වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




කිංස්ලි - ප්‍රියා එක්වෙලා බෙනීටාගේ තාත්තා හදලා

කිංස්ලි - ප්‍රියා එක්වෙලා බෙනීටාගේ තාත්තා හදලා

ප්‍රවීණ රංගන ශිල්පී කිංස්ලි ලෝස් රචනාකර අධ්‍යක්ෂණය කරන ‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය හෙට (අප්‍රේල් 01) කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කිරීමට කටයුතු යොදා තිබේ. ‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍ය ඉදිරිපත් කිරීම ඩ්‍රීම් තියටර්ස් වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ප්‍රියා රණසිංහ විසිනි.

කාලයකට පසු අපූරු සංයෝගයක්. කිංස්ලි ලෝස් සහ ප්‍රියා ආයෙමත් වේදිකාවෙන් හමු වෙනවා නේද?

“එහෙමත් වෙන්න එපැයි නේද ප්‍රියා. මම මේ වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්නේ අවුරුදු දහයකට විතර පසුවයි. අපි ඉතින් පසුගිය කාලයේම ටෙලි නාට්‍යවලට හිර වෙලා හිටිය නිසා වේදිකා නාට්‍යයකින් ප්‍රේක්ෂකයන් හමු වෙන්න බැරි වුණා. අපිට කවදාවත් වේදිකාව අමතක කරන්න බැහැ නේ. මොකද අපේ රංගන ක්ෂේත්‍රයේ උපත සිදුවුණේ වේදිකාවෙන් නේ.”

“ඒක නම් ඇත්ත කිංස්ලි අයියේ. අපිට රංගනයෙන් මේ තරම් දුර එන්න පන්නරය දුන්නේ වේදිකාවනේ. අපි අලුත් ටෙලි නාට්‍යයකට සූදානම් වෙලා ඉන්න වෙලාවේ තමයි අයියා මට මේ වේදිකා නාට්‍ය ගැන අදහස කිව්වේ. ඉතිං මම ඒ වැඩේ පසුවට කල් තියලා අපේ ඩ්‍රීම් තියටර්ස් කණ්ඩායම වෙනුවෙන් ‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍ය නිෂ්පාදන කාර්යය භාර ගන්නා තීරණය කළා.”

කිංස්ලි අයියේ, මේ වේදිකා නාට්‍ය කරන්න විශේෂ හේතුවකුත් ඇති නේද?

විශේෂ වූ කියලා නම් හේතුවක් නැහැ. අපේ කලා ක්ෂේත්‍රයයේ ආරම්භය වූ වේදිකාවට තියෙන ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වර්තමානයේ නාට්‍ය කලාව යන ආකාරය දැක්කම දැන් වේදිකා නාට්‍යයක් කළා නම් හොඳයි කියලා හිතුනා. මම වේදිකාවට පය තැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගුරුහරුකම් සමඟින්. වේදිකාවේ ස්වර්ණතම යුගය වු 70 දශකයේත් අපි වේදිකාවේ හිටියා. 80 දශකයේත් හිටියා. ඉන් පසුව කාලයත් සමඟ වෙන වෙන මං සොයා ගිහින් නාට්‍යයක් කරන්න ඕනි කියලා මට හිතෙනකොට තීරණය කළේ, නාට්‍ය කලාව පෝෂණය කරනවා වගේම කවදත් වේදිකව වෙනුවෙන් සිටි ප්‍රේක්ෂකයන්ටත් ගෞරවයක්, ප්‍රණාමයක් විය යුතු නාට්‍යයන් නිර්මාණය කරන්නයි. ඒ එක්කම නාට්‍ය කලාවට යහපතකුත් විය යුතුයි කියන සිතුවිල්ලත් තිබුණා.

ප්‍රියා අක්කේ, හැත්තෑව දශකයෙන් වේදිකාවට පැමිණි ඔබත් යළි වේදිකා නාට්‍ය නිර්මාණයකට දායක වන්නේ බොහෝ කලකට පසු නේද?

ඇත්තටම මගේත් රංගනයේ ආරම්භය සිදු වුණේ වේදිකාවෙන්. නමුත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සමඟින් කටයුතු කරන්න පටන් ගත්තාට පසුව රංගනය වගේම අධ්‍යක්ෂණය සමඟින් කාර්යබහුල වීම නිසා පසුගිය කාලයේ වේදිකා නාට්‍යකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැති තරම්. මෑතකදි කිංස්ලි අයියා මුණ ගැහුණ වෙලාවක අලුත් වේදිකා නාට්‍ය ගැන අදහසක් සමඟින් එයට දායක වෙන්න ආසාවක් ඇති වුණා. මගේ පළමු වැනි වේදිකා නාට්‍ය ‘සීමා බන්ධන’ නිෂ්පාදනය කළෙත් මම. ඉන් පසුව තවත් වේදිකා නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කළා.

කිංස්ලි අයියාගේ අත්දැකීම් එක්ක මට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් කියලා හිතුවා. ඇත්තටම අයියා ගැන තියෙන විශ්වාසයට තමයි ‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණේ. අනික දැන් වේදිකාව විහිළු රැල්ලකට හසු වෙලා. ඒ තත්ත්වය වෙනස් කරන්නත් අපිට ඕනි වුණා.

“ලොකුම විහිළුව අපි රැවටෙන එක. මේ නාට්‍යය කියන්නෙත්, දැනුවත් වෙන්න ජනතාවට වුවමනාවක් නැතිතාක් කල් ඔවුන් පාලනය කරන්නේ කපටියන් බවයි. හැඟීම්බර මෝඩයන්ගෙන් රටකට වැඩකුත් නැහැ. නේද ප්‍රියා.”

ඒක එහෙම තමයි. ඒ වුණත් කිංස්ලි අයියේ මං හිතන්නේ මේ නාට්‍යය ගැන ගැඹුරින් හිතුවොත් ලොකු විහිළුක් වගේම පොඩි රැඩිකල් ගතියකුත් තියෙනවා කියලයි.

“එහෙම නැතුවත් බැහැනේ.”

‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍ය අනිතුක් නිර්මාණ අතරින් වෙනස් වෙන්නේ කොහොමද?

මේක ලංකාවේ පසුබිමක යන නාට්‍යයක් නොවෙයි. නමුත් ලෝකයේ කොහෙත් වුණත් මේ දේ සිදු වෙනවා. ඒ අනුව ‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍ය නාට්‍යයට පසුබිම් වන්නේත් අතීතයේ සිද්ධ වුණු, වර්තමානයේ සිද්ධ වෙන අනිවාර්යයෙන්ම අනාගතයේත් සිදු විය හැකි සිදුවීම් පෙළක්. අපි මෙහිදී කියන්නේ තම ආදරණීය පුතු මරා දැමූ මිනිමරුවන් නිරුවත් කළ පියෙකුගේ උත්තරීතර ක්‍රියාන්විතය යි.

‘බෙනීටාගේ තාත්තා’ සමඟින් සම්බන්ධ වන පිරිවර පිළිබඳත් සඳහන් කරමු?

මේ වෙනුවෙන් මා සමඟින් ප්‍රියා රණසිංහ. සම්පත් තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි, ශ්‍රීමතී හීනටිගල, ප්‍රසාද් සූරියආරච්චි, අජිත් ලොකුගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ යොවුන් සංගීතවේදියෙකු වන දිනේෂ් සුබසිංහ. නාට්‍ය පුරාවටම සංගීතය යොදා ගන්නවා. විශේෂයෙන්ම මෙහිදී වයලීනය භාවිත කෙරෙනවා. ඒ වගේම සංගීතවේදියාත් වේදිකාවේ පෙනී සිටිනවා. ඒ නිසා සංගීතයත් මේ නාට්‍යයේ එක් චරිතයක්. පසුතල නිර්මාණය කරන්නේ අජන්ත අලහකෝන්. ඇඳුම් නිර්මාණය කරන්නේ ප්‍රියා විසින්මයි.