|
ගාමිණී : සිනමා සංස්කෘතියකට මඟපෑදූ අදීන විචාරකයා
මට මුලින්ම ගාමිණී විජේතුංග මුණගැසුණේ 'දෙසතිය' කාර්යාලයේදීය. එවක 'දෙසතිය' කාර්යාලය ද සමන්විත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පිහිටා තිබුණේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ආසන්නවය. මහ තැපැල් හල, මහ කොළඹ ආර්ථික කොමිසම මෙන්ම කුප්‍රකට හතරවැනි තට්ටුව පිහිටා තිබුණේ ද ඒ ළඟ ළඟට වෙන්නටය. මා 'දෙසතිය'ට ගොඩ වන අවදියේ සිරිල් බී. පෙරේරා එහි සංස්කාරක ධූරයෙන් ඉවත්ව ගොස් තිබිණි. එවක සංස්කාරක වූයේ ඩී. බී. වර්ණසිරිය. ඔහු ද විදෙස් චිත්‍රපටයක ('මවුන්ටන් ඉන් ද ජන්ගල්' විය යුතුය) සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි බැවින් එකල 'දෙසතිය' සංස්කරණ කටයුතු සියල්ල සිදු කළේ ගාමිණීය. පසුව ගාමිණී නිල වශයෙන් එහි සංස්කාරක වූයේය. ගාමිණී බහුවිධ කුසලතාවකින් හෙබි කලාකරුවකු බව මම තේරුම් ගතිමි. ඔහු පුවත්පත් කලාවේදියෙකි. ගුවන් විදුලි පිටපත් රචකයෙකි. සිනමා ලේඛකයෙකි. විචාරකයෙකි. ගීත රචකයෙකි. තිර නාටක රචකයෙකි. ප්‍රචාරක දැන්වීම් පිටපත් රචකයෙකි. මේ හැම ක්ෂේත්‍රයකින්ම ඔහු තම සුවිශද ප්‍රතිභාව විදහා දැක්වූයේය. ගාමිණී තම මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ගුවන් විදුලියෙනි. ඔහු එහි මඩවල එස්. රත්නායකගේ වැඩසටහන් සඳහා පිටපත් ලීවේය. ඔහු ගීත ද රචනා කළේය. නන්දා මාලිනී ගයන 'පින්තාලිය බිඳිලා අම්බලමේ', 'තුෂර පිනි වැටී නලියන' වැනි ගීත ඊට නිදසුන්ය. ගුවන් විදුලි විචිත්‍රාංග පිටපත් රචනා ශෛලිය පසු කලෙක ගාමිණීගේ පුවත්පත් ලේඛනයේ ද අඩු වැඩි වශයෙන් දක්නා ලැබෙන බව පෙනේ. ගාමිණී සිනමාවට සම්බන්ධ වූයේ 'නිම්වළල්ල' චිත්‍රපටයෙනි. ඔහු එහි ප්‍රචාරක දැන්වීම් පිටපත් රචනා කළේය. ගාමිණී එයට ලියූ සටහනක් ඔහුගේ විරල ප්‍රතිභාවට ද, ඔහුගේ විචිත්‍ර ලේඛන රටාවට ද සාක්ෂ්‍ය සපයයි.
ඔවුහු දේදුන්නක පාට අතර අතරමං වූහ ගාමිණී සිනමා පුවත්පත්කරණයට ප්‍රවිෂ්ට වූයේ 'දීපශිඛා' පත්‍රයෙනි. ඔහු එහිදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ස්වර්ණා මල්ලවආරච්චි යන අය සමඟ කළ සම්මුඛ සාකච්ඡා එවක විවාදකාරී වූයේය. ගාමිණී මෙම පත්‍රයට 'තරු දහසක් පායන රෑ' නමින් නවකතාවක් ලියූ බව ද මට මතකය. 'පරසතු', 'විකසිත පරසතු' ගාමිණී සිනමා ලේඛනයේ යෙදුණු තවත් පුවත්පත් දෙකකි. පුවත්පත් කලාවේදියකු වශයෙන් ගාමිණීගේ හැකියාව ඉස්මතු වූයේ 'දෙසතිය' සඟරාවෙනි. ඔහු ඊට ලියූ කවරයේ කතා, වෙනත් විශේෂාංග ලිපි මෙන්ම යෙදූ සිරස්තල ද කාගෙත් ප්‍රශංසාවට ලක් වූයේය. 'ඉක්මන් නත්තලකට ඉදෙන තැචර් පුඩිම', 'නාඬන් හිරමනේ පොල් මිල වැඩියි අද', 'ආඬි හත් දෙනාගේ ඔපෙක් කැඳ හැලිය', 'ණය දී මිතුරාත් මුදලත් නැති කර ගත් බැංකුව' මගේ මතකයේ රැඳී ඇති ශීර්ෂ පාඨ කීපයකි. 'දෙසතියේදී' ගාමිණී සිනමා ලේඛකයෙක් වශයෙන් ද, විචාරකයෙක් වශයෙන් ද කටයුතු කළේය. 'තුන්වැනි යාමය' චිත්‍රපටය තිරගත වූ අවස්ථාවේ ගාමිණීත් මාත් එහි අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක සමඟ කළ සංවාදය එකල ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. 'මගේ චිත්‍රපට ශිල්ප හරඹ වෙන්නේ නුඹලාට' යන සිරස්තලය යටතේ පළවුණු ඒ ලිපිය සිරිල් බී. පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ද නොමඳ පැසසුමට ලක් වූ බව කිව යුතුය. 'දෙසතියේ' දී ගාමිණී 'විරාගය', 'කලියුගය', 'තුන්වැනි යාමය', 'දඩයම', 'සුද්දිලාගේ කතාව' වැනි සිනමාපට විචාරයට හසු කළේය. ඔහු එකල සිනමා විචාරයේ යෙදුණු තම සමකාලීනයන්ගෙන් (විශේෂයෙන් ගුණසිරි සිල්වා වැනි) වෙනස් වූයේ අන්තර් ජාතිකව වර්ධනය වන නව විචාර විඥානය විශේෂයෙන් පශ්චාත් නූතනවාදී විචාර සිද්ධාන්ත නිසිව ග්‍රහණය කර ගැනීම හේතුවෙනි. ගීත රචකයකු වශයෙන් ද ගාමිණී සිනමාවට සම්බන්ධව සිටියේය. 'නෑදෑයෝ' චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය 'ජීවිතේ අමධාරා' (ගායනය ටී. ඇම්. ජයරත්න) ගාමිණීගේ පබැඳුමකි. 'යහළු යෙහෙළි', 'සත්‍යග්‍රහණය', 'ආදර කතාව', 'ජීවිතයෙන් ජීවිතයක්', 'පොරොන්දුව', 'පෙරළිකාරයෝ' වැනි චිත්‍රපටවලට ද ඔහු ගී ලියා ඇත. මෙයින් 'සත්‍යග්‍රහණය'ට ලියූ ගීතය සඳහා ජනාධිපති සම්මානය ද 'ආදර කතාවේ' ගීතය සඳහා ස්වර්ණ සංඛ සම්මානය ද හෙතෙම හිමිකර ගත්තේය. 'නිම්වළල්ල' චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපට ගණනාවකටම ගාමිණී ප්‍රචාරක දැන්වීම් පිටපත් රචනයේ යෙදුණේය. රැලෙක්ස් රණසිංහ සමඟ එක්ව 'දුහුළු මලක්' හා 'මඩොල් දූව' යන චිත්‍රපට දෙකට ද ගාමිණී ස්වාධීනව 'මංගලා', 'දෑස නිසා', 'ගඟ අද්දර', 'චූඩා මාණික්‍ය', 'හිමගිර', 'සාගර ජලය', 'සති පූජා' යන චිත්‍රපටවලට ද ඔහු ප්‍රචාරක කාර්යයේ නිරත වූයේය. 'දුහුළු මලක්' චිත්‍රපටයට යෙදුණු 'එක රැජිනට ඔටුනු දෙකක්' නම් වූ ප්‍රචාරක පාඨය (ස්ලෝගනය) ගාමිණීගේ අපූර්ව සංකල්පනාවකි. චිත්‍රපට තිර නාටක රචනයෙහිලා ද ගාමිණී පෑ කුසලතා අගය කළ යුතුය. 'සහරාවේ සිහිනය' චිත්‍රපටයේ මුල් තිර නාටකය ඔහුගේය. පසුව එය නොයෙක් සංශෝධනයන්ට යටත් කෙරිණි. ඉන් තම නිර්මාණයට අසාධාරණයක් වූ බව ගාමිණී මා සමඟ කියා ඇත. චිත්‍රපට නාමාවලියේ සම තිර රචක ලෙස ගාමිණීගේ නම සඳහන් වන්නේය. 'යශෝරාවය' (අනගාරික ධර්මපාල ශත සංවත්සරය නිමිත්තෙන්) 'හරිත නිම්නය', 'ලාංකික සිනමාවේ සිංහල ලකුණ' (ජෝ අබේවික්‍රම අලළා) 'ට්‍රිබියුට් ටු ද ප්‍රොෆසී' (ඩී. ඇස්. සේ්නානායක සැමරුම්) ගාමිණී ලියූ වාර්තා චිත්‍රපට තිර කතා අතරින් කීපයකි. අසූ ගණන් වනවිට අක්‍රියව තිබූ සිනමා විචාරක සංගම් යළි පණගන්වා ක්‍රියාන්විතයක් බවට පත්කිරීමේ ගෞරවයෙන් හරි අඩක් ගාමිණීට හිමිවිය යුතුය. ඉතිරි අඩ හිමිවිය යුත්තේ චිත්‍රපට සංගම් ව්‍යාපාරයේ පුරෝගාමියකු වන නීල් අයි. පෙරේරාටය. මේ දෙදෙනා එක්ව 1986 දී ශ්‍රී ලංකා සිනමා විචාරක සංගමය බිහි කළහ. එකල එහි රැස්වීම් බොහෝමයක් පැවතියේ 'දෙසතිය' කාර්යාලයේදීය. මාද එකල එහි සිටි බැවින් ආරම්භක සැසි වාරයේදී මම එහි කමිටු සාමාජිකයෙක් වීමි. 40 වසරක හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දස දෙනා (සිංහල සිනමාවේ දස මහා පුරුෂයෝ) තේරුවේ විචාරක සංගමයයි. ගාමිණී ජාතික මට්ටමෙන් පමණක් නොව අන්තර් ජාතික මට්ටමෙන් ද සිනමා උත්සව කීපයක්ම නියෝජනය කර ඇත. ස්විට්සර්ලන්තයේ ෆ්‍රීබර්ග්, ඉන්දියාවේ කේරළ චිත්‍රපට උළෙල ඊට නිදසුන්ය. ගාමිණීගේ සිනමා ලේඛනයෙන් හා විචාරයෙන් ඉහළම දායකත්වයක් ලබා ගත්තේ 'සිනෙසිත්' සඟරාවයි. එහි ගෞරවය එහි සංස්කරක ඈෂ්ලි රත්න විභූෂණට හිමිවිය යුතුය. උපාලි විජයවර්ධන මහතා තම පුවත්පත් ආයතනය ඇරඹීමට මුලින්ම ප්‍රධාන කර්තෘත්වය සඳහා ආරාධනා කළේ ගාමිණීටය. මෙය බොහෝ දෙනකු නොදන්නා කරුණකි. එය දන්නේ මා ද ඇතුළු ආචාර්ය සරත් අමුණුගම, ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර වැනි ස්වල්ප දෙනකු පමණි. ජීවිතයේ කිසිදාක අවදානම් භාරගන්නට ඉදිරිපත් නොවීමේ දුබලතාව නිසා ගාමිණී එය ප්‍රතික්ෂේප කළේ්ය. (ගාමිණී, උපාලි විජේවර්ධන ගැන 'දෙසතිය'ට ලියූ කවරයේ කතාව උපාලිගේ සිත්ගෙන තිබිණි. ඉහත ආරාධනාව ඔහුට ලැබුණේ ඒ නිසාය). රජයේ විශ්‍රාමික රැකියාවක් අතහැර පෞද්ගලික ආයතනයක සේවයට බැඳීම අවදානම් සහගත යැයි ගාමිණී කල්පනා කළේය. 'දෙසතියෙන්' ඉවත්වීමෙන් ඉනික්බිතිව ගාමිණී 'මාතොට', 'සංවාද' වැනි සඟරා දෙක සංස්කරණය කළේය. 'ඉරිදා' නම් වූ පුවත්පත ඔහුගේ කර්තෘත්වයෙන් පළවූවකි. ගාමිණී සිනමාවට අදාළව පොත් දෙකක් ද, තවත් පොත් කීපයක් ද ලියා ඇති අතර නවකතා පරිවර්තනයක් ද කර ඇත. 'සිනමාව, සංස්කෘතිය හා මතවාදය', 'ශ්‍රී ලාංකික සිනමාවේ ශෘංගාර කලාපය' (දර්ශන ලියනගේ) ඔහු ලියූ සිනමා පොත් දෙකය. ඔහු 'අර්ජුන්' නමින් පළ කළේ පරිවර්තන නවතාවකි. 'ශ්‍රී ලංකාවේ පුවත්පත් අයිතිය සහ දේශපාලන සන්නිවේදනය' කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ලියූ පර්යේෂණාත්මක නිබන්ධයකි. පුවත්පත් කලාව අලළා මෙතෙක් ලියැවුණු හොඳම පොත් දෙක තුනෙන් එය එකකි. ගාමිණී තම ජීවිතයේ අවසාන කාලයේදී (1998 - 2001) ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) තනතුර දැරුවේය. දේශපාලනය ගාමිණීට මරණය ළඟා කළේ යැයි මම සිතමි. ඔහු ඇතැම් තක්කඩින්ගේ ගොදුරක් බවට පත් වී නිකරුණේ අකල් මරණයකට පත්වූයේය. ජීවත්ව සිටිය යුතුම කාලයකම ඔහු අප අතැර ගියේය. ගාමිණී මියගිය අවස්ථාවේ ඔහු ගැන මරණ ස්මෘති සටහනක් ලියූ තවත් විශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ අජිත් සමරනායක මෙසේ ලීවේය. 'ගාමිණී නූතන ලෝකයේ කඩ ඉම් ආක්‍රමණය කළ අපේ පරම්පරාවේ මිනිසා විය.'
|