|
මම, මට ඕනෑ විදියට මේ චිත්‍රපටය කළා‘වීරවර්ණ’
- අධ්‍යක්ෂ ෂාහිරු රණසිංහ
නවකයෙක් චිත්‍රපටයක් තැනීම නැතහොත් සිනමාකරණයට පිවිසීම අද දවසේ හැටියට එතරම් පුදුමයට කරුණක් නොවේ. පසුගිය කාලයේ නවකයක් බහුල වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරෙහි නැඹුරුවීම ඊට හේතුවය. එහෙත් සිනමා විෂයය සම්බන්ධයෙන් ඔවුනගේ හැදෑරීම, කියැවිම සහ දැක්ම විවිධාකාරය. එය වෙනම විග්‍රහ කළ යුත්තකි. අප අමතක නොකළ යුත්තේ අනාගත සිනමාවේ උරුමක්කාරයන් ඔවුන් බව පමණකි. සිය කුලුඳුල් සිනමා නිර්මාණය ‘වීරවර්ණ’ සමඟින් ෂාහිරු රණසිංහ ලාංකේය සිනමාවට පා තබන්නේ මෙබඳු වට පිටාවකය. ‘හෙළ අතීත උරුමයේ ශ්‍රේෂ්ඨත්වය, උදාරත්වය, සිනමාත්මක කථානාද සල රූ පෙළක්ව අද අපේ පරපුරේ සුසුම් උණුසුම් කරනා වග‘ ‘වීරවර්ණ’ සිනමා සම්ප්‍රාප්තිය ඔස්සේ ඔහු අපට පසක් කර දෙන්නට උත්සාහ දරයි. දේශයේ සැමගේ සිනමා රස වින්දනය උදෙසා ‘වීරවර්ණ’ කැටුව රිදී තිරයට සපැමිණි ෂාහිරු මෙසේ අප හා පිළිසඳරට එක් වේ.
ගැටවර වියේ ඉඳලම මගේ හිතේ තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වීමේ ආසාව. පාසල් අධ්‍යාපනය නිම කරලා මම කෑගල්ලේ ඉඳන් කොළඹට එන්නේ ඒ ආශාව ඉටුකර ගන්න අදහසින්. මුලින්ම මම ‘ෆයින් විෂන්’ ආයතනයට සම්බන්ධ වෙනවා කාර්මික ශිල්පියෙක් හැටියට. එතනදි මට ගොඩක් උපකාර කළ මිතුරන් දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් යසන්ත වැලිවිට. ඔහු රොහාන් වැලිවිටගේ මල්ලී. අනෙක් කෙනා තමයි ෂර්ලි අල්විස්. මුලින්ම මම වැඩ කළේ සුගත් සමරකෝන්ගේ ටෙලි නාට්‍යයක.
ආලෝකකරණ ශිල්පියෙක් හැටියට තමයි මම ඊට සම්බන්ධ වුණේ. ඔහොම වැඩ කරගෙන යද්දී රොහාන් වැලිවිට මට සහාය සංස්කාරක කියන ටයිටිල් එක දුන්නා. ඒ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ ‘මැණික් නදිය ගලා බසී’ ටෙලි නාට්‍යයෙන්. එතකොට එහි සංස්කාරකවරයා වුණේ සනත් ධර්මසේන. සංස්කරණය කියන එක අධ්‍යක්ෂණයේදී හරි වැදගත්නේ. ඉතින් ඒකත් මට ලොකු රුකුලක් වුණා. ඊට පස්සේ නිශාන්ත අල්විස්ගේ ‘අඹු සැමියෝ’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා.
අත්තටම ඔව්. හෙට ෂූටිං නම් අද හැන්දැවේ තමයි ඔහු මේි වැඩේට මට කතා කරන්නේ. පොරොන්දු වෙලා හිටපු සහාය අධ්‍යක්ෂවරයාට එන්න බැරි නිසයි ඔහු මට කතා කළේ. මම එක පයින් වැඩේට කැමැති වුණා. ‘ෆයින් විෂන්’ එකෙන් මට අවසර ලැබුණේ නෑ. මම කරපු වැඩේ එදා රෑම ඇඳුම් ටිකත් අරගෙන එළියට බැස්සා. රූගත කිරීම් තිබුණේ රත්නපුරේ.
එක් එක් අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරලා අත්දැකීම් ලබා ගන්න තමයි මට ඕනෑ වුණේ. අනෙක සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට මම වැඩ කරලා තිබුණෙත් නෑනේ. ඒ චිත්‍රපටයේ රඟපෑවේත් ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, වසන්ති චතුරානි වගේ ප්‍රවීණ නළු නිළියන්. ඉතින් ඒ ලැබුණු අවස්ථාව මම මඟ හැරියේ නෑ. වැඩේ හොඳට කරලා ආවා. ඒත් ආයේ වැඩක් ලැබුණේ නෑ. පස්සේ කෑගල්ලේ ගමට ඇවිත් අවුරුද්දක් විතර හිටියා.
‘ෆයින් විෂන්’ වැඩ කරන කාලේ මට හමු වුණා රුවන් කොස්තා. ඔහු දවසක් මට කතා කරලා කිව්වා, කොළඹ වරෙන් බෙනට් අයියා කම්පැනියක් පටන් ගන්නවා කියලා. එහෙම තමයි මම ‘බෙන් ෆිල්ම්ස්’ එකට සම්බන්ධ වුණේ. එතනදි මට කොටස් පහක ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ලැබුණා ‘සීදේවි මනමාලි‘ කියලා. ඊට පස්සේ ‘ධවල වසන්තය’, ‘මහ ඇත්පවුර’, ‘මඩ වතුර’ කියන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර, බෙනට් රත්නායක, සුදත් මහදිවුල්වැව වගේ ප්‍රවීණයන් එක්ක මට වැඩ කරන්න ලැබුණා කාර්මික ශිල්පියෙක් හැටියට. ඔය අතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මම වාර්තා චිත්‍රපට දොළහක් නිර්මාණය කළා.
ඇත්තටම ඔව්.
ඉතිහාසය අලලා අපේ රටේ ගොඩක් චිත්‍රපට නිර්මාණය වුණා පහුගිය කාලේ. ඒත් අපේ සිනමාකරුවන්ට අමතක වුණ දෙයක් තමයි ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි මේ රට ආක්‍රමණය කරපු කාලේ සිදු වූ පුරා වස්තු මංකොල්ලයක් ගැන. ඒ කාලවල තමයි අපේ රටේ පුරාවස්තු ගොඩක් විනාශ වුණේ. අපේ නිධන් වස්තු නැති වෙලා ගියේ. සාරධර්ම පිරිහුණේ. මේවා ගැන කාලයක ඉඳන් මම අධ්‍යනය කළා, ඒ ගැන උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ‘වීරවර්ණ’ නිර්මාණය වුණේ.
අපේ මුහුද අවට නැව් සිය ගණනක් ගිළී තිබෙනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි නැව් මේ හැම එකක්ම. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ ගාලු වරායේ තිබුණු ගල්පරවල හැපිලා තමයි මේ නැව් බොහොමයක් විනාශ වුණේ. ‘රිදී කාසි‘ වගේ විශේෂ වටිනාකමකින් යුත් දේවල් තමයි ඒ නැව්වල තිබුණේ. අපේ රටෙන් පටවාගෙන ගිය රත්තරං, මුතු, මැණික් වගේ දේවල් තිබුණ නැව් පවා මගදී මුහුදේ ගිලුණා. අප අවට මුහුදේම. පස්සේ කාලෙක අපේ රටේ මිනිස්සු ඒවා ගොඩ ගත්තා. එහෙම ගොඩ ගත්ත වස්තුව විකුණලා කෝටිපතියෝ වුණ අය ඉන්නවා. ඒත් කවුරුත් දන්නේ නෑ
සමහර ඒවා දන්නවා. ඇත්තෙන්ම මේවා ජාතික වස්තු. රජයට අයිති දේවල්. නමුත් ඒ ගොඩක් වස්තු දැන් ගොඩ අරගෙන තියන්නේ. සමාජයේ වැඩි අවධානයක් යොමු නොවුණත් මේක ලොකු ජාවාරමක්. මේ ඛේදවාචකය ගැන තමයි මම කතා කළේ. ඒක අපේ සිනමාකරුවන් අවධානය යොමු නොකළ පැත්තක්. මේ පිළිබඳ ඉංග්‍රීසියෙන් ලියවුණ පොත්පත් රැසක් තියෙනවා. මම ඒවා පරිශීලනය කළා. ගාල්ලට ගිහින් සති දෙකක් නැවතිලා හිටියා. විශේෂයෙන්ම ගාල්ල කොටුව අවට ප්‍රදේශයේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග මම මේ ගැන කතා කළා. ඒ වගේම මෙහි අතීත මූලාශ්‍රයන් දන්න අය සමඟත් මේ ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ තමයි කතාව ලිව්වේ. මේ තොරතුරු වගේම නම්, ගම් හැම දෙයක්ම ඇත්ත. ඒ සඳහන් වෙන වර්ෂ එහෙමත් හරියට හරි. සත්‍යය නම් වලින්ම තමයි ඇතැම් චරිත හඳුන්වා දෙන්නේ.
මේ තිදෙනාම මට අතිශය සමීප වැඩිහිටි මිත්‍රයන්. අත්තටම වැඩිහිටි සහෝදරයෝ වගේ. කාර්මික ශිල්පියෙක් හැටියට මම වැඩ කරපු කාලේ ඔවුන් මට මුණ ගැසී තිබෙනවා. විශේෂයෙන්ම ජෝ අබේවික්‍රම වගේ දැවැන්තයෙක් සමඟ සමීපව කටයුතු කරන්න මට හැකියාව ලැබුණා. ඇත්තටම මේ ප්‍රවීණයන් එක්ක වැඩ කරලා ලබා ගත් පන්නරය නිසා තමයි මම මෙවැනි චිත්‍රපටයක් කරන්න සිතිවිල්ලක් පහළ වෙන්නෙත්. සිරිල් වික්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙනිය සහ ඩබ්ලිව්. ජයසිරි කියන තුන් දෙනා හිතේ තියාගෙන තමයි මම මේ තිර රචනය ලිව්වේත්. දෙබස් පවා ඒගොල්ල කතා කරන ආකාරයටම තමයි මම ලියලා තියෙන්නේ.
ඒ ගැන නම් විශේෂයෙන්ම කියන්න ඕනෑ. සෙට් එකේ හැසිරීම, වෙලාවට වැඩ කිරීම, රංගනයේදී ආධුනිකයන්ට දක්වන සහයෝගය සහ ඔවුන්ගේ බුද්ධි ප්‍රභවය මේ චිත්‍රපටයට විශාල ආලෝකයක් වුණා. මෙතනදි ඩග්ලස් රණසිංහ සහ වීණා ජයකොඩි යුවළත් මතක් කරන්න ඕනෑ. තවමත් ඔවුන්ට තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය ‘වීරවර්ණ’ චිත්‍රපටයෙන් සනාථ වෙනවා.
අද අප් රටේ ‘සිනමා තරු’ නෑ. ඇත්තේම නෑ. ඒ තරු සංකල්පය අද අහෝසි වෙලා ගිහින්. මට ඕනෑ වුණා නැවතත් සිනමාවට ඒ ආකර්ෂණය ගේන්න. ප්‍රවීණයන් සමඟ උරෙනුර ගැටී රඟපාන කොට තමයි ඒ නවකයන්ගේ හැකියාවන් වඩා ඉස්මතු වෙන්නේ. කැපී පෙනෙන්නේ. ඉස්සර චිත්‍රපටයක් රූගත කරන කොට එය බලන්න අහල පහළ අය රොක් වෙනවා. බොහොම විනයක් ඇතිව තමයි ඒ කටයුත්ත දිහා බලාගෙන ඉන්නේ. අද සමහර විට නළුවෙක් නිළියක් අඟේ හැප්පුනත් කෙනෙකුට ගාණක් නෑ. ඇයි අර ‘තරු’ හැඟීම නෑනේ.
සත්තකින්ම අපි එහෙම යුගයක් උදා කරන්න කැප වෙන්න ඕනෑ. එහෙම වුණොත් තමයි පේ‍්‍රක්ෂකයන් නැවත සිනමාශාලාවලට එන්නේ. අර ටෙලි නාට්‍යයෙහි, මේ ටෙලි නාට්‍යයෙහි දැකලා අද ප්‍රේක්ෂකයන්ට නළු නිළියෝ එපා වෙලා. ‘වීර්වර්ණ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන යොවුන් නළුවන් දෙපළ සහ නිළිය සිනමා තිරයේ පමණක් දුටුවොත් ඔවුන් සිනමා ‘තරු’ බවට පත් වෙයි. ඒත් ඉදිරියේදී කොහොම ඒ අය ක්‍රියා කරයිද දන්නේ නෑ නවකයන්ගේ විනය පිරිහිලා කියලත් අද චෝදනා නැඟෙනවා. මුලින්ම මම කළේ කොහොමද දර්ශන තලයේ විනය ගරුකව හැසිරෙන්නේ කියලා ඒ අයට කියාදීම. සෙට් එකේදි විතරක් නෙවෙයි ඉන් පිටතදීත් නළු, නිළියන් හැසිරිය යුත්තේ විනය ගරුකවයි. ගාමිණී ෆොන්සේකා වගේ නළුවන් එහෙම කළා. නමුත් අද ඉන්න අය ඒවා ආදර්ශයට ගන්නා බවක් පේන්න නෑ.
අපි වැඩමුළුවක් පවත්වා හාරසිය ගණනක් අතරින් තමයි මේ පිරිස තෝරා ගත්තේ. රවීන්ද්‍ර රන්දෙනිය, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, වීණා ජයකොඩි වැනි ප්‍රවීණයන් ගෙන්වලා අපි ඔවුනට පුහුණුවක් ලබා දුන්නා. මුහුණේ ඉරියවු තියා ගන්නේ කොහොමද? එතකොට කන්ටිනියුටි තියාගන්නේ කොහොමද. ඒ වගේම රියැක්ට් කරන්නේ කොහොමද කියලා අපි ඔවුන්ට කියා දුන්නා. ටෙඩී විද්‍යාලංකාර සුදර්ශියට ඇවිත් ඒ ළමයි සමග සටන් දර්ශන පුහුණු වුණා. එතකොට සෙට් එකේදී ඔවුන්ට ඒක අමුත්තක්, අභියෝගයක් වුණේ නෑ. කොහොම හරි මේ ළමයි තේරාගෙන අපි ටෙලි නාට්‍යය හතරක් නිර්මාණය කළා. විකාශය කරන්න නෙවේ. ඒ අයගේ කුසලතාවන් හඳුනා ගන්න සහ ඔවුන්ට තමන් පිළිබඳ තක්සේරුවක් ඇති කර ගන්න.
මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්නේ සහ ඒ ගීතවලට නර්ථනයෙන් යෙදෙන්නේ ඔවුන්. ඒ ගීතවල වචන, දෙබස් පවා මම ඇතුළත් කළේ රට ගැන අභිමානයක් ඇතිවෙන විදිහට. ඉතිහාසය කියන්නේ අප රැක ගත යුතු දෙයක්. රටක අභිමානයට ඉතිහාසය කියන එක ඉතාම වැදගත්. අපේ ළමා හා තරුණ පරපුර වෙත ඒ පණිවිඩය ගෙනයන්න තමයි මම ජනප්‍රිය අංග යොදාගෙන මේ විදිහේ ආකර්ෂණීය චිත්‍රපටයක් කළේ.
සමහර දර්ශනවලට අපි කැමරා හයක් යොදාගෙන තියෙනවා. ඕතචජඬ ර්චඨඪජ 4ම් කියන කැමරාව තමයි අපි පාවිච්චි කළේ. එතකොට ර්ධමඪඥ ඛ්චථන, ඉබඥචඤර ඛ්චථන සහ හෙලිකොප්ටර් දර්ශන පවා අපි මේ චිත්‍රපටයට යොදා ගත්තා. තාක්ෂණයෙනුත් මම මේ චිත්‍රපටයට බොහෝ දේවල් එකතු කළේ ඇත්තටම හින්දි වාණිජ චිත්‍රපටයක තිබෙන ලක්ෂණ මෙයට ඇතුළත් කරන්න. හැබැයි මම ‘වීරවර්ණ’ හඳුන්වන්නේ සිනමාරූපී වාණිජ චිත්‍රපටයක් විදිහට.
ස්පිල්බ(ර්)ග් තමයි මගේ හොඳම අධ්‍යක්ෂවරයා. ‘ඉන්දියානා ජොන්ස්’ තමයි මම වඩාත්ම කැමැති චිත්‍රපට මාලාව. ඒ චිත්‍රපටවල සමහර දේවල් මේකෙ තියෙනවා. ‘ඉන්දියානා ජොන්ස්’ තමයි මම වැඩිපුරම බලපු චිත්‍රපට මාලාව. නොදැනුවත්වම ඒ ආභාෂය මගේ චිත්‍රපටයට ඇවිත් තියෙනවා. ස්පිල්බර්ග්ගේ වෙනත් චිත්‍රපටවල යම් යම් දේවලුත් ඇති මේ චිත්‍රපටයේ.
ඒක මම හිතාමතාම කරපු දෙයක්. අපි චිත්‍රපටයක් ගත්තොත්, ගීතයක් ගත්තත් හැම එකේම තියෙන්නේ ප්‍රේමය විතරයි. හැම චිත්‍රපටයේම ප්‍රේමය තියෙනවා. ඉතිං මම හිතුවා මේ ට්‍රැක් එකෙන් පොඩ්ඩක් පිට පනින්න. දැන් බලන්න ඉංග්‍රීසි චිත්‍රපටවල ප්‍රේමය විතරක් ද තියෙන්නේ. චිත්‍රපට දහස් ගාණක් අවුරුද්දට නිෂ්පාදනය වෙනවා. ඒ කතා තේමාවන් එකිනෙකට වෙනස්. මට ඕනෑ වුණේ අපේ පවතින රටාවෙන් ටිකක් ඔබ්බට ගිහින් වෙනස් ආකාරයේ චිත්‍රපටයක් කරන්න. විශේෂයෙන්ම මට අවශ්‍ය වුණා පිටරටට විකුණන්න පුළුවන් සිංහල චිත්‍රපටයක් හදන්න. දර්ශනතල පවා මම භාවිතා කළේ ඒ ගැන හිතලා.මූලිකව මගේ අවධානය යොමු වුනේ ඒකට තමයි.
අධ්‍යක්ෂවරයා හැටියට චිත්‍රපටයේ සියලුම බර මම කරට ගත්තා. මට ඕනෑ වුණේ ආධුනික පිරිසක් සමඟ වැඩ කරන්න. සහාය අධ්‍යක්ෂණයට, කැමරා අධ්‍යක්ෂණයට, නිෂ්පාදන කළමනාකරණයට මම තෝරා ගත්තේ නවකයෝ. සමහරු චිත්‍රපට කරලාම නෑ. ඒත් සිනමාව ගැන ඉගෙනීමක් තිබෙන, උනන්දුවක් තියෙන අය මම සම්බන්ධ කර ගත්තා.
එකක් මට අවශ්‍ය වුණා සිනමාවට තරුණ නවක පිරිසක් හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම කාර්මික අංශයෙන්. අත්දැකිම් තියෙන නිසා මම දන්නවා සමහරු තමන්ගේ කණ්ඩායම් හදා ගන්නවා. කල්ලි හදා ගන්නවා. කිසිම කල්ලියක් හදාගන්න මම ඉඩ දුන්නේ නෑ මේ චිත්‍රපටය ඇතුළේ. එහෙම කල්ලි හැදුණාම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට යම්, යම් බලපෑම් එනවා. ආධුනිකයෝ සම්බන්ධ කරගත්ත නිසා මට ඕනෑ විදිහට මේ චිත්‍රපටය කරන්න ලැබුණා. මොකද සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයක්. සෙසු සියලුම ශිල්පීන් ඔහුට සහාය දක්වනවා හැර ඔහු අභිබවා යා යුතු නෑ.
|