|
දකුණු ඉන්දියාවේ තැනුණ සිංහල - දෙමළ පෙම් කතාවක් ලාල්ගේ චිත්‍රපට අතර
පුදුම හතට අද ඔබට ලෙංගතු කලා තරුවක් ඔබ හමුවට ඇවිත්. ලාල් වීරසිංහ. ඔහු තිරයේදී ප්‍රථමයෙන් ඔබ දුටුවේ 1985 වසරේදී. දශක දෙකකට අධික රංගන ජීවිතයේදී ඔහු ඔබ අවසන්වරට රිදී තිරයේදී හමු වූයේ 2011 වසරේදීයි. ඒ මුතු සළඹ චිත්‍රපටයෙන්. 1995 වසරේදී රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ විජේ සහ අජේ නිෂ්පාදනය කළේද ඔහුයි. උපාලි ප්‍රියරත්න අධ්යක්ෂණ කළ බොඩි ගාඩ් චිත්‍රපටයේ තිර රචනය ද ඔහුගේය. නුදුරේදීම ඔහු ආයෙමත් ඔබ හමුවට පැමිණෙන්න සූදානම්. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ ඔහුගේ රංගනයෙන්ද හැඩ වූ සිනමා නිර්මාණයක් සමඟින්. යළිත් රීදි තිරයෙන් ඔබ හමු වෙන්න පෙර තම සිත් ගත් චිත්‍රපට හතක් ගැන අපට පවසන්නත් ලාල් අමතක කළේ නැහැ.
Rocky මම ක්‍රීඩාවට බොහොම උනන්දු කෙනෙක්. ඇත්තටම ක්‍රීඩාව කියන්නේ මගේ ජීවිතයේ කොටසක් කිව්වත් හරි. ඒ අතරින් බොක්සිං ක්‍රීඩාව ගොඩක් විශේෂයි. බොක්සිං ක්‍රීඩාවට බොහෝ ලැදිවූවෙකු ලෙසින් Rocky(රොකී) චිත්‍රපට මාලාව මගේ හිත් ගත් මට වඩාත්ම ප්‍රිය වූ චිත්‍රපට මාලාව බවට පත් වුණා. සිල්වෙස්ටර් ස්ටැලෝන් රොකී චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළා. ස්ටැලෝන් ප්‍රේක්ෂක අවධානය දිනා ජනප්‍රිය නළුවෙකු බවට පත් වූයේත් මෙම රොකී චිත්‍රපට මාලාවෙන්. ඔහුගේ සිනමා ගමන සාර්ථකත්වයට පත් කරන්නේද රොකී චිත්‍රපට මාලාවයි. මමත් නළුවෙක් වීමට පෙරුම් පුරමින් ඉතාම ආසාවෙන් මෙම චිත්‍රපට මාලාව නැරඹුවා. මෙම චිත්‍රපටවල ආභාෂය ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් මාර්ගෝපදේශයක් වුණා. 1976 වසරේදී පළමු රොකී චිත්‍රපටය තිරගත කෙරුණා. ඉන්පසුව පිළිවෙලින් Rocky II 1979 වසරේදී තිරගත වූ අතර ඉන් පසුව 1982 වසරේදී Rocky III චිත්‍රපටයද 1958 වසරේදී Rocky IV චිත්‍රපටයද 1990දී Rocky V චිත්‍රපටයද තිරගත කෙරුණා. ඉන් පසුව Rocky Balboa 2006 වසරේදී නැරඹූ මම දැන් මේ වසරේ නොවැම්බර් මාසයේදී Rocky Creed චිත්‍රපටය නරඹන්න ආසාවෙන් ඉන්නේ.
Red Corner රිචඩ් ගියර් ප්‍රධාන චරිතයට පණ පොවන රෙඩ් කෝනර් චිත්‍රපටය මා ඉතා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයක්. ජෝන් වෙන්ට් අධ්‍යක්ෂණය කළ රෙඩ් කෝනර් තිරගත වුණේ 1997 වසරේදී. රිචඩ් ගියර් කියන්නේ බුදු දහමට ලැදි වූ බොහොම ප්‍රියමනාප හොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගත් නළුවෙක්. ඒ වගේම මමත් බෙහෙවින් ප්‍රිය කරන හොලිවුඩ් නළුවෙක්. මේ චිත්‍රපටයට කැමැත්ත වැඩි වෙන්න ඔහුගේ රංගනයත් බලපෑමක් කළා කිව්වොත් නිවැරදියි. රිචඩ් ගියර් රෙඩ් කොනර් හි ජැක් මුවර් ලෙසින් ව්‍යාපාරික කටයුතු සම්බන්ධව නීතිඥවරයෙකුගේ චරිතයක් නිරූපණය කරනවා. අමෙරිකාවෙන් චීනයට ගොස් සැටලයිට් සන්නිවේදනය හා සම්බන්ධව ගිවිසුමකට එළැඹීම ඔහුගේ රාජකාරියට පැවරෙන වගකීමක් වේ. ඒ වෙනුවෙන් චීනය බලා යන ඔහු එහිදී තරුණියක සමඟින් රාත්‍රිය ගත කරයි. නමුත් පසු දිනයේදී ඇයගේ මරණයත් සමඟින් ජැක්හට මුහුණ දෙන්නට සිදුවන ගැටළු සමගින් කතාව ගලා ගෙන යයි. අමෙරිකානුවෙකුට කොමියුනිස්ට් රටකදී මුහුණ දෙන්නට සිදුවන මෙම සිදුවීම සමඟින් නිර්මානය වූ රෙඩ් කෝනර් මා නැරඹු සිනමා නිර්මාණ අතරේ විශේෂයි . Guzaarish සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ ගුසාරිෂ් චිත්‍රපටය මා දුටු බොලිවුඩ් සිනමා නිර්මාණ අතරේ ඉතාම විශේෂයෙන් මගේ හිතට දැනුණු චිත්‍රපටයක්. එහි කතා තේමාව ඉතාම අපූරු එකක්. කොතෙකුත් හින්දි චිත්‍රපට නැරඹුවත් ගුසාරිෂ් ඒ හැම නිර්මාණයකටම වඩා සුවිශේෂි ලෙසින් ඉස්මතුව මට පෙනුණා. සන්ජේ ලීලා බන්සාලි නම් අධ්යක්ෂවරයාගේ හැකියාවන් ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු වෙන්නේ නැහැ. මම දකින්නේ මෙය ඔහුගේ නිර්මාණ අතරත් කැපී පෙනෙන නිර්මාණයක් ලෙසින්. සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් සමඟින් සුරූපි ඓශ්වර්යා රායි බච්චන් එහි අපූරු චරිත මැවීමක නිරත වනු මා දුටුවා. මෙහිදී රිතික් අති දක්ෂ මැජික් ශිල්පියෙකු ලෙස එතන් මැස්කරිනස් ගේ චරිතයට පණ පොවනවා. ඔහුට එරෙහි වූවෙකුගේ උපායක් හේතුවෙන් මැජික් සංදර්ශනයකදී වන අනතුරක ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට අතපය වාරු නැතිව ඇඳට වැටෙන්නට සිදු වෙනවා. රිතික් එම චරිතය නිරූපණය කළ ආකාරය නම් ඉතාම අපූරුයි. එහිදී ඔහුගේ හැසිරීම, ඔහු අනෙකුත් පුද්ගලයන් සමඟ ඇසුරු කරන ආකාරය ඉතාම සංවේගජනකයි. අවංකව සේවයට කැපවූ සේවිකාවක ලෙසින් ඓශ්ගේ රංගනයත් ඉතාම සුවිශේෂි වූවක්. මම දකින්නේ ගුෂාරිස් සිනමා පටය මනුෂ්‍යත්වය පිළිබිඹු වන ඉතාම ලස්සන ඒවගේම අනුවේදනීය ප්‍රේම කතාවක් ලෙසින්. Paa පා චිත්‍රපටය හින්දි සිනමාවට එක්වූ ආදරය, මනුෂ්‍යත්වය ගෙන එය වෙනස් මාතෘතාවක් ඔස්සේ කතාබහට ගැනෙන චිත්‍රපටයක් ලෙසින් මා දකිනවා. 2009 වසරේදී එය නැරඹූ මා විශ්මයට පත් වුණා කිව්වොත් නිවැරදියි. ඇත්තටම එහි රංගනය අපූරුයි. ආර් බාලක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කළ පා චිත්‍රපටය වයස අවුරුදු 12 විශේෂිත පිරිමි දරුවෙකු වටා ගෙතෙන කතා පුවතකින් යුතුයි. අපි හැමදාම දකින හින්දි චිත්‍රපටවලින් බොහෝ සේ වෙනස් වූ පා චිත්‍රපටය ආදරය වෙනස්ම ආකාරයකින් කතා බහට ගෙන තිබෙනවා. එහි රංගනය පිළිබඳව කතා කිරීමේදී එහි සුපිරි නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන්ගේ රංගනය පිළිබඳ කතා කළ යුතුම වෙනවා. සාමාන්‍ය පිය පුතු සම්බන්ධයෙන් විරුද්ධව අභිෂේක් පියා ලෙසින් සහ අමිතාබ් ඔහුගේ පුත්‍රයා ලෙසින් කළ ඒ රංගනය ඉතාම විශිෂ්ට රංගනයක්. අමිතාබ් කෙතරම් හොඳම නළුවා ලෙසින් සම්මානනීය වී තිබුණද වයස අවුරුද 66දී දුර්ලභ වූ රෝගයකින් පෙළෙන අවුරුදු 12ක පිරිමි දරුවෙකුගේ චරිතයක් නිරූපණය කිරීම වෙනුවෙන් ඉන්දීය ජාතික සම්මාන උළෙලේදී ලද හොඳම නළුවා සම්මානය ඉතාම වටිනා බව මගේ හැඟීමයි.
Nayakan 1987 වසරේ තිරගත වූ නායකන් විශිෂ්ට සිනමා නිර්මාණකරුවෙකු වූ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ පාතාල නායකයෙකු ගැන කතා පුවතක් ගෙන එන දෙමළ චිත්‍රපටයක්. මෙහි කතාව 1960 – 1980 දශකවල ඉන්දියාවේ පාතාල ලෝකයේ දරුණු මැර කල්ලි සාමාජිකයෙකු වන වර්ධරාජන් මුදලියර්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්. වර්ධරාජන් ජීවත් වුණේ බොම්බායේ. මෙම දරුණු පාතාල සාමාජිකයා පිළිබඳ කතාව සිනමා නිර්මාණයක් ලෙසින් රචනා කළේ මනිරත්නම් සමගින් බලකුමරන්. මෙහි සුප්‍රකට දකුණු ඉන්දීය නළු කමල හසන් වේලු නායකන් ලෙසින් කළ රංගනය මා ඔහුගේ රංගනයන් අතරේ දුටු සුවිශේෂ රංගනයක්. චරිතයක් වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කිරීම මා කමල හසන් ගෙන් දුටු විශේෂත්වයක්. ඔහුගේ සෑම නිර්මාණයකම පාහේ ඒ සාර්ථකත්වය නෙළා ගනු දැකීමක් අනෙකුත් රංගන ශිල්පීන්ට ආදර්ශයක්. මෙම චිත්‍රපටය වෙනුවෙන්ද ඔහු ඉන්දීය ජාතික සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙසින් සාර්ථකත්වත්යට පත් වූවා. වරෙක ටයිම්ස් සඟරාව සඳහන් කර සිටියේ, නායකම් සර්වකාලීන හොඳම චිත්‍රපට සියය අතරට ඇතුළත් වන බවයි.
Punnagai Mannan කේ බාලචන්ද්‍රන් අධ්‍යක්ෂණය කර 1986 වසරේදී තිරගත වූ පුන්නගායි මන්නාන් චිත්‍රපටයත් කමල හසන් රඟ පෑ චිත්‍රපට අතරින් මා වඩා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයක්. එය කමල හසන් රඟපෑ චිත්‍රපට අතරේ එන අනුවේදනීය කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. ඔහු එහි සේතු නම් ආදරවන්තයා තම පෙම්වතිය සමඟින් දිවි නසා ගැනීමට ගන්නා උත්සාහයේදී පෙම්වතිය මරණයට පත්ව ඔහුගේ දිවි බේරෙන්නේ නොසිතූ අයුරින්. ඉන් පසුව ඔහුගේ ජීවිතයේ වන වෙනස්වන ආකාරය පුන්නගායි මන්නාන් චිත්‍රපටයේ රූප පෙළක් ලෙසින් පෙළගස්වා තිබෙනවා. මෙය මා නැරඹූ චිත්‍රපට අතරේ අමතක නොවන චිත්‍රපටයක් බවට පත් වෙලා. එහිදී කමල හසන් සමඟින් දකුණු ඉන්දීය නිළියන් වන රේවතී, මාලිනි ලෙසින් සහ රන්ජිනි ලෙසින් රේඛා මලික් ඉතාම අපූරුවට රංගනයේ නිරත වුණා. මෙහි රේවතී රඟන මාලිනි සිංහල යුවතියකගේ චරිතයක්. දකුණු ඉන්දියාවේ තැනුණු සිංහල - දෙමළ පෙම් කතාව එයයි. සාගරයක් මැද සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සාගරයක් මැද චිත්‍රපටයත් මා ඉතා ආසාවෙන් නැරඹු සිංහල චිත්‍රපටයක්. 1970 – 1977 පාලන සමය තුළ දේශපාලනය ගැන කියවෙන කතාවක්. ලාංකේය සිනමාවේ විශ්මිත රංගධරයෙක් ලෙස ගාමිණි ෆොන්සේකා තම ප්‍රතිභාව මනාව පෙන්නුම් කළ චිත්‍රපටයක් ලෙසත් සාගරයක් මැද චිත්‍රපටය හඳුන්වන්න හැකියි. දක්ෂ රයේ වෛද්‍යවරයෙකු අල්ලසට පොළඹවා ඔහුගේ රැකියාව අහිමිකරවන අයුරු මෙහි කතාවේ ඇතුළත්. එහිදී ගාමිණි ෆොන්සේකා දොස්තර මොළදණ්ඩ සහ ෆ්රෙඩ්රික් රාමනායක ඇමැතිතුමා ලෙසින් කළ රංගනයන් කා අතරත් කතා බහට ලක් වූවා. 1982 වසරේ සරසවිය හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේද සාගරයක් මැද චිත්‍රපටය යි. ගාමිණි වැනි විශිෂ්ට රංගධරයන්ගෙන් නවකයන්හට ඉගෙන ගත හැකි දේ බොහෝමයි. සිනමා සක්විති ගාමිණී සේම සිනමාව වෙනුවෙන් එතුමාගෙන් වූ සේවයත් සිංහල සිනමාවේ අමරණීය යි.
|