වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයේ රන් විමනේ මැණික් සඳක් පායලා...

ආදරයේ රන් විමනේ මැණික් සඳක් පායලා...

‘හෙළ ගී ලොව රැජන’ කියා පමණක් ඇය හඳුන්වා දීමට මට සිත් නොදේ. ඒ ඇය රැජනක් නොව ‘අග රැජන’ක් ම බැවිනි. හෙළයේ ගීත කෝකිලාව ද ඇයම වේ. අපේ ගී ලොව කොතරම් ප්‍රවීණ, විශිෂ්ට ගායිකාවන් සිටිය ද මතු කී විශේෂණ පද යෙදිය හැකි එකම ගායිකාව ඈ පමණකි.

ඒ කලාසූරී ලතා වල්පොලය. අපට වඩාත් සමීප ලෙස පවසතොත් ආදරණීය ලතා අක්කාය. රිදී සීනු පරයන ඇගේ රන් ස්වරය, ජීවිතයේ සෝ ළතැවුල් නිවා දමමින් හද වෙණ තත් ඉසියුම් ලෙස පිරිමදින්නේ අපූරු ලතාවකටය. එකී ගී ලතාවේ අරුමය නොවිඳි ලාංකික ගී රසිකයකු වෙතොත් එය ද අරුමයකි.

1934 ක් වූ ඉල් මස 11 වැනිදා ගල්කිස්සේදී උපන් පුංචි බිළිඳියට මවුපියන් තැබූ නම රීටා ජෙනිව් ප්‍රනාන්දුය. පසු කලෙක ‘ලතා’ නමින් ඈ ගායන ලොව අබිසෙස් කරනු ලැබුවේ සුසිල් ප්‍රේමරත්නයන්ය. මේ අසහාය ගීත කෝකිලාවට දැන් වයස අවුරුදු අසූ දෙකකි.

වයස අවුරුදු දාහතරේදී වින්සන්ට් ද අල්විස් සමඟ ‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ ගීතය ගයමින් ඈ ගී ලොවට පිවිසියාය. තවමත් ඇගේ ගී හෙඬි මියුරු බව හෝ එහි ජීවමය ගුණය වියැකී ගොස් නැත. මේ ගෙවී යන්නේ ඇගේ සොඳුරු ගී චාරිකාවේ හැට අට වැනි වසරයි.

ඒ සා දිගු කාලයක් පුරාවට අඛණ්ඩව ගී ලොවේ රැඳී සිටි අපේ එකම ගායිකාව ලතාය. සැබැවින්ම එය දුලබ වාසනා මහිමයක් ද නැතහොත් ආශ්චර්යක්දැයි මම නොදනිමි. කෙසේ වුව ද පියාගේ විරුද්ධත්වය මැඬගෙන ආ මවගේ ආශිර්වාදය ලතා වල්පොල නැමැති අසමසම විශිෂ්ට ගායිකාව හෙළ ගී ලොවට තිළිණ කරන්නට සමත් වූ බව නම් ඇත්තකි.

ලතා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයෙනි. පාසලේ විවිධ ප්‍රසංග ආදියෙහි ඈ නිරන්තරයෙන් ගී ගැයුවාය. රැගුම් ඉදිරිපත් කළාය.

එකල ඇගේ ප්‍රියතම ගායිකාවන් දෙපළ වූයේ රුක්මණී දේවී සහ චිත්‍රා සෝමපාලය. ඈ බොහෝ විට පාසල් විවිධ ප්‍රසංගවලදී ගායනා කරනු ලැබුවේ රුක්මණී ගේ සහ චිත්‍රාගේ අතිශය ජනප්‍රිය ගීතයන්ය.

පුංචි කාලේ ඉඳන්ම මම පල්ලියේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා. මගේ ගායන හැකියාව දැකපු විල්මන් සිල්වා කියලා අපේ පවුලේ හිතවතෙක් සී. ඒ. ෆොන්සේකා කියන නාට්‍ය ශිල්පියා මට හඳුන්වලා දුන්නා. ඔහුගේ නාට්‍යවල අත්වැල් ගායනයට මාව සම්බන්ධ කර ගත්තා.

ඒ තමයි මගේ ගායන ජීවිතයේ මුල් අඩිතාලම. මේ නාට්‍යවල සංගීතය සැපයීමට ආපු වින්සන්ට් ද අල්විස් ගුවන් විදුලි ගායකයෙක්. ඔහු සමඟ ගීතයක් ගායනා කිරීමට මට අවස්ථාව උදා වුණා.

‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ කියන ඒ ගීතය සංගීතවත් කළේත් වින්සන්ට්මයි. ඒ 1947 වසරේදී. එය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා.

අනතුරුව සරල ගී වැඩ සටහනක් සඳහා අර්වින් ෆොන්සේකා සමඟ යුග ගීයක් ගැයීමේ අවස්ථාව ලතාට උදා විය. ‘නමෝ මරයනි’ නම් වූ එම ගීතය එකල ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූයේ ඇයට ගී ලොවේ දිගු ගමන් යෑමට අවැසි වාසනා මහිමය ළඟා කර දෙමිනි.

කාලියදාස කුරුකුලසූරිය එම ගීතය රචනා කළ අතර සංගීතවත් කළේ අර්වින් ෆොන්සේකාය. එසමයෙහිම ඈ සුසිල් ප්‍රේමරත්න හා සී. ටී. ප්‍රනාන්දු සමඟින් යුග ගී කිහිපයක්ම ගායනා කළාය. ඒ මියුරු ගීතාවලිය පරම්පරා කිහිපයකම රසික සිත් ප්‍රබෝධමත් කරමින් තවමත් ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹේ.

වින්සන්ට් ද අල්විස් තමයි මට සුසිල් ප්‍රේමරත්න සහ සී. ටී. ප්‍රනාන්දු හඳුන්වා දුන්නේ. රීටා ජෙනිවි කියන මගේ නම ලතා කියලා වෙනස් කළේත් සුසිල් ප්‍රේමරත්නයන්.

මම ඔහුත් සමග ගායනා කළ ‘රූ රැසේ අඳිනා ලෙසේ’, ‘සෝක නෑනේ මේ දැන්’, ‘කළු කැලණි නදී’ වැනි ගීත ඉතාමත් ජනප්‍රිය වුණා.

ඒ කාලෙම මම සී. ටී. ප්‍රනාන්දු එක්කත් ගීත කිහිපයක්ම ගායනා කළා. ‘ලෝ අඩ නින්දේ’, ‘සැළලිහිනි කොවුල්’, ‘මල්බර හිමිදිරියේ’ කියන ඒ ගීත අදටත් ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයත් එක්ක මට ප්‍රසංග වේදිකාවේ ගී ගයන්නත් අවස්ථාව ලැබුණා.

ලතා වඩාත් ජනකාන්තභාවයට පත් වූයේ චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසිනි. මේ වන විට ඇය ගී ගැයූ චිත්‍රපට සංඛ්‍යාව පන්සියය ද ඉක්මවා ගොස් තිබේ. ඇගේ ගී හඬ ඔස්සේ තම රංග ලාලිත්‍යය ඔප්නංවා ගත් නිළියන් ද බොහොමයකි. එහෙත් ඈ චිත්‍රපට පසුබිම් ගායනයට පැමිණීයේ තම පියාගේ බලවත් විරෝධය හා අකැමැත්ත මැදිනි.

සිය ආදරණීය දියණියගේ අනාගත ඉරණම ඉවෙන් මෙන් හඳුනා ගත් ලතාගේ මව සැමියාගේ විරෝධය ද නොතකා ඇයගේ ගමන් මඟට ශක්තියක්, ධෛර්යයක් වන්නට ඉටා ගත්තාය. වරෙක ලතා අක්කා ඒ අතීත සිදුවීම් මා හා පැවසුවේ මෙලෙසිනි.

මම චිත්‍රපටවලට සම්බන්ධ වෙනවාට අපේ තාත්තා කොහෙත්ම කැමැති වුණේ නෑ. මුලින්ම මට කතා කළේ ‘සුජාතා’ චිත්‍රපටයේ ගීයක් ගායනා කරන්න. ඒත් තාත්තාගේ බලවත් විරෝධය හින්දා ඒ අවස්ථාව මඟ හැරුණා.

ඊට පස්සේ තමයි ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කරපු ‘එදා රෑ’ චිත්‍රපටයට ගීයක් ගයන්න ආරාධනා ලැබුණේ. ඒත් තාත්තා කැමැති වුණේම නෑ. ඒ මදිවට පල්ලියේ ස්වාමිත් ඒකට විරුද්ධ වුණා. පස්සේ මම බිෂොප් ළඟට ගිහින් බොහොම අමාරුවෙන් කැමැත්ත අරගෙන ‘එදා රෑ’ චිත්‍රපටයට ගීතයක් ගායනා කළා. ඒක යුග ගීතයක්. හර්බි සෙනෙවිරත්නයි, මමයි ගායනා කරපු ‘හරි හරි කාලේ’ ගීතයයි ඒ. ‘මයි ප්‍රීති ප්‍රීති ඩාලිං’ කියලා ගීතයකුත් ගැයුවා මතකයි. මට මතක හැටියට වංශවතී දවුල්ගල වෙනුවෙන් තමයි ඒ ගීත මම ගායනා කළේ.

‘හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිනුවේ

සිත ඊර්ෂ්‍යාමාන ගති නැති නිසාම අපි

ප්‍රේම තරගෙ දිනුවේ’

ලතා, ධර්මදාස වල්පොල සමඟ එම ගීතය ගායනා කළේ ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයටය. මුලින් ඇයට මේ ගීතය ගැයීමට නියමිතව තිබුණේ අරුණ ශාන්ති සමඟිනි. ඔහුගේ ප්‍රමාදයක් නිසා වාදක මණ්ඩලයේ සිටි තරුණ බටනලා වාදකයාට ඒ අවස්ථාව ලබා දීමට චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත්, සංගීත අධ්‍යක්ෂවරයාත් තීරණය කළේය. ඒ තරුණයා ධර්මදාස වල්පොලය. ‘හොඳ හොඳම වේය ලොව‘ ගීතය සමගින් ඇරැඹි ලතා- ධර්මදාස වල්පොල සුසංයෝගය ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත කලාවේ නව පරිච්ඡේදයක ඇරැඹුම විය.

‘එදා රෑ’ චිත්‍රපටයට මම ගායනා කරපු ගීත ඒ තරම් ජනප්‍රිය වුණේ නෑ. ඒත් මගේ නම ක්ෂේත්‍ර්යේ ප්‍රසිද්ධියට පත් වුණා. ඔය අතරේ තමයි එස්. එම්. නායගම් මට කතා කළේ ‘ප්‍රේම තරගය’ට ගීත ගායනා කරන්න. නෑදෑ ගෙදරක යනවයි කියලා තාත්තාට හොරෙන් අම්මයි මමයි ගීත පටිගත කරන්න ඉන්දියාවට ගියා. තාත්තා ඇත්ත දැනගෙන අයියවයි, අක්කවයි ගෙදරින් පන්නලා තිබුණා. අපි ඉන්දියාවේ ඉඳන් ඇවිත් නතර වණේ ක්‍රිස්ටි නානායක්කාර කියන මගේ ලොකු අම්මාගේ පුතාගේ ගෙදර. ඉතිං ඒ වගේ හොරෙන්, හොරෙන්, බයෙන්, බයෙන් ආපු ගමනක් මේක. ඇත්තටම චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට මට ස්ථාවර වෙන්න ලැබුණේ ‘ප්‍රේම තරගය’ නිසා. ‘හොඳ, හොඳම වේය ලොව‘ ඇතුළු ගීත හතරක් අපි ගායනා කළා ඒ චිත්‍රපටයට.

1952 සිට 1960 දක්වා වූ කාලය ඇතුළත චිත්‍රපට තිස් තුනක ගී ගැයීමේ අවස්ථාව ලතාට ලැබුණි. පියාගේ දැඩි විරෝධය මැද ඇය සිය මව සමඟින් ඒ සඳහා නිතර, නිතර ඉන්දියාවට ගියාය. ලතා ගායන ක්ෂේත්‍රයට පිවිසෙන යුගයේදී අපේ සිනමාවේ අරන් ගෙන සිටියේ ජික්කි, ජමුනා රාණි, කේ. රාණි වැනි දකුණු ඉන්දීය ගායිකාවන්ය. ඔවුන් එදා සිංහල ගීත ගායනා කළේ එකී වචන ඔවුනට ග්‍රහණය වූ ආකාරයටය. ඒ බොහෝ ගීත දමිළ ඌරුව සහිත ගායනාවන්ය. දක්ෂිණ මූර්තිගේ සංගීතයට කේ. රාණි විසින් ‘සැඩ සුළං’ චිත්‍රපටයට ගැයූ ‘ඕ යෙන්න... ඕ යෙන්න ප්‍රීති වෙන්න මා හා - නෝනා මහතුනි මේ බලන්න යෙන්න, යෙන්න මේ දිහා’ වැනි ගීතයක් ඊට කදිම නිදසුනකි. ලතාගේ ආගමනයත් සමඟින් එකී දකුණු ඉන්දීය ගායිකාවන් නැවත ඉන්දියාවට හරවා යැවීමට චිත්‍රපට නිෂ්පාදකයන්ට සිදු විය. ඒ. එම් රාජා, නාගේෂ්වර රාඕ වැනි දකුණු ඉන්දීය ගායකයක් හට අත් වූයේ ද මේ ඉරණමය.

මම සින්දු කියන්න එන කාලේ දකුණු ඉන්දියානු ගායක ගායිකාවෝ අපේ සිනමාව ආක්‍රමණය කරලා තිබුණේ. රුක්මණී දේවි, ජී. එස්. බී. රාණි, මොහිදීන් බෙග් වගේ අයත් එදා සිනමාවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ. ඒත් ඔවුන් සිංහල ජාතිකයන් නෙවෙයි. මමයි, ධර්මදාස වල්පොලයි තමයි ඒ සිංහල, අපේ හඬ සිනමාවට ගෙනාවේ. ‘ප්‍රේම තරගයෙන්’ පස්සේ ධර්මදාසයි මමයි එක දිගට චිත්‍රපට තිහක, තිස් පහක ගීත ගායනා කළා. ඒ වෙන කොට අපේ සිනමාවේ හිටපු එකම සිංහල ගායිකාව මම. මගේ දෙවැනි චිත්‍රපටය වූ ‘ප්‍රේම තරගය’ට මම ගීත ගැයුවේ අයේෂා වීරකෝන් වෙනුවෙන්. තුන්වැනි චිත්‍රපටය ‘අහංකාර ස්ත්‍රී’ එකේ මම සින්දු කිව්වේ රත්නා කුමාරි ද සිල්වාට. එතැන් ඉඳලා අපේ නිළියෝ හැට තුන් දෙනෙකු වෙනුවෙන් මම ගීත ගායනා කර තිබෙනවා.

ඒ ලැයිස්තුව ඉතා දිගු වූවකි. මේ ඒ අතරින් ලතා අක්කාගේ මතකයට නැඟුණු නම් කිහිපයක් පමණි. වංශවතී දවුල්ගල, ෆ්ලොරිඩා ජයලත්, ලීනා ද සිල්වා, ක්ලැරිස් ද සිල්වා, ජීවරාණි කුරුකුලසූරිය, පුණ්‍යා හීන්දෙනිය, රෝහිණී ජයකොඩි, ලැටීෂියා පීරිස්, සුවිනීතා වීරසිංහ, සෝභනී අමරසිංහ, උදුලා දාබරේ, ගර්ලි ගුණවර්ධන, ශාන්ති ලේඛා, විජිත මල්ලිකා, ස්වර්ණා කහවිට, මාලිනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, ගීත කුමාරසිංහ, වසන්ති චතුරාණි, සෝනියා දිසා, සබීතා පෙරේරා, ඩිලානි අබේවර්ධන, දිල්හානි ඒකනායක, සංගීතා වීරරත්න, චතුරිකා පීරිස්, අනර්කලී ආකර්ෂා වැනි පරම්පරා කිහිපයක නිළියන් වෙනුවෙන් ඇය නිර්ලෝභීව සිය ගායන දායකත්වය එක සේ ලබා දුන්නාය. ජෝතිගේ හඬ සෑම නළුවකුටම ගැළපුන අයුරින් ලතාගේ ගී හඬ ද ඒ සෑම නිළියකටම මනාව ගැළපුණි.

ඇත්තටම තව ගොඩක් නිළියන්ට මම ගීත ගායනා කළා. සමහර චිත්‍රපටවල එකම නිළිය වෙනුවෙන් ගීත තුන හතරක් ගැයුවා. ඒ හැමෝටම මගේ හඬ හොඳින් ගැළපුණා. විශේෂයෙන්ම දිල්හානි අශෝකමාලාට මගේ හඬ වඩාත් හොඳින් ගැළපුණා කියා මම හිතනවා. ඒ වගේම ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා වගේ නිළියන් වෙනුවෙනුත් මගේ හඬ ගොඩක් වෙලාවට යොදා ගත්තා.

‘හීන හතක් මැද විමනක් සැදුනයි

සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි

වාසනාවේ මල් හදවත පිපුණයි

ගීත නාද දෙව් ලෝකෙන් ඇසුණයි’

ලතා වල්පොල පළමු වරට හොඳම ගායිකාව ලෙසින් ‘සරසවිය’ සම්මානය හිමි කර ගත්තේ මෙම ගීතය සඳහාය. මඩවල එස්. රත්නායක රචනා කළ අමරදේවයන්ගේ සංගීතයෙන් හැඩ වූ මෙම ගීතය ඇතුළත් වූයේ ‘ගැටවරයෝ’ චිත්‍රපටයටය. ඉන්පසු ඈ ‘නාරිලතා’ සහ ‘ඔක්කොම කනපිට’ චිත්‍රපට උදෙසා ද හොඳම ගායිකාව ලෙස ‘සරසවිය’ සම්මානයට පාත්‍ර වූවාය. එහෙත් අප රටේ සම්මාන උලෙළවලදී ඇයට උපරිම සාධාරණයක් ඉටු නොවුණා යැයි කියා මට සිතේ.

මම සම්මාන බලාගෙන ගී ගැයූ ගායිකාවක් නෙවේ. ඔය හැම සම්මානයකටම වඩා මට වටින්නේ ජනතා සම්මානය. ඒත් මට සම්මාන නොලැබුණාම නෙවෙයි. හොඳම ගායිකාව විදිහට මම තුන් වතාවක් ‘සරසවිය’ සම්මානය හිමි කර ගත්තා. 1992 වසරේ මට ‘රණ තිසර’ සම්මනයත් ලැබුණා. ඒ වගේම ‘දීපශිඛා’, ‘ජනාධිපති’ ‘ ‘ර්‍ණ.ඛ්.ධ්.ඛ්’ ‘ස්වර්ණ සංඛ’ වැනි සම්මානත් හිමි වුණා. නමුත් යම් යම් අවස්ථාවල අසාධාරණකම් වුණා. ඒත් මම ඒවා ගණන් ගත්තේ නෑ. ‘වසන්තයේ දවසක්’ චිත්‍රපටයට ටී. එම්. ජයරත්නයි, මමයි ගායනා කළ ‘මාල ගිරා ‘ගීතයට ටී. එම්. ට සම්මාන ලැබුණා. මම ඒ ගීතයේ පොඩි කොටසයි ගායනා කළේ. කේමදාස මාස්ටර් වරක් මා සමඟ පැවසුවා ඔහු ඒ සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සිටියා නම් හොඳම ගායිකාවට හිමි සම්මානය දෙන්නේ මට කියා.

ලතා අක්කා එසේ පවසන්නේ සිනහමුසු මුහුණෙනි. සැබැවින්ම ඇය නොලැබුණ දේට හඬා වැටුණු තැනැත්තියක් නොවේ. එසේ වූවා නම් ජීවන ගමන් මඟෙහි මෙන්ම කලා ලොවේ ද මෙතරම් දුරක් පියමං කරන්නට ඇයට හැකි වන්නේ නැත.

‘සතුට සෝකේ ජය පරාදේ

අපටමයි මේ ලෝකයේ

එයට පිටුපා මෙලොව මිනිසා

කිසි තැනකදී නෑ ගියේ’

ලතා, ‘ධීවරයෝ’ චිත්‍රපටයට ගැයූ එම ගීතය කරුණාරත්න අබේසේකරගේ පදවැලකි. ගීතය සංගීතවත් කළේ එම්. කේ. රොක්සාමිය. එම ගීතමය ජවනිකාවට රංගනයෙන් දායක වූවේ එවකට ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹුණ සන්ධ්‍යා කුමාරිය. ඒ ගීතයේ අරුත ලතා අක්කාගේ ජීවන ගමන් මඟේ ආදර්ශ පාඨය වූවාදැයි මට සිතේ. ජනප්‍රියත්වය, කීර්තිය නිසා හිස උදුම්මා නොගන්නටත්, සෝ ළතැවුල්, දුක් සංකා ඉදිරියේ හඬා නොවැටෙන්නටත් ඇයට හැකි වූයේ එනිසාවෙන්ම විය යුතුය.

සිනමාවට පැමිණි මුල් යුගයේ ඇයට බොහෝ විට ගායනා කරන්නට ලැබුණේ හින්දි අනුකරණ ගීතය. එහෙත් ගායනයේදී ඇය ඒ ගී තමන්ගේ බවට පත් කර ගත්තාය. ඒ ඇතැම් ගායනාවන් මුල් ගායිකාවගේ හඬ මෙන්ම ගායන කෞෂල්‍යය ද පරයා ගිය බව සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් එකල අතැම් විචාරකයන් පවසා සිටියේ අනුකාරක ගී රැල්ලට ගොදුරු වීම නිසා ලතාගේ ගායන දිවිය එක් තැනක සිර වූ බවකි. පසු කලෙක ඈ ඒ චෝදනා පුස්සක් බවට පත් කළාය.

ඒ කාලේ වැඩිපුරම අපට ගායනා කරන්න සිද්ධ වුණේ හින්දි තනුවලට නිර්මාණය වූණ ගීත. නමුත් ඒවා රසිකයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම හැම දකුණු ඉන්දීය සංගීතඥයෙක්ම අනුකරණයේම ගැලී සිටියේ නෑ. විශේෂයෙන්ම ආර්. මුත්තුසාමි ‘අහංකාර ස්ත්‍රී’, ‘මාතලන්’ වගේ චිත්‍රපටවලට ඉතාමත් ලස්සන ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කළා. ඒත් අවාසනාවකට වගේ ඒ කාලේ කාගේවත් අවධානය ඒවාට යොමු වුණේ නැහැ. ඒ හැරුණු කොට මොහොමඩ් ගවුස්, දක්ෂිණ මූර්ති, ටී. එෆ්. ලතීෆ්, ටී. ආර්. පාපා වගේ සංගීතඥයනුත් ඉතා මියුරු ගී තනු මට නිර්මාණය කර දුන්නා. ආචාර්ය අමරදේවයන්, කේමදාස මාස්ටර්, සරත් දසනායක, වික්ටර් රත්නායක, සෝමපාල රත්නායක, සරත් ද අල්විස්, සරත් වික්‍රම වැනි අපේ සංගීතඥයන් අතින් බිහිවුණ ඉතා විශිෂ්ට, ජනප්‍රිය ගී තනු ගායනා කිරීමට මට අවස්ථාව සැලසුණා. ඒ තනුවල තිබූ මිහිරියාව හා හැඟීම්බර බව නිසයි රසිකයෝ ආදරයෙන් ඒ ගීත වැලඳ ගත්තේ.

ඇගේ ගී මඟ සරුසාර පදවැලින් සැරසූ ගීත රචකයන් ද බොහෝය. මේ මොහොතේ ඔවුන් පිළිබඳ සිහිපත් කිරීම අපගේ යුතුකමකි. හර්බි සෙනෙවිරත්න, ඩී. ටී. ප්‍රනාන්දු, ලුවී රුද්‍රිගෝ, හියුගෝ ප්‍රනාන්දු, බෙනඩික්ට් ප්‍රනාන්දු, කරුණාරත්න අබේසේකර, බෙනඩික්ට් ජෝශප් පියතුමා, හර්බට් එම්. සෙනෙවිරත්න, විල්ෆ්‍රඩ් සිල්වා, චිත්‍රානන්ද අබේංසේකර, අරිසෙන් අහුබුදු, මඩවල එස්. රත්නායක, සිරිල් ඒ. සීලවිමල, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, උපාලි අත්තනායක, නිහාල් ඒ. ජයසිංහ, චන්ද්‍රා වයමන් වැනි ගී පද රචකයන් ඒ අතරෙන් ප්‍රධානය.

‘පොකුරු පොකුරු මල් සැනකෙළි ඔමරි ලතාවයි

නුහුරු හැඟුම් මා වට කර රඟන ලතාවයි . . .’

අජන්තා රණසිංහ චිත්‍රපට ගීත රචනා කලාවට පා ඔසවන්නේ වාසනා’ චිත්‍රපටයට ලතා වල්පොල ගැයූ ඒ ගීතයත් සමඟිනි. එය සංගීතවත් කරනු ලැබුවේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ‘වාසනා’ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ අධ්‍යක්ෂණයකි.

දශක හතකට ආසන්න කාලයක් පුරා ඇගේ ගී හඬට වඩාත් ප්‍රේමණීය බවක් එක් කරකමින් ඈ හා යුග ගී ගායනයට සම්මාදම් වූ ගායන ශල්පීන් ද මේ මොහොතේ මා මතකයට නැගෙන්නේ නිරායාසයෙනි. සුසිල් ප්‍රේමරත්න, සී. ටී. ප්‍රනාන්දු, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග් වැනි ගායන ශිල්පීන් ඇයට සහාය ගායනයෙන් එක් වන්නේ මුල් අවධියේදීමය. ඒ ගීත බොහොමයක්ම තවමත් රසික මතකයෙන් බැහැරව ගොස් නැත. ඉන් පසු අමරදේව, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන, එම්. එස්. ප්‍රනාන්දු, ග්‍රේෂන් ආනන්ද, රූකාන්ත ගුණතිලක ආදීන්ද ලතා සමඟ එක්ව යුග ගී ගායනයෙන් අපේ ගී කෙත අලංකාර කළේ වරක් දෙවරක් නොවේ. ඒ පිළිබඳ ලතාගේ මතකය අවධි වන්නේ මෙලෙසිනි.

මම හිතන්නේ සිනමාවේදී මගේ හඬ වඩාත්ම ගැළපුණේ ධර්මදාස වල්පොලට. ඊට පස්සේ ජෝති සහ ග්‍රේෂන් ආනන්දගේ හඬත් මගේ හඬ හා හොඳින් සැසදුණා. අමරදේව, සනත් නන්දසිරි හා වික්ටර් රත්නායක වගේ ගායන ශිල්පීන්වත් අමතක කරන්න බෑ. ‘වසන්තේ දවසක්’ චිත්‍රපටයට ආචාර්ය කේමදාසයන්ගේ සංගීතයට අනුව සනත් හා මා ගායනා කළ ‘දේදුන්නෙන් එන සමනළුණේ’ මා ඉතාමත් ප්‍රිය කරන ගීතයක්. ඒ වගේම තමයි වික්ටර් තනු නිර්මාණය කරමින් මා හා ගායනා කළ ‘ගහ කොල මල්’ , ‘හිනැහෙන්න රෝමියෝ මමයි’ වැනි ගීතත් රසිකයෝ ආදරයෙන් වැළැඳ ගත්තා.

‘සැඩසුළං’ චිත්‍රපටයට ෆ්ලොරිඩා ජයලත් වෙනුවෙන් ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී’ ගීතය ගායනා කරන ලද්දේ භාරතයේ මහා ගායිකා ලතා මංගේෂ්කාර්ය. එහෙත් අපේ ලතා වල්පොල ඉන්දියාවේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුටම පසුබිම් ගී ගැයූ බව අප අමතක නොකළ යුත්තකි. මෙම ගායනා සිංහල දෙබස් කැවූ චිත්‍රපටවල ඇතුළත්ව තිබේ.

වෛජයන්ති මාලාගේ රංගනය වෙනුවෙන් ලතා ‘පතිවත’ චිත්‍රපටයට ‘මේ මාගේ ලෝකේ ඔබනේ’ ගීතය ගැයුවාය. නිම්මිගේ රංගනය උදෙසා ඇය ‘මාගේ නම අබ්දුල් රෙහෙමාන්’ ගීතය ගැයුවේ ‘අයියයි මල්ලියි’ චිත්‍රපටය වෙනුවෙනි. ‘ දිස්නෙ දීලා එන්න චන්ද්‍රා’, ‘හද තුළ මේ කවුද’ ගීත නිම්මිගේ රංගනය උදෙසා ලතා ගැයුවේ ‘අංගුලිමාල’ චිත්‍රපටයටය. ‘බෘන්දා වනයේ’, ‘නිල් මැණික මගේ’, ‘ලෝකය කාටත් සමානයි’, ‘ඕ රාත්‍රියේ මේයාමේ’ වැනි ගීත ‘අහිංසක ප්‍රයෝගය’ චිත්‍රපටයට ඈ ගායනා කළේ හින්දි සිනමාවේ සුරූපී නිළි මීනා කුමාරි වෙනුවෙනි. සාවිත්‍රී, චිත්‍රා, ක්‍රිෂ්ණා කුමාරි, නන්දා, අචලා සච්දේව් වැනි එදා භාරතයේ සිටි ජනප්‍රිය නිළියන් රැසකටම ලතා සිය අපූැ්ව ගායන ලාලිත්‍ය සහ මියුරු ගී හඬ දායාද කළාය.

සිනමා ලොවට කලක් නැතිවම බැරි ගායක, ගායිකාවන් වූයේ ධර්මදාස හා ලතාය. රිදී තිරය මත නළු, නිළියන් වෙනුවෙන් සුමිහිරි යුග ගී ගැයූ ඔවුන් සිය ජීවන ගමන් මඟෙහි සෙනෙහසින් අත්වැල් පටලා පිය මැන්නේ ද සංසාරයේ පතා ආ විලසිනි.

1957 දි අපි විවාහ වුණා. 1958 දී ලොකු පුතා සුනෙතුත්, 1960 දී දෙවැනි පුතා අමිතුත් අපට ලැබුණා. ධම්මිකා ඉපදුණේ 1964 දී. බාලම පුතා චමින්ද 1968 දී. ධර්මදාසයි මමයි අවුරුදු විසි පහක් එකට ජීවත් වුණා. අපි බොහොම සමගියෙන්, සමාදානයෙන් හිටියේ. එයා ප්‍රතිපත්ති ගරුකව ජීවත් වුණ කෙනෙක්. කවදාවත් සංගීතය හෑල්ලුවට ලක් කළේ නෑ. දරුවන්ටත් ඔහු සංගීතය විෂයක් හැටියට ඉගැන්නුවා.

සෙසු කලා පවුල්වලට සාපේක්ෂව බලන කළ ධර්මදාස ලතා යුවලගේ දරුවන් සිව් දෙනාම කලා ලොවට පිවිසීම විශේෂත්වයකි. සුනෙත්, අමිත්, චමින්ද පුතුන් තිදෙනාම සිය පියාගේ ගායන පෞරුෂය විනාශ නොකර, විකෘති නොකර ඉදිරි පරපුර වෙත රැගෙන යාම අගය කළ යුතුය. දියණිය ධම්මිකා ද සිය මවගේ වටිනාකමත්, විශිෂ්ටත්වයත් තේරුම් ගත් දියණියක වීම ද ඒ තරමටම අගය කළ යුතුය. ඇගේ සැමියා මහින්ද බණ්ඩාර ද වල්පොල පවුලට ආඩම්බරයකි.

රොන් සොයා පියඹන සමනලියක සේ ගී ලොවට පියමං කළ ඈ ආදරයේ රන් විමනේ පෑයූ මැණික් සඳක් සේ අප හද මඬල ප්‍රභාමත් කළ අයුරු විශ්මයජනකය. විටෙක සොඳුරු සිහිනයක අප සිත් සතපවාලන ඇගේ රන් ස්වරය තව වරෙක නිදි දැහැන් බිඳිමින් ආදරයේ විජිනිපතින් අප හදවතට පවන් සළයි. ඒ ගී හඬට පෙම් නොබඳින්නේ ඇලුම් නොකරන්නේ කවුරුන්ද?