|
නොදන්න කෑමක රඟේ
ඔන්න දවසක් හවසක තීක්ෂණ අනුරාධ ගෙදරට වෙලා කකුලක් පිට කකුලකුත් දාගෙන ප්ලේන්ටියක් බිබී ඉන්නවලු. එදා විශේෂ වැඩකුත් නොතිබුණ හින්ද ඔහුට හිතුණලු බිරියත් එක්ක ඩිනර් එකක් සඳහා එළියට යන්න. බිරියත් ඉතින් එක නෙවෙයි දෙපයින්ම වැඩේට කැමැති වෙලා. දෙන්නත් එක්ක ෂෝර්ට් ඇන් ස්විට් විදිහට ලැහැස්ති වෙලා වාහනයට ගොඩ වුණාලු. ඒත් දැන් කොහෙටද යන්නෙ කියලා තීරණයක් නැතිලු. අපි අද චයිනිස් එකකට යමු වෙසකටත් එක්ක. තීක්ෂණ තීක්ෂණ මොළෙන් හිතලා කියපු දේට බිරියත් හා කියලා. ඉතින් මේ රියල් ඩබල අමුතුම චයිනීස් රෙස්ටොරන්ට් එකකට රිංගලා චයිනිස් කිව්වට ඒක චයිනීස්ම නෙවෙයිලු. ලෝකයේ රටවල් ගණනාවක ආහාර වර්ග එතැන තියෙනවලු. තීක්ෂණ ආව ගමන් වේටර් කොලුවෙකු දුවගෙන දුවගෙන ඇවිල්ලා මෙනු එකක් දීලා. තීක්ෂණ ඒකේ උඩ ඉඳන් පහළටයි පහළ ඉඳන් උඩටයි කියවලා ජීවිතේට නොකාපු කෑමක් ඕඩර් කළාලු. විනාඩි ගණනනක් ඇතුළත ඒ ආහාරය තීක්ෂණට ලැබිලා. හැබැයි ඒක එවලෙ උයපු පාටක් පෙන්නත් නැතිලු. කෑම එකත් ටිකක් අමුතුම හින්දා වටපිට බලලා ඒකෙන් පොඩ්ඩක් කටට දාගෙන. එතකොට තමයි තීක්ෂණට තරු පෙනිලා තියෙන්නේ. ඒක පිසපු ආහාරයක් නෙවෙයි. අමු එළවලු සහ අමු මාළුවලින්ලු ඒක හදලා තියෙන්නේ. ඒක කාලා බඩේ අමාරුව හදාගෙන ඉස්පිරිතාලෙ ලගින්න අකැමැති නිසා මේ දෙන්නා වේටර් කොලුවා ලවා ඒක පාර්සල් කරගෙන. ගෙදර ගිහින් ගෙදර සුරතල් බල්ලට දෙන්නයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි වෙච්ච දේ කාටත් නොදැනෙන්න හීන්සීරුවේ දෙන්නා චයිනීස් කඩෙන් මාරු වෙලා. එන ගමන් පොඩි කඩේකින් රාත්රී ආහාර වේල අරගෙන. ඒක නෙවෙයි නියම කතාව. අර කෑම එක ගෙදර ආව ගමන් තීක්ෂණ බල්ලට කන්න දාලා. පුදුමෙ කියන්නෙ බල්ලාවත් ඒක කාලා නැහැ.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවාශමීර රංගන නාඔටුන්න අපේ පරපුරේ දක්ෂ සිනමා අධ්යක්ෂවරයෙක්. ඔහුගේ කුලුඳුල් සිනමා සිතුවම වූ මෝටර් බයිසිකල් පසුගියදා නිමාව දුටු සාර්ක් සිනමා උළෙලේ හොඳම චිත්රපටය ලෙස අභිසෙස් ලැබුවා. ශමීර අධ්යයක්ෂවරයකු වන්නට ප්රථම සහාය අධ්යක්ෂවරයෙක්. ඔහු කලා ලොවේ තම මඟ සකසා ගත්තේ බොහොමත් වැර වෑයමෙන්. ශමීර පළමුව එලෙස වැඩ කළේ තරුණ පරපුරේ විශිෂ්ට සිනමාවේදිනී සත්යංගනීගෙ නිර්මාණවල. ඇගෙන් බොහෝ දේ ඉගෙන ගත් ශමීර පසුකාලීනව අධ්යක්ෂවරයකු බවට පත් වුණා. මෝටර් බයිසිකල් පෙන්වන දවසෙ ශමීර ඉනෝකාටත් ආරාධනා කරලා තිබුණා. එය නරඹලා ඉනෝකා ශමීරට ප්රශංසා කළාලු. ඇගේ නිහතමානී ගතිගුණය අපිත් අගයනවා. තමන්ගේ ගුරුවරියක් බඳු වූ ඇය විසින් මෙලෙස මෝටර් බයිසිකල් ඇගයීම මහත් වූ ශක්තියක් බවයි ශමීර කියන්නේ. ඔය කතා අස්සේ තවත් කතාවක් හෙළි වුණා. ඒ ශමීර ඉනෝකාගේ සුළං කිරිල්ලි චිත්රපටයේ සුළු චරිතයක් රඟපෑ බව. එහෙම බලන කොට ශමීරත් නළුවෙක්. හැබැයි ඒ වෙනකම්ම ශමීර මේ රංගනය ගැන කාටවත්ම කිව්වේ නැතිලු.
බල්ලො පන්නපු හේතුව
අනුර පළිහවඩන කියලා කියන්නේ ජිප්සීස් සුනිල්ගෙ කපාපු පලුව වගේ කෙනෙක්. ඔහු ප්රසංග වේදිකවේ ද ගයන්නෙ සුනිල්ගෙ ගීත. ගී ගය ගය කකා බිබී ඉන්න හින්දම ද කොහෙද අනුර දිනෙන් දින මහත් වෙන්නට පටන්ගෙන. කලාකරුවකු විදිහට ලස්සනට ඉන්න ඕන හින්ද අනුරට හිතුණලු මේ මහත්වීම පාලනය කර ගන්න. ඉතින් ඔහු තම මිත්රයකුගෙ උපදෙස් මත උදේට උදේට දුවන්න තීරණය කළාලු. බොටම් වර්ගයේ කලිසමක් ඇඳලා ලොකු ටී ෂර්ට් එකකින් සැරසිලා පරණ සපත්තු ජෝඩුවක් එහෙම දාගෙන මහ පාන්දර අනුර ජොගිං කරන්න එළියට බැහැලා. කිසිදු ආපදාවක් නැතුව අනුර කිලෝ මිටර් දෙකක් විතර දුවලා. ඔය අතරේ යාන්තම් හිරු පායාගෙන ආවාලු. තව ටික දුරක් යද්දී ගමේ මාලු ලෑල්ල තියෙනවා අනුර දැකලා. ආව එකේ මාලු ටිකක් අරගෙනම යනවා කියලා හිතාගෙන එතනට ගිහින්. හුරුල්ලො කිලෝ එකක් විතර අනුර මිලදී ගෙන. ඒකත් අරගෙන දුවගෙන පාරෙ එද්දි අනුරට තේරුණාලු කවුරු හරි පස්සෙන් එනවා කියලා. හැරිල බලද්දි තඩි බලු තඩියෙක් අනුරව ෆලෝ කරනවලු. පිටිපස්ස හැරිලා ඉස්සරහ බලද්දි ඊට නොදෙවනි වූ බලු තඩියෙක් ඉස්සරහ ඉන්නවලු. අනුර හොඳටම බය වෙලා. අතේ තිබුණු මාලු ටික හින්දා මේ බල්ලෝ එනවා කියලා හිතපු අනුර ඒක අහකට විසි කරලා පස්ස නොබලා දුවලා ඇවිත්. මෙන්න බොලේ අර විසි කරපු මාලු පොට්ටනිය දිහා බලන්නෙවත් නැතුව බල්ලො දෙන්නා අනුරගෙ පස්සෙන්ම එනවලු. කොහොම හරි ඔහු ගෙදරට ඇවිත් දනපනිගාලා ගේට්ටුව වහලා. දැන් අනුර හොඳටම හති අරිනවලු. ඒ අතරේ ඔහුට පුදුම හිතුණලු මාලු එක අතහැරලා බල්ලො තමන්ගෙ පස්සෙන් ආවෙ ඇයි කියලා. මේ සිද්ධිය අනුර එදා හවස යාළුවෙකුට කියලා. ඔහු කිව්වලු 'උඹගෙ හෝදන්නෙ නැති මේස් දෙකනෙ ජොගිං කරන්න දාගෙන ගියේ, අපි නොකිව්වට ඒක කරවල ගඳයි' කියලා. ඒක අහපු අනුරට අර බල්ලො දෙන්නා තමන්ව කෑව නම් මීට වඩා හොඳයි කියලා හිතුණලු.
එයත් එහෙමයි එහෙනම්
නව පරපුරේ නළුවෙක් දේශපාලනයට පිවිසෙනවා කියලා ආරංචි වුණා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ශෂිරංග වික්රමසේකර. තවම කාටවත් ශෂිරංග ඒ ගැන කියලා නැහැලු. හොරෙන්ම වැඩ කටයුතු ආරම්භ කරලා. තව නොබෝ දිනකින් පැවැත්වෙන මහ මැතිවරණයට තමයි ශෂිරංග තරග වැදීමට බලාපොරොත්තු වන්නේ. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. මේක දැකපු ගමන් ශෂිරංග අපිට කතා කරලා අහයි කොහෙන්ද ආරංචිය ලැබුණෙ කියලා. ඒවා රහස්. |