වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




උසාවිය නිහඬ වෙනු ! සිනමාකරු අත කැමරාවකි

උසාවිය නිහඬ වෙනු ! සිනමාකරු අත කැමරාවකි

මහව දුම්රියපොළ යනු පොල්ගහවෙලින් පසු උතුරු දිග දුම්රිය මාර්ගයේ හමුවන ප්‍රධානම මංසන්ධියයි. කොළඹ සිට පැමිණෙන දුම්රිය මාර්ගය කෙළින්ම උතුරු දෙස වූ කන්කසන්තුරේ බලා යයි. මහව මංසන්ධියෙන් ආපසු හැරෙන අනිත් දුම්රිය නැගෙනහිර පළාතේ මඩකලපුව හෝ ත්‍රිකුණාමලය බලා යන්නේය. එය දෙපසට වන්නේ ගල්ඔය දුම්රිය ස්ථානයේදීය. උතුරුදිග දුම්රිය යළිත් මැදවච්චියේදී තලෙයිමන්නාරමට හැරී යයි. මිහින්තලය බලා යන දුම්රියට අනුරාධපුරයට නුදුරින් අලුත් මංසන්ධියක් ඇතත් එය ක්‍රියාත්මක වන්නේ පොසොන් පෝය දවස්වලට පමණි.

එකී මහව දුම්රිය ස්ථානය වෙත සමීප වන එක්තරා දුම්රියකි. එයින් බසින්නේ කවුරුන්දැයි අප නොදනිතත් ඔවුන්ගේ ගමනේ ඉලක්කය එයට නොදුරින් වූ පොල්පිතිගම ගම්මානයයි. මෙයට වසර ගණනාවකට ඉහත මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ කුප්‍රකට සිද්ධියක සම්බන්ධ පාත්‍ර වර්ගයා සොයමින් කැමරාව දිව යයි. එහෙත් වසර ගණනාවකට පසු මේ අතීතය හාරා අවුස්සන්නට එකී පාත්‍ර වර්ගයාට නොහැකිය. ඔවුන් අකැමැතිය. ජීවිතය එයටත් වඩා තවත් බොහෝ අවැඩ ඔවුනට කළ සේය. එයින් පසුබට නොවන සිනමාකරු එයින් බැහැරව දකුණු ලක දිහා බලා දිවෙන අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන්නේ එම පුවත අනාවරණය කරන පුවත්පත් කලාවේදියා සොයාගෙනය. ඒ බව අපට කථකයා කියා පාන්නේය.

1996 වසරේදී මහව උසාවියේදී සිදුවන මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක අපචාර ක්‍රියාවලිය විත්ති කථාවක් ලෙස සිනමාවට නැඟුණේ සයිලන්ස් ඉන් ද කෝට් නමිනි. ඒ 2015 වසරේදීය. මේ සිනමා කෘතිය ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. එය ඔහුගේ සෙසු වෘතාන්ත චිත්‍රපට සියල්ලට වඩා වෙනස්ය. සිසිල ගිනි ගනී, අනන්ත රාත්‍රිය, පවුරු වළලු, පුර හඳ කළුවර, ඉර මැදියම, ආකාස කුසුම් සහ ඔබ නැතුව ඔබ එක්ක වැනි ඔහුගේ වෘතාන්ත සිනමා නිර්මාණවලට වඩා වෙනස්ව ඔහු මෙවර සමාජ කතිකාවතකට අඬ ගසනුයේ ඇත්ත තවදුරටත් ප්‍රබන්ධයක් බවට පත් නොකරමිනි.

මෙරට නීති පද්ධතිය පිළිබඳ පුළුල් විවේචනයක් කරන ලද මුල්ම සිනමාකරුවා වනුයේ ගාමිණී ෆොන්සේකාය. ඒ උතුමාණනි චිත්‍රපටය හරහාය. අතවරයට ලක්වන තරුණිය නීතියේ සළු හමුවේ තවත් අතවරයට ලක්වන බව ගාමිණී එහිදී පෙන්වා දෙන ලද්දේය. ලෙනාඩ් වුල්ෆ් ලියන ලද (විලේජ් ඉන් ද ජන්ගල් ඒ. පී. ගුණරත්නයන් විසින් පරිවර්තනය කරන ලද බැද්දේගම) නීතිය ඉදිරියේ අසරණ වන ගැමියා දෙස අපේ ඇස යොමු කරන ලද්දේය. මෙම කෘතීන් සියල්ල සත්‍ය පදනම් කොට ගෙන තැනුණු ප්‍රබන්ධ වන්නේය. ප්‍රසන්න සයිලන්ස් ඉන් ද කෝට් චිත්‍රපටය හරහා ගොඩ නඟන්නට තැත් කරන්නේ අප වසනා සමාජය පිළිබඳ අපගේම හෘද සාක්ෂිය පරයා ප්‍රශ්න කරන්නටය. මහව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත් වූ නඩු විභාගයක් අතරතුර එහි විනිසුරුවරයා විසින් විත්තිකරුවකුගේ භාර්යාව අපහරණයට ලක් කරන ලද්දේ යැයි යන පුවත මෙරට අධිකරණය උඩු යටිකරු කළ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් ජන ජීවිතය ඇතුළත ආගම, සමාජීය සාර්ධර්ම ප්‍රශ්න කරනු නොලබන්නේ ඒ සියල්ල මිනිස් සිත් සතන් මත්තෙහි සිද්ධාස්ථාන ලෙස සලකන බැවිනි. අධිකරණය ද එබඳු සිද්ධස්ථානයකි. එයට සාමාන්‍ය ජනයා ඇතුළු වන්නේ කිසියම් ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් සහිතවය. උසාවි ගනේ යන්නට බැහැ යැයි ගැමියන් ඇතැම් සිද්ධීන් සඳහා පවසන්නේ එහෙයිනි. ඔවුනට විනිසුරුවරයා නඩුකාර උන්නාන්සේය. නැත්නම් කෝටුවේ රජ්ජුරුවෝය. ඒ අපේ ගැමියා අධිකරණය පිළිබඳ සිතා සිටි ආකාරයයි. එහෙත් දේවාලය කපුවා විසින් කැත කරන ලද්දේ නම් එයට එහා ගැටළුවක් නැත. අනිත් අතට වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද?

සරත් ධර්මසිරි නිර්මාණය කරන ලද ගිනි කිරිල්ලී චිත්‍රපටයට පාදක වූයේ ද අතවරයක් සම්බන්ධව අධිකරණයේ පිහිට පැතූ ගැහැනියක පිළිබඳවය. ගිනි කිරිල්ලී එහි පසුතලය ද ප්‍රසන්න විසින් රූපයෙහිලා අනාවරණය කරනු ලබන පසුතලය ද එකිනෙකට නෑකම් කියයි. 1996 වසරේ සත්‍ය සිදුවීමේ සෘජු ඉරණම්කරුවන් වර්තමානයේ පෞද්ගලික හේතූන් මත සැඟව ගත්ත ද ඉන් එහි සිදුවීම වාර්තා කරන්නට සිනමාකරු තෝරා ගනුයේ පුවත්පත් කලාවේදී වික්ටර් අයිවන් විසින් එවකට රාවය පුවත්පත හරහා අනාවරණය කරන ලද ඔහු විසින් හෙළි කරන ලද අසෝබන අධිකරණ කතාවයි. එය වික්ටර් අයිවන් විසින් අධිකරණ ස්වාධීනත්වය උදෙසා නොනිමි අරගලය (ඒදඋදටඪදඪඵඩඥඤ ඉබපභඨඨතඥ) යනුවෙන් ග්‍රන්ථයක් ලෙස ද එළි දකින ලදී.

 සිනමාකරු සිය කෘතිය සඳහා පාදක කොට ගනුයේ එම ග්‍රන්ථය සමඟ ඇතිවන කම්පනයයි. අනතුරුව ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී වික්ටර් අයිවන් සහ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගේ විසින් හෙළිදරව් කරනු ලබන කරුණු ඔස්සේ තුන් පුද්්ගල කමිටුවක් හමුවේ අනාවරණය කරනු ලබන මහව සිදුවීම සිනමාකරු විසින් යළි ප්‍රතිරූප ගත කරනු ලැබේ. ඔහු එහි උපයෝගී කර ගන්නා නළු නිළියන් අතරින් එක් අයෙකු හැර අන් සියල්ලෝ කිසි විටෙකත් අප දැක පුරුදු අය නොවේ. අතවරයට පත්වන ගැහැනිය සිය මව සමඟ පුවත්පත් කලාවේදියා හමුවට එන්නේ බැරිම තැනය. අමතක නොකළ යුතු කාරණය නම් එයින් දශක තුනකට පමණ පෙරාතුව විමලරත්න කුමාරගමයන් විසින් අයියනායක දෙවියන් හමුවේ යාදිනි නඟන ගැමියන් ජීවත් වනුයේද මෙවර පීඩනයට පත් වූ මිනිසුන් වෙසෙන ඉසව්වේ වීමය. දෙවන වරට උත්ප්‍රාසයට කරුණ නම් අපවාදයට ලක්වනු ලබන විනිසුරුවරයා චිත්‍රපටය අවසාන සමයේ රාජකාරිය බාර ගනු ලබනුයේ පුවත්පත් කලාවේදියා ජීවත් වන ගාල්ලට නුදුරු බද්දේගම වීමය.

පවතින සමාජ පද්ධතිය ප්‍රශ්න කරනු ලැබීම ඇතැම් නිර්මාණකරුවන් අත තබන්නට පැකිලෙන විෂයයන්ය. ජනප්‍රිය සිනමාවේ දුෂ්ටයා අභිබවා වීරයා ජය ගන්නේ ඇයි. රසිකයා ඔහු තමන් වෙනුවෙන් ප්‍රශ්න කිරීමට වීරයකු යොදා ගනී. හැම විටම එකී න්‍යායෙන් බැහැර වූ ප්‍රසන්න සිය නවතම සිනමා නිර්මාණයේදී මිනිසා වෙලා ගත් සමාජ අභියෝග ප්‍රශ්න කිරීමට සිය රූපය භාවිතා කරනුයේ එහි එක් පාර්ශවකරුවකු ප්‍රේක්ෂකයා බවට පත් කරලමිනි. වෘතාන්තයක් නොවුණ ද එය අපට කම්පනයක් ඇති කරයි. එය පූරකයා අපට සියල්ල ගලපා දෙයි. මේ අතරවාරයේ මතුවන චරිත (වික්ටර් අයිවන් හා කල්‍යානන්ද තිරාණගම සහ එක් කාන්තාවක් එයට ඇත්තටම මුහුණ දුන් පිරිසය) ප්‍රේක්ෂක අධිකරණය හමුවේ සිය නඩුව නැවත කියාපාති.

වාර්තා සිනමාකරණය ලෝකය හඳුනා ගන්නේ සිනමාවේ මුල් පියවර හැටියටය. ඇතැම් විචාරකයන්ගේ මතය අනුව සිනමාවේ ප්‍රරෝගාමී ප්‍රංශ ජාතිකයන් වූ ලුමියර්වරු වාර්තා සිනමාවට ද අමෙරිකාවේ එඩිසන් වෘතාන්ත සිනමාවට ද මුල පිරූහ. දේශපාලන ප්‍රචාරකවාදී හෝ ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට වාර්තා සිනමාකරණය යොමු විය. වඩා නිර්මාණශීලි අන්දමට පසුගිය 2012 වසරේ බ්‍රිතාන්‍ය සිනමා ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාව හරහා ලොව විශිෂ්ටතම චිත්‍රපට දහය තෝරා ගනිද්දී රුසියාවේ ද්සිගා වර්ටෝෆ්ගේ මෑන් විත් ද මූවි කැමරා තෝරා ගැනීම වාර්තා සිනමාවේ විශේෂ සිදුවීමකි. 'සිනමාත්මක සත්‍යය' සොයා යෑමේදී හුදු වාර්තාවෙන් ඉක්ම වූ විත්ති සිනමාකරණය තවමත් අප රටට දුරස් වුව ද අද එය ලොව පුරා විශාල ප්‍රබෝධයක් ගෙන දෙයි. මයිකල් මුවර්ගේ ෆැරන්හයිට් 8/11, ලුක් යාක් ගේ මාච් ඔෆ් ද පෙන්ග්වින් මේ අතරින් කැපී පෙනෙයි.

ෆැරන්හයිට් 9/11 චිත්‍රපටය නිර්මාණය කළ මයිකල් මුවර් අමෙරිකානු ලිබරල් මතවාදී වාර්තා සිනමාකරුවකි. ඔහු පසුගිය වකවානුවේ එරට දේශපාලන සාමාජීය හා ආර්ථික අරගල පිළිබඳ ස්වාධීන මත දැරුවා පමණක් නොව සිය 'විචිත්‍ර' වාර්තාකරණය හරහා එය ලොව පුරා අවධානයට යොමු කර ගත්තේය. එමඟින් ධවල මන්දිරයේ මෙන්ම ඇමරිකානු සෙනෙට් සභාවේද පෙන්ටගනය ද රත් කළේය. ලාභදායී ත්‍රාසජනක සිනමාව බැහැර කරන ඔහු වැන්නෝ සමාජයේ ප්‍රශ්න කරනුයේ ඇසූ දුටු දේ හා කම්පනය වෙමිනි. වෘතාන්ත චිත්‍රපටයකදී සිනමාකරුවකුට සමාජය පිළිබඳ ප්‍රශ්න කිරීමකට ඇති සීමාවන් අතික්‍රමණය කිරීම ඔහුගේ අරමුණ වෙයි. ෆැරන්හයිට් 9/11 ශ්‍රී ලංකාවේද තිරගත විය. ප්‍රසන්න පසුගිය වකවානුව ඇතුළට මෙරට ත්‍රස්තවාදී යුද්ධය පාදක කර ගනිමින් චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කළේය. පුරහඳ කළුවර, ඉර මැදියම සහ තිරගතවීමට නියමිත ඔබ නැතුව ඔබ එක්ක එම චිත්‍රපට ත්‍රිත්වයයි. ඔහු සිනමා කැමරාව ගෙන නිරීක්ෂකයකු බවට පරිවර්තනය වනුයේ එයින් පසුවය.

සයිලන්ස් ඉන් ද කෝට් වාර්තා චිත්‍රපටයක හැඩ තළ කේන්ද්‍ර කොට ගත්ත ද එහි එන පාත්‍ර වර්ගය හා එකී අත්දැකීම ඉතා සියුම් ආකාරයට මෙම චිත්‍රපටය නරඹන්නට ලැබුණු අතලොස්සක් වූ ආරාධිතයන්ට සමීප විය. චරිත සමඟ අත්දැකීම පූරකයා විසින් අපට හෙළිදරව් කර දෙයි. රූපය ඔවුන් පසුපස ලුහුබඳින්නට පටන් ගනී.

අනාවරණය නොකරන සැබෑව අනාවරණය වන්නේ අනතුරුවය. පුවත්පත් කලාවේදියා හමුවට එන ගැහැනුන් දෙදෙනා විසින් හෙළිදරව් කරන තොරතුරු මත අනාවරණය වනුයේ අප අවට ඇති ගඳ ගහන පල් මඩ ගොහොරුවය. මේ පුවත එයට පෙර අප විසින් දන්නා ලද කරුණක් වුව ද සිනමාකරු සිය ආඛ්‍යාන රටාව උපයෝගි කර ගනුයේ යළිත් අප තුළ කම්පනයක් ඇති කරලීමටය. එහිදී හාස්‍යයට ලක් කරනුයේ අධිකරණය පමණක් නොවේ. සෙසු මාධ්‍ය ලෝකය ද විවිධ ආගමික නමින් බිහිවන සංවිධාන ද අප අතර ප්‍රශ්නකාරී වෙයි. චරිත වෙනුවෙන් පෙනී සිටින නළු නිළියන් හා චිත්‍රපටයේ රිද්මය පවා ඔහු භාවිතා කරනුයේ මේ කර්කශ පුවත දිග හැරීමටය. එය වාර්තාකරණයේ සිට වෘතාන්තයක් නොවීමට ඔහු තෝරා ගන්නේ සියුම් ඉඩකඩකි. එකක් එය පුරෝකථනයයි. දෙවැන්න එහි රංග විලාශයයි. තෙවැන්න හිටි අඩියේ ප්‍රේක්ෂකයාට එය දුරස්තරණය කරවීමෙනි. වෘතාන්තයේ උත්ප්‍රාසය නම් විනිසුරුවරයා බේරා ගැනීමට පීලි පනින නීතිපතිවරයා විධායක බලතල ඇති ජනපතිවරිය ඉදිරියේ අග විනිසුරු ලෙස දිව්රුම් දීමය. පුවත්පත් කලාවේදියා විසින් කරන ලද නොනිමි අරගලය සිනමාකරු විසින් වෙඩිල්ලක් බවට පත් කරනු ලබයි. අනපේක්ෂිත අන්දමට ඔහු සිය වාර්තා නිර්මාණයේ ප්‍රධාන භූමිකාව බවට පරිවර්තන කරනු ලබන පුවත්පත් කලාවේදියා හරහා අතවරයට ලක් වූ පිරිස වෙනුවෙන් අනුකම්පාවක් යදිනු වෙනුවට අප පොළඹවාලනුයේ අවට ලෝකය කෙරෙහි විමසිල්ලෙන් බලන්නටය. එක පුවතක් හරහා ගොඩ නැගෙනුයේ සමස්ත සමාජ හර පද්ධතියම බලවත් ව්‍යසනයකට මුහුණ දුන් අන්දම පිළිබඳ විවේචනයකටය. පුවත්පත් කලාවේදියාට එයට විරෝධය පළ කරන්නට හැක්කේ ඡායාරූපය උඩු යටිකුරු කොට මුල් පිටුව කළු පැහැ ගැන්වීමෙනි. එහෙත් අප එයට විරෝධය පළ කරන්නේ කෙසේද?

ප්‍රසන්න විතානගේ නිහඬ කරනුයේ උසාවියයි. එහෙත් ඔහු අපේ හෘද සාක්ෂියට අවදිවන්නට ඔහු බල කර සිටී. මෑන් විත් අ මූවි කැමරා හෝ ෆැරන්හයිට් 9/11 හෝ සිනමා කෘති මගේ සිහියට එයි. ප්‍රසන්නගේ අනාවරණය රටට පමණක් සීමා වන්නක් නොවේ. තුන්වන ලෝකයේ බොහෝ රටවල විවිධ වේෂයෙන් මෙකී අනතුර අප වටා ඇත. සිදුවන්නේ හඬක් නොනැඟීම පමණි.

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව ජනකවියා ගැයුවේද ඒ අනුකම්පාවෙන්මය.