වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




තවත් ඵෙතිහාසික කතාවක්

තවත් ඵෙතිහාසික කතාවක්

සිසිල් ගුණසේකරගේ චිත්‍රපටයක්

ඈතින් ඇසෙන මුහුදු රළ බිඳුමේ ඇත්තේ අපූරු තාලයකි. උස් පහත් වන රළවලින් නැගෙන ස්වරය ඈතට දිව යන්නේ ගීතයක පද සිහින් හඬින් මුමුණන්නාක් මෙනි. කරදිය පිස හමන සුළඟ සිරුරට රැගෙන එන්නේ සුවදායක බවකි. ඒ සුවදායක බව විඳීමින් සයුර දෙසම බලාගෙන සිටින්නේ තරුණයෙකි. බැස යන හිරුගේ රශ්මිය ඔහුගේ උවන මත සටහන්ව තිබුණ ද මේ තරුණයාගේ හැඟීම් එකින්එක වටහා ගන්නට තරම් අනෙකෙකුට පහසු නොවේ. එහෙත් එක් දිශාවකට යොමුව තිබුණු ඔහුගේ නෙත් සඟලින් කියාපෑවේ දිගු කල්පනාවක නිරතව සිටින බවකි. ඒ කල්පනාව මදකට හෝ බිඳ වැටුණේ වෙරළ සොයා එන දඟකාර රළ පෙළ නිසාය. මිගෙල්ගේ දෙපා සිප ගන්නට තරගයක් තිබූ කලෙක මෙන් වෙරළ සොයා දිව එන රළපෙළ විසිර යන්නේ සුදු පෙණපිඩු නංවමිනි. එසේ විසිර යන සුදු පෙණපිඬු දෙසම ඔහු බලා සිටියේ සමාධියකට සම වැදුණු අයුරෙනි.

“ හරියටම අපේ ජීවිතය වගේ”

තමාටම මුමුණමින් හේ යළිත් ක්ෂිතිජය දෙස දෙනෙත රැදෙව්වේ ගුරු හිමියන් කියාදුන් බණ පදයක්ද මුවඟ රදවමිනි. එසේ සංසුන් වූ සිත නොසංසුන් වන්නට පටන් ගන්නේ එක්වරමය.

“ මේ ඉංග්‍රීසින් එක්ක කිසිම දෙයක් කරන්න බැහැ. ආගමක් දහමක් අදහන්න අපේ මිනිස්සුන්ට දෙන්නේ නැහැ.”

ඔහු සිය දෙපා පොළොවේ ඇන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක් එතැන සිටියේ නම් උස්සා පොළොවේ ගසන තරම් කේන්තියකිනි.

“ මිගෙල් අම්මට අසනීපයි”

ඉරිදා දිනෙක පැමිණි ඒ පණිවුඩය මිගෙල්ට උන් සිටිතැන් අමතක කළේය. ඔහු ආයතන ප්‍රධානියා සොයාගෙන ගියේ ගමට යන්නට තරම් මුදලක් හෝ මව වෛද්‍යවරයකුට පෙන්වීමට තරම් මුදලක් තම අත නොවූ බැවිනි.

“මෙන්න මේක තියා ගන්නවා. අම්මාගේ වැඩකටයුතු වෙනුවෙන් ”

ප්‍රධානියා මිගෙල් අත මුදල් තැබුවෙන් ඔහු පුදුමයට පත්විය. ඉංග්‍රීසි ජාතිකයෙක් වූ ප්‍රධානියා එවේලෙහි ක්‍රියාකළ ආකාරය පිළිබඳ ඔහුගේ සිත් ගත්තේය.

“ එදා ඉරිදා දවසක්. සල්ලි ගන්නවත් විදියක් තිබුණේ නැහැ.”

මිගෙල් වටපිට බැලුවේ තම මුවඟින් පිටවූ වදන් පෙළ අසාගෙන තවෙකෙක් සිටීදැයි සැක හැර දැන ගැනීමට ය. වෙරළේ ඈත සිටින ළමයි රංචුවකි. ඔහු මේ පුංචිඋන් දෙසම බලා සිටියේ ය. තම ළමා කාලය ගෙවුණේ මේ වෙරළේම නොවේද? යහළුවන් පිරිවරා ගෙවුණු කුඩාකල ජීවිතය කොතරම් සොඳුරු ලෙස ගෙවුණා දැයි මිගෙල් සිහිපත් කළේ සිනහවක් මුහුණ මත නලි යද්දීය. ඒ ළමා කාලයට තමාට අලගු තබන්නට සිදු වන්නේ කුඩාකලම පැවිදි ජීවිතයට ඇතුළත් වූ නිසාමය. එහෙත් මේ වනවිට ඔහු එය හැර දමා ගිහි ජීවිතය වැලඳ ගෙන දිගු කලකි. තවමත් පුංචිඋන් වෙරළේය. උන් අතර තරගයකි.

පුළුවන් නම් මාත් එක්ක තරගයට ගහගන්න කෙනෙක් වරෙල්ලා ”

දිනක් චීන සටන්කාමියෙක් සිංහලයන්ට අභියෝග කළ අයුරු මිගෙල්ගේ සවනත වැකුණේ පිටකොටුවේ වෙළෙඳ සැළකට වී තේ පානය කරමින් සිටින අතරතුර ය. චීනාගේ අභියෝගය භාර ගන්නට මේ වනවිටත් කිහිපදෙනෙක්ම එතැනට එක්රැස් වී තිබිණි. ඔවුන්ගේ තරගය නරඹන්නට ඒ අවට සිටිය පිරිස වට වූයේ සැනෙනි. වෙළෙඳාමේ පැමිණි පිරිස ද ඊට එකතු වූයෙන් ඒ පෙදෙස තරග පිටියක සිරි ඉසිලී ය. චීනා සමඟ තරගයට පැමිණි පළමු තරගකරු පරාද වූයේ කිසිදු තරගයක් නොදෙමිනි. දෙවැනි, තෙවැනි, සිව්වැනි තරගකරුවන්ටද සිදුවූයේ පැරැදී පලා යන්නට ය.

“ මාත් සමඟ තරග කරන්න කිසිම කෙනෙක් නෑ.”

චීනා පාරම් බෑවේ ය. ඒ වනවිට මිගෙල් සිටියේ එතැන සිදුවන සෑම කතාබහකටම නෑසුණු කන් ඇතිව ය. එහෙත් චීනාගේ පාරම්බෑම හමුවේ තවදුරටත් නිසොල්මන්ව සිටීමට නොහැකි වූයේ ඒ වනවිටත් මේ චීනාට පාඩමක් ඉගැන්වීමට හේ තීරණය කරගෙන සිටි හෙයිනි. ඔහු එක්වරම නැඟිට්ටේ ය. සෙනඟ පීරාගෙන ඉදිරියට ගිය මිගෙල් චීනා ඉදිරිපස සිට ගත්තේ සෘජු කයෙනි.

චීනා තමා සමඟ සටනට පැමිණි අමුත්තා දෙස බැලුවේ අවඥාවෙනි. ඔහු මහ හඬින් සිනහවක් පෑවේය. ඒ මෙතෙක් පැමිණි තරගකරුවන් අතර මේ පැමිණ සිටින තරුණයා තමාට අභියෝග කිරීමට තරම් නොවන පොඩි කොල්ලකු සේ පෙනී ගිය නිසා ය. අවට සිටි පිරිස මුහුණින් මුහුණ බලා ගත්තේ නොසැලෙන හා අධිෂ්ඨානශීලී තරුණයාගේ ඉදිරිපත් වීම පිළිබඳය. එහෙත් මේ වනවිට කිහිපදෙනෙක්ම පරාජය කර ඇති චීනා පරාජය කරන්නට මොහුට හැකිවේද යන කුකුස ඔවුන්ගේ හදවතේ ඉතිරි වී තිබිණු පැනයකි. සැවොම අතර පැතිර ගිය කසුකුසුව පරයමින් තරුණයා, චීනා සමඟ සටනට වැදුණේය.

සටන පටන් ගෙන ගෙවීගියේ මද කාලයකි. තරුණයා අනෙක් තරගකරුවන් මෙන් නොවන වග අවට සිටි පිරිසට වැටහී යමින් තිබිණි. ඔවුහු වරින්වර තම සඟයාට ඔල්වරසන් නැගූයේ අවට දෙවනත් කරමිනි.

“මිනිහා අතාරින පාටක් නෑ.”

සටන නරඹන පිරිසේ සිටි එක් අයෙක් ඒ අසල සිටි අනෙකාට ඇඟිල්ලෙන් ඇන්නේය. තරගකරුවන් සියල්ලන්ගේම අවධානය යොමුකර ගනිමින් එකෙක් අනෙකා පරාජය කිරීමට අර අදිමින් සිටියේය. මේ වනවිට තරුණයා සිටියේ දිනුම් කණුව වෙත ළං වෙමිනි.

“චීන හැමදාමත් ඉල්ල ඉල්ලනේ හිටියේ අද නම් ඇති වෙන්න ලැබෙන පාටයි.”

සිය සඟයාගේ ජයග්‍රහණය තිරබව දැනගත් පිරිස චීනාට සිනහ වූයේ ඔහු මෙතෙක් නොඋගත් පාඩමක් මේ තරුණයාගෙන් ඉගෙන ගැනීමට ලැබෙන බවදත් හෙයිනි. මේතාක් සිංහලයන් පිළිබඳ අඩු තක්සේරුවකින් සිටි ඔහුට මෙය අපූරු පාඩමකි. තරුණයා චීනාව අල්ලා පොළොවේ ගැසුවේය.

“ හොඳ වැඩේ ”

සියල්ලන්ගේ ඔල්වරසන් හඬින් එදා පිටකොටුව දෙවනත් වූ අයුරු මිගෙල්ට තවමත් මතකය.

කුමාරකන්ද පන්සලේ පින්කම දිගටම කෙරෙයි. මුල් දවස්වල නොපැමිණි බොහෝදෙනා පින්කමට සහභාගි වූයේ මිගෙල් නිසා ය. මිගෙල් එහි පැමිණෙන බව දැනගත් විගස ජනතාව පන්සලට ඇදී එන්නට වූයේ නොසිතූ අයුරෙනි. ඒ මේ වනවිටත් ඔහුගේ කිතුගොස අවට ගම්වල පැතිර ගොස් තිබූ බැවිනි. මේ නිසා බොහෝ දෙනෙක් එහි පැමිණියේ පින්කමට සහභාගි වන මුවාවෙන් මිගෙල්ව දැක ගැනීමට ය. අන් දිනවලට වඩා පන්සල බැතිමතුන්ගෙන් පිරී ඉතිර ගොසිනි.

වීරක්කන්ද නායක හාමුදුරුවන්ගේ මුහුණේ වූයේ වෙනදා නැති එළියකි. ලැසි ගමනින් එහා මෙහා දුවන උපාසක අම්මලා හා උපාසක මහත්වරු මේ සූදානම් වන්නේ සන්ධ්‍යාවේ පැවැත්වෙන බණ උත්කර්ශවත් අන්දමින් සිදු කරන්නටය. බණට පැමිණෙන හාමුදුරුවන් රැගෙන පැමිණීමේ කාර්යය භාරව සිටින්නේ මිගෙල්ය. මිගෙල් එනුදුටු අයෙක් ඔහුට සමීප වී කුමක්ද විමසනු පෙනෙයි.

සුදු සරමක් හැඳ කමිසයකින් සැරැසි සිටින මිගෙල් වටපිට බැලුවේ පින්කම සඳහා පැමිණ සිටින පිරිස දෙස බලන්නටය. මුළු පන්සල් වත්තම අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. තවත් බොහෝදෙනා පැමිණෙමින් සිටියි.

“ප.ව. 6.00”

බිත්තියේ එල්ලා තිබූ හෝරා යන්ත්‍ර යෙන් නිකුත් වන ශබ්දයට සැවොමගේ නෙත නතර වූයේ මේ අතරය.

“ මිගෙල්ව දැක්කද?”

එක් අයෙක් තවත් අයෙකුගෙන් ප්‍රශ්න කරන්නේ ටික වෙලාවක පටන් මිගෙල් පෙනෙන්නට නොසිටි හෙයිනි. දායක සභාවේ සැවොම සිටියේ කුමක් කළ යුතුද යන ගැටලුවට මැදිව ය. මේ අතර බණ කියන හාමුදුරුවන් අපේක්ෂාවෙන් සිටින උවැස - උවැසියන්ට දක්නට ලැබෙන්නේ කරත්තයෙන් බැස අටපිරිකරක් ගත් මිගෙල් තරුණයා හාමුදුරුවන් වඩින මාර්ගයේ පැමිණෙමින් සිටින බවකි.

“අනේ ලොකු හාමුදුරුවනේ මට අම්මත්, තාත්තත් නෑ. මාව මහන කරන්න.” මිගෙල් ඉල්ලා සිටියේ සැවොම පුදුම කරමිනි.

මිගෙල් මහණ කරයි ද? බණ කියන්නට පැමිණෙන හිමි නම කවුරුන් ද? මිගෙල්ගේ සංවිධානය නිසා මෙහි පැමිණි ජනතාව කුමන තීරණයක් ප්‍රකාශ කරයි ද? ආදී ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට නම් ඔබ සිසිල් ගුණසේකරගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘ගුණානන්ද හිමි මිගෙට්ටුවත්තේ’ චිත්‍රපටය නැරැඹිය යුතුමය.