වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘සංගදාසගෙ චූටි කලිසම’ ඇඳලම බලමුද?

‘සංගදාසගෙ චූටි කලිසම’ ඇඳලම බලමුද?
 

අසංක සායක්කාර
 

‘හෘද සාක්ෂිය’ නම් නාට්‍ය කරමින් පාසල් කාලයේදීම නාට්‍ය කලාවට පිවිසෙන අසංක සායක්කාර ‘සිපිරි මාලයෙන් නාටක තුනක්’, ‘ගොන්පාට්’, ‘එච්.අයි.වී’, ‘ශ්‍රීමත් සූමන’, ‘බබාට නමක්’, ‘ඇවරේජ්’ යන කෙටි නාට්‍ය කිහිපය හා ‘කිරිබද්දෝ’ යන දිගු නාට්‍ය නිෂ්පාදනය කරයි. ‘කිරිබද්දෝ’ නාට්‍යය වාරණයට ලක්වන අතරම ඉන්පසුව ඔහු වේදිකාවට රැගෙන එන නවතම වේදිකා නාට්‍යය ‘සංගදාසගෙ චූටි කලිසම’ හෙට දින ( 26 වැනිදා) බොරුල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි දී පස්වරු 3.00ට සහ 6.30ට වේදිකා ගතවෙයි. මේ ඒ පිළිබඳ සරසවිය ඔහු හා කළ කතාබහකි.

* ‘සංගදාසගෙ චූටි කලිසම’ නිර්මාණය වෙන්නේ කොහොමද?

මේ නාට්‍යය කරන්න මට අදහස එන්නේ මීට අවුරුදු දෙකකට කලින්. ඒ අදහස සිතේ පිළිසිඳ ගත්තට පස්සේ මේක නිර්මාණය කරගෙන කෙටුම්පත් කර ගන්නවා. මේ නිර්මාණය ලියන මොහොතෙත් මෙහි එන චරිතයට මගේ සිතේ මැවුණේ ජගත් චමිලවයි. ඔහුත් සමඟ මම ඒ පිළිබඳ කතා කළා. ඊට පස්සේ මේ නාට්‍යයේ වැඩ ආරම්භත් කළා. ඒ වසර දෙකකට කලින්. මේ විදියට හෙමින් හෙමින් ඒ කටයුතු කරගෙන ආව මිසක් නාට්‍යය වේදිකා ගත කරනවා කියලා නියමිත දවසක් අපට තිබුණේ නැහැ. දීර්ඝ සාකච්ඡා, පුහුණුවීම්, අත්හදා බැලීම්වලින් පස්සෙයි අපි වසරේ මුල ස්ථිර තීරණයකට පැමිණියේ.

* වසර දෙකක් කියන්නේ දිගු කාලයක්. නාට්‍යයක් වේදිකා ගත කරන්න මේ තරම් කාලයක් ගත්තේ ඇයි?

මට නාට්‍යයක් කරන්න සිතට වදින්න ඕනෑ. ‘ශ්‍රීමත් සූමන’ හා ‘බබාට නමක්’ කියන කෙටි නාට්‍ය දෙක 2012 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළට පෙන්නුවට පස්සේ කිසිම නාට්‍යයක් අද වනතුරුත් රංග ශාලාවක පෙන්වලා නැහැ. මේ කාලය ඇතුළත මම උත්සාහ කළේ දිගු නාට්‍යයක් වේදිකාවට රැගෙන එන්නයි. ඒ සඳහා ‘මයි කා කොයි පෙට්රල්’ නාට්‍යයේ පුහුණුවීම් කළත් ඒක වේදිකාවට රැගෙන ඒන්නට නොහැකි වුණේ ප්‍රායෝගිකව පැමිණි ගැටලු ගණනාවක් නිසයි. ඒක කරමින් ඉන්න අතරතුරයි මේ නාට්‍ය සඳහා ප්‍රස්තූතය මගේ ඔළුවට එන්නේ. ඒ කාලය ඇතුළේ මේක වැඩෙන්න සැලසුණා මිසක් මොකක්ද කරන්නේ කියලා අදහසක් තිබ්බේ නැහැ.

අනෙක් එක මේ වෙනුවෙන්ම අපි දීර්ඝ කාලයක් වගේ කියලා පෙනුණත් ඊට පරිබාහිර හේතුත් බලපෑවා. ජගත් චමිලත් එක්කම මේ නිර්මාණයම කළ යුතුය කියලා සිතුණත් දින වෙන් කර ගැනීමේ ගැටලු තිබුණා. ඒ ඔහු කාර්යබහුල නළුවෙක් නිසා. ඒත් ඔහු කිව්වේ තව ටිකක් ඉවසන්න පුළුවන් නම් අපි මේකට දින හදාගමු කියලයි. ඒ පොරෝන්දුව ඔහු ඒ ආකාරයෙන්ම රැක්කා. මේ නිසා වෙන්න ඇති නාට්‍යයට අවුරුදු දෙකක් තරම් දීර්ඝ කාලයක් ගියා කියලා අනෙක් අයට පෙනුණේ. ඒ නිසා දීර්ඝ කාලයක් ගත වුණ නිර්මාණයකට වඩා ක්‍රමයෙන් වර්ධනයක් වූ නිර්මාණයක් ලෙසයි මා මෙය දකින්නේ.

* ‘සංගදාසගෙ චූටි කලිසම’ කියන්නේ ප්‍රහසනයක්?

අපි ඒක හඳුන්වන්නේම හුදු ප්‍රහසනයක් විදියටයි. ඒ නිසා සාමාන්‍යයයෙන් විනෝදාත්මක විහිළු සපයන නාට්‍යයක් විදියට මේ නිර්මාණය ගණන් ගැනෙන්නේ නැහැ. ඉංග්‍රීසියේදි මේ නාට්‍යවලට බ්ලැක් කොමඩි කියලා කියනවා. සිංහලයේදි මේක කළු කොමඩි කියලා හැඳීන් වුවත් ඒ නමට නියම අර්ථයක් ඉන් නිරූපණය වෙන්නේ නැහැ. එහෙම වුණත් මේ නාට්‍යය යේදි සිදුවීම් ගැළපිලා තියෙන විදියත් එක්ක මිනිස්සුන්ට සිනහ යයි. ඒත් නාට්‍යයේ තියෙන්නේ ඊට එහා ගිය ඛේදාන්තයක්. සංගදාස කියන ග්‍රාමීය මිනිසා හා අර්ධ නාගරික හෙදියක් අතර ඇති වන සංවාදයක් තමයි මෙහි පැවැත් වෙන්නේ. එතැනදි ගොඩනැගෙන සිද්ධි දාමය නිසා හාස්‍යයක් උපදින්න පුළුවන්. නමුත් චරිත මුහුණ දෙන්නේ රුදු දෙයකට. මේ රුදු කතන්දරය ඇතුළේ සිනහ වෙන දෙයට හුදු ප්‍රහසනය කියලා ගන්න පුළුවන්. ඒත් මෙතැන තිබෙන වෙනස වෙන්නේ නාට්‍ය ශාලාවෙන් එළියට යන කොට සිනහ වෙලා යන එකම නොවෙයි. ඔවුන්ට උත්තේජනයක් ලබා දෙන්නේ මෙතැනින් එහාට මේ ගැන හිතපල්ලා කියන පණිවුඩයයි.

* මේ ප්‍රහසනය දේශපාලන කතාබහක් ඔස්සේ විහිදෙන්නක්?

අනිවාර්යයෙන්ම මේක දේශපාලනිකයි. හැබැයි මෙතැන දේශපාලනිකයි කියලා කිව්වේ පක්ෂ දේශපාලනය නොවෙයි. මුල සිට අග දක්වා චරිත හැසිරෙන විදියේ ඒක තියෙනවා. ශ්‍රී ලාංකේය පුරවැසියාට අනන්‍ය වුණු දේශපාලන කාරණා නාට්‍යයේ තියෙනවා. සංස්කෘතියක් විදියට අපි කොයිතරම් දියුණුද?, ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සිදුවන ගනුදෙනුව කොයි ආකාරයේද? ආදී බොහෝ දේ මේ ඔස්සේ කතාබහට ලක් කරනවා. ඒ වගේම ලංකාවේ පුරවැසියෙක් සේවාවක් අත්පත් කරගන්නට යෑමේදී ඒ මිනිසාට මුහුණ දෙන්න වෙන ඛේදාන්තයයි අප නාට්‍ය යෙන් කතාබහ කරන්නේ. සෞඛ්‍ය සේවාව තමයි මෙහි තේමාව වෙන්නේ. ලංකා ඇතුළේ සෞඛ්‍ය කියන්නේ සේවාවක් නම් ඒ සේවාව අත්පත් කර ගන්න ගිය රෝගියෙන් අවසානයේ අපරාධ කාරයෙක් බවට පත් වෙනවා. රෝගියෙක් වීමටවත් නිදහසක් නැති රටක් මේක. මේ දේ සිද්ධ වන්නේ මේ සේවාවට පමණක් නොවෙයි. අධ්‍යාපනය සේවාවක් විදියට සැලකීමේදී ආදී මේ සියලු සේවාවන් අත්පත් කර ගැනීමේදී ඇතිවන ඛේදාන්තයයි අපි එක් හැඩයකට කියන්න උත්සාහ කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම දේශපාලනිකයි.

* ඔබගේ නිර්මාණ අතර දේශපාලනයෙන් තොර නොවූ නිර්මාණ නොමැති තරම් ?

දාරියෝ ෆෝ වරක් කියනවා නිර්මාණකරුවෙක් ජීවත් වන පරිසරය එහෙමත් නැත්නම් වර්තමානය කතාබහට ලක් කළ යුතුය කියලා. එහෙම නොකරන කෙනෙක් නිර්මාණකාරයෙක් වෙන්නේ නැහැ කියලත් ඔහු කියනවා. මමත් ඒ කිව්ව කාරණය තදින් විශ්වාස කරන කෙනෙක්. විශේෂයෙන්ම වේදිකා නාට්‍යවලදි. වේදිකා නාට්‍ය කියන්නේ මගේ ප්‍රකාශනය. මේ ඇතුළේ මට මගේ ප්‍රකාශනය අවංකව කරන්න පුළුවන්. ප්‍රාග්ධන තර්කනයන්ට මේක යටත් වෙන්නේ නැහැ. එතැනදි මම නිතරම උත්සාහ කරන්නේ මට දැනෙන දේ නිර්මාණය ඇතුළේ කියන්නයි. මේ මොහොතේ සමාජය ඇතුළේ ප්‍රශ්න කරන එක ඔස්සේ මට පැවුරුණු කාර්යභාරයක් තියෙනවා. එහිදි මට දැනෙන කාරණය මම මිනිස්සුත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සම්මන්ත්‍රණ ලීලාවෙන් නොවෙයි නාට්‍යානුසාරයෙන්. ඒ සාකච්ඡා කිරීම අනිවාර්යයෙන්ම දේශපාලනිකයි. මුල සිට අග දක්වා මම කළ නාට්‍ය අරගෙන බැලුවොත් සියල්ලම දේශපාලනිකයි.

* වර්තමානය වනවිට සත්‍ය ලෙසම ප්‍රාග්ධන තර්කනයන්ට යටත් නොවී නිර්මාණ කාර්යයේ නියැළිය හැකිද?

මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙත් වැඩ කරනවා නේ. ටෙලි නාට්‍ය ඇතුළේ මම දකින, මට උවමනා, අනන්‍ය වුණු, අවංක වුණු දේ ලියලා එළියට දමන්න බැහැ. ඒක වෙනම ලොකු ප්‍රාග්ධන තර්කනයක් එක්ක හැප්පුණ වැඩක්. ඒකට වෙනම නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. වෙනම චැනල් දායකත්වයක් තියෙනවා. මට බැහැ ඒ සියල්ල හසුරවන්න. නමුත් වේදිකා නාට්‍යයකදි මාව කිසි කෙනෙක් හසුරවන්න එන්නේ නැහැ. මේක මගේ හැකියාවෙන් මා සොයාගත් දේවල්වලින් කරන දෙයක්. ඒ නිසා මම කාගෙවත් සල්ලිවලට යටත් වෙන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් මේ නිර්මාණය වෙනස් කරන්න කියලා මම වෙනස් කරන්නේ නැහැ.

* එහෙම වුණත් රැඟුම් පාලක මණ්ඩලය යටතේ බොහෝ නිර්මාණ වෙනස්කම්වලට ලක් වෙනවා?

ලංකාවේ නීතිමය රාමුවක් තියෙනවා නම් ඒක ඇතුළෙනේ අපට වැඩ කරන්නේ වෙන්නේ. අපි පිළිගත්තත් නැතත් රැඟුම් පාලක මණ්ඩලයක් ඉන්නවා. මම ඒ මණ්ඩලයේ වාරණය අනුමත කරන දෙයක් නොවෙයි. පාලනයන් තියෙන්න බැහැ. යම් ප්‍රභේද තියෙන්න පුළුවන්. වර්ගීකරණයයන් හදා ගන්නත් පුළුවන්. නමුත් එක් මනුස්සයකුගේ නිර්මාණ තවත් මනුස්සයකුට පාලනය කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. තවත් කෙනෙක්ගේ නිර්මාණයක් කියවලා ඔහුගේ රසයට ගැළපෙන්නේ නැත්නම් ඒක හොඳ නැහැ කියනවා නේ. එහෙම වෙන්න බැහැ නේ. මොන දේ වුණත් අපට නිර්මාණ කරන්න වෙන්නේ මේ පොළොවේ නීතිමය රාමුවක් ඇතුළෙ නේ. ඒ යටතේ අපට නිර්මාණ කරන්න වනවිට වාරණයන්ගෙන් මිදිලා ඒවා කරන්නේ කොහොමද කියන උපාය උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මොකද මම ඒ රැඟුම් පාලක මණ්ඩලවල වාරණයට තදින්ම බැට කාපු කෙනෙක්. මේ නාට්‍යයට මෙවර නම් එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. ඉදිරියේදි කොහොම වේවිද දන්නේ නැහැ.

* ලෝක නාට්‍ය කලාවත් සමඟ ගත්තොත් අපි තාම සිටිය තැනම නේද ඉන්නේ කියන ගැටලුව ඇති වෙනවා?

අපි සිටිය තැන කොතැනද කියලා සොයාගෙන ගියොත් අපේ තොවිල් පවිල් ශාන්ති කර්ම දක්වා යනව නේ. ලෝකයේ දි මේ ප්‍රොසීනියම් වේදිකාව කියන එක අතික්‍රමණය කරමින්නේ මිනිස්සු යන්නේ. පින්තූරු රාමු වේදිකාවේ ඉඳලා වෙනත් වේදිකාවන් කරා යන ගමනේදි ඒකට උදාහරණ අපේ අතේම තියෙනවා. ගැමි වේදිකාව කියන්නේ වටරවුම් තැනක් නේ. රවුමකට ඉඳලා තමයි ඔවුන් රංගනය නරැඹුවේ. ඒ රංගන ශිල්පින් තමන්ගේ රංගන කාර්ය කළේ වටේ සිටිය සියලුදෙනාටම පේන්න. ඊට පස්සේ අපිම මේක ප්‍රභේද කරගෙන ඇවිල්ලා කොටුකර ගන්නවා යම් හැඩේකට. ඒ කියන්නේ ප්‍රොසීනියම් වේදිකාවට.

හැබැයි ලෝකය අපේ අර තිබුණු තැනට යනවා. මම ඒකෙන් කියන්නේ නැහැ ලෝකය තොවිල් පවිල් කරන්න යනවා කියලා. කොහාම වුණත් අපට වෙනම තාක්ෂණයක් තිබුණා. හැබැයි ඒ තාක්ෂණය අපි සංවර්ධනය කරගත්තේ වැරැදි විදියට. අපේ වටරවුම් වේදිකාව වගේම අනෙක් අනුසාංගික දේවල් වුණත් දියුණු කර ගන්න තිබුණා නම් මීට වඩා හොඳ විදියට ප්‍රොසීනියම් වේදිකාවට අභියෝගයක් වෙන එකක් කරන්න අපට හැකියාව තිබුණා. ලෝකයේ නාට්‍ය කලාව මීට වඩා දියුණුයි තමයි. චින්තමය පැත්තෙන් හා භෞතික සම්පත් පැත්තෙන් අපි පසුගාමී වුණත් අපේ නාට්‍ය කලාව පසුගාමී නැහැ. එහෙත් මැදිහත් වීමේ පසුගාමීත්වයක් තියෙනවා.

* ‘සංගදාසගෙ චූටි කලිසම’ ට රංගනයෙන් සහභාගි වන නළු නිළියන් කවුද?

මූලිකම චරිත දෙකයි. සංගදාස කියන්නේ එක චරිතයක් ජගත් චමිල ඊට හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා. ජගත් චමිල කිව්වම අපේ ඔළුවට එන්නේ දැවැන්ත චරිතයක් නේ. ඔහු එළියේ දි දකින විදිය හා ඇතුළේදි ඔහුව දකින විදිය කියන්නේ දෙකක්. තමන්තේ වැඩේට බැස්සට පස්සේ ඔහු ඒ චරිතයට ලබා දෙන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. මම සිතුවේ නැහැ ඔහුට ඒ තරම්ම කැපවීමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ වගේම අධ්‍යක්ෂණය කියන කාර්යයේදී ඔහු මා කියන දෙය ඒ ආකාරයෙන්ම තේරුම් ගත්තා. හෙදිය විදියට රඟපාන්නේ ලංකා බණ්ඩාරනායක. ඇයත් අති දක්ෂ නිළියක්.

ඇයව මීට සහභාගි කරගන්නේ අත්හදාබැලීම් කිහිපයකට පස්සෙයි. නිළියන් ඕනෑතරම් ඉන්නවා. ඒත් බුද්ධිමය වශයෙන් තර්කනයක් එක්ක රඟපාන්න පුළුවන් අය අපට අඩුයි එතැනදි ඇය එවැනි නිළියක්. රොහාන් සිල්වා මේ නාට්‍යයේ චරිත හතරක් රඟපානවා. ඒ හැම එකකටම අමුතු ජීවයක් ඔහු එකතු කරනවා. ඒකට හොඳ පරිචයක් තිබිය යුතුයි. මධුරංගත් චරිත කිහිපයක් කරනවා. ඔහුත් රංගනයෙන් එසේමයි. මුලින්ම අප සිතාගෙන සිටියේ මේ චරිත එක් කෙනෙක්ට කියලා රඟපෑමටයි.

මේ විදියට දෙදෙනෙක් චරිත කිහිපයක් රඟපාන්නේ එක් කෙනෙකුට පමණක් මේ චරිත සියල්ල රඟපාන්න අපහසු නිසයි. ඔවුන් නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතවලට අතුරු මැදිහත්වීම් සිදු කරන වෘත්තීය සමිති, පොලිසිය, මාධ්‍ය, සෞඛ්‍ය සේවයට අදාළ අනෙකුත් සේවාවන් කරන නිලදාරීන් ලෙසයි. මේ චරිත හතර එක් කෙනෙක් කිරීම ඇතුළේ අප පාවිච්චි කරන්නේම එක හැඩයක්. ඒ හැඩය බලාගන්න පුළුවන් එදාට නාට්‍ය නරඹන්න පැමිණියොත්. ඒක අපි කළේ හිතාමතාමයි. එහෙම නැතුව නාට්‍යයට යන මුදල ගැන සිතලා නම් නොවෙයි.