|
අරුත්සුන් වචනවලින් අද සංගීත ලෝකයම පිරිහිලා
සංගීතවේදී, වාද්‍ය ශිල්පී ආනන්ද වෛද්‍යසේකර
සංගීතයට බොහෝ ලැදි වන අය එය දේවත්වයෙන් සුරකින්නෝ වෙති. එහෙත් තවත් පිරිසක් අනුන්ගේ නිර්මාණ පවා කොල්ලකමින් ව්‍යාපාරවල යෙදෙති. සංගීතය සුරකින්නෝ හිඟය. විකුණන්නෝ බහුලය. එවන් යුගයක සංගීතය ඉතාමත් පරෙස්සමට සුරක්ෂිත කරමින් යහපත් වූ සංගීත කලාවක ඉදිරිය සකසන්නට වෙර දරන සංගීතඥයෙක් අපට හමුවිය. ඔහු නමින් ආනන්ද වෛද්‍යසේකරය. ඔහු ගායක දේවානන්ද වෛද්‍යසේකරයන් ඥාති පුත්‍රයෙකි. අසූව දශකයෙන් සංගීත ක්ෂේත්රයට පැමිණ වර්තමානයේ ද ක්ෂේත්රයේ උන්තතිය වෙනුවෙන් කැප වන්නේය. අපි ඔහුත් සමඟ තොරතුරු විමසමු.
ඔබ බොහොම නිහඬ ගමනක යෙදෙන නිර්මාණකරුවෙක්....? ඔව්. ඇත්තටම සංගීත ක්ෂේත්රය වෙනුවෙන් සේවයක් ඉටු කිරීමයි මගේ බලාපොරොත්තුව. ඒක නිතරම ප්‍රචාරය කරමින් කළ යුතු නැහැ. ඔබ සංගීත ක්ෂේත්රයට පැමිණ දැන් වසර තිස්එකක්....? 1984 වසරේදී තමයි මම සංගීත ක්ෂේත්රයට පිවිසියේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව සංගීතය පිළිබඳව වැඩිදුර හැදෑරුවා. ප්‍රථමයෙන්ම ෆෝචූන් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පියා ලෙසින් සම්බන්ධ වුණා. පසුව තවත් සංගීත කණ්ඩායම් කිහිපයකට සම්බන්ධ වෙලා කටයුතු කළ. මේ අතරේ ලීඩ් ගිටාරය, රිදම් ගිටාරය, ඩ්‍රම් සෙට් එක, ඕගනය, පියානෝව ආදී සංගීත භාණ්ඩ රැසක් වාදනය කරන්න පුරුදු වුණා. කාලයක් සමඟ ගීත ගායනය, රචනය, සංගීත අධ්‍යක්ෂණය ආදී සියලු අංශයන්හි සාර්ථක වෙන්න හැකි වුණේ මා තුළ තිබූ සහජ හැකියාව වගේම උත්සාහය, ධෛර්යය නිසයි. අසූව දශකයේදී ක්ෂේත්රයට පැමිණි ඔබ එදා සහ අද අතර වෙනස දකින්නේ කෙලෙසද? සංගීත ක්ෂේත්රයේ හැටේ දශකය අති උතුම්. හැත්තෑව දශකය වගේම අසූව දශකයේත් හොඳ ගීත බිහි වුණා. හොඳ සංගීත පසුබිමක් තිබුණා. දක්ෂ නිර්මාණකරුවන් බිහිවුණා. දැන් නම් අන්තර්ජාලය නිසා මේ හැම දෙයක්ම වෙනස්වෙලා. හැමදේම නවීන තාක්ෂණයෙන් බොහොම ලෙහෙසියෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ගීතයක් නිර්මාණය කළාට එයට අවශ්‍ය වයලින් වාදනයේ සාම්පලයක් අරගෙන එයට මිශ්‍ර එක් කරන්න පුළුවන්. නමුත් එයට නියම වයලීන වාදනය ඇතුළත් නැහැ. ඒ වගේම අරුත් සුන් වචනවලින් සංගීත ලෝකයම පිරිහිලා. සංගීත ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ඔබ තනි උත්සහයක යෙදෙන බව ආරංචියි.....? දැනට මගේ ශබ්දාගාරයේ ගීතවල ගායනය, සංගීත නාද රටා වෙන වෙනම තැටි ගත කරලා සුරක්ෂිතව සංරක්ෂණය කරලා තියෙනවා. ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකගේ ගීත එකතුවක් දැනට සකස් කරලා තියෙනවා. නිවැරැදි දැනුම අප ඉදිරි පරපුරට ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් මගේ නිවෙසේ ළමුන්ට සංගීත දැනුම මුල සිටම බොහොම පිළිවෙළට ලබා දෙනවා. වර්තමානයේදී ක්ෂේත්රයට නවකයන් රැසක් එකතු වෙලා සිටිනවා වගේම දිනෙන් දින අලුත් තරු බිහි වෙනවා. ප්‍රවීණයෙක් විදියට ඔබ මේ තත්ත්වය දකින්නේ කෙලෙසද? ගීතයක් නිර්මාණය කරලා පරිගණක තාක්ෂණයෙන් එය හැදුවට ඔහු දක්ෂ ශිල්පියෙක් වෙන්නේ නැහැ. අලුත් අයට ඕනෙ ගායකයෙක් හරි ගායිකාවක් හරි වෙන්න විතරයි. සංගීතය පිළිබඳ නිසි අවබෝධයෙන් ඒ තත්ත්වයට එන්න ඔවුන්ට අවශ්‍ය නැති බව පේනවා. මං ළඟට ඉගෙන ගන්න එන ඇතැම් අයත් ඇවිත් අහන්නේ සිංදු උගන්වන්නේ නැතිද කියලයි. ස්වර හත හරියට හඳුනා ගන්නේ නැතිව සංගීත ක්ෂේත්රයේ ඉදිරියට යන්න බැහැ. බොහොමයක් අයට වරදින තැන එතැනයි. අපි ගමනක් යන විට හරි අවබෝධයෙන් යන්න ඕනෙ. සංගීත ක්ෂේත්රයේ ගමනත් එහෙමයි. තරු තරගවලින් පවා ඉදිරියට එන අය ස්ව තන්ත්ර නිර්මාණ බිහි කරනවා නම් තමයි හොඳ. ළමුන් වෙනුවෙනුත් අද තරු තරග වෙන් කරලා....? ළමුන්ට තමයි අපි වටිනාම දේ දිය යුත්තේ. ඔවුන් අපේ අනාගතය. සංගීත ක්ෂේත්රයේ අනාගතයට අපි දක්ෂයන් එකතු කරගත යුතුයි. ඒ වුණත් ළමා තරගවල අද ළමා ගී ඇසෙනවා ද කියන ප්රශ්නය මතුවෙනවා. අතීතයේ සිටම ළමුන් වෙනුවෙන් ළමා ගී නිර්මාණය වෙන්නේ ඔවුන්ට ගායනා කළ හැකි ස්වර පරාසයක් තුළයි. ඒ වුණත් කුඩා වියේදී තමන්ට ගායනා කළ නොහැකි මට්ටමේ ඉහළ ස්වර පරාසයක ගීත ගායනය ඒ දරුවන්ගේ අනාගතයට බලපෑමක්. එය ඔවුන්ගේ ස්වර තන්ත්රවලට හානි ගෙන දිය හැකි දෙයක්. ඇත්තටම මේ නිසා ඉතා දක්ෂ ගායකයන් රටට අහිමි විය හැකියි. ඉදිරියේදී සංගීතය වෙනුවෙන් ඔබේ සැළසුම්? පසුගිය වසරේදී මම ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ වටිනා නිර්මාණ රැසක් එළිදක්වන්න කටයුතු කළා. අමෙරිකාවේ වෙසෙන විකුම් පි‍්‍රය පෙරේරා මේ වනවිට ගීත රචනා කිහිපයක් මට ලබා දුන්නා. ඉදිරියේදී එය එකතුවක් ලෙසින් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වන නවකයන්ටත් මම අත දෙන්න කැමැතියි. මගේ සංගීත පංතිය හරහාත් සංගීත ක්ෂේත්රයට ඵලදායී ශිල්පීන් බිහි කිරීම මගේ අරමුණයි. ඔබේ රසික රසිකාවන්ට වගේම ක්ෂේත්රයේ නවකයන්ට කියන්නත් බොහෝ දේ ඇති..... නවකයන්ට මම කියන්නේ තම හැකියාවෙන් තමන්ගේම හොඳ නිර්මාණ සමඟින් ක්ෂේත්රයට පැමිණෙන්න කියලායි. අපි දවසින් දවස අලුත් වෙන්න ඕනෙ. අලුත් නිර්මාණ ගැන හිතන්න ඕනෙ. ඒ වුණත් පැරැණි නිර්මාණවලට හානියක් වෙන්න දෙන්න හොඳ නැහැ. උනන්දුවෙන් කටයුතු කළොත් ක්ෂේත්රයේ සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්. මේ දක්වා වසර ගණනාවක් මා සමඟින් රැඳී සිටි ආදරණීය රසික රසිකාවන්ට ස්තුති කරන්න කැමැතියි. ඔවුන්ගෙන් මා ලද සවිය අපමණයි. 071-1528383 ඔස්සේ හෝ [email protected] ඔස්සේ ඔබට මා අමතන්න අවස්ථාව තියෙනවා.
|