|
එපා කියපු චිත්‍රපට
බොලිවුඩයේ සුපිරි තරුව කිං ඛාන් හෙවත් ෂාරුක් වයස අවුරුදු පනහ ඉදිරියේ සිටියත් තවමත් යුවතියන්ගේ සිහින කුමරා. ඔහුට ආදරය රසික රසිකාවන් බලා සිටින්නේ ඔහුගේ මීළඟ නිර්මාණ කුමක්වනු ඇතිද කියාය. පසුගිය කාලයේදී ෂාරුක් දායක වූ චෙන්නායි එක්ස්ප්‍රස් සහ හැපි නිව් ඉයර් චිත්‍රපට ඉහළම ආදායම් වාර්තා තබමින් සාර්ථකව තිරගත වුණා. මීළඟට දිල්වාලේ, ෆෑන් සහ රීස් චිත්‍රපට වෙනුවෙන් ඔහු සිය කාලය වෙන් කරලා තියෙනවා. මේ ආරංචි සමගින් ෂාරුක් ප්‍රතික්ෂේප කළ චිත්‍රපට ගැනත් දැන ගන්න ලැබුණා. ඔහු ඒ චිත්‍රපට කුමන හේතු නිසා ප්‍රතික්ෂේප කළාද කියා නොකීවත් ඒ හැම චිත්‍රපටයක්ම සාර්ථකත්වයෙන් ඉහළටම ගිය චිත්‍රපට වීම විශේෂයි. රාජ් කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ මුන්නා භායි එම්. බී. බී. එස් චිත්‍රපටය ඒ අතරින් එකක්. සන්ජේ දත් තමයි එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ. කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ එක් තා ටයිගර් චිත්‍රපටයත් ෂාරුක් ප්‍රතික්ෂේප කළ චිත්‍රපටයක්. සල්මන් ඛාන් ප්‍රධාන චරිතයට පණ පෙවූ එය ඉහළ සාර්ථාකත්වයක් ළඟා කර ගන්න සමත් වුණා. සම්මානනීය චිත්‍රපටයක් වූ රඟ දේ බසන්තී චිත්‍රපටයත් කිං ඛාන් ප්‍රතික්ෂේප කළා කියලයි කියන්නේ. අමීර් ඛාන්, සිද්ධාර්ත් නාරායන්, කුනාල් කපූර්, ශර්මන් ජෝෂ්, ආර් මාධවන් ඇතුළු පිරිසක් ඒ සඳහා රංගනයෙන් දායක වුණා ඔබට මතක ඇති. අමීර් සමඟින් ෂර්මන් ජෝෂ්, ආර් මාධවන් රඟපෑ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටයටත් මුල් ආරාධනය ෂාරුක් වෙනුවෙන් වූ බව ආරංචියි. 2000 වසරේ තිරගත වූ කහෝනා ප්යාර් හේ චිත්‍රපටය වගේම අධිරාජ්‍යයෙකුගේ ආදර කතාවක් ගෙන එන ජෝදා අක්බර් චිත්‍රපටය වෙනුවෙන් කළ ආරාධනාත් ෂාරුක් ප්‍රතික්ෂේප කරලා. මේ චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිත නිරූපණය කළේ රිතික් රෝෂන් විසින්. ඒ වගේම ලගාන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් මුලින් වෙන් වෙලා තියෙන්නේ ෂාරුක් වෙනුවෙන්. |