|
බොමුද සීතල වතුර විදුරුවක් තිස්ස උඩංගමුව මියයයි
අපට සිටි පැරැණිම රංගන ශිල්පියකු වූ තිස්ස උඩංගමුව පසුගියදා ජීවන රඟමඬලින් සමුගෙන ගියේය. මේ දිනවල නිතර විකාශය වන 'බොමුද සීතල වතුර විදුරුවක්' යන වාක්‍ය ඛණ්ඩය ඇතුළත් වෙළෙඳ දැන්වීමෙහි අඹ සීයාට රඟපෑවේ ඔහුය. ජීවිතයේ සැඳෑ සමයේ අසනීපව ගම්පොළ රෝහලේ සිටි තිස්ස මිය යන විට වයස අවුරුදු හැත්තෑ හයක් විය. චන්ද්රතිස්ස ඒකනායක උඩංගමුව යනුවෙන් උපන් නම ලද ඔහු තම රංගන ජීවිතය වෙනුවන් තිස්ස උඩංගමුව ලෙසට නම තබා ගත්තේය. මාතලේ දකුණේ උඩංගමුව ග්‍රාමයේ උපත ලද තිස්ස ඉගෙනුම ලැබුවේ මාතලේ විජය විද්‍යාලයෙනි. මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ සන්දේශය සිනමාපටයෙහි පෘතුගීසි තරුණයෙකු ලෙස රංගනයේ යෙදෙමින් සිනමාවට පිවිසියේය. ඒ 1960 වසරේදීය. අනතුරුව වීර පුරන් අප්පු, බැද්දේගම, අජාසත්ත (පැරැණි) කලියුගය, යුගාන්තය, මල්දෙණීයේ සිමියොන් ආදී චිත්‍රපට රැසක තිස්ස රඟපෑවේය. අධිෂ්ඨානය චිත්‍රපටයේ ආරච්චිල චරිතය මෙන්ම චිට්ටි චිත්‍රපටයේ අවිවාහක මාමාගේ චරිතය ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂී මං සලකුණු වේ. ගම්පොළ පදිංචිව සිටි තිස්ස කොළඹට පැමිණ පදිංචිවීමට දැඩි අකැමැත්තක් පළ කළේය. එයට හේතුව වශයෙන් ඔහු පෙර දිනෙක සඳහන් කළේ කොළඹ කර්කශ පරිසරය තුළ ජීවත්වීමට තමන් අකැමැති බවය. කෙසේ වෙතත් ඒ හේතුව නිසාම තිස්සට බොහෝ රංගන අවස්ථා ඇහිරී ගියේය. එනමුදු ඉඳහිට හෝ රඟන චරිතය වුවද එය ප්‍රේක්ෂක අවධානයට පාත්රවන ලෙසටම ඔහු රඟපෑවේය. තිස්ස ටෙලි නාට්‍ය ගණනාවකම කැපී පෙනෙන චරිත මැව්වේය. උන්මාද රාත්‍රිය, පිටගම්කාරයෝ, මාලතී මල්, කඩවර ඉන් කිහිපයකි.
ෆ්‍රෙඩීගේ බිරිය කමලා සමු ගනියි
සිංහල සිනමාවේ හාස්‍යෝත්පාදක රජු ලෙස සැලකෙන ෆ්‍රෙඩී සිල්වාගේ ආදරණිය බිරිය වූ කමලා ස්වර්ණලතා සිල්වා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු හැත්තෑ හතකි. නැසීගිය ජනේෂ් සිල්වා සහ චාන්දනී සිල්වා ඇයගේ පුතු සහ දියණිය වේ. ස්වර්ණලතා මහත්මියගේ අවසන් කටයුතු පසුගියදා පිළියන්දලදී සිදු විය.
අශෝක පේ‍්‍රමචන්ද්‍ර අභිනන්දන උළෙල
ප්‍රවීණ ලේඛක අශෝක පේ්රමචන්ද්රයන් හට උපහාර පිදීමේ උළෙලක් කොටිකාවත්ත සණස මෙහෙයවීමෙන් අප්‍රේල් මස 03 වැනි ඉරිදා සවස 3.00 ට කොටිකාවත්ත සණස ශාලාවේ දී පැවැත්වේ. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ලේඛන කලාව විෂයය කර ගනිමින් එහිදී උපහාර දේශනය පවත්වනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මැතිතුමා විසිනි. සිංහල, ඉංගී්රසි, ගද්‍ය - පද්‍ය ග්රන්ථ දහඅටක් පේ‍්‍රමචන්ද්‍ර මහතා ලියා ඇති අතර ඉන්"මුල්ලේරියාවේ අභිමානය, දෙනුවර රණමඬල සහ මුල්ලේරියාවේ පෙම් පුවත යන ග්රන්ථ ත්‍රිත්වය කැපී පෙනේ. මෙම අභිනන්දන උළෙල කොටිකාවත්ත සණස දියත් කරනු ලබන ව්‍යාපෘති මාලාවේ විශේෂ අංගයකි. මෙය සම්බන්ධීකරණය කරනු ලබන්නේ වන මාධ්‍යවේදී, ලේඛක එඩ්වඩ් චන්ද්‍රසිරි විසිනි.
ඒ රූපය ‘ඔබ පමණයි මගේ පැතුම’
පසුගිය මාර්තු 17 වැනිදා සරසවිය පුවත්පතහි පසු කවරෙහි පළ වූ ලාංකේය සිනමාවේ මහ නළු නිළි යුවළ වූ ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාගේ සේයාරුව සඳහන් වුණේ නයනා චිත්‍රපටයේ. එහෙත් එය සරසවිය පුවත්පතේ 1971 වසරේ පළ වූ ඡායාරූප කතාවක් වූ ඔබ පමණයි මගේ පැතුම උදෙසා ලබා ගත් ඡායාරූපයක්. එම ඡායාරූපය රැගෙන තිබුණේ බන්දු එස්. කොඩිකාරයි. මෙම කතාව රචනා කොට තිබුණේ ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේනයි. අපේ පාඨකයකු වූ ක්‍රිස්ටෝපර් රාජසේකර එම වරද පෙන්වා දුන්නාට ස්තුතිවන්ත වෙමු.
සෞන්දර්ය සහෘද සංසදයේ මහා සභා රැස්වීම 2 වැනිදා
එක්සත් ජාතික කලා සංසදයට අනුබද්ධිත සෞන්දර්ය සහෘද සංසදයේ මහ සභා රැස්වීමක් අප්‍රේල් මස දෙවැනිදා එනම් එන සෙනසුරාදා උදෑසන ගම්පහ ගජබා මාවතේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ කාර්යාලයේදි පැවැත්වෙයි. එදිනට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පදිංචි සියලුම කලා ශිල්පීන්ට මේ සඳහා සහභාගිවන්නට යැයි සංවිධායක මණ්ඩලය විසින් විවෘත ආරාධනාවක් කරනු ලබයි. - ප්‍රසාද්
දෙමළ නාට්‍ය කලා ඉතිහාසයේ මංසලකුණු සහ සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් ගැන කියවෙන වින්දනීය සිනමා ප්‍රේමය ඇතුළු සරසවියේ සුපුරුදු විශේෂාංග ලබන සතියේ නැවත පළ වේ. |