|
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ අද ඇරැඹෙයිනාට්යවල ගුණාත්මක බව සේම විවිධත්වයත් වැදගත්එම්.සෆීර්
2016 කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ පස්වැනි වරටත් අද දින සවස 7.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවකාරයෙන් ආරම්භ වෙයි. මේ රංග කලා උලෙළ පිළිබඳත්, එය සාර්ථක කර ගැනීමට මුහුණ පෑ කටුක අත්දැකීම් පිළිබඳත් කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේ අධ්‍යක්ෂ එම්. සෆීර් සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවකි.
මෙවර අපේ සමාරම්භක උලෙළ පවත්වන්නේ ගිය වසරේ මෙන් මවුන්ට් ලැවීනියා හෝටලයේ නොවෙයි. එනම් එය පැවැත් වෙන්නේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ. එහෙත් මවුන්ට් ලැවීනියා හෝටලයමයි අපට මෙවරත් සහයෝගය දක්වන්නේ. ඊට ම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවත් මෙවර සහභාගි වීම විශේෂත්වයක්. ඒ නිසා බොහොම අභිමානවත්, උත්කර්ෂවත් සම්මාන උලෙළක් පවත්වන්න හැකිවේවි ය යන බලාපොරොත්තුවෙනුයි අප සිටින්නේ.
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේ වේදිකා නාට්‍ය වේදිකා ගත වන්නේ අප්‍රේල් 01 වැනිදා සවස 7.00 ට කොළඹ බ්‍රිතාන්‍ය පාසල් රංග ශාලාවේදීයි. එය අවසන් වන්නේ 06 වැනිදා. ඒ කාලය ඇතුළත එහි වේදිකා නාට්‍ය රැසක් වේදිකා ගත වෙනවා. මේ උලෙළට සමගාමීව කොළඹ නාට්‍ය කතිකාවක් ද පැවැත්වීමට නියමිතයි. ඒ අප්‍රේල් 02 වැනිදා සිට 04 වැනිදා දක්වා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී. ඒ වගේ ම නාට්‍ය වැඩමුළුවක් ද පැවැත් වෙනවා. ඒ අප්‍රේල් 01 වැනිදා සිට 06 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී.
මෙවර ජාත්‍යන්තර නාට්‍ය උලෙළට රටවල් පහකින් දවස් හයක් ඇතුළත නාට්‍ය නිර්මාණ දහසයක් වේදිකා ගත කරන්නට නියමිතයි. ඒ සඳහා ජර්මනිය, ජෝර්ජියාව, ඉන්දියාව, ඉතාලිය හා ශ්‍රී ලංකාව යන රටවල් වේදිකා නිර්මාණ ඉදිරිපත් කරලා තිබෙනවා. මා ආරාධනා කරන්නේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට ඇවිත් මේ නාට්‍ය නරඹලා වෙනස් අත්දැකීමක් විඳගන්න යන්නයි. මොකද කිසිම දවසක නැරැඹිය නොහැකි වේදිකා නාට්‍ය රැසක් මෙහිදී ඔබට නරඹන්නට හැකිවේවි. නිදසුනක් විදියට ජෝර්ජියාව වගේ රටක නිර්මාණය වන නාට්‍යයක් කිසිම දිනක අපේ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට නොලැබෙන නිසයි මා එලෙස පවසන්නේ. ගෙවුණු වසර කිහිපයේ දී මේ වනවිට උලෙළ යම් වර්ධනයකට ඇවිත් තිබෙන බවක් අපට පෙනෙනවා. ඒ අතරට මෙවර නාට්‍ය උලෙළේ දී ප්‍රේක්ෂකාගාරය පිරිලා ඉතිරිලා යයි කියන බලාපොරොත්තුවත් නැතිවා ම නොවෙයි.
ජාත්‍යන්තර රංග කලා උලෙළට නාට්‍ය තෝරා ගන්න ක්‍රමවේදය අපි මෙවර වෙනස් කළා. ඒ විශේෂඥ කමිටුවක් මඟින් නිර්මාණ තෝරා ගැනීමෙන්. නාට්‍ය උලෙළට අයැදුම්පත් හැත්තෑවකට වඩා ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණා. ඒ අතරින් උලෙළේ නීතිරීතිවලට අනුකූලව, විධිමත් ආකාරයෙන් එවන ලද අංග සම්පූර්ණ අයැදුම්පත් විසිහතක් තෝරාගනු ලැබුවා. මේ කමිටුව මඟින් ඒ නිර්මාණ විසි හත ම නැරැඹුවා. ඒ විසි හතෙන් නිර්මාණ දහතුනක් ම ඉදිරිපත් වී තිබුණේ ඉන්දියාවෙන්. නමුත් අප කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ පවත් වන්නේ දින හයකදියි. ඉන් එක් දවසක් අපේ රටට ඉවත් කළ යුතුමයි. එවිට ඉතිරි වන දවස් පහ අපට ගත හැක්කේ නිර්මාණ පහක් සඳහා පමණයි. එමෙන්ම අපට ඉදිරිපත් වූ නිර්මාණ විසි හතෙන් පහක් තෝරනවා කියන්නේ බොහොම අභියෝගාත්මක කාරණයක්. ඒ අභියෝගය කමිටුව භාර ගත්තා. එහිදි නාට්‍යවල ගුණාත්මක බව වගේ ම නාට්‍යවල විවිධත්වය පිළිබඳත් කමිටුව අවධානය යොමු කළා. කමිටුව එසේ කළේ එක ම විදියේ නාට්‍ය කිහිපයක් නරඹනවාට වඩා විවිධත්වයෙන් යුතු නාට්‍ය නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමටයි.
මේ කමිටුව අප තෝරා ගත්තේ නාට්‍ය පිළිබද දන්නා ප්‍රවීණ නාට්‍යකරුවන් පිරිසකුයි. එහිදී පරාක්‍රම නිරිඇල්ල, සෞම්‍ය ලියනගේ, වරුණ අලහකෝන්, ලූෂන් බුලත්සිංහල, පියල් කාරියවසම්, ඊ. එම්. ඩී. උපාලි, ජයලත් එස්. ගෝමස්, උදේනි අල්විස් සහ මගෙන් ද කමිටුව සමන්විතයි.
නාට්‍ය උලෙළ විශේෂත්ව කිහිපයකින් ම යුක්ත වෙනවා. ඒ විශේෂත්ව අතරට ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන්ගේ කෙටි නාට්‍ය දහයක් තෝරා ගැනීමත් ඇතුළත් වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන මාධ්‍ය ත්‍රිත්වයෙන් ම තෝරාගෙන ඇති මේ නාට්‍ය පසුගිය වසර දෙක ඇතුළත දී ජාතික මට්ටමේ තරගවලදී සම්මාන ලැබූ වේදිකා නාට්‍ය වීමත් විශේෂත්වයක්. මෙසේ සම්මාන ලැබූ කෙටි නාට්‍ය කිහිපය අප තෝරාගනු ලැබුවේ එක් කාරණාවක් නිසයි. ඒ එවැනි සම්මාන ලැබූ නාට්‍ය ජාත්‍යන්තර නිර්මාණකරුවන් ඉදිරියේ පෙන්වීම හරහා මේ කෙටි නාට්‍යකරුවන්ට හොඳ අවස්ථා උදාවේවි කියන බලාපොරොත්තුවෙන්.
ඉන් පළමු වැන්න වන්නේ සමාරම්භක අවස්ථාවයි. දෙවැන්න නාට්‍ය දර්ශන පැවැත්වීමයි. තුන්වැන්න කොළඹ නාට්‍ය කතිකාව කියන ජාත්‍යන්තර නාට්‍ය සම්මේලනයයි. සිව්වැන්න කොළඹ නාට්‍ය වැඩමුළු මාලාවයි. පස්වැනි විශේෂත්වය වන්නේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ සෑම වසරක ම නාට්‍යකරුවකු වෙනුවෙන් නම් කිරීමයි. ඒ අවස්ථාව සඳහා මෙවර තෝරාගත් නාට්‍යකරුවා වන්නේ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයි. ඒ වෙනුවෙන් ඔහු නිෂ්පාදනය කළ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය හෙට දිනයේ වේදිකා ගත කරන්නට සියලු කටයුතු සූදානම්. මේ ජාත්‍යන්තර රංග කලා උලෙළ සඳහා සෑම දිනෙක ම නාට්‍යකරුවන් දෙසියයක් පමණ සහභාගි වීමට නියමිතයි. ඒ අතරින් ශ්‍රී ලංකාවෙන් සහභාගි වන පනස් දෙනා එහාමෙහා වුවත් සතියක කාලයක් නාට්‍යකරුවන් එකසිය පනහක් මෙහි රැස් වෙමින්, අත්දැකීම් හුවමාරු කර ගනිමින්, දැනුම බෙදා ගනීවී යන අදහසිනුයි අප පසු වන්නේ. ඒ කාරණයත් පසුගිය වසර හතරේ නොමැති තවත් විශේෂත්වයක්.
විශේෂයෙන් ම නාට්‍ය උලෙළකට ප්‍රේක්ෂාගාරය වැදගත් අංගයක්. නාට්‍ය උලෙළ ආරම්භ කළ 2012 වසරේ පටන් පසුගිය වසර දක්වා කාලය ඇතුළත බොහෝ කරුණු සංසන්දනයක යෙදෙද්දී එදාට වඩා වසරින් වසර ම ප්‍රේක්ෂාගාරයේ ප්‍රේක්ෂකයන් වැඩිවුණු බවයි පෙනෙන්නේ. ඒ අනුව මේ වසරේ ගිය වසරටත් වඩා ප්‍රේක්ෂකයන්ගේ ගණන වර්ධනය වන බවයි මා සිතන්නේ.
පසුගිය වසර හතරේ ම අපි මේ නාට්‍ය උලෙළට පාසල් ළමයින් සහභාගි කර ගන්නට දැරුවේ මහත් වෙහෙසක්. එහෙත් ඒ අදහස ඵල දැරුවේ බොහොම අඩුවෙන්. ඒ නිසා ම මෙවර නාට්‍ය උලෙළේ දී අපි තීරණයකට පැමිණියේ 3.30 දර්ශනය නැවතත් නොපවත්වන්නයි. ඒ ඇයි ද යැයි කිව්වොත් ඒ දර්ශනය පැවැත්වීමෙන් සිදු වන්නේ අපට වියදම වැඩිවීම හා අපේ ශක්තිය විනාශවීමක් පමණයි. මේ නිසා අප මෙවර පවත් වන්නේ 7.00 දර්ශනය පමණයි. විශ්වවිද්‍යාල ළමයින් මීට සහභාගි කර ගැනීමට අප වෙහෙසුණත් ඊට නොදෙවැනි අයුරින්. ඒදේ සිද්ධ වුණේ නාට්‍ය උලෙළ පවත්වා දෙවැනි අවුරුද්දේ දී. අපි, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ එකතු වෙලා නාට්‍ය නිෂ්පාදන කිහිපයක් කැලණිය, ශ්‍රීපාලි මණ්ඩපය, පේරාදෙණිය, නැගෙනහිර යන විශ්වවිද්‍යාලවලට යවන ක්‍රම කිහිපයක් ම නිර්මාණය කළා. එහෙත් ඒ කාලයේ මේ කටයුත්ත පිළිබඳ සමහර අයට තිබුණු අනවබෝධය, නොවැදගත්කම ආදී කාරණා රැසක් මූලික කරගෙන ඒ අදහස ක්‍රියාත්මක වුණේ නැහැ. |