|
අපේ සිනමාවේ අනාගත වක්තෘ
සිය වසරකට එපිට ලෝක සිනමාව කල එළි දුටුවේ නිහඬ චලන චිත්‍රයක් හැටියටය. එය කතානාද යුගයට පරිවර්තනය වන්නට එයින් තිස් වසක් පමණ ගත විය. දළ සේයා පටය නමැති සිනමාවේ මූලික න්‍යාය පත්‍රය අත අරින්නට සිනමාවට තවත් අසූ වසරක් පමණ ගෙවිණ. මේ සමස්ත සිනමා විපර්යාසය දුටු ලොව සුවිශේෂ මිනිසකුගේ 97 වැනි ජන්ම දිනය මෙම අප්‍රේල් පස් වැනිදාට යෙදෙයි. ඔහු අපේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. එතුමන් නිහඬ සිනමා යුගයේදී සිනමාව පිළිබඳ ආලයෙන් බැඳී කතානාද යුගයේදී සිනමාකරණයට පිවිසියේය. විත්ති කථාවෙන් මෙන්ම වෘතාන්ත සිනමාකරණයේදී ද ආචාර්ය ලෙස්ටර් තැබූ සලකුණ ලෝක සිනමාවේ කැපී පෙනෙන්නකි. මෙරට සිනමාවට සැබෑ සිනමාවක් හඳුන්වා දුන් ආචාර්ය ලෙස්ටර් එතැන් පටන් ලාංකික සිනමාවේ ඊළඟ පරම්පරාවන් උදෙසා ගුරු වූයේය. අපේ සිනමාවේ පස්වැනි පරම්පරාවේ පුරෝගාමියෙකු වූ විමුක්ති ජයසුන්දර මේ නොබෝදා අල්ලාප සල්ලාපයකදී මට පෙන්වා දුන්නේ වත්මන් සිනමා ලෝකයේ ජීවමාන වැඩිමහල් සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බවය. අයි. එම්. ඩී. බී. වෙබ් අඩවිය මේ බව සනාථ කර සිටියි. මයිකල් ඇන්ඩර්සන්, රොබට් ලෙවිස්, ගයි හැමිල්ටන්, ෆ්‍රැන්කෝ සේෆරිල්ලි ආදී වූ සිනමාකරවන් ඔහුට වඩා ලාබාලය. නිහඬ, කතානාද, ඩිජිටල් යන සිනමා තුන් කාලයේම නිර්මාණකරණයේ නියැලී ලොව එකම සිනමාකරුවා වූ මැනුවෙල් ඩි ඔලිවේරා අවුරුදු 105 ක් ආයු වළඳා ගිය වසරේ අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විටත් සිනමාකරණයේ නියැලිණ. පෘතුගාල සිනමාවේ හා ලෝක සිනමාවේ ඔහුට අයත් තැන එකී කාල ත්‍රිත්වයේම සිනමාකරණයේ නියැලීම පමණි. ආචාර්ය ලෙස්ටර්ට මෙන්ම ජ්‍යෙෂ්ඨ සිනමාකරුවන් ද සිනමා ප්‍රධාන ප්‍රවාහයේ සහ කලාත්මන ප්‍රකාශයන්හි ලොව පුරා කීර්තිමත් වුව ද ආචාර්ය ලෙස්ටර් තරම් බහුමානයට පාත්‍ර වූයේ නැත. වැදගත්ම කරුණ නම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකික සිනමාවේ මහා පුරුෂයා ලෙස බුහුමනට ලක් වනුයේ අප විසින් අනු දක්නා ලබන්නා වූ වැඩිහිටියන්ට සැලකීමේ චිරාගත සම්ප්‍රදායෙන් පමණක් නොවීම හේතුවෙනි. ඔහු විසින් මෙරට සිනමාව නම් විෂය කෙරෙහි කරන ලද්දා වූ මහ මෙහෙය සලකාගෙනය. ස්වකීය සිනමා ජීවිතයේ ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ වෘතාන්ත චිත්‍රපට 20 කි. විත්ති කතා දොළසකි. 1956 වසරේ රේඛාව තනා එයින් පනස් වස පිරුණු 2006 වසරේ අම්මාවරුනේ චිත්‍රපටයෙන් පසු ඔහු සිනමා නිර්මාණකරණයෙන් බැහැර විණ. එහෙත් සිනමාව පිළිබඳ ඔහුගේ දැනුම හා ඇල්ම යාවත්කාලීනය. අලුත් සිනමා කෘතීන් පමණක් නොව ලාංකික සිනමාවේ ඊළඟ පරම්පරාවේ නිර්මාණ කවරේදැයි කෙබඳුදැයි විමසා බලන්නට හේ උත්සුක වෙයි. චිත්‍රපටයක් දැක ගන්නට වර්තමානයේ සිනමාහලකට ඔහු ගොඩ වන්නේ කලාතුරකිනි. එහෙත් ලැබෙන ඕනෑම චිත්‍රපටයක් නරඹන්නට ඔහු අතපසු නොකරයි. ඔහු ගුණ යහපත්කම ගැන කතා කරන්නේ ගුරුවරයකුගේ දැනුම ඉක්ම වූ පීතෘත්වයේ සංකේතය බවට පත් වෙමිනි. ලෝකයේ බොහෝ රටවල සිනමාවේ රුව ගුණ තේජස වෙනස් කරමින් නව සිනමා සම්ප්‍රදායක් ගොඩ නැඟූ සිනමාකරුවන් බොහොමයකි. එහෙත් ආචාර්ය ලෙස්ටර් එයින් වෙනස් වනුයේ ඔහු ඊළඟ පරම්පරාව සමඟ කිසි විටෙකත් ගැටුම් ඇති කර නොගැනීමෙනි. ඔහු සිනමාව යනු යාවත්කාලීන වන විෂයයක් ලෙස අනු දත්තේය. එය අලුත් වන්නට නම් එනම් දිනපතා අලුත් ආකල්ප පිරි පරම්පරාවක් බිහි විය යුතු වග වටහා ගන්නේය. එමෙන්ම අලුත් පරම්පරාව වෙනුවෙන් පෙනී සිටීමට ඔහු කිසි විටෙකත් පැකිලුණේ නැත. එය සිනමාවේ ලෙස්ටර් ලකුණෙන් බිඳුවකි. අලුත් පරපුරේ චිත්‍රපටයක් වාරණය අභියස සිරවද්දී ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අවංක හැකියාවක් ආචාර්ය ලෙස්ටර්ට තිබේ. ඒ ගැන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම ආදීන් පවා සාක්කි සපයනු ඇත. 1956 වසරේ නිර්මාණය කරන ලද රේඛාවට 2016 වසරේදී හැට විය සපිරෙයි. 1919 වසරේ උපන් හෙතෙම සිය මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය කරනු ලබනුයේ 37 වැනි වියේදී පමණය. ඒ වන විට කෙටි චිත්‍රපටකරුවකු ලෙස ඔහු සම්මානයට පාත්‍ර වී අවසන්ය. වාර්තා සිනමාකරුවකු ලෙස හෙතෙම නමක් දිනා තිබිණ. කොළඹ දෙහිවල උපන්, ශාන්ත පීතර විද්‍යාලයෙන් උගත් ඉංග්‍රීසි පන්නයට හැදුණු ආචාර්ය ලෙස්ටර් ලංකාව දැක්කේ සිනමා ඇසෙනි. ඔහු ජීවිතය විනිවිද සොයා ගියේ සිනමා ඇසෙනි. ඔහු සිනමාවට ආදරය කළා සේම කලාව පිළිබඳ විශේෂයෙන් රසාස්වාදනය පිළිබඳ උගත්තේ ඒ වන විට කොළඹ නගරය හා තදාසන්න ඉංග්‍රිසි උගත් තරුණ පෙළ අතරේ ගොඩ නැඟෙමින් පැවැති ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් හැටියටය. ආචාර්ය ලෙස්ටර් මෙන්ම ඔහුගේ ලෝ පතල සොයුරු චිත්‍ර ශිල්පී අයිවන් පීරිස් ද එකී ප්‍රබෝධයේ ආලෝකය ලද්දාහුය. ඒ නිසාම ඒ වන විට මෙරට සිනමා රසිකයන්ගේ ඔළු ගෙඩි පුරවමින් සිටි දකුණු ඉන්දියාවේ දෙමළ සිනමාවෙන් නොව ඉඳහිට හෝ තිරගත වූ සිටිසන් කේන් වැනි සම්භාවනීය චිත්‍රපට නරඹා රස විඳින්නට ලෙස්ටර් සමත් වූයේය. ආසියාවේ පැරැණිතම සිනමා සමාජය වන කොළඹ සිනමා සමාජයේ අදටත් යාවජීව සාධකය ආචාර්ය ලෙස්ටර්ය. පසුව ලන්ඩනයේ ගත කළ කාලයේදී දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු යුරෝපයේ ගොඩ නැඟුණු නව සිනමාවේ ප්‍රබෝධය ආචාර්ය ලෙස්ටර් වැනි තරුණයකුට අලුත් ආශ්වාදයක් වූවා නිසැකය. ඔහු මෙරටට යළි එන්නේ රජයේ චිත්‍රපට අංශයටය. එය එවකට යුරෝපයේ විශිෂ්ට වාර්තා සිනමාකරුවන්ගේ නිර්මාණශීලී ගුණයෙන් ඔපවත් වූ ආයතනයක් විය. වරක් ආචාර්ය ලෙස්ටර් පැවසූ පරිදි ඔහු මුල් වරට වියළි කලාපය දකින්නේ එහි සේවය කළ නිසාවෙනි. එය කදිම අධ්‍යයනයකැයි හැඟෙන්නේ ඔහුට මෙරට අසිරිය දකින්නට ලැබෙන්නේ සිනමා ඇසෙන් වීම නිසාය. 1956 රේඛාවේ විප්ලවයට ඔහු සම්බන්ධ වනුයේ එතෙක් පැවැති සිනමා සම්ප්‍රදාය හා ආකල්ප සමඟ ද සටන් වදිමිනි. ඒ වන විට ලාංකික සිනමාවේ මෝගල්වරයා වූ ශ්‍රීමත් චිත්තම්පලම ඒ. ගාඩිනර් රේඛාව නරඹන්නට ගොසින් පවසන්නේ ලංකාවේ චිත්‍රපට 'සැඩ සුළං' වැනි උසස් ගණයේ චිත්‍රපට විය යුතු වගය. ඒ ඔවුන් සිතූ සැටිය. රේඛාව මුලින් නරඹන එක් ප්‍රේක්ෂකයකු පවසන්නේ ඒ නැරැඹූ සල්ලිවලට කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් වඩා හොඳ බවය. දෙවනුව තැනෙන සංදේශය සඳහා සීමාසහිත සිනමාස් අධිපති කේ. ගුණරත්නම් ඔහු සොයා යන්නේ රේඛාවට වසඟවීමෙන් නොවේ. චෙකොස්ලෝවැකියාවේ කාලෝවිවාරි උළෙලේදී රේඛාව දකින ඉන්දීය සිනමාකරු රාජ් කපූර්ගේ රෙකමදාරුවකටය. රේඛාව තනන්නට එක් වන මුල් ආයෝජකයා වන ක්‍රිස්ටෝපර් පීරිස්, සෙනට් සභික සරත් විජේසිංහ වැනි චිත්‍රලංකා සමාගමේ හිමිකරුවන් සමකාලීන යුරෝපීය කලාවන්ගෙන් පෝෂණය ලැබූවන් වීම සැලකිය යුත්තකි. එතෙක් පැවති ඉන්දීය සම්ප්‍රදායෙන් එක එල්ලේම මිදීම නොකළ යුත්තක් නිසාවෙන්දෝ ආචාර්ය ලෙස්ටර් රේඛාවට ගීතාවලියක් එක් කරන්නේය. එය ද එවකට ජනප්‍රිය ඉන්දියානු ගී තනු අනුකරණයක් නොවේ. නිවාඩුවකට ලංකාවට ගොඩ බසින ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා විචාරිකා මාරියා ෂෙල් ගල්කිස්ස හෝටලයේ නැවතී සිටියදී අලුත් සිංහල චිත්‍රපටයක් නැරැඹීමට තිබූ ඇගේ අවශ්‍යතාව අනුව ඇය වැල්ලවත්තේ රොක්සි සිනමා ශාලාවට කැඳවා ගෙන ගොස් ඒ කාලයේ තිබූ අමුතුම ජාතියේ සිංහල චිත්‍රපටයක් වූ රේඛාව පෙන්වන්නට ටැක්සි රියැදුරකු තීරණය කරනුයේ අහම්බයක් ලෙස ද නැත්නම් දෛවෝපගත ලෙසදැයි මම නොදනිමි. එයින් වසඟ වූ මාරි, කාන් සිනමා උළෙලට රේඛාව තෝරා ගත් විට එරට තිරගත කරනුයේ ගීතවලින් තොර පිටපතක් වීම විශේෂයකි. ලංකාවේ ආකල්ප හා වෙනස් ලෝකයක් සමඟ ගැටෙන ආචාර්ය ලෙස්ටර්ට දශකයක ඇවෑමෙන් ශ්‍රීමත් ගාඩිනර්ගේ සිලෝන් තියටර්ස් සමාගමේ අනුබද්ධිත සිලෝන් ස්ටුඩියෝස් ආයෝජනයෙන් ලාංකික සිනමා ඉතිහාසයේ අසමසම නිර්මාණය වූ නිධානය නිර්මාණය කරන්නට හැකිවීම මෙරට සිනමාවේ ආකල්ප පරිවර්ථනයේ අවස්ථාවකි. සිනමාව සරල විනෝදාස්වාදයෙන් බැහැර ගැඹුරු රසාස්වාදනය කරා ගෙන යන්නක් වග පේ‍්‍රක්ෂක සිත් සතන්වලට කා වැද්දීම පහසුවක් නොවේ. වර්තමානයේ හොඳ චිත්‍රපට සොයා මෙරට ප්‍රේක්ෂකයන් පෙළඹීමේදී ඒ සඳහා ආකල්ප පරිවර්තනයකට ආචාර්ය ලෙස්ටර්ට මහත් අරගලයක් කරන්නට සිදු විය. එහි ප්‍රතිඵලය විඳින්නේ අද පරම්පරාවය. එපමණක් නොව ලාංකික චිත්‍රපට සංරක්ෂණයේ අවශ්‍යතාව ඔහු දුටුවේ 1983 දී චිත්‍රපට විනාශ වන්නට දශක දෙකකට පමණ පෙරදීය. මෙරට සිනමා සංරක්ෂණයේ අවශ්‍යතාව ඔහු දකින්නේ පළමු වතාවට 1955 වසරේ පමණ අතීතයේය. එදා මෙදාතුර තවමත් නිසි ලෙස සිදු නොවන සිනමාවේ කාර්යය ද එයයි. එදා ඔහුට සවන් දුන්නා නම් එමෙන්ම අද වන විට කර වටක් ගිලී ගියද තවමත් පූර්ණ විසඳුමක් නොලැබුණ ලාංකික සිනමාවේ ඩිජිටල් ගැටළුව පිළිබඳ අනාගත වාක්‍ය ආචාර්ය ලෙස්ටර් පවසා සිටියේ දැනට දශකයකට මත්තෙනි. ලෝකයේ බොහෝ රටවල සිනමා ඩිජිටල් තාක්ෂණයට හැරෙන වගත් දළ සේයාපටයේ වැඩ ගන්න අවසාන පරම්පරාව තමන් ඇතුළු චිත්‍රපට නිර්මාණය කරන පිරිස බවත් ආචාර්ය ලෙස්ටර් ප්‍රසිද්ධියේ පවසද්දී හැම විටම ළිං මැඩියන් වූ ලාංකික සිනමාව එකල ද ඒ ගැන සිතන්නට අවස්ථාවක් ගත්තේ නැත. සුමිත්‍රා පීරිස් මැතිනියගේ උපන් දිනය යෙදුණු ගෙවුණු බ්‍රහස්පතින්දා සවස එම නිවසට ගිය මම ආචාර්ය ලෙස්ටර් සමඟ කතාවට වැටුනෙමි. ඔහු කතා කළේ ලෝක සිනමාව ගැනය. අපේ සිනමාව ගැනය. අපේ අලුත් පරම්පරාව ගැනය. සරසවිය මෙවර සිනමා උළෙලේදී හඳුන්වා දෙනු ලබන නව පරපුරේ සිනමාකරුවන් උදෙසා පිරිනැමෙන සම්මානය එතුමන් නමින් නම් කරන ලද්දේ ද අපේ සිනමාවේ අනාගත වක්තෘවරයාට ගෞරවයක් ලෙසිනි. ඔහුම පැවසූ පරිදි ඔහුගේ චිත්‍රපට භාෂාව සිංහල හෝ දෙමළ නොවේ. තනිකරම සිනමාවය. මේ මහා සිනමාවේදියාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය පතමු.
ලෙස්ටර් ශ්‍රී ලංකාවේ සිනමාවේ දොරට වඩී
මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් වියතාණන්ගේ අනූ හත් වනි ජන්ම දිනය නිමිති කර ගනිමින් අජිත් ගලප්පත්ති විසින් සම්පාදනය කරනු ලැබූ ලෙස්ටර්... ශ්‍රී ලංකාවේ... සිනමාවේ නම් වූ ග්‍රන්ථය මෙම මස 05 වැනිදාට යෙදෙන එතුමන්ගේ ජන්ම දිනය දා කොළඹ 5 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි එතුමන්ගේ නිවසේදී එහි පළමු පිටපත එතුමාණන්ට පිළිගන්වනු ලබයි. මෙම ග්‍රන්ථය ඉතාම දුලබ ඡායාරූප රැසකින්ද සමන්විතය. මෙය ජනගත කිරීමේ උත්සවය ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙනු ලබයි. - ප්‍රසාද් |