වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




පටීභාන යනු සත්‍යාවබෝධයයි

පටීභාන යනු සත්‍යාවබෝධයයි

එදා දඩයම නිපැයූ - සරසවිය සම්මාන දිනූ රබීන් චන්ද්‍රසිරි මෙදා සාක් උළෙලේ හොඳම නිමැයූ වෙයි

සාක් කලාපීය රටවල එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික වැඩපිළිවෙල යටතේ පැවැත්වෙන චිත්‍රපට උළෙලේ පස් වැන්න පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. එහිදී ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ඇෆ්ගනිස්තානය යන රටවල චිත්‍රපට අබිභවා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ් ශ්‍රී ලංකාව වෙනුවෙන් පටීභාන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රබීන් චන්ද්‍රසිරි. සිනමාවට නුපුරුදු නොවුනද පටීභාන ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වීම සුවිශේෂත්වයකි.

1983 වසරේදී රබීන් සිනමාවට පිවිසියේ දඩයම චිත්‍රපටය නිෂ්පාදනය කරමිනි. සරසවිය සිනමා උළෙලේ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබූයේ ඔහුගේ ප්‍රථම සිනමා නිෂ්පාදනය වූ දඩයම චිත්‍රපටයෙනි. හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම තිරරචනය ආදී වූ අංශ යටතේ සරසවිය සහ ජනාධිපති සම්මාන රැසක් දිනා ගන්නට දඩයම චිත්‍රපටය සමත් විය. එසේම ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය ද සම්මානනීය වූයේය. කාලයක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් මෙන්ම මෙම නව සිනමා අත්දැකීම ගැනත් අපි රබීන් සමඟින් කතා කරමු.

සාක් සිනමා උළෙල් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානනීය වීම පිළිබඳ ඔබේ අදහසින් මේ කතාබහ ආරම්භ කරමු?

සාක් සිනමා උළෙල ශ්‍රී ලංකාවට විශේෂ වූ සම්මාන උළෙලක්. දකුණු ආසියාතික රටවල එකමුතුවෙන් පැවැත්වෙන මෙම සාක් චිත්‍රපට උළෙල අපේ නිර්මාණ අනෙකුත් රටවල් සමඟින් බෙදාහදා ගන්නත් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ අධ්‍යයනයටත් ලැබෙන හොඳ අවස්ථාවක්. එහි පස්වැන්නේ මට හොඳම අධ්‍යක්ෂවරයා වෙන්න ලැබීම සිනමා ජීවිතයෙන් මා ලද විශාල ජයග්‍රහණයක්. පටීභාන ම විසින් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයවීම විශේෂයක්. එහිදී මගේ උත්සාහයේ සාර්ථක ප්‍රතිඵල ලබන්න හැකි වුණා. ඒක හොඳ ආරම්භයක් ලෙසින් මට දැනෙනවා.

ප්‍රථම අධ්‍යක්ෂණය සම්මානනීය වෙන්න විශේෂ හේතුවකුත් ඇති?

ඇත්තටම නිර්මාණය ගුණාත්මකබවින් යුතු වීම ඒ සඳහා බලපෑවා යන්න මගේ අදහසයි. මේ චිත්‍රපටයේ බොහොමයක් චරිත නිරූපණය කළේ නවක නළු නිළියන් විසින්. ඔවුන් තම කාර්යය නිසි ආකාරයෙන්ම ඉටු කළා. ප්‍රධාන චරිතය නිරූපණය කළේ සම්පත් ශ්‍රී රෝෂන්. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ චරිතයට පණ පෙව්වේ නිරෝෂන් විජේසිංහ.චන්ද්‍රසෝම බිංදුහේවා ලොකු හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කළා. මේ සියලු දෙනාගෙන්ම ලැබුණේ ලොකු සහයෝගයක්.

පටීභාන චිත්‍රපටය ගැන කතා කළොත්?

හොඳ පවුලක හැදුන දරුවෙක් පවුලෙන් දුරස්ව පාතාලයේ මංකොල්ල කණ්ඩායමකට හසුවී ජීවිතය වරද්දා ගන්නා අයුරු මෙහි කතාවට ලක් වෙනවා. ඔහු මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත වන්නට සිදුවීමත් එයින් පැන යාමත් සමඟ මුහුණ දෙන සිදුවීම් පෙළ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වන අයුරුත් රූපමය ලෙසින් පෙළ ගස්වා තිබෙනවා.

මෙයට පටීභාන ලෙසින් නම තබන්නට හේතුව?

සත්‍ය අවබෝධවීම යන තේරුම පටීභාන නම් වචනයෙන් ගෙන එනවා. පාතාල සාමාජිකයන් යැයි කියමින් මිනිස් ඝාතන සිදු වූ කාලයක් තිබුණා. චෝදනා නඟමින් මේ විදියට පුද්ගල ඝාතනයන් සිදුකළත් සත්‍ය වශයෙන්ම ඔවුන් පාතාලයේද කියා හඳුනාගන්න නොහැකි වූ අවස්ථා තිබුණා. මගේ අදහස නම්, ඇතැම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයන්ට අසාධාරණ වූ බවයි. මම පටීභාන තිර රචනය කළේ මේ සිදුවීම් පාදක කර ගනිමින්.

ඔබ මේ හරහා සමාජයට දෙන්නට උත්සාහ කරන්නේ?

සිඟාලෝවාද සූත්‍රයට අනුව උපයා ගන්නා මුදල් දේපල ආදිය නිසි ලෙසින් කළමණාකරණය කර ගන්නා අයුරු වගේම ණය බරින් තොරව යහපත් ජීවිතයට උපදේශයක් මෙයින් ලබා දෙනවා. ඒ වගේම වැරදි මඟට ගිය පුද්ගලයෙක් යහමඟ යැවීමට කළ හැකි දේත් මෙහි සාකච්ඡා වෙනවා. ජීවිතය යහපත් කරගැනීම වෙනුවෙන් වූ උපදෙස් තමයි පටීභාන චිත්‍රපටයෙන් කියා දෙන්නේ.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ අත්දැකීම් තුළින්?

මා අධ්‍යක්ෂණය කරා යොමු කරන්නේ සිනමා අත්දැකීම්. පුංචි කාලයේ පටන් මගේ විනෝදාංශය වුණේ චිත්‍රපට නැරඹීම. දෙක වසරේ පටන් මම චිත්‍රපට බැලුවා මට මතකයි. කාලයත් සමඟින් මම ඒ නිර්මාණ හොඳින් අධ්‍යයනය කරන්න පුරුදු පුහුණු වුණා. ඒ ඔස්සේ විශාල පාඩම් රැසක් මට ඉගෙන ගන්නත් හැකි වුණා. තිර රචනයත් මා ප්‍රගුණ කළ තවත් අංශයක්. පටීභාන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් මගේ.

ඔබ සිනමාවට පිවිසෙන්නේ කතාබහට ලක් වූ සිනමා නිර්මාණයකින්?

1983 වසරේ දඩයම චිත්‍රපටය නිෂ්පාදනය කරමින් මට චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාව මට ලැබෙන්නේ විශේෂ ආකාරයෙන්. මම වසර කිහිපයක් අමෙරිකා එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ සේවයේ නියුතු වෙලා හිටියේ. කාලයකට පසු ලංකාවට පැමිණ ඉන්දියාවට විනෝද ගමනක් ගිය අතරේ දීර්ඝ දුම්රිය ගමන් තුළ මා අතින් තිර රචනයක් නිර්මාණය වුණා. 1981 කාලයේදී තිබූ සිංහල - දෙමළ ගැටුම පාදක කරගෙන ලියූ එය රතු ඉරි දෙකක් ලෙසින් නම් කෙරුණා. ලංකාවට පැමිණි පසු මම චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර හමු වුණේ රතු ඉරි දෙකක් පිටපත සමඟින්.

වසන්ත කියන්නේ සාමාන්‍යයෙන් සත්‍ය කතා පාදක කරගත් නිර්මාණකරණයෙහි ප්‍රමුඛයෙක්. ඉතින් මගේ පිටපත බැලූ වසන්ත ඔහු අත තිබු වෙනත් පිටපතක් මා අතේ තැබුවා. ඒක අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කළ ඇඩ්ලින් විතාරණ ඝාතනය ඇසුරෙන් රචනා වූ එකක්. අපි මේක චිත්‍රපටයකට කරමුද කියා ඔහු මගෙන් ඇසුවා. එය කියවා බැලූ මමත් එයට එකඟ වුණා. ඒ අනුව තමයි දඩයම චිත්‍රපටයට මගේ නිෂ්පාදන දායකත්වය ලැබුණේ. සරසවිය සම්මාන උළෙලේදී මා හොඳම නිෂ්පාදක ලෙසින් සම්මානයට පාත්‍ර කළ එය තවත් සම්මාන රැසක් දිනා ගත්තා.

එයින් පසු සිනමාවෙන් දුරස් වුණේ ඇයි?

දඩයම තිරගත වුණේ 1983 වසරේ මැයි මාසයේදී. ජූලි මාසය වන විට රටේ කෝලහල තත්ත්වයක් ඇති වුණා. මිනිසුන් ජීවත් වුණේ භීතියෙන්. චිත්‍රපට බලලා විනෝද වෙන මානසිකත්වයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ සමඟින් සිනමා ශාලා වැසිගියා. චිත්‍රපටයේ වියදම පමණක් පියවා ගන්න අපට හැකි වුණා. ඒ කාලයේ වෙනත් නිර්මාණයක් ගැන හිතුවේ නැහැ. මම වෘත්තියෙන් මිනින්දෝරුවෙක්. ඒ සමඟින් විශාල රාජකාරි වැඩ කොටසක් මට පැවරී තිබුණා. එයින් පසුව යුධ වාතාවරණයක් ඇති වුණා. අනුරාධපුර, රත්නපුර වැනි ප්‍රදේශවල මැනුම් කටයුතු රැසක් සිදුකිරීම වෙනුවෙන් මම කාලය වෙන් කරලා තිබුණා. ඊට අමතරව උසාවියේ ඉඩම් නඩු කටයුතු සඳහාත් මගේ සේවය සළසන්න සිදු වුණා. මේ කාර්යබහුලත්වය නිසාම චිත්‍රපටයක් ගැන මම හිතුවේ නැහැ. වසර ගණනාවකට පසු නැවතත් සිනමාවට සමීප වෙන්න මට අවස්ථාව ලැබුණේ පටීභාන නිසා.

පටීභාන ප්‍රේක්ෂයන්හට නරඹන්න ලැබෙන්නේ කවදාද?

මම අපේ රටේ සියලුම සිනමා මණ්ඩල සඳහා පටීභාන ඉදිරිපත් කළා. සියල්ලන්ම එය ප්‍රදර්ශනය කිරීමට එකඟත්වය පළ කළා. එම්පීඅයි සිනමා මණ්ඩලය පටීභාන නුදුරේදීම තිරගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට එකඟ වුණා. ඒ අනුව අපි ලබන අගෝස්තු මාසයේදී පමණ එම්පීඅයි සිනමා මණ්ඩලයේ සිනමා ශාලාවල එය තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා.

කාලයක් පුරා සිනමාවට ලැදි වූ ඔබ එදා සහ අද සිංහල සිනමාව දකින්නේ කෙළෙසද?

එදා සහ අද අතර කාලය දෙස බැලුවොත් අපේ සිනාමවට අභාග්‍යසම්පන්න කාලයක් උදා වෙලා. වර්තමානය වන විට චිත්‍රපටයක් නිර්මාණයට විශාල මුදලක් වැය වෙනවා. එයින් වියදම පියවිම පවා ඉතා අසීරු කරුණක්. ඒවගේම රූගත කිරීම් වෙනුවෙන් අවසර ගැනීමේදී අපට ගැටළු රැසකට මුහුණදෙන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නම් මේ කටයුතු සඳහා විශාල පහසුවක් වේවි.

අනෙක් කාරණය තමයි පටලපට ක්‍රමය සහ ඩිජීටල්කරණය. මේ නිසා අපේ සිනමා කාර්මාන්තය තුළ ගැටළු රැසක් ඇති වෙලා. ලෝකයේ බොහෝ රටවල් දැන් ඩිජීටල් සිනමාකරණයට පිවිසිලා. අපි තවමත් භාවිත කරන්නේ පටලපට. මෙම කාර්යය ඉටුකරගත හැකි වන්නේ ඉන්දියාවේ රසායනාගාර කිහිපයකදී පමණයි. අපේ සිනමා ශාලා තවමත් ඩිජීටල්කරණයට සූදානම් නැහැ. ඒ පහසුකම තියෙන්නේ ශාලා කිහිපයක පමණයි. ඉතින් මේ තත්ත්වය මත නිර්මාණකරුවන් ඉතාම අසිරු ගැටළුවකට මැදි වී සිටිනවා. ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනවා නම් කර්මාන්තය මීට වඩා දියුණු තත්ත්වයකට පත් වේවි.

ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු සැළසුම්කර තිබෙන්නේ කොහොමද?

වෘත්තීය කටයුතු වලින් දැන් තරමක් බැහැර වෙලා සිටින්නේ. ඒ නිසා සිනමාව වෙනුවෙන් වැඩි කාලයක් මට ඉතුරු වෙලා තියෙනවා. දැන් මට නිදහසේ සිනමා නිර්මාණයක් පිළිබඳ හිතන්න පුළුවන්.