වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දවස්වල අම්මලා මට කෙනෙක් හොයනවලු

මේ දවස්වල අම්මලා මට කෙනෙක් හොයනවලු

කලා කුසලතාවන් රැසකින් හෙබි සොඳුරු රුවැත්තිය

ටනාකා තාරකි

දෙරණ නාළිකාවේ විකාශය වූ බෝයිස් ඔවර් ෆ්ලවර් නම් කොරියන් මාලා නාටකයේ ගුම්ජැන්දිගේ හඬ මතකද? ඇයට හඬ දුන්නේ මෙන්න මෙයා. නම ටනාකා තාරකි. ඇයව දුටුවම ඔබට දෙරණ ටුටුව මතක් වෙනවාත් ඇති. සෑම සඳුදාවකම හවස හය වෙන කොට දෙරණ ඔස්සේ ටුටු ලෙසින් ටනාකා අප හමුවට එනවා. ඇයගේ පියා සංගීත අධ්‍යක්ෂවරයකු වන නිමල් චන්ද්‍රසිරියි. ඔහුගේ ආභාෂයෙනුයි ටනාකා කලාවට පිවිසෙන්නේ. මේ වන විට ඇය හඬ කැවීම් ශිල්පිණියක් ද පමණක් නොව නිවේදිකාවක්, රංගන ශිල්පිණියක් මෙන්ම ගායිකාවක ලෙසින් ද කලාවේ නියැලෙනවා.

ටනාකා, මං ඔබව මුලින්ම රැගෙන යන්නේ ජයනි සේනානායක සහ භානු ප්‍රසන්න ඔබව වඩාගෙන නාට්‍යක රඟපාන්න රැගෙන ගිය අතීතයට?

අපේ තාත්තාව හමුවන්න ගෙදරට නිතර කලාකරුවො එනවා. පුංචි කාලයේ ඉඳල දොර රෙද්දට මුවාවෙලා මං ඔවුන් දිහා බලාගෙන හිටියා. කලාකරුවො අඳින පළඳින විදිහට මං ආසයි. මාත් කවදා හරි ඒ වගේ කෙනෙක් වෙනවා කියලා බලාපොරොත්තු ගොඩ නැගුණා. ඔය අතරෙ තමයි භානු මාමා සහ ජයනි නැන්දා මාව දැක්කෙ. එතකොට මට වයස අවුරුදු හතරක් විතර ඇති. ඒ දෙන්නා මාව නාට්‍යකට සුදුසුයි කියලා එක්ක ගෙන ගියා. ඒක තමයි අවුල්හැරය. 1996 දී විතර විකාශය වුණා.

ඊට පසුව ඔබගේ කලා ජීවිතය දිග හැරෙන්නේ කොහොමද?

සැලමුතු සෙනෙහෙස මගේ දෙවැනි ටෙලි නාට්‍යය. එහි නිෂා මම. ඒත් එක්කම වෙළෙඳ දැන්වීම් ගණනාවක රඟපෑවා. හපන් පැදුරේ නිවේදන කටයුතු කරන ගමන් ඒකෙ සිංදු කිව්වා. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් සහ නිවේදිකාවක් ලෙස මා තේරී පත් වුණා. ඊට පසුව ඩබිං කළා. ඔය කාලෙ තමයි මං සිරස නෙළුම් විල වැඩ සටහනට එකතු වන්නේ. එතකොටත් මං ඉස්කෝලෙ යනවා. පාසල් වැඩ කටයුතු හින්දා රංගනය මඳකට නැවැත්තුවා. ඒත් ඩබිංවලට දිගටම සහභාගි වුණා.

ටනාකා හඬ කැවූ වැඩ සටහන් පෙළ මතක් කළොත්?

ගුවන් විදුලි නාට්‍යවලින් ගත්තොත් ආදරේ හිත පිරෙන තරම්, දිල්කි, නිම්සාරා නාට්‍යයේ නිම්සාරා, සාගරේ සේ ආදරේ එකේ හිමංසා, විදෙස් කතා මාලා ලෙස බෝයිස් ඕවර් ෆ්ලවර්, ඇරෝ, හිරු සඳු ආදරෙයි, බටහිර මාලිගය.

ඔය අතරින් ගුම්ජැන්දි ලෙස නේද ඔබ වඩාත් ජනප්‍රිය?

අනේ ඔව්. සමහර අය මගේ ෆෝන් නම්බර් එක පවා සේව් කරගෙන තියෙන්නේ ඒ නමින්. ඒක විකාශය වන කලේ මට කෝල්ස් එනවා ඉවරයක් නැහැ. සතුටුයි ඉතින්.

ඔබ ගායනයටත් පිවිසුනා ඩබිං කරන අතරතුරදී?

තාත්තාගේ ආශිර්වාදය මතයි ගායනයට එකතු වුණේ. දඟමල්ල, මැද ගෙදර නාට්‍යවල තේමා ගීතය ගැයුවේ මං. මේ ළඟදී ප්‍රසංග තිසේරත් එක්ක ගයපු පුංචි කෙල්ල සහ මං තනියම කිව්ව වෙන දෑසක් කුමටද යන ගීත මාධ්‍යයට නිකුත් කළා.

පියා සංගීතඥයකු වෙලත් ඔබ ගායනයට යොමු වෙන්න පමා වුණා. ඒක ඔබට අවාසියක් නොවේද?

අවාසියක් තමයි. මොකද මුල් යුගයේ සිටම සිංදුම කිය කිය හිටියා නම් අද වන විට මං ජනප්‍රිය ගායිකාවක් . මිනිස්සු මාව මුහුණෙන් හඳුනාවි. නමුත් අතීතය නැවත හරවන්න බැහැනෙ. වෙලාවට කලාවට නියම දේවල් නියම අයුරින් සිදු වුණා කියලා හිතන්න තමයි වෙන්නේ.

කොහොමද ඔබේ රංගන කටයුතු?

මං රංගන ශිල්පිණියක් විදිහට අන්තිමේට මිනිස්සු අතරට ආවේ සිරි පැරකුම් චිිත්‍රපටයේ වසුන්දරා හැටියට. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකටම කතා කළා. මං ඒ නිර්මාණකරුවන් ගැන නොදන්නා හින්දා ගියේ නැහැ.

ඔබ කලාවේ අංශ කිහිපයකම නියැලෙන කෙනෙක්. කොහොමද කාලය කළමනාකරණය කර ගන්නේ?

අම්මා තමයි මගේ ඒ පැත්ත ගැන බලන්නේ. ඇගේ සහාය මට අපමණව ලැබෙනවා. ඒ ඒ දවස්වලට අදාළ වැඩ පමණයි මං කරන්නේ. දවසකට කරන්න බැරි වැඩ තොගයක් දාගන්නේ නැහැ මං.

ලයිෆ් එක ඒකාකාරී කියලා දැනෙන්නේ නැතිද?

කොහෙත්ම නැහැ. ඔබ ඔය ප්‍රශ්නය අහන්න ඇත්තේ මා නිතරම ඩබ් කරන හින්දා වෙන්න ඇති. මෙහෙමයි එක දිගට ඩබ්වලට ගියාට මං කලාවේ අංශ කිහිපයකම නියැලෙනවනෙ. ඒ හින්දා ලයිෆ් එක බෝරිං නැහැ. බෝරිං වෙන්න ඉඩ තියා ගන්නෙත් නැහැ.

කොරියන් නාට්‍ය මෙරට පෙන්වීම ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

කාලයක් ලොකු ආන්දෝලනයක් තිබුණා මේ නාට්‍ය පෙන්වීම සම්බන්ධයෙන්. මම නම් හිතන්නේ ඒවා හැම එකක්ම අපේ රටට ගැලපෙන්නේ නැහැ. අප රටට සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. ඒ හින්දා ගෙඩි පිටින් ඒවා පෙන්වන්නේ නැතුව අනවශ්‍ය දසුන් ඉවත් කරලා පෙන්විය යුතුයි.

බෝයිස් ඕවර් ෆ්ලවර්හි මචං වගේ වචන තිබුණා. ඒවා අපේ රටේ සංස්කෘතියට ගැලපුණාද?

ඒ නාට්‍යයේදී අපි ගොඩක් යං ක්‍රවුඩ් එකත් එක්ක යන වචන භාවිත කළා. නැතිනම් ඒකෙ රසය යනවා. හැබැයි අනවශ්‍ය විදිහට වචන භාවිත කළේ නැහැ.

දෙරණ නාළිකාවේ වැඩ සටහනක් නිවේදනය කරන නිසයි මේ අහන්නේ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තු වෙලාවේ ඉඳලා ඇයි ඔච්චර කියවන්නේ?

මං හිතනවා මං කියන දේවල් ප්‍රමාණවත් කියලා. කවදාවත් සීමාව ඉක්මවා ගිහිල්ලා මං නිවේදන කටයුතුවල යෙදෙන්නේ නැහැ.

පොදුවේ ගත්තොත් බහුතරයක් නව පරපුරේ නිවේදක නිවේදිකාවන් වැඩසටහනට පැමිණෙන ආරාධිතයින්ව අපහසුතාවයට පත්කරන අවස්ථා මම දැකලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ?

මං හිතනවා දැනුවත්භාවය අඩුකම සහ බුද්ධි මට්ටම හීනවීම එයට හේතුව කියලා. වැඩසටහනට ගෙන්වන කෙනාට මුලින් අප ගෞරව කරන්න ඕනෑ. නැතිනම් වැඩේ අවුල් වෙනවා.

ටනාකාට පෙම්වතෙක් ඉන්නවාද?

තවම නැහැ.

මේ වෙනකොට අම්මලා මට පෙම්වතකුව සොයමින් සිටිනවාලු.

මොන වගේ කෙනෙක්ද ටනාකාට ඕනෑ?

මං බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒ හින්දා මං කරන කියන දේවල් ඉවසීමෙන් විඳ දරා ගන්න පුළුවන් කොල්ලෙකුට මං කැමැතියි. ඒ වගේම මට ගොඩක් ආදරේ වෙන්න ඕනෑ. මොකද පුංචි කාලෙ ඉඳලා මවුපියන්ගේ අසීමිත සෙනෙහස මැදයි මං හැදුණේ වැඩුණේ.

සාමාන්‍යයෙන් දුක හිතුනම ටනාකා මොකද කරන්නේ?

මට දුකක් දැනුණම තත්පර ගණනක් ඇතුළත අමතක කරලා දාන්න පුළුවන්. ඒ හින්දා දුක වැඩිපුර මගේ හිතේ තියෙන්නේ නැහැ.

ටනාකාගේ පාසල?

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල.

උපන් දිනය?

අවුරුද්දත් ඕනෑද?

ටනාකා අකැමැති නම් අවුරුද්ද කියන්නෙ නැතුව මාසෙයි දිනෙයි විතරක් කියමු?

ඔක්තෝබර් 17.

ටනාකට සහෝදර සහෝදරියෝ ඉන්නවාද?

ඔව්. එක මල්ලියෙක් ඉන්නවා.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

කිසිම දෙයක් ගැන කිසිම අයුරින් බරපතල විදිහට හිතන්නේ නැති කෙල්ලෙක්.