වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ති: නා: නැත්නම් තාත්තාගේ රූපෙත් නෑ

ති: නා: නැත්නම් තාත්තාගේ රූපෙත් නෑ

බී. එස්. පෙරේරා පුතු සුනිල් වෙස්ලි

සිංහල සිනමා වංශ කථාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන හැට, හැත්තෑව, අසූව දශකවල සිනමාව ඔපවත් කළ නළු නිළි තරු අතරේ සදා නොනිවෙන තරුවක් වූයේ බී. එස්. පෙරේරාය. එදා සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක සිය රංගනය ඔපවත් කළ බී. ඇස්. තිරයේ මැවූ විකට රංගනයන් අදත් සිනමාලෝලීන් සිහිපත් කරනුයේ හදපිරි සෙනෙහසිනි. තුෂාරා, හිත හොඳ මිනිහෙක්, ඔහොම හොඳද, දෙහදක දුක රුහුණු කුමාරි, බයිසිකල් හොරා, හොරුන්ගෙත් හොරු, චණ්ඩියා, සැනසුම කොතැනද, සැනසිලි සුවය, සීතල කඳුළු ආදී චිත්‍රපට තුන්සියයකට වැඩි ප්‍රමාණයක සිය ප්‍රතිභා රංගනය එක් කළ බී. ඇස්. පෙරේරා රංගන දිවියෙන් මෙන්ම ජීවන ගමනෙන් ද සමුගෙන මෙම මස විසිතුන් වෙනිදාට වසර තිස් තුනක් සපිරුණි. මේ එතුමන්ගේ ගුණ සුවඳ සිහිපත් කෙරෙමින් ඔහුගේ පුත් ගායක, චිත්‍ර ශිල්පී සුනිල් වෙස්ලි පෙරේරා අප සමඟ කළ කතාබහකි.

පියාගේ තිස්තුන් වන ගුණ සමරුව කොයි ආකාරයෙන් පවත්වන්න ද ඔබ සැලසුම් කළේ?

තාත්තා නැති වුණේ 1982 ජූනි 23 වැනිදා. මෙවර මම එදාට තාත්තා සිහිපත් කරලා සොයිසා පුර මම පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ පන්සල් තුනකට දානමය පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරනවා. ඒ වගේම මේ මාසේ 27 වැනිදා තාත්තාගේ තිස්තුන් වන ගුණ සමරුව නිමිතිකොට උපහාර ගී පිදුම නමින් මම සොයිසා පුර ප්‍රජා රංග ශාලාවේ ප්‍රසංගයක් පවත්වනවා. එදා සවස හයට ආරම්භ කරන මේ ප්‍රසංගයේදී හර්බට් සිරිපාල මට ශබ්ද පරිපාලනයෙන් සුවිශාල මෙහෙවරක් සිද්ධ කරනවා. මේ ප්‍රසංගය පුරාවට සිංදු කියන්නේ මම. මම තාත්තාට ආදරය කළ රසිකයන්ට මට ආදරය කරන රසිකයන්ට විවෘතව ආරාධනා කරනවා මගේ මේ ප්‍රසංගය නරඹන්න එන්න කියලා. රංජිත් නැමැති හිතවතෙක් මට මේ ප්‍රසංගය සාර්ථකව කරගන්න ලොකු ශක්තියක් ලබා දෙනවා.

පියා වෙනුවෙන් හැම වසරකම ගුණ සැමරුවක් කිරීමත් ඔබගේ උත්සාහයක ප්‍රතිඵලයක්?

මේ තිස්තුන් වසරම තාත්තා ගැන ගුණ අනුස්මරණයක් වුණා නම් ඒ මගේ පුද්ගලික උත්සාහයක්. කවදාවත් කාගෙන්වත් ඒ වගේ දේකට උපකාරයක් ලැබිලා නෑ. තුන්සියයකට වැඩි චිත්‍රපට ප්‍රමාණයක තාත්තා රඟපාලා තිබුණත් අද වෙනකන් රජයෙන්වත්, කලා කටයුතු පිළිබඳ කිසිම ආයතනයකින්වත් අඩුම තරමේ තාත්තා ගැන සඳහනක්වත් නෑ. ඔන්න තත්ත්වය.

ගුණ සැමරුම හැම වසරකම එක වගේ සමරන්න ඔබට හැකි වුණාද?

බැරි වුණ අවස්ථා තිබුණා. ඒ අවස්ථාවකදී තාත්තා රඟපෑ චිත්‍රපටයක් හරි පෙන්නලා ඒ මතකය මම අලුත් කරලා තියෙනවා.

චිත්‍රපට සංස්ථාවේ එවක සිටි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ ටී. එම්. සංඝදාස මහත්තයා ඔබේ පියා වෙනුවෙන් යම් ඇගැයුමක් සිද්ධ කළා?

එතුමා විතරයි අපේ තාත්තා මිය ගියාට පස්සේ තාත්තා වෙනුවෙන් තාත්තා රඟපෑ චිං චිං නෝනා චිත්‍රපටය පෙන්වලා පොඩි සිහිපත් කිරීමේ කටයුත්තක් සිද්ධ කළේ සංඝදාස මහත්තයා. එදා ඒ උත්සවයට නළු නිළියන්ට ආරාධනා කළෙත් සංඝදාස මහත්තයා. ඒ හින්දම නළු නිළියන් කීප දෙනෙක් එදා උත්සවයට ආවා.

බී. ඇස්. රංග ශිල්පියෙක් පමණක් නොවෙයි, චිත්‍රපට නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක්. කෝ ඔබේ පියා කළ රොඩීගම චිත්‍රපටය?

ඒක මම තිස්ස නාගොඩවිතාන මහත්තයාට වික්කා. තාත්තාගේ චිත්‍රපටය කියලා මම රීල් ටික තියන් හිටියට වැඩක් නෑ. මම කොහොමද ඒක පෙන්න ගන්නේ. අනික මට ඒවා පරිස්සමට තියාගන්න පහසුකම්වත් නෑ. චිත්‍රපට රීල් කීපයක්ම විනාශ වෙන්නත් ආවා. මම ඒක නාගොඩවිතාන මහත්තයාට දීල දැම්මා. අද ඒ චිත්‍රපටය එතුමා ළඟ හරි රැකෙනවා. මම එක දෙයක් කියන්න ඕනෑ. තිස්ස නාගොඩවිතානට පින් සිදු වෙන්න තමයි අද අපේ පැරැණි කලාකාරයන්ගේ රූපයක් හරි දකින්නේ.

සමහරු තිස්ස නාගොඩවිතානට චෝදනා කරනවා කුණු කොල්ලෙට චිත්‍රපට අරන් සුපිරි විදියට ඒවා පෙන්නලා සල්ලි හොයනවා කියලා?

ඉතිං ඒකට මොකද ඒ මනුස්සයා ඔය වගේ සංරක්ෂණයක් නොකළා නම් කෝ අපිට අද අපේ තාත්තලා රඟපෑ චිත්‍රපට. මොකද ආණ්ඩුවෙන්, චිත්‍රපට සංස්ථාවෙන් චිත්‍රපට සංරක්ෂණය කළාද. අද තිස්සට මේ චිත්‍රපට සංරක්ෂණය කරන්න ලොකු මුදලක් යට කරන්න ඕනෑ ඇති. ඉතිං ඒ මුදල හොයාගන්න එයා චිත්‍රපට පෙන්නලා හොයා ගත්තට තියෙන වරද මොකක්ද? කොයි මිනිහෙක් හරි නිර්මාණය විනාශ වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා නම් ඒක නේද වෙන්න ඕනෑ. අද වුණත් මම තිස්ස නාගොඩවිතානට කතා කරලා මගේ තාත්තාගේ ගුණ සැමරුමක් තියෙනවා බැරි ද තාත්තා රඟපෑ චිත්‍රපටයක් පෙන්වන්න කියලා ඇහුවොත් අනේ වචන දෙකක් නෑ ඒ අවශ්‍ය කටයුතු කරලා රූපවාහිනියෙන් පෙන්වන්නත් කටයුතු සිද්ධ කරනවා. මම තාත්තාගේ චිත්‍රපටයක් අරන් කී දෙනෙක්ගේ කකුල් දෙක ළඟට යන්න වෙයි ද මම ඕක කරන්න ගියා නම්.

මීට තිස්තුන් වසරක අතීතය සිහිපත් කළොත් එදා තාත්තාගේ අවමඟුලටවත් කලාකාරයෝ පැමිණියාද?

හලාවත මූලික රෝහලේ තමයි තාත්තා නැති වුණේ. ඒ වෙන කොට අපි පදිංචි වෙලා හිටියේ හලාවත. තාත්තාගේ අවමඟුලට එදා ගාමිණී ෆොන්සේකාට එන්න වුණේ නෑ. විදේශ ගත වෙලා නිසා. විජය කුමාරතුංගට එන්න වුණේ නෑ ඔහු ඒ දවස්වල හිරගත වෙලා සිටිය නිසා. ඒ ඇරෙන්න අනෙක් නළු නිළියන් කවුරුත් වගේ තාත්තාගේ අවමඟුල වෙනුවෙන් සහභාගි වුණා.

එදා මෙදාතුර ඒ නළු නිළියන් ඔබලා සමඟ සමීප සම්බන්ධතා ඇති කර ගත්තාද?

අනේ නෑ. කිසිම කෙනෙක් තාත්තා නැති වුණත් හරි අපි උන්නද මළා ද කියලා සොයලා බැලුවේ නෑ. අදටත් එහෙමයි. තාත්තාගෙන් හැදුණු වැඩුණු අයවත් අපි ගැන බැලුවේ නෑ. මමම තාත්තා ගැන සිහි කරලා පත්තරයකින් හරි ඒ ගැන මතක් කරනවා හැරෙන්න ඔය කවුරුවත් තාත්තා ගැන කතා කරන්නේ නෑ.

ඔබට හිතුණේ නැද්ද රඟපාන්න එන්න?

මටත් මල්ලිටත් රඟපෑමේ හැකියාව තිබුණා. මම ඔහොම හොඳ ද, රොඩීගම චිත්‍රපටවල රඟපාලා තිබුණා. මල්ලි යකඩයා, සූරයන්ගෙත් සූරයා, දුප්පතාගේ හිතවතා, රොඩීගම, ඔහොම හොඳද චිත්‍රපටවල රඟපාලා තිබුණා. ඒත් තාත්තාගේ අභාවයත් සමඟ අපි දෙන්නට කාගෙන්වත් චිත්‍රපටවලට ආරාධනා ආවේ නෑ. ඔක්කොම තාත්තා ඉන්න කොට තමයි.

ඇයි ඔබේ පියාගේ ආධාරයෙන් සිනමාවට ආපු අය පසු කලෙක චිත්‍රපට නිෂ්පාදනයටත් එළඹුණා. ඒ අයවත් ඔබලාට අවස්ථාවක් දුන්නේ නැද්ද?

බී. ඇස්. අයියේ කියාගෙන අපේ තාත්තා ළඟට ආපු අය ඕනෑ තරම් හිටියා. තාත්තා මේ හැමෝටම උදවු කළා. චිත්‍රපටවල චරිත අරන් දුන්නා. සමහරු පසු කාලෙක පිට පිට චිත්‍රපට නිෂ්පාදනය කළා. ඒත් මේ එක් කෙනෙක්වත් තාත්තා වෙනුවෙන් අපිට ඔවුන්ගේ චිත්‍රපටවලට ආරාධනා කළේ නෑ. ඒක අපේ අවාසනාවද කියන්න මම දන්නේ නෑ. තාත්තා නැතුව අපි ජීවත් වෙන්න අරගලයක් කරන වෙලාවක චිත්‍රපටයක සුළු චරිතයක් දෙන්නවත් මේ තාත්තාගෙන් හැදුණු වැඩුණු අයට අමතක වුණා.

ඔබ රංගනයට වඩා චිත්‍ර ශිල්පයට ඇලුම් කළා?

මම චිත්‍ර ශිල්පියෙක්, ගුවන් විදුලි සරල ගී ගායකයෙක්, රංගන ශිල්පියෙක්. මේ ත්‍රිත්වයේම හැකියාව මට පිහිටලා තිබුණත් මම වැඩිය නියැළුණේ චිත්‍ර ශිල්පයේ. එදා සිනමාස් සමාගමේ චිත්‍රපට කටවුට් නිර්මාණය වුණේ මගේ අතින්. ගාමිණී ෆොන්සේකා තමයි මගේ චිත්‍ර හැකියාව දැකලා මාව සිනමාස් සමාගමට යොමු කළේ. මට මතකයි රන්මුතු දූව චිත්‍රපටය දෙවන වරට නිව් ඔලිම්පියා ප්‍රමුඛව තිරගත කරන කොට රන්මුතු දූවේ විශාල කටවුුට් නිර්මාණය කළේ මම. ඒක තමයි මගේ මුල්ම චිත්‍රපට කටවුට් එක.

අද ඔබේ ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ?

එදා වගේ අද චිත්‍රපට කටවුට් අඳින්නෙ නෑ. ඒ කලාව අද අපෙන් ඈත් වෙලා. අදත් මගේ රැකියාව වෙලා තියෙන්නේ චිත්‍ර අඳින එක. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අනුග්‍රහයෙන් රෝහල්වල තාප්පවල චිත්‍ර ඇන්දා. පාසල්වල තාප්පවල චිත්‍ර ඇඳීම අද මම සිද්ධ කරනවා. මට පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ චිත්‍ර හරහා දරුවන්ට ලොකු පණිවිඩයක් දෙන්න ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මේ සඳහා පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් මට ලැබෙන පූර්ණ සහාය මට ආශිර්වාදයක්. මගේ 072-1405871 දුරකතන අංකයට කතා කිරීමෙන් මගේ සේවය ලබා ගන්නත් පාසල්වලට පුළුවන්.

ගීත ගායනයත් අද ඔබේ වෘත්තීය වෙලා?

ඒක මගේ වෘත්තියට වඩා මගේ විනෝදාංශයක්. චිත්‍ර ශිල්පියෙක් වගේම ගායනයෙනුත් මට ලොකු සතුටක් ලැබෙනවා. ඒ සතුට මට හොඳටම ඇති. මම තාත්තා හම්බ කරපු දේ විනාශ කළේ නෑ. අද වුණත් තාත්තා කොහේ ඉඳන් හරි අපි දිහා බලාගෙන ඇති. අද වෙන කොට අම්මත් ජීවතුන් අතර නෑ. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, අමරදේව මේ අයගේ ගීත මට ගායනා කරන්න පුළුවන්. මගේ මුල්ම සංගීත ගුරුවරයා වුණේ ශාන්ති විජේතුංග. සරත් දසනායක, පී. එල්. ඒ. සෝමපාල, ස්ටැන්ලි ඕමාර් එදා මට වාදනයෙන් ලොකු සහයක් ලබා දුන්නා.

හින්දි ගී තනුවලටත් ඔබ පෙම් බඳිනවා?

ටෝනි හසන්, නුවන් ගුණවර්ධන වගේම නැසීගිය ටියුඩර් ජයශාන්ත හින්දි තනුවලට ගීත කියනවා හා සමානව මටත් හින්දි තනුවලට ගීත කීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මෑතකදී හින්දි තනුවලට ගීත හතරක් මම පටිගත කළා. මගේ ලොකු ආශාවක් තිබුණා කවදා හරි බුදු ගුණ ගීතයක් කීමට. ඒ ආශාව මම සැබෑ කර ගත්තා. මමම බුදු ගුණ ගීතයක් ලියලා මමම තනුව දාලා ගායනා කළා. මේ බුදු ගුණ අඩංගු ගීතයත් අර අලුතින් පටිගත කළ ගීතත් එකතු කරලා නුදුරු දිනක මම සී. ඩී. එකක් කරනවා. කවද හරි දවසක මිනිස්සු මේ ගීත අහලා සුනිල් වෙස්ලි කියලත් ගායකයෙක් හිටියනේ කියලා කතා කරයි. සමහර විට එදාට මම ජීවත් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

එදා නළුවොයි අද නළුාවොයි අතර ලොකු වෙනසක් ඔබ දකිනවාද?

එදා නළුවෙක් නිළියක් පාරේ ගියත් රසිකයන්ගෙන් බේරිල්ලක් නෑ. අද බලෙන්ම මුහුණ පෙන්නලා ගියත් කවුද කියලා දන්නේ නෑ. ඒ අයට නළු නිළියන්ගෙන් වැඩකුත් නෑ. ඔන්න අද තත්ත්වය. එදා තාත්තා අසනීප වෙලා හලාවත රෝහලේ ඇඳේ ඉන්න කොටත් ඉස්පිරිතාලෙට එන මිනිස්සු තාත්තාව දැකලා හිනා වුණේ, තාත්තාව බලන්න ආවේ එදා තාත්තා ජනප්‍රිය චරිතයක් වුණ නිසයි.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

බිරිය ඉන්ද්‍රා කුමාරි. පුතා සම්පත්, දුව කෞමදමාලි අද වෙන කොට දුවයි, පුතයි විවාහ වෙලා. මම බී. ඇස්. නාමය රැකගන්න මගේ ජීවිත කාලය තියෙනකන් තාත්තා වෙනුවෙන් මොන යම් හෝ දෙයක් කරනවා. ඒ 07 ජී 3, සොයිසා පුර, මොරටුව ලිපිනයේ තමයි මම අද පදිංචි වෙලා ඉන්නේ.