මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්
මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්
‘ආදරණීය කතාවක්’ පියවි හංසිකා වූ
උදාරි වර්ණකුල
අභිමාන ජයවර්ධන
පියවි හංසිකා
ඒ තමයි වත්මන් සිංහල සිනමාවේ ආදරණීයම පෙම් යුවළ. මේ සුපෙම්වතුන් අපට හමු වන්නේ
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය කථාවක්’ සිනමාපටයෙන්.
හේමාල් රණසිංහ.
උදාරි වර්ණකුල.
තිරයේ අප දකින අභිමාන හා පියවිගේ චරිතවල සැබෑ ජීවමය ගුණ මවනා ඒ ජනප්‍රියම නළු නිළි
යුවළ. ‘තරු’ සිනමාවක් ගැන යළි ‘ඉඟි’ මරමින් හේමාල් සහ උදාරි අපේ නෙතු දෑල මත අඳින
පෙම් සිතුවම් හරිම අපූරුයි.
අභිමාන එක්ක අපි මීට කලින් ‘ආදරණීය කතාවක්’ ගැන කතා කළා. මේ සූදානම පියවි එක්කත් ඒ
ගැන කතා කරන්නයි.
පියවිගේ අහිංසක, දුක්බර මුහුණ වෙනුවට උදාරිගේ මුව මත දිදුලන්නේ බොහොම ආදරණීය
හිනාවක්...
කොහොමද පියවිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
පියවි හංසිකාට ප්‍රේක්ෂකයෝ හරිම ආදරෙයි. හරිම ආදරණීය විදිහට ඒගොල්ලෝ පියවිව
පිළිගත්තා ඇත්තටම. පියවි මගේ රංගන ජීවිතයේ සාර්ථකව රඟපෑ චරිතයක් කියලා කියන්න
පුළුවන්. රඟපෑමක් හැටියට ගත්තොත් ඒ චරිතය ගැන මම තෘප්තිමත්. ඒ මගේ සිනමා රංගනයේ
මෙතෙක් රඟපෑ හොඳම චරිතය කිව්වොත් නිවැරදියි.
හොඳම රංගනය?
මම රඟපෑ අනෙක් චරිත එක්ක බලද්දී පියවි හංසිකාගේ චරිතය විශිෂ්ටතම රංගනය හැටියට
හඳුන්වන්න පුළුවන්. මට හිතෙන හැටියට.
ඒකට හේතුව?
විශේෂයෙන්ම අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා මාව හසුරවපු විදිහ. ඒ වගේම හේමාල්
රණසිංහ, අරුණි රාජපක්ෂ, බිමල් ජයකොඩි ඇතුළු සහෝදර නළු නිළියන් මට දැක් වූ සහයෝගය.
අධ්යක්ෂවරයා මේ විදිහට කරන්න කියලා අපට බල කළේ නෑ. ඔහු තුළ සිටි පියවි හංසිකා
මගෙන් එනතුරුම ඉවසීමෙන් ඒ කාර්යයේ නියැළුණා. අපි දවසකට දර්ශනයක් හෝ දෙකක් පමණයි
රූගත කළේ. උපරිම කාලය අරන් අපි මාස තුනක් රූගත කිරීම් කළා. මම ගොඩක් භාග්‍යවන්තයි
ඔහු වැනි අධ්යක්ෂවරයෙක් යටතේ මේ වගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන. මා ගැන විශ්වාසය
තියලා ඒ චරිතය මට ලබා දීම ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා.
ඒක නෙවෙයි, කොහොමද ඔච්චර හොඳට හොටු පෙරාගෙන ඇඬුවේ?
ස්ක්‍රිප්ට් එක කියවලා ඒ හැඟීම් හිත ඇතුළට කාවද්ද ගත්තා. ඒ පියවි කියන චරිතයට මම
කිඳා බැස්සා ඇත්තටම. මම එයා වුණා. එහෙම වුණාම ඒක තාත්වික රංගනයක් බවට පත් වෙනවා.
ඒ නිසා අති සංවේදීව පියවි ගේ චරිතය රඟපාන්න පුළුවන් වුණා නේද?
ඔව්. උපරිමයෙන්ම ඒ චරිතයට අවශ්‍ය සාධාරණය ඉටු කරන්න පුළුවන් වුණා.
අභිමානට ගහපු ‘කනේ පාර’ නම් සැර වැඩියි වගේ?
ඒක සංවේදී දර්ශනයක්. රූගත කරන්න කලින් අපිට රිහේසල්ස් කරන්න වුණා දෙතුන් පාරක්ම.
ඇත්තටම ඒ පාර ගහන්න වුණා. ඒත් මට හරි බයයි ගහන්න, පුළුල් තිරයේ දර්ශනයක් නිසා
බොරුවට ඒ දේ කළොත් ඒක බොරුවක් කියලා ප්‍රේක්ෂකයාට පේන්න පුළුවන්. හේමාලුත් මට
කිව්වා කමක් නෑ ඇත්තටම ගහන්න කියලා.
ඉතිං දුන්නා ෂොට් එක කන පුරෝලා?
අයියට නම් විහිළු. ඒත් ඒක හරි අසීරු අවස්ථාවක්. හේමාල්ට ගහපු ගමන් මම පැත්තකට
දිව්වා එයාගේ මූණ බලන්න දුක නිසා.
දෙව්ලිගේ චරිතය රඟපෑ, අරුණිත් ඔයා එක්ක කරට කර රඟපානවා. ඇත්තටම ඔයාට අභියෝගයක්
වුණේ නැද්ද අරුණිගේ රංගනය?
නෑ... ඇත්තටම නෑ... පියවි හංසිකාගේ චරිතය, අභිමාන ජයවර්ධන සහ උවිඳු එක්ක තමයි
වැඩියෙන්ම ගැටෙන්නේ. ඒක නිසා මට අරුණිත් එක්ක රඟපාන්න තිබුණේ හරිම අඩුවෙන්. පොඩි
සීන්ස් වගයක් තමයි තිබුණේ. ඒ වුණත් ඇයගෙන් ලැබුණු සහයෝගය ගොඩක් විශිෂ්ටයි. අපි
හැමෝම එක පවුලක් වගේ වැඩ කළේ. තමන් තමන්ගේ චරිතය විතරක් නෙවේ, අපි හැමෝගෙම චරිත
බෙදා හදා ගත්තා. ඉතින් අපි හැම දෙනාගේම හොඳම සාරය තමයි ඇවිත් තියෙන්නේ මේ
චිත්‍රපටයට. ඒකයි ‘ආදරණීය කථාවක්’ සාර්ථකත්වයේ රහස.
අපි දන්නවා උදාරි, නීතිමය ප්‍රශ්නයකට පවා මැදිවුණා මේ චිත්‍රපටය. කලා නිර්මාණයකට
එවැනි තත්ත්වයක් උද්ගත වුණාම ඒක ලොකු ගැටලුවක්. නිර්මාණයට, නිර්මාණකරුවාට වගේම ඊට
දායක වූ සියලුම දෙනාට මේ ප්රශ්නය බලපානවා?
හරිම ඛේදනීයයි. මේ චිත්‍රපටයේ යම් දර්ශන පෙළක් සඳහා උසාවි යන්න සිද්ධ වුණා. ඒක
ප්‍රේක්ෂකයන්ට වගේම රටේ ජනතාවටත් රහසක් නෙවෙයි. නමුත් නීතියෙන් අපට සාධාරණය ඉෂ්ට
වුණා. නොදන්න අය පවා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. අන්තිමට ඒක හොඳ පබ්ලිසිටි එකක්
වුණා. සමහර දෙමව්පියන්ගේ දෙගිඩියාවක් තිබුණා මේ චිත්‍රපටය නරඹලා තමන්ගේ දරුවා
මත්පැන්, සිගරට්වලට ඇබ්බැහි වෙයිද කියලා. නමුත් නීතියෙන් ඔප්පු කරලා දුන්නා මේක
පවුලේ හැමෝට නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා. ඉතිං මම හිතනවා ඒ වැඩෙන් අපිට හොඳක්
වුණේ කියලා.
නිර්මාණයට වගේම නිර්මාණකරුවාටත් සාධාරණය ඉෂ්ට වුණා?
ඔව්... අයියේ.
රිදී තිරයේ උදාරිට පෙම්වතුන් කීප දෙනෙක්ම හම්බ වෙලා තියෙනවා. ඔයාට වඩාත් ගැළපෙන
පෙම්වතා හේමාල්ද?
ම්... එහෙම කියන්න බැහැ. මෙතෙක් සිනමාවේ මම එක්ක රඟපෑ සෑම පෙම්වතෙක්ම මට උපරිම
සහයෝගයක් දීලා තියෙනවා. මීට කලින් සිනමාවේ මගේ පෙම්වතුන් වුණේ රන්ජන් රාමනායක, අමිල
අබේසේකර වගේ අය. තිරගත වෙන්න තියෙන චිත්‍රපට කිහිපයකම මම තවත් නළුවෝ කීප දෙනෙක්
එක්කම රඟපානවා. මෙතෙක් රඟපාපු අයත් එක්ක බලද්දී හැමෝම හොඳයි. ඒ වගේ හැමෝගෙන්ම ලොකු
සහයෝගයක් ලැබිලා තියෙනවා.
‘අරය’ට වඩා ‘මෙයා’ හොඳයි කියලා හිතෙන්නේ නැහැ?
එහෙම විශේෂත්වයක් නෑ. හැමෝම හොඳයි.
ඇත්ත ජීවිතයේදී ඔයා පියවි හංසිකා වෙලා ඔය වගේ අත්දැකීමකට මූණ දෙන්න වුණොත් ඔයා
මොනවගේ තීරණයක් ගනීද?
ඇත්තටම ඒ අත්දැකීම්වලට මට මූණ දෙන්න වුණා නම්, පියවි හංසිකා වගේ තමයි මම ප්‍රතිචාර
දක්වන්නේ. හැඟීම්බර වෙලා ඒ හඬපු දර්ශන ඇත්තටම මගේ හදවතටත් දුක දැනිච්ච අවස්ථාවන්. ඒ
දුක, වේදනාව ප්‍රේක්ෂකයාට දනවන්න මට පුළුවන් වුණා. ඒ නිසා වෙන්නැති ඒගොල්ලන්ගේ
ඇස්වලටත් කඳුළු එන්න ඇත්තේ. මම හිතන්නේ මමත් පියවි හංසිකා වගේම වේවි.
තවම චිත්‍රපට අධ්යක්ෂවරු කීප දෙනෙක් එක්ක විතරයි ඔයාට වැඩ කරන්න ලැබුණේ. කවුරු
හරි විශේෂ අධ්යක්ෂවරයෙක් ඉන්නවාද උදාරි වැඩ කරන්න කැමැති?
එහෙමත්ම කියලා නෑ. මොකද හැම අධ්‍යක්ෂවරයෙක්ම කරන්නේ තමාට කරන්න පුළුවන් උපරිම දේ
තමයි. මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන ඕනෑම චරිතයක් මම බාර ගන්නවා. ඒ තීරණය
ගන්නේ මමමයි. ඒ නිසා ඕනෑම අධ්යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න මම ඉතාමක් කැමැත්තෙන්
ඉන්නවා.
එදා අපේ ප්‍රවීණ, ජනප්‍රිය නිළියෝ ළඟ තිබුණ නිහතමානීකම, මනුෂ්‍යත්වය අද පරපුරේ
නිළියන්ගේ ගෑවිලාවත් නෑ කියලා චෝදනා නැගෙනවා. සමහරු ඉන්නේ පොළවට බඹ ගාණක් උඩින්ලු.
ඒවා උදාරිට අදාල නැතිව ඇති. ඒත් ඔයාත් නව පරපුරේ නිළියක්?
මම රංගනයට ඇවිත් දැන් අවුරුදු හයක් වෙනවා. මම රගපෑ පළමුවැනි ටෙලි නාට්‍යයෙන්ම මම
වසරේ ජනප්‍රියම නිළිය සම්මානය හිමි කර ගන්නවා. ඒත්තෙක්කම මම මවු පදවිය ලබලා විදෙස්
ගත වෙනවා. ආයේ ලංකාවට ඇවිත් රඟපාපු මුල්ම ටෙලි නාට්‍යයෙනුත් මට ඒ වසරේ ජනප්‍රියම
ටෙලි නාට්‍යය නිළිය වෙනවා. මම හිතන්නේ අයියේ මගේ යම් නිරහංකාරකමක් තියෙන නිසා
වෙන්නැති. එදා මගේ ළඟ හිටපු පේ්රක්ෂකයෝ අදටත් මගේ එක්ක ඉන්නේ. දුකේදී, සැපේදී එක
වාගේම ආදරය කරන ප්‍රේක්ෂකයෝ පිරිසක් මගේ ළඟ ඉන්නවා.
ඔයා ගැන විතරක් නෙවේ මම ඇහුවේ?
හැමෝම නෙවේ, කීප දෙනෙක් ඔය අයියා කියපු ජාතියේ අය ගැන මම අහලා තියෙනවා. දැකලත්
තියෙනවා. ඒ අය බොරු වෙස් අරගෙන, මේක අමුතු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට
රංගන ශිල්පිනියක් හැටියට මම අනෙක් අයටත් කියන්නේ තමා නිරහංකාර විය යුතුයි. මොකද
තමන් කලාකාරිනියක් වෙලා තියෙන්නේ ජනතාව පිනවන්න. අනෙක් අයගේ ආදරය දිනාගන්න. ඉතිං
අපි ජනතාව පිනවන්නේ නැතුව, එයාලට ආදරය කරන්නේ නැතිව අපට ජනප්‍රියත්වය ළං කර ගන්න
බෑ. ජනප්‍රියත්වය නැතිව කලාකාරයකුට පැවත්මකුත් නෑ.
ඔයා රඟපාන්න කැමැති විශේෂිත චරිතයක් තියෙනවාද?
එහෙම එකක් නෑ අයියා. මොකද මගේ ජීවිතයේ මම බලාපොරොත්තු වෙන දේවල් හරිම අඩුයි. මම ලද
දෙයින් සතුටු වෙන කෙනෙක්. චරිත පැත්තෙන් ගත්තත් එහෙමයි. මට කරන්න පුළුවන්
අවස්ථාවලදී ඒක මම බාර ගන්නවා. හැබැයි මට හිතුණොත් මට මේක කරන්න බැරි වෙයි කියලා මම
කෑදරකමට ඒක බාර ගන්නේ නෑ. මම කියනවා මේක මට කරන්න අමාරුයි කියලා.
ඒ කියන්නේ ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන්න ඔට්ටු නෑ ඔයා?
ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන්න මට බෑ. හේතුව මට චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්
නම් විතරයි මම ඒක බාර ගන්නේ.
පුංචි තිරයේ හෝ සිනමාවේ ‘හොඳම නිළිය’ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
ජනප්‍රිය සම්මානය මට ලබා දෙන්නේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. ඔවුන්ට ආදරය කරලා, ඔවුන් සමඟ
ගැටිලා ඒ සම්මානය ලබාගන්න පුළුවන්. එහෙම වුෟණාම එයාලගේ ආදරය මට පෙරළා ලැබෙනවා. ඒත්
හොඳම නිළියගේ සම්මානය එහෙම ලබා ගන්න බෑ. ඒක මගේ දක්ෂතාවයන් විමසුමට ලක් කරලා මට
දෙන්න ඕනෑ දෙයක්. ඉතින් මට ඒක ලබා ගන්න බැහැ. දෙනවා නම් සතුටුයි.
‘කටකතා’ ‘ඕපදූප’ මේ ක්ෂේත්රයේ බහුලයිනේ. ඔයාටත් ඒවා අමුත්තක් නෙවෙයිනේ. නිළියක්
නම් ක්ෂේත්රයේ රැඳී ඉන්න තාක් කල් ඒවාට මුහුණ දෙන්න සිදු වෙනවා. උදාරි නම් දැන්
ඕවාට බයත් නෑ මම හිතන්නේ?
රංගනයට ආපු මුල් කාලෙදි කට කතා හැදෙන්න ගත්තාමත්, හීනෙකින්වත් නොහිතපු පිළිකුල්
හිතෙන දේවල් සිදු වෙන්න පටන් ගත්තාමත් මම ඒවායින් ඇත්තටම සැළුණා. මොකද එතකොට මට
රංගන ජීවිතයේ අත්දැකීම් තිබුණේ නෑ. හැබැයි අද වෙනකෙට මම මේකෙ අවුරුදු දහයක් හොඳට
තෙම්පරාදු වෙලා තියෙනවා. මම හිතන්නේ කටකතා කියන ඒවා නිසා කලාකරුවා තවත්
ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒක තවත් එක මාධ්‍යයක් ප්‍රසිද්ධිය ලබාගන්න. හැබැයි
ජනප්‍රියත්වය ලබා ගන්න කට කතාවලින් බැහැ.
ඇත්තටම කලාකරුවකුට අවශ්‍ය ප්‍රසිද්ධියට වඩා ජනප්‍රියත්වය නේද?
ජනප්‍රියත්වය, ඒක හරි අයියේ.
හොඳයි කොහොමද කියන්නකෝ උදාරිගේ පෞද්ගලික ජිවිතය මේ දවස්වල?
දැන් මගේ දුවට අවුරුදු හතරයි. එයාගේ වැඩ කටයුතු බලා කියාගෙන ජීවිතේ ගෙවනවා. හරිම
සුන්දරයි. මම අම්මා කෙනෙක් හැටියට, බිරියක් හැටියට පවුලට ඉටු වෙන්න ඕනෑ යුතුකම් ඒ
විදිහටම ඉටු කරනවා. රංගනය මගේ වෘත්තීය නෙවෙයි. ඒක මගේ විනෝදාංශය. වෘත්තීයක් හැටියට
මම දෙයක් දිගටම කරගෙන යන්න අමාරුයි. හේතුව මගේ සැමියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නිසා
අයියේ. එයා කාර්යබහුලයි. ඉතින් මමත් කාර්යබහුල වුණොත් ඒක දුවට කරන අසාධාරණයක්. ඒ
නිසා එයාගේ වැඩ කටයුතු බලා කියාගෙන මම සැහැල්ලු සුන්දර ජීවිතයක් ගත කරනවා. ජිවිතයේ
දැනට මට තියෙන ලොකුම බලාපොරොත්තුව දරුවාගේ අනාගතය.
අසංක දේවමිත්ර පෙරේරා
|