|
||||||||
එදා හැමෝගේම උනන්දුව සරසවිය ගැනයි
ප්‍රථම හොඳම නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහගේ පුත් ඇන්ටොනින් වික්‍රමසිංහ
1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා තම පළමු නිර්මාණ කාර්යය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.
සිංහල සිනමා වංශ කතාවේ සුවිශේෂි වූ චරිත අතරට ඇන්ටන් වික්‍රමසිංහ නාමයද එක් වන්නේය. ව්‍යාපාරිකයෙකු වුවත් හෙතෙම කලාවට නෑදැකම් කියන්නේ නිෂ්පාදන අංශයෙනි. මෙරට විශිෂ්ටතම සිනමා සිනමා නිර්මාණයක් වන ගම්පෙරළිය චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේද ඔහු විසිනි. සරසවිය සම්මාන උලෙළේ සම්මානනීය වූ සුවිශේෂ චරිත සොයා යන ගමනේදී ඇන්ටන් වික්‍රමසිංහයන්ද විශේෂ වේ. මන්ද ඔහු ගම්පෙරළිය නිෂ්පාදනය වෙනුවෙන් ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ හොඳම නිෂ්පාදක ලෙසින් සම්මානනීය වීම හේතුවෙනි. එහෙත් අද ඇන්ටන් වික්‍රමසිංහයන් අප අතර නැත්තේය. ඔහුගේ මතක සුවඳ ගෙන විදෙස්ගතව සිටි වැඩිමහල් පුතු ඇන්ටොනින් වික්‍රමසිංහ මෙරටට පැමිණ සිටින්නේය. එදා සරසවිය සම්මාන උලෙළ සේම ගම්පෙරළිය චිත්‍රපටයේ නිර්මාණ කාර්යයත් සමඟින් චිත්‍රපට නිෂ්පාදන ඇන්ටන් වික්‍රමසිංහගේ මතකය ඇන්ටොනින් වික්‍රමසිංහ සිහිපත් කරන්නේ මෙලෙසින්. තාත්තාගේ සිනමා කටයුතු සමඟින් ඔබේ මතකය බැඳෙන්නේ කොහොමඳ ? තාත්තා සිනමාව වෙනුවෙන් බොහොම ඇප කැප වෙලා කටයුතු කළා මට මතකයි. එයාගේ පැරණිම මිතුරෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එක්ක එකතු වෙලා 1963 වසරේදී ගම්පෙරළිය, 1966 වසරේදී දෙලොවක් අතර චිත්‍රපට නිර්මාණය කළා. ගම්පෙරළිය ලාබ ලැබූ චිත්‍රපටයක් නොවුනාට තාත්තා නිෂ්පාදනය කළ සිංහල සිනමාවේ තවත් අග්‍රහණ්‍ය සිනමා නිර්මාණයක් වූ දෙලොවක් අතර නිෂ්පාදන අංශයෙන් ලාබ ඉපැයූ චිත්‍රපටයක් වුණා. ඒ කාලයේ අපේ තාත්තා, ලෙස්ටර් මහත්තයා, සුමිත්‍රා පීරිස් මහත්මිය හැමෝගෙම එකතුවෙන් සිනෙ ලංකා සමාගම පිහිටුවා ගෙන සිටියා. තමන්ගේ පැරණි මිත්‍රයා වූ ලෙස්ටර් විවාහ දිවියට පත් කරන්න අපේ තාත්තට ලොකු උනන්දුවක් තිබුණා. “ඔයා දැන් බැන්දේ නැත්නම් ආයේ කවදාවත් බඳින එකක් නැහැ” කියලා අපේ තාත්තා ලෙස්ටර් මහත්තයාට නිතරම කියනවා මටත් ඇහිලා තියෙනවා. කොහොම හරි ලෙස්ටර් - සුමිත්‍රා විවාහය සිදු වුණෙත් අපේ ගෙදර. තාත්තා ව්‍යාපාරිකයෙක් වුණත් ඊටත් වඩා හොඳ කලාකරුවෙක් වුණා. ඔහු 1972 වසරේ ඇකඩමි සම්මාන උලෙළට පවා සහභාගි වුණේ ගොඩක් ආසාවෙන්. 1975 වසරේදී සම නිෂ්පාදනයක් ලෙසින් ජොනී ෆයර්ක්ලවුඩ් නම් හොලිවුඩ් චිත්‍රපටයටත් දායක වුණා. ඒක ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් නිර්මාණයක්. මෙරට විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙසින් සැළකෙන ගම්පෙරළිය චිත්‍රපටයේ මතකය ? ගම්පෙරළිය චිත්‍රපටයේ රූගත කිරීම් කළේ මහකප්පින වළව්වේ. එහි අපේ අම්මාගේ අක්කා තමයි ජීවත් වුණේ. ගම්පෙරළිය චිත්‍රපටයට ඒ වළව්ව හොඳින් ගැලපුණා. මාස කිහිපයක් එහි රූගත කිරීම් සිදු කළා. මට මතකයි අම්මාගේ අක්කා කියනවා ගම්පෙරළියෙන් පස්සේ ආයෙමත් ගෙදර තීන්ත ගාන්න නම් වෙයි කියලා. මොකද චිත්‍රපටය කළු සුදු නිසා බොහෝ තැන් වල ඒ වර්ණ මතු වෙන විදියට පසුබිම සකසන්න නිර්මාණ කණ්ඩායමට සිදු වුණා. ගම්පෙරළිය රූගත කරන කොට මගේ වයස අවුරුදු පහළොවක් විතර ඇති. මමයි මල්ලියි තාත්තා එක්ක ගම්පෙරළිය දර්ශන තලයට ගියා. මම කරන්නේ එහි තාක්ෂණික ශිල්පීන් සමඟ කතාබහ කරමින් ඔවුන්ගේ කටයුතු ගැන විමසන එකයි. මගේ මල්ලී නම් එහි නන්දාගේ සහ ජිනදාසගේ විවාහ උත්සවයේ පොඩි දර්ශනයකට පෙනී සිටියා. සරසවිය සම්මාන උලෙළ ගැන මතකය සිහිපත් කළොත් ? සරසවිය සම්මාන උලෙළ ඒ කාලයේ ඉතාම උත්කර්ෂවත් අයුරින් සිදු කෙරෙන සිනමා උලෙළක්. දැන් වගේ ඒ කාලයේ රූපවාහිනිය එහෙම නැහැනේ. සිනමාව තමයි මිනිසුන්ට ගොඩක් ළං වුණේ. සිනමා නළු නිළියන්ට ජනතාව දැක්වූයේ පුදුම ගෞරවයක්. කලා ක්ෂේත්‍රයේ හැමෝගෙම උනන්දුව සරසවිය සම්මාන උලෙළ කෙරෙහි යොමු වෙලා තිබුණේ. ප්‍රථම සරසවිය සම්මාන උලෙළ කලාත්මක විදියට පැවැත්වුණේ. එහි බොහොම ගරු ගාම්භීරත්වයක් තිබුණා. 1964 වසරේදී එය පැවැත්වෙන විට ගම්පෙරළිය චිත්‍රපටය තිරගත වෙලා තිබුණේ. එදා ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබුවේ. ගම්පෙරළිය චිත්‍රපටය යි. ඒ විතරක් නෙවෙයි. හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම කැමරාකරණයට සරසවිය සම්මාන ලබනවිටදී හොඳම නිෂ්පාදකවරයා ලෙසින් අපේ තාත්තා සම්මාන ලැබීම මටත් විශාල සතුටක් වුණා. තාත්තා එදා සරසවිය සම්මානය ලබා ගත් අයුරු නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ රණ මයුර සම්මානය ලබමින් ජාත්‍යන්තර කීර්තිය ගම්පෙරළිය චිත්‍රපටයට විතරක් නොවෙයි රටටම හිමි වන්නක්. එදා තාත්තයි සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා තමයි ඒ උලෙළට සහභාගි වුණේ. තාත්තා රණ මයුර සම්මානය අරගෙන එන ඡායාරූප හැම පත්තරයකම වාගේ පළ වුණා. මම ඉස්කෝලේ ගියාම ළමයි මාව වටකර ගන්නවා. එතකොට ගම්පෙරළිය චිත්‍රපටය ගැන වගේම සරසවිය සම්මාන උලෙළ ගැනත් යාළුවන්ට කියලා ඉවරයක් නැහැ. ඒ වුණත් දැන් නම් ගම්පෙරළිය ගැන තියෙන්නේ කණගාටුවක්. එහෙම වෙන්න හේතුවකුත් ඇති? කවුරුත් සිංහල සිනමා වංශ කතාවේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙසින් අද ගම්පෙරළිය චිත්‍රපටය ගැන කතා කරනවා. නමුත් අද හැමෝගෙම මතකයේ ඉන්නේ අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් විතරයි. තාත්තාගේ අභාවයක් එක්ක ගම්පෙරළිය නිෂ්පාදනය කළේ ඇන්ටන් වික්‍රමසිංහ කියන එක කාටත් අමතක වෙලා. තවත් කාරණයක් තියෙනවා. මගේ මල්ලි නිසා ගම්පෙරළිය චිත්‍රපටයේ අයිතිය අපට නැති වුණා. ඒ ගැනත් මගේ හිතේ තියෙන්නේ ලොකු කණගාටුවක්. ඔබේ පියා නිෂ්පාදනය කළ දෙලොවක් අතර චිත්‍රපටයත් සිංහල සිනමාවේ සුවිශේෂි නිර්මාණයක් ? 1966 වසරේදී තිරගත වූ දෙලොවක් අතර චිත්‍රපටය සිංහල සිනමාවට වගේම මටත් සුවිශේෂ චිත්‍රපටයක් වුණා. මොකද එහි රූගත කිරීම්වල විශාල කොටසක් සිදු කෙරුණේ බෞද්ධාලෝක මාවතේ පිහිටි අපේ ගෙදර. ටෝනි රණසිංහ, සුවිනීතා අබේසේකර, ජීවරාණි කුරුකුලසූරිය, අයිරාංගනී සේරසිංහ වැනි නළු නිළියන් රැසක් එහි රඟපෑවා. ටෝනි රණසිංහගේ නිවෙස විදියට යොදා ගත්තේ අපේ ගෙදර. ඒ කාලයේ අද වගේ කලබලකාරී නැහැ. බොහොම සාමකාමී පරිසරයක් තිබුණේ. රූගත කිරීම් කටයුතු බොහොම නිදහසේ කරගන්න හැකියාව තිබුණා. දෙලොවක් අතර රූගත කරන්න කලින් අපේ ගෙදර තිබුණේ සිංගල් ෆේස් කරන්ට්. දෙලොවක් අතර කරද්දී තමයි අපේ ගෙදරට ත්‍රීෆේස් කරන්ට් ගත්තේ. ඒක මටයි මල්ලිටයි ලොකු දෙයක් වුණා. ඔබේ පියාගේ කලා ජීවිතය බැඳි තිබුණේ සිනමාව සමඟින් විතරක්ද? තාත්තා කාලයක් චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් දැරුවා ඒ කාලයේ මම ජීවත් වුණේ රෝමයේ. තාත්තා සංස්ථාවේ කටයුතු වෙනුවෙන් මොන තරම් කැප වුණාද කිව්වොත් තමන්ගේම සමාගමේ වැඩකටයුතු පවා මඟ හැරලා තිබුණා. අපි පුංචි කාලේ තාත්තා නිතරම අපිව චිත්‍රපට බලන්න එක්කරගෙන යනවා. තාත්තා සිනමාවට තිබූ ආසාව නිසාම අපටත් චිත්‍රපට නරඹන්න අවස්ථාව ලැබුණා. බොහෝ දෙනා හඳුනන්නේ තාත්තා චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසින්. ඒ වුණත් තාත්තා සිනමාවට විතරක් නොවෙයි චිත්‍ර කලාව වගේම සංගීතයටත් බොහොම ලැදි වු පුද්ගලයෙක්. මෙරට විශිෂ්ට සුප්‍රසිද්ධ කලාකරුවෙකු වූ ලයනල් වෙන්ඩ්ට්ගේ අභාවයෙන් පසුව එතුමා සතු වූ සිතුවම් එකතුව මිලදී ගත්තේ අපේ තාත්තා. සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට්ගේ චිත්‍ර එහෙමත් එතැන තිබුණා. තාත්තාගේ අභාවයෙන් පස්සේ ඒවා අයිති වුණේ මගේ මල්ලිට. ඔහු ඒ සිතුවම් සියල්ල විකුණා දැමුවා. ඒ විතරක් නොවෙයි තාත්තා හොඳ සංගීත ශිල්පියෙක්. තාත්තාට හොඳව පියානෝව වාදනය කරන්න පුළුවන්. ඒ වගේම රවිකිඤ්ඤය වාදනය කරන්නත් ඔහු ඉතාම දක්ෂයි. ගෙදර විවේකීව ඉන්නවා නම් ඔහුගේ මියුරු සංගීත වාදනයකට සවන් දෙන්න පුළුවන්.
|
||||||||