|
||||
ගාමිණී විජේතුංග ගැන මගේ මතක
ලේක්හවුසියේ වැඩ කොට හවස් වරුව ගුවන් විදුලියේ ගත කිරීම මට ප්‍රියජනක සිද්ධියක් විය. මගේ හොඳම මිතුරන් දෙදෙනා වූ ගාමිණී විජයතුංග හා මහින්ද අල්ගම අකාලයේ මිය යාම ගැන මතක් කරන කල්හි ඔවුන් මොන තරම් පිරුණු මිත්‍රයන්දැයි මට දැන් සිතේ. මේ දෙදෙනාම මගේ මැදිහත්වීමෙන් 'නිම්වළල්ල'ට සම්බන්ධ කර ගැනීමට ලැබීම ගැන මට සතුටක් ඇති වේ. ගුවන් විදුලි 'ළමා මණ්ඩපය' වැඩසටහන් තුළින් මේ දෙදෙනා ළමා ගීත රචකයන් ලෙස කැපී පෙනුණාහ. මහින්දට වඩා ගාමිණී මට සමීප විය. එයට එක් හේතුවක් වූයේ පොත පත කියවීමය. ඇතැම් දිනවල මගේ නිවසේ නවාතැන් ගන්නා ගාමිණී පොතපත කියවමින් කවි ගීත ලියමින් රෑ වෙනතුරු ගත කරන්නේය. ඔහු ලියූ ගීත හා කවි මා අගය කළත්, ඔහු ඒවා ගැන තැකීමක් කළේ නැත. එකල ගාමිණී සිටියේ රාජගිරියේ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසගේ නිවස අසල ඔහුගේ ඥාතියකුගේ ගෙදරය. ඇතැම් විට ඒ ගෙදර අය සමඟ අමනාප වන ඔහු අපේ නිවසට එයි. දින දෙක තුනකින් මගේ නිවහන ද ඔහුට අරුචි වී නෑයෙකු ළඟට යනවා කියා යන්ට යයි. අපි දෙදෙනා පොත පත සොය සොයා කිය වූ අතර, අප හිතවත් සුගත්ගෙන් (සුගතපාල ද සිල්වා) ද පොත පත ඉල්ලාගෙන කියවීමු. දිනක් සුගත් ගාමිණී හා මා කැන්ටිම පැත්තට යනු දැක අත්පොළොසන් දී කතා කළේය. 'උඹට කියලා වැඩක් කර ගන්න තිියෙනවා. මේ මගේ අලුත්ම නවකතාව. කියවලා කවරයක් ඇඳලා දීපන්'. සුගත් අත් පිටපතක් මා අත තැබීය. ගාමිණීට මෙය රටක් රාජ්ජයක් ලැබුණාක් මෙනි. 'මම මුලින්ම කියවලා උඹට අදහසක් දෙන්නම්' ගාමිණී එය ඉල්ලාගෙන වේලාසන ගෙදර ගියේය. පසුදා හවස ගුවන් විදුලියේදී හමු වූ ගාමිණී 'මචං සුගත්ගේ නවකතාව මරු. උඹට හොඳ කවරයක් ඇඳ හැකියි' කීවේය. එදා හවස කඩල ගොටු දෙකක් අරගෙන කකා ගාලු පාරේ පාර්ලිමේන්තු පැත්තෙන් ගාලු මුවදොරට පිවිසි අපි සුගත්ගේ නවකතාව ගැන කතා කරමින් හෙවණකට වී සිටියෙමු. වැඩ වර්ජකයන් පිරිසක් සටන් පාඨ රැගෙන පාරේ ගමන් කරනු අපි දුටුවෙමු. 'ඔය බාලා තම්පෝගේ ඛ්. ර්. උ. එකේ මිනිස්සු. බලපන් මේ මිනිස්සු වර්ජනය කරලම දිරාපත් වෙලා ගිහින්' ගාමිණී කීවේය. එදා ගෙදර ගිය මා සුගත්ගේ නවකතාව කියවා පසුදා කවරයක් ඇන්දෙමි. එය මුලින්ම පෙන්නුවේ ගාමිණීටය. 'මචං උඹ මුළු කතාවම සාරාංශ ගත කරලා ලස්සන කවරයක් කරලා. සුගත් කැමති වේවි' ගාමිණී කීවේය. පසුදා ගුවන් විදුලියේදී මාත්, ගාමිණීත්, සුගත් හමු විය. ඔහුගේ මේසය අසළ සුනන්ද මහේන්ද්‍ර හා රන්ජිත් ධර්මකීර්ති ද වූහ. 'රන්ජිත් ලස්සන කවරයක් ඇඳලා' ගාමිණී ඉස්සර විය. කවරය බැලූ සුගත් එය අනිත් මිතුරන්ට පෙන් වූයේ සතුටු සිනා සමඟය. 'බලමු පොත පිටවෙන කොට උඹේ කවරයද? මගේ පොත ද දිනන්නේ කියලා' සුගත් පුංචි විහිළුවක් කළේය. 'ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ' නම් ඒ පොතට ඒ වසරේ සාහිත්‍ය සම්මානය හිමි වූ අතර මගේ කවරයට ද දැඩි ප්‍රසාදයක් හිමි විය. සුනන්ද හා රන්ජිත් ලියූ පොත් දෙකක පොත් කවර නිර්මාණය මට පැවරිණ.
මගේ නිර්මාණ ශක්තිය ගාමිණී හැම විටම අගය කළේය. 'උඹ පොත් කියව ඉන්න වේලේ පොතක් ලියපන්කෝ' මම ගාමිණීට කිව්වෙමි. 'අනේ මට බෑ බං මට කම්මැළියි' ගාමිණී ඕලාරික හඬින් කීවේය. වචනයේ පරිසමාප්ථර්තයෙන්ම ගාමිණී කම්මැළියෙකි. ඔහුට අප්‍රමාණ ප්‍රතිභාව තිබුණත් කම්මැළියෙක් යැයි මා ලියා තිබෙනු දුටු ඔහු තරහ වී මගේ නිවසින් යන්ට ගියේය. ඒත් ඒ ටික දවසකටය. ගාමිණී ද්වි භාෂා දැනුමක් සහිත අලුත් විදිහට ලියන සම්මතයට එරෙහි වූ ලේඛකයෙකි. ඔහු ලියන සැම මා ඉතා ඉහළින් වර්ණනා කරන අතර 'අනේ පලයං බං උඹ හිතන අලුත් දෙයක් ඔතන නෑ' යයි බොරු තරහක් පෙන්නා ඉවත යයි. ගාමිණී ලියූ ගී පදාමාලා කිහිපයක් මගේ මේසය මත විය. ඔහු මට ඒවා බැලීමට ඉඩ තබා උදෙන්ම යන්ට ගොසිනි. මම මේවා පරෙස්සම් කොට දිනක් සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ට පෙන්වීමි. 'හොඳට ලියන හාදයෙක්. මේක ෆිල්ම් සෝංග් එකකට හොඳයි' කේමදාසයන් කීය. 'මාස්ටර්ගේ ගේ ගාව ඉන්නේ' 'හත්තිලව්වේ දවසක එක්ක එන්න' මම ගාමිණී කේමදාසයන්ට හඳුන්වා දුනිමි. ඉන් පසු හැම හවසකම මා කේමදාසයන්ගේ නිවසට යන විට ගාමිණී එහි සිටීමට තරම් ඔහු හිතවත් වී තිබුණි. පසුව කේමදාසයන් ගාමිණීගේ ගීත රචනා 'ප්‍රබුද්ධ ගී' වැඩ සටහනට ද, චිත්‍රපට දෙකකට ද තෝරා ගෙන තිබුණි. ගාමිණි ලේඛකයකු ලෙස සරසවිය පුවත්පතට සම්බන්ධ කිරීමට මට හැකියාව ලැබිණ. ඔහු එහිදී මුලින්ම ලීවේ මර්සි එදිරිසිංහ පිළිබඳවය. ගාමිණිගේ ලේඛන ප්‍රතිභාවට අත හිත දුන් දෙදෙනෙකි. ඒ සිරිල් බී. පෙරේරා හා ඩී. බී. වර්ණසිරිය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ 'දෙසතිය' ප්‍රවෘත්ති සඟරාවට ඔහු සම්බන්ධ කර ගත්තේ ඒ දෙදෙනාය. ගාමිණී ලියූ කවරයේ කතාව උසස් මට්ටමක පැවතුණි. පසුකාලීනව ගාමිණී 'දෙසතිය' සඟරාවේ සංස්කාරකවරයා විය. ගාමිණීට බෙහෙවින් උදව් කළේ ප්‍රවෘත්ති ලේකම් ආචාර්ය සරත් අමුණුගමය. ගාමිණී පරිවර්තනය කළ 'අර්ජුන්' නම් භාරතීය ලේඛකයකුගේ කෘතිය පිළිගන්වා තිබුණේ 'මට පහන් තරුවක් වූ සරත් අමුණුගමට' කියාය. ගාමිණීගේ ඥාතියෙක් වූ සරත් කාරියවසම් රාජ්‍ය ලේඛනාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයකුව සිටියේය. ඔහු දිනක් ගාමිණී තමාගේ ඥාතියකු බවත්, ඉස්සර ගාමිණී හමුවීමට රාජගිරියේ තමාගේ නිවසට මා පැමිණෙන අයුරුත් මතක් කළේය. සරත් කියු අයුරු ගාමිණී ගාල්ලේ උපන්නෙකු බව ද, ගමේ පාසලේ උගැනුමෙන් පසු කොළඹ පැමිණ මහාබෝධි විද්‍යාලයේත්, තර්ස්ටන් විද්‍යාලයේත් වැඩිදුර ඉගෙනීම ලැබූ බවත් කීවේය. ඔහු තවදුරටත් මෙසේ ද කීවේය. 'ගාමිණී මගේ ළඟම ඥාතියෙක්. එයාගේ තාත්තා එළවළු ව්‍යාපාරයක් කරගෙන ගියේ. ගාමිණී පවුලේ වැඩිමලා. මල්ලිලාගෙන් එක් කෙනෙකු මේ ළඟදී මිය ගියා. ගාමිණී අපේ ගෙදර ඉන්න කොට හරිම නිශ්ශබ්දයි. නිතරම පොතපත කියෙව්වා. රෑට අපේ ගෙදර ලයිට් බිල වැඩි වෙයි කියලා භූමිතෙල් පහනක් තියාගෙන එළිවෙන කල් පොත් කියෙව්වා. ලිව්වා. ගාමිණීට හරියට කේන්ති යනවා. පුංචි දේටත් තරහ වෙලා යනවා. කළපලුවාවේ අපේ ඥාතියෙකු ළඟත් හිටියා. හැබැයි ගාමිණී හොඳට ලියපු ප්‍රතිභාසම්පන්න ලේඛකයෙක් වන බව මම නං දැනන් හිටියා'. ගාමිණීගේ අකල් මරණයට පසු ඔහුගේ බිරිඳ පද්මා හා පුතුන් විදේශ ගත විය. චිත්‍රපට විචාරකයකු ලෙස ද ගාමිණීගේ භූමිකාව ඉතා විශිෂ්ටය. මෙවැනි පිරුණු මිතුරන් අපට නැවත ලැබෙන්නේ කවදාද? රජයේ චිත්‍රපට අංශයේ රසායනාගාරාධිපති ලාල් විජේතුංග, ගාමිණීගේ බලා සොහොයුරාය. |
||||