙන්නත් අම්මාගේ අඩි පාරේ යන පාටයි. දැන් මේ අක්කා නගෝ අම්මා වගේ ඇවිදින්න පුරුදු වෙනවාලු. දෙන්නම පුහුණුවීම් කරන්නේ ගෙදරදි තමයි.

ජාන්වී සිනමාවට පිවිසීම ගැන පසුගිය කාලයේ කටකතා පැතිරුණා. මුලදී දෙමළ චිත්‍රපටයකින් ඇයගේ සිනමා ගමනය වන බව පැවසුණත් කරන් ජොහාර්ගේ චිත්‍රපටයකින් ඇය බොලිවුඩයට පිවිසෙන්න නියමිත බව ආරංචියි. ජාන්විත් අම්මා වගේම ඉන්දිය සිනමාව ආලෝකමත් කරනු ඇති බව කාගෙත් බලාපොරොත්තුවයි.


ආසයි මං පියාඹන්න

ඔබට පියාඹන්න පුළුවන්ද ? කුරුල්ලෙකුගෙන් නෙවෙයි, මනුෂ්‍යයකුගෙන් පියාඹන්න පුළුවන්ද කියා අහන එක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. ඒ වුණත් බොලිවුඩ් නිළියක් පියාඹන්නේ කොහොමද කියලා පසුගිය දවසක කියා දුන් බව ආරංචි වුණා.

ඇය කත්‍රිනා කායිෆ්. කත්‍රිනා කියන්නේ උත්සහ කළොත් සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි ඇය පියාඹන්න කියලා දෙන වීඩියෝවකුත් අන්තර්ජාලයට එකතු කරලා. එය රූගත කරලා තියෙන්නේ ඇය ව්‍යායාම් කරන අතරතුරදීයි. එය නරඹපු හැමෝම කියන්නේ ඇත්තටම ඇය පියාඹනවා කියලයි.

මේ දිනවල කත්‍රිනා අනුරාග් බාසු අධ්‍යක්ෂණය කරන Jagga Jasoos චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙමින් සිටින්නේ. ඒ අතරතුරදී තමයි මේ පියාඹන්න හදන වීඩියෝව රූගත කරලා තියෙන්නේ.


තුවාල පාරන්න එපා

මේ දිනවල සල්මන්ගේ Sultan චිත්‍රපටය තිරගත වෙනවා. එහි ඔහු පණ පොවන්නේ මල්ලවපොර සූරයෙකුගේ චරිතයකට යි. ඒ වෙනුවෙන් ඔහු බොහෝ මහන්සි වි පුහුණුවීම් කටයුතුවලත් යෙදුණා.

ඒ වුණත් සල්මන් පුංචි කාලයේ ඔහුගේ තාත්තාට වුවමනා වෙලා තියෙන්නේ ඔහුව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු කරන්නයි. ඒ වෙනුවෙන් 60 – 70 දශකයේ දක්ෂ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සලීම් ධුරානි පවා සල්මන්ගේ පුහුණුවීම් වෙනුවෙන් ගෙන්වා තියෙනවා. නමුත් දෛවයේ ලියවී ඇති අයුරින් සල්මන් රංගන තරුවක් විය යුතු නිසා තාත්තාගේ ක්‍රිකට් සිහිනය සිහිනයක්ම වෙලා.

සල්මන් මේ කතාව කිව්වේ ඉන්දීය ටෙනිස් සූරියක වන සානියා මිර්සාගේ චරිතාපදානය එළිදැක්වූ අවස්ථාවේදීයි. “උදේ පාන්දර 5.30ට නැඟිටලා ක්‍රිකට් පුහුණුවීම් කරන්න මට හිත දුන්නේම නැහැ. ඇත්තටම ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ක්‍රිකට් කියන්නෙත් ඉතාම අසීරු ක්‍රිඩාවක්” සල්මන් පවසනවා.

එහිදී සල්මන්ගේ චරිතාපදානය ගැනත් විමසීමට සානියා අමතක කළේ නැහැ. “ඒක පරණ තුවාල පෑරිමක්. මගේ කතාව කෙදිනක හෝ මගේ මරණය සමඟින් මිහිදන් වේවි” සල්මන් කිව්වේ එපමණයි.


මහතට කවුද කැමැති

ප්‍රියංකා චොප්රාගේ ඥාති සහෝදරියක වන පරිනීති චොප්රා බොලිවුඩයේ තම අනන්‍යතාව ගොඩ නගා ගත් නිළියක්. 2011 වසරේ Ladies vs Ricky Bahi චිත්‍රපටයෙන් බොලිවුඩයට පැමිණි ඇය එම රංගනයෙන් නැඟි එන නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගත්තේ සහය නිළිය ලෙසින් නිර්දේශත නාම අතරටද එක් වෙමින්. මේ වසරේ රෝහිත් ධවාන්ගේ Dishoom චිත්‍රපටයෙන් ඇයගේ අලුත්ම රංගනය දකින්න පුළුවන්.

හැබැයි ක්ෂේත්‍රයට එනවිට තමන්ගේ සිරුර ගැන කොහෙත්ම සෑහිමකට පත් නොවූ බව පරිනීති චොප්රා පවසනවා. ඒ නිසාම වරෙක ඇය නාන ඇඳුමකින් සිටින දර්ශනයක් පවා ප්‍රතික්ෂේප කළා. “නාන ඇදුමට මගේ සරාගී පෙනුමක් නැහැ. සිරුරේ බර අඩු කර ගත්තාම ඒ අවස්ථාවට සූදානම්” එදා ඇය පැවසුවා. “මහත නිළියන්ට කවුරුවත් කැමැති නැහැ” පරිනීති නිතරම පවසනවා.

පසුගිය කාලයම ඇය ඇඟ කෙට්ටුකර ගන්න ගොඩක් මහන්සි වුණා. එහි යම් ප්‍රතිඵලයක් ලැබුණත් තවමත් ඒ ගැන තෘප්තිමත් නැහැ කියලයි ඇය පවසන්නේ. “තවමත් මට මගේ රූපය ගැන ආඩම්බර වෙන්න බැහැ” කියන මතයේ තමයි ඇය සිටින්නේ.