|
බජ්රන්ගී ඩුබායි ගිහින් සම්මාන අරන්
බොලිවුඩ් තරු බැබලුන Times Of India Film Awards (TOIFA) 2016 පසුගියදා ඩුබායිහිදී උත්කර්ශවත් අයුරින් පැවැත් වුණා. එහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වුණේ ‘බජිරන්ගී භයිජාන්’ චිත්‍රපටයට යි. සම්මාන උලෙළේ්දී වැඩිම සම්මාන සංඛ්‍යාව වූ සම්මාන හයක් දිනා ගත්තේ ‘බජිරාඕ මස්තානි’ චිත්‍රපටය යි. ‘බජිරාඕ මස්තානි’ අධ්‍යක්ෂණය කළ සන්ජේලීලා බන්සාලි හොඳම අධ්යක්ෂවරයා ලෙසින් පිදුම් ලැබුවා. ශාරුක් ඛාන්, කරීනා කපූර්, රිතේෂ් දේශ්මුක්, පරිනීති චොප්රා, ජැන්ලීන් ෆර්ඩිනැන්ඩ්ස්, වරුන් ධවාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා භාත් TOIFA වේදිකාව හැඩ කළා. හොඳම නළුවා - රන්වීර් සිං - බජිරාඕ මස්තානි හොඳම නිළිය – කන්ගනා රනවුත් – තනූ වෙඩ්ස් මනූ රිටන්ස් හොඳම සහය නළුවා - අනිල් කපූර් - දිල් දඩක්නේ දෝ හොඳම සහය නිළිය – ප්‍රියංකා චොප්රා - බජිරාඕ මස්තානි හොඳම දුෂ්ට නළුවා - නවුසුදීන් සිද්දික් – බද්ලාපූර් හොඳම විකට නළුවා - දීපක් දොබ්රියල් - තනූ වෙඩ්ස් මනූ රිටන්ස් හොඳම නැගී එන නළුවා - සූරජ් පන්චෝලි - හීරෝ හොඳම නැගී එන නළුවා - භූමි පෙඩ්නෙකර් – ඩූම් ලගා කේ හේෂියා හොඳම චිත්‍රපටය (විචාරක) – තල්වර් හොඳම නළුවා (විචාරක) – අමිතාබ් භච්චන් – පීකු හොඳම නිළිය (විචාරක) – කල්කී කොච්ලින් – මාගරිටා විත් අ ස්ට්‍රෝ හොඳම නැගීඑන අධ්‍යක්ෂක – නීරජ් ගෙවාන් – මසාන් වසරේ යුවළ - රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් හොඳම ගායකයා - අන්ගරාජ් මහාන්ත්රා - බජිරාඕ මස්තානි හොඳම ගායිකාව - ශ්‍රෙයා ගෝෂාල් - බජිරාඕ මස්තානි මෙවර උලෙළේදී අපූරු සිදුවීමක් කැපී පෙනුණා. හොඳම සහය නළුවා ලෙසින් අනිල් කපූර් සම්මානය ලබා ගත්තේ බොලිවුඩයේ බිග් බී හෙවත් අමිතාබ් බච්චන් අතින්. මේ අවස්ථාව අනිල්ට කෙතරම් ප්‍රීතිදායක වුණාද කීවොත් ඔහු සම්මානය ලබා ගැනීමට පෙර අම්තාබ් හට පසඟ පිහිටුවා නමස්කාරය කළා.
ආරාධ්‍යා දැන් මොන්ටිසෝරි
අභිෂේක් බච්චන් මේ දවස්වල ‘හවුස් ෆුල් 3’ චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. ඓශ්වර්යාත් ‘සරබ්ජිත්’ සහ කරන් ජොහාර්ගේ ‘ඒ දිල් හේ මුෂ්ඛිල්’ චිත්‍රපටවල රංගනය නිසා ගොඩක් කාර්ය බහුල වෙලා. ඒ කෙහොම වුණත් පුංචි දියණිය ආරාධ්‍යා වෙනුවෙන් නම් කාලය කොහොම හරි වෙන් කරන්න දෙදෙනාම කටයුතු කරනවා. සිව් හැවිරිදි ආරාධ්‍යා දැන් පෙර පාසල් යනවා. පසුගියදා ඇයගේ පෙර පාසලේ විවිධ ප්‍රසංගය පැවැත් වුණා. ඒ වෙනුවෙන් අභිෂේක් වගේම ඓශ් තම තමන්ගේ රංගන කටයුතුවලින් ඈත් වෙලා දියණිය වෙනුවෙන් වෙන් කළා. ඒ අවස්තාවට තවත් විශේෂ යුවළක් පැමිණ සිටියා. ඒ ශිල්පා ෂෙට්ටි සහ රාජ් කුන්ද්‍රා. ඔවුන්ගේ පුතා වියාන් ඉගෙනුම ලබන්නෙත් මේ පෙර පාසලෙන්මයි.
හොඳ පියෙක් කළ පුතෙක්
බොලිවුඩ් නළු ඉම්රාන් හෂ්මි දැන් වගකීම් සහිත පියෙක් වෙලා. හැබැයි මේ වගකීම වගේම තමාට හොඳ පුද්ගලයෙක් වෙන්නත් පාඩම් කියාදී තියෙන්නේ ඔහුගේ හය හැවිරිදි පුතා අයාන්. ඒ වගේම ඉම්රාන්ට කිසි විටෙක උත්සාහය අත නොහරින්නත් උගන්වන්නේ මේ පුංචි පුතා. “අයාන් මා අලුත් මිනිසෙකු කරමින් මගේ ජීවිතයට දෙවැනි උපතක් ලබා දුන්නා” ඉම්රාන් පවසන්නේ හැඟීම්බරව. පසුගිය කාලයේ ඉම්රාන් කෘතියක් රචනා කළා. Kiss of Life නම් වූ එම කෘතිය අයාන් සිව්වැනි වියේදී පිළිකාවකින් පෙළෙන බව දැන ගත් තැන සිට පසුගිය වසරේ පිළිකා මාරයා පරදා ඔහු ජයගත් කතාව කියවෙනවා. එහිදී ඉම්රාන් තවත් විශේෂ යමක් සඳහන් කරනවා. ඒ ඔහුගේ ආදරණීය බිරිඳ ගැනයි. “පිරිමින්ට වඩා කාන්තාවන් හැඟීම්වලින් සවිමත්. අයාන් පිළිකාවක ගොඳුරක් වූ බව දැන ගත් අවස්ථාවේ මා කඳුළු සලා හැඬුවත් මගේ බිරිඳ එය විඳදරාගෙන මරුවාට එරෙහිව සටන් වැදුනා. ඇය ලොවටම කීවේ අපූරු පාඩමක්”.
ප්‍රියංකාට හෝලි මඟ හැරිලා
මේ දවස්වල ඉන්දියාවේ ජයටම හෝලි උත්සවය පැවැත්වෙනවා. හෝලි උත්සවය වර්ණවත් කුඩු ඉසගනිමින් ඉන්දියානුවන් බොහොම ප්‍රීතිමත්ව සමරන උත්සවයක්. ඉතිං මෙවර හෝලි උත්සවය මඟ හැරුණු බොලිවුඩ් නිළියක් ඒ ගැන ගොඩක් අමෙරිකාවට වෙලා දුකෙන් ඉන්නවා. ඇය ප්‍රියංකා චොප්රා. ප්‍රියංකා මේ දිනවල අමෙරිකානු රූපවාහිනි ටෙලි නාට්‍යමාලාවක් වූ ‘ක්වෙන්ටිකෝ’ හි රුගත කිරීම්වලට දායක වෙමින් සිටින්නේ. ඒ නිසා හෝලි සමරන්න ඇයට ඉන්දියාවට එන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ප්‍රියංකා හෝලි සමරන්න බැරිවුණු දුක හැමෝටම කිව්වේ ඇයගේ ට්විටර් පිටුවෙන්.
වන්දේ මාතරම් වැරදියට ගයලා අමිතාබ්ට චෝදනාවක්
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙනවා. එහිදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පසුගියදා කල්කටාටේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා. තරගය ආරම්භයට පෙර දෙරටේම ජාතිය ගීත ගැයූ අතර ඉන්දීය ජාතික ගීය ගයන්න බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහභාගි වුණා. ජාතික ගීය ගැයුවාට එක් පුද්ගලයෙක් දිල්ලියේ අශෝක් නගර් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා. ජාතික ගීය වැරදියට ඉදිරිපත් කළ බව කියමින් ඔහු අම්තාබ්ට චෝදනා කරනවා. ඉන්දීය ජාතික ගීය ගායනා කළ යුතු කාල සීමාව තත්පර 52ක් වුවත් මෙම අවස්ථාවේදී අමිතාබ් ඒ වෙනුවෙන් මිනිත්තුවකුත් තත්පර 22ක් වැය කළ බව කියමිනුයි ඔහු මේ පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ. |