වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ප්‍රසංගයේ අරමුණ අසරණ කලාකරුවන්ට උදව් කිරීමයි

මේ ප්‍රසංගයේ අරමුණ අසරණ කලාකරුවන්ට උදව් කිරීමයි

ටෙලිනිස සභාපති

ඇසිදිසි සුමියුරු ගී සමඟින් ‘ටෙලි තරු ගී රැයක්’ 31 දා...

ලාංකේය ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වසර 23 ක් අඛණ්ඩව ක්‍රියාත්මක වන ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් 'ටෙලි තරු ගී රැයක්' නමින් ප්‍රසංගයක් සංවිධානය කර ඇත. එයට අන්තර්ගත වනුයේ මෙරට තුළ අතිශය ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයන්ය. එය ඉදිරිපත් වනුයේ ද ටෙලි තරු දායකත්වය සපයමින් විචිත්‍රණය වූ නර්ථන අංගයන්ගෙනි. මෙම මස 31 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ටෙලි තරු ගී ප්‍රසංගය පැවැත්වෙනු ඇත. එදින එම ජනප්‍රිය ගීත එදා ගැයූ ගායක ගායිකාවන් විසින්ම ගායනා කරනු ලබයි. මෙරට ප්‍රථම වතාවට පැවැත්වෙන මෙම ප්‍රසංගය පිළිබඳ ටෙලි නිර්මාණවේදින්ගේ සංසදයේ වත්මන් සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන වැඩිදුරටත් අදහස් දැක්විය.

* මෙම ප්‍රසංගයේ සංකල්පය කාගේද?

ටෙලිනිසේ විධායක සභාවේ ඒකමතික තීරණයක් මේක. හැබැයි මේ ප්‍රසංගයේ යෝජනාව ඉදිරිපත් වුණේ අනුර මාධව ජයසේකර සභාපතිව ඉන්න කාලේ. ඔහුගේ තමයි සංකල්පය. අපේ සියලු දෙනා එම අදහසට එකඟ වුණා. නමුත් ඔහුගේ කාලයේ මේක කරගන්න බැරි වුණා. මම සභාපති වුණායින් පසුව එම ප්‍රසංගය ඉතාම ඉක්මනින් පැවැත්විය යුතුයි කියලයි මං අදහස් කළේ.

* මොකක්ද මේ ප්‍රසංගයේ අරමුණ?

මා ටවර්හෝල් ආයතනයේ සභාපති වෙලා ඉන්න කාලේ මගේ පුටුව ඉස්සරහට කලාකරුවන් අනන්තවත් පැමිණිලා ඇති ඔවුන්ගේ දුක කියාගෙන. ඒ අයගෙන් බහුතරයක් වයෝවෘද්ධ අය. ඔවුන් තමන්ගේ තරුණ කාලේ කලාව වෙනුවෙන් කැප කළ අය. කාගේ අවාසනාවටද, මොන හේතුවක් නිසා ද මම දන්නේ නැහැ ඔවුන් අද අනාථයිි. ඉතින් මං ඒ වගේ කීප දෙනෙකුට විශ්‍රාම වැටුප් දුන්නා. වෛද්‍ය ආධාර දුන්නා. අපේ ප්‍රසංගයේ අරමුණ ඒ හරහා අරමුදලක් ගොඩ නඟා ගැනීම. එමඟින් අපට හැකියාව තියෙනවා අසරණ කලාකරුවන්ට උදව් කරන්න. ඒ අරමුදල වෙනුවෙන් ටෙලිනිස තබන පළමු පියවරයි මේ.

* ඒ අරමුදලෙන් උදව් වෙන්නේ ටෙලි ක්ෂේත්‍රයේ ඉන්න අය පමණද, සිනමා ක්ෂේත්‍රයේ කලාකරුවන්ට මෙමඟින් උදව් කරන්නේ නැතිද?

අපේ ඉලක්කය සමස්ත කලාකරුවන්. ඒ අය කුමන ක්ෂේත්‍රයේ වුණත් අපට අදාල නැහැ. සියල්ලන්ගේ සුබසිද්ධිය උදෙසා තමයි ටෙලිතරු ගී ප්‍රසංගය පැවැත්වෙන්නේ. පසුගිය කාලේ අප අතරින් වියෝ වූ රෙබේකා නිර්මලී, අසේල ජයකොඩි වැනි කලාකරුවන්ගේ අවමඟුල් උත්සවවලදී මට හිතුණු දෙයක් තමයි මෙවන් වූ අරමුදලක් තිබුණා නම් කොපමණ වටිනවාද කියන එක.

* ටෙලි තරු ගී ප්‍රසගයට අන්තර්ගත ගීත තෝර ගත්තේ කෙසේද?

අප ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වසර හතළිහකට ආසන්නයි. ටෙලි කර්මාන්තය පටන් ගත්තේ ඉතාම ඉහළ තැනකින්. අද වන විට යම් දුර්වල තැනකට ඇවිත් තියෙනවා. වර්තමානයේදී හොඳ නාට්‍ය නැහැ කියලා නෙවෙයි මං කිව්වේ. ඉස්සර තරම් නැහැ. මෙන්න මේ කාල පරාසය තුළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මං සලකුණු තැබූ ටෙලි නිර්මාණවල මතක හිටපු ගීත තමයි මේ සඳහා අප තෝරා ගත්තේ. ඒවා යළිත් ආවර්ජනනය කරන්නත් අප ප්‍රේක්ෂකයන්ට ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවා.

* සිනමාව වගේ නෙවෙයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න නළු නිළියෝ ඉතාමත් කාර්යබහුලයි. පුළුවන් වුණාද ඔවුන් නර්තන පුහුණුවීම්වලට ගන්න?

ඔන්න ඔය තත්ත්වය නිසා ඇත්තටම අපට සමහර නළු නිළියන්ව මේ ප්‍රසංගයට ගන්න බැරි වුණා. සමහරු ඉතාම ආසාවෙන් ඉන්නේ මෙයට සහභාගී වෙන්න. අඩුම තරමේ ප්‍රසංගය නරඹන්නටවත් ඔවුන්ට එන්න බැරි වේවි තිබෙන කාර්යබහුලකම නිසා. කෙසේ වෙතත් ශිල්පී දායකත්වය ඌණ වුවත් ඒ වෙනුවට නව පරපුරේ නළු නිළියන්ව යොදා ගත්තා. උදාහරණයක් විදිහට එදිනට ජැක්සන් ඇන්තනීට එන්න වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ අඩුව පුරවන්නේ ඔහුගේ ලොකු පුතු අකිල.

* මෙහි නර්ථන සහ සංගීත අධ්‍යක්ෂණය කා විසින් ද සිදු කරන්නේ?

නර්ථනය චන්න විජේවර්ධනගෙන්. සංගීත අධ්‍යක්ෂණය ආනන්ද ගමගේ විසින් සිදු කරනවා.