වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




කඳුළු කලාපයක වියැලුණු හදවත බොරදිය පොකුණ

කඳුළු කලාපයක වියැලුණු හදවත බොරදිය පොකුණ

හිරුගේ කිරණෙන් මුළු කාමරයම ආලෝකවත් වී ඇත. තද නින්දේ පසුවන යුවතියෝ තිදෙනෙක් එක හැල්මේ නිදාගෙන සිටිති. කිසිවෙකුත් කතා කළ ද අවදි නොවන අයුරෙන් නිදාගෙන සිටින මේ යුවතියන් සිය වැඩමුරය අවසන් කර පැමිණියේ උදෑසනය.

එක දිගට දින කිහිපයක් වැඩ කිරීම නිසා හෙම්බත් වී සිටින ඔවුන්ට නින්ද කෙතරම් වැදගත් දැයි දන්නේ මේ යුවතියන්ම පමණි.

වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හලක සේවයේ නියුතු ඔවුන් එහි පැමිණියේ යමක් කමක් සොයා ගැනීම සඳහාය. පහසුවෙන්ම සොයාගත හැකි වෘත්තියක් වූ මෙය ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය ලෙස තෝරා ගත්තේ සිය දුගීභාවය නිසාමය.

ඒ නිසාම පැමිණෙන සියලු දුක් පැණි රසයි කියමින් ජීවිතය ජය ගැනීමට ඔවුහු පැමිණෙන ඕනෑම දුකක් විඳීමට සූදානම් වූහ. එහි සංකේතයක් බඳු ඔවුන්ගෙන් එකියක සෙමෙන් නෙත් හැර බැලූයේ මේ අතරය.

කොට්ටය ඇඳට හේත්තු කළ ඈ ඊට හේත්තු වී අවට බැලූයේ ඕනෑකමෙනි. සුවිනීතාත්, ගෝතමීත් නිදාවුන් අයුරු දුටුවනම ඇගේ මුවඟට නැගුණේ සිනහවකි.

“මුන් ඇත්තටම නිදාගෙන ඉන්න විදිය. කවුරු හරි දැක්ක නම් මොනවා නොහිතාවිද?”

මංගලා තමාටම කොඳුලාය.

“දැන් ඉතින් මුන් පැය ගණනකට නැඟිටින එකක් නැහැ.”

ඕ නැඟිට කවුළුව විවෘත කළේ හිරු කිරණටත්, සුළං රැල්ලටත් එක්වර කාමරයට එනු පිණිසය. මංගලා කවුළුවෙන් වටපිට බැලුවේ හිත යට යමක් තබාගෙන බව පෙනෙන්නේ ඈ දෙස ඕනෑකමෙන් බලන කෙනෙකුට පමණි. හෝරා කිහිපයක් ගෙවීගියේ පරිසරයේ වූ නිසංසල බවට අලගු තබමිනි. ඒ නිසංසල බව බිඳී ගියේ සුවිනීතාගේ ජංගම දුරකථනයේ නාදයෙනි.

“දැන් ඉතිං එයාගෙන් පැය ගණනකට වැඩක් කරවා ගන්නවා බොරු.”

ගෝතමී, මංගලා දෙස බලාගෙන කොඳුළේ නෝක්කාඩුවක් සිත රදවමිනි. ඒ අද දින යන්නට නියමිතව තිබෙන ගමන ප්‍රමාද වන්නේ සුවිනීතා නිසා බව ඈ අත්දැකීමෙන් දත් නිසා ය.

කලකට පසු ලැබෙන නිවාඩුවේ පන්සලට පැමිණි යෙහෙළියන්ගේ මුහුණුවල ශාන්ත බවේ සෙවනැල්ල ඇඳී තිබිණි. මංගලාගේ නෙත රැඳී තිබුණේ සැලෙන බෝපත් අතර ය.

මද සුළඟ වැදීමෙන් බෝපත් ලතාවකට සිලි සිලි හඬ නංවමින් සෙලවෙන්නේ වන්නමක පද කිහිපයක් සිහිපත් කරමින් යැයි ඇයට සිතෙයි.

ඒ අතර බෝමළුවේ වැලි තලාවට බෝපත් වැටෙන අයුරුත් ඇය බලා සිටියාය. ගෝතමීත්, සුවිනීතාත් පහන් දල්වන්නට සැරැසෙන බව ඇයට පෙනෙයි. ඇය ඔවුන් සිටින තැනට ඇවිද ගියේ සෙමෙන් ගමනෙනි.

එවේලේම ඔවුන්ගේ නෙත ගැටුණේ පන්සල වෙත පැමිණි කොලු ගැටව් රංචුවයි. ඔවුන් එකා දෙන්නා මේ තුරුනු වියේ සිටින යුවතියන් දෙස විමසුම් බැලුම් හෙළන වග කිසිවෙකුටත් රහසක් නොවීය. ඔවුන්ගේ ඉගිබිගි යුවතියන්ගේ මුවඟට රැගෙන ආවේ මදහාසයකි. ඔවුන්ගෙන් එකෙක් ඈතින් පහන් දල්වමින් සිටි ගෝතමී අසලට ළංවූයේ ඒ අතරය. ඒ වග දුටු සුවිනීතා, මංගලාට ඇඟිල්ලෙන් ඇන්නා ය.

“අන්න බලපන්. ගෝතමීටත් හරි යයි වගේ”

ඔවුන් දෙදෙනා එළියට පනින්න ආ සිනහව වළක්වා ගත්තේ බොහොම අපහසුවෙනි.

“ නංගි ඔයා කොහෙද ඉන්නේ ?”

ගෝතමීට ළං වූ කොලු ගැටයා ඇගෙන් ප්‍රශ්න කළේ ය. කිසිවක් නොකී ඈ සිනහ වූයේ ඔහු දෙස බලමිනි.

“ මට ඔයාව හොඳට දැකලා පුරුදුයි. කොහෙද කියලා නම් මතකයක් නෑ”

ගෝතමී සිය යෙහෙළියන් දෙස බැලුවේ ඇගේ උදව්වට එන්නේ නම් මැනවැයි සිතමිනි. ඒ සිතුවිල්ලේ දිගු වේලාවක් රැදී ඉන්නට ඇයට අවශ්‍ය නොවීය.

“ නංගි මෙන්න මේක අර කොණ්ඩය දිග ගැහැනු ළමයට දෙන්න පුළුවන්ද? ”

ගෝතමීගේ උවනේ වූ සිනහ රැල්ල වියැකී යෑමට ගතවූයේ නිමේෂයකි.

“ මොන මඟුලක් ද හැමදෙයක්ම එයාට තමයි”

ඇය අත තැබූ දුරකථන අංකය රැගත් කොළ කැබැල්ල පහනට දැමුවේ සිය සිතේ නැඟුණු තරහව මකා දමන්නට මෙනි. කොළ කැබැල්ලට ගිනි ඇවිලුණේ මුළු පහනම ගිනි ගනිමිනි.

සුන්දර රුවකට හිමිකමක් නොදැක් වූ ගෝතමී සිටියේ සියල්ලන් සමඟ තරහෙනි. ඒ අනෙක් අය ඇය කෙරේ දක්වන අඩු සැලකිලි නිසාය. ඇගේ රුව පිළිබඳ වූ අවතක්සේරුව ද ඇය බෙහෙවින් පීඩනයට පත් කළා ය.

ඇගේ යෙහෙළියෝ දෙදෙනාටම පෙම්වතුන් සිටියහ. සුවිනීතා ආදරයෙන් බැඳී සිටියේ ඇගේ ගමේ තරුණයෙකු සමඟ ය. ඔවුන් අතරෙන් රුවැත්තිය වූ මංගලාගේ පෙම්වතා ගුවන් හමුදා භටයෙක් වූයේ ය. විපුල, මංගලාට ප්‍රේම කළේ සැබෑවටමය.

“ අනේ ගෝතමී අද විපුලට කියන්න මම රෑ වැඩ කියලා. ”

මංගලා පවසන්නේ ඔවුන් දෙදෙනා කථිකා කරගත් පරිදි විපුලව මුණ ගැසීමට නොහැකිවීම නිසා ඇති වූ ශෝකයෙනි.

“ ඇයි බං අද උඹට රෑ වැඩ නැහැනේ ”

ගෝතමී පැවසුවේ සිතේ ඇතිවූ සතුට මංගලාට නොපෙන්වමිනි.

“ මොනවා කරන්නද අද ලයින් එකේ රෑ වැඩ කරන එකෙක් නිවාඩු ගිහින්. අර ගෑනි මට නිවාඩු දෙන්න බැහැම කිව්වා බං. හවස එයා එන්නේ මාත් එක්ක පොඩි ගමනක් යන්න. උඹට පණිවුඩේ කියන්න පුළුවන් නේ.”

ඒ වනවිටත් ඊළඟ වැඩමුරය ආරම්භ කරන සීනුව නාදකර ගත වී තිබුණේ මිනිත්තු කිහිපයකි. මංගලා දිව ගියේ ප්‍රමාද වුවහොත් ඇයව වැඩ පරීක්ෂකවරියගේ නොමනාපයට ලක්වේය යන බියෙනි.

වැඩපළ අසල ට වී මංගලා එනතුරු බලාගෙන සිටින විපුලව, ගෝතමී හඳුනා ගත්තේ ඈතදීම ය. ඇගේ සිතේ විපුල ගැන උපන්නේ ලෝබකමකි. මංගලා මෙන් ඔහු ආදරය කළේ සෙල්ලමට නොවේ. අනෙක එවැනි අවංකව ආදරය කරන අයෙක් සොයා ගැනීම මෙවැන් කාලයක ලෙහෙසි පහසු කාර්යයක් ද නොවේ.

“ ගෝතමී අද මංගලා ආවේ නැද්ද? ”

සිතුවිලිවල ගිලී පැමිණීම නිසා ගෝතමීට විපුල අමතක වී ගියේ එක්වරම ය. පිළිතුරු දෙනු වෙනුවට ඇය සිනාසුණා ය. දෙදෙනාම ඇවිද ගියේ කතාබහ කරමිනි.

මංගලාගේ උවනේ වූයේ සෝබර බවකි. ඒ සෝබර බව වඩාත් කැපී පෙනුනේ ඈ රෑ වැඩමුරයේ ද වැඩ කළ බැවිනි. හදිසියේම විපුලට වූයේ කුමක් දැයි මංගලාට සිතාගත නොහැකිය

“ මොකද බං තවමත් උඹලගේ ප්‍රශ්නේ විසඳ ගත්තේ නැද්ද?”

සුවිනීතා විමසුවේ මංගලා මේ තරම් දිනක් කිසිම ප්‍රශ්නයක් දුරදිග අරගෙන පැමිණි බවක් ඇගේ මතකයේ නොවූ නිසා ය.

“ මම ගෙදර යනවා බං. ”

මංගලා සැනෙන් කියූ කතාව ඇසූ සුවිනීතා ඈ දෙස බැලුවේ පුදුමයෙනි.

“ මංගලා ගමේ ගියාට අන්න අරහෙ විපුල පිස්සු කරනවාලු. මංගලා උඹටවත් කතා කළේ නැද්ද? ඇයි උඹනේ උන් දෙන්නට උදව් කළේ.”

සුවිනීතා, ගෝතමී සමඟ පැවැසුවේ මෙතෙක් නොදත් පුවතකි. ගෝතමී කිසිවක් නොකීවාය. විපුලට ළං වීමට මේ අපූරු අවස්ථාවකි. ඈ විපුල හමුවීමට ඉටා ගත්තේ විගසිනි.

විපුලගේ දුරකථනයට ඇමැතුමක් ලබා ගත්තද ඔහු සමඟ කතා කිරීමේ අවස්ථාවක් ගෝතමීට නොලැබිණි. ඇය ඔහු සොයාගෙන ගියාය. විපුල සිටියේ මත්පැන් තොල ගාමිනි. ඇය කිසිම බියක් සැකක් නැතිවම ඔහුගේ කාමරයට පිවිස විපුල අසලින් වාඩි වූයේ දිගු කතාවකට මුල පුරන්නටය. විපුල සිටියේ දෙලොවක් අතර අතරමංවය. ඔහුට ගෝතමී පිළිබඳ ඇතිවූයේ අනුකම්පාවකි. ඔහු ඇය දෙසම බලා සිටියාය. ගතවූයේ නිමේෂයකි. එකෙනෙහිම ගෝතමී විපුල අසලටම ගොස් ඔහුගේ දෙදණ මතට අත තැබුවේ ගැහෙන හදවතෙනි. ඊළඟ මොහොතේ ඇය ඔහුව සිප ගත්තේ වියරු වැටුණු එකියක ලෙසිනි.

නැවතත් මංගලා වෙළෙඳ කලාපයට පැමිණියාය. යළිත් ඇයත්, විපුලත් අතර ආදරය ලියලා වැඩෙන්නේ පෙර පරිද්දෙනි. ගෝතමීට මෙය රිස්සුවේ නැත. ඒ වනවිටත් සිය යෙහෙළියට කිව නොහැකි ගැටලුවකින් ඕ පීඩා වින්ඳාය. සිය කුසේ උන් දරුවාට කුමක් කළ යුතුදැයි ඇය දහඅතේ කල්පනා කළාය. විපුල ද ඇයව මඟ හරියි.

ගෝතමී කුමක් නම් කරයිද? මංගලා කුමන තීරණයක් ගනීවිද? මේ සියලු ප්‍රශ්නවලටම පිළිතුර සැඟවී ඇත්තේ සත්‍යජිත් මාඉටිපේගේ ‘බොරදිය පොකුණ‘ චිත්‍රපටයේ ය. කලක් තහනමට ලක්ව තිබූ මේ චිත්‍රපටයේ තහනම ඉවත් වී ළඟදීම තිරගත වීමට නියමිතය.

පිටපත හා අධ්‍යක්ෂණය - සත්‍යජිත් මාඉටිපේ

නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි

සහය අධ්‍යයක්ෂණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්, - දමින්ද ඩී. මඩවල

නළු - නිළියන් - කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩිලානි අබේවර්ධන, දුමින්ද සිල්වා, අයිරාංගනී සේරසිංහ, ධර්මසිරි බණ්ඩාරනායක, වීණා ජයකොඩි, චන්ද්‍රා කළුආරච්චි, ලියෝනි කොතලාවල, රත්නාවලී කැකුණවෙල, චාන්දනී සෙනෙවිරත්න,පි‍්‍රයංකා සමරවීර, ප්‍රමුදි කරුණාරත්න, ගයාන් ලක්රුවන්, රෝහිත කරුණාරත්න

කලා අධ්‍යක්ෂණය - පැට්ට්‍රික් ඩේවිඩ් සොයිසා- සුනෙත් නන්දලාල්

වේශ නිරූපණය - පි‍්‍රයන්ත සිරිකුමාර

ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානගොඩ

සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ

සංගීතය - ප්‍රදීප් රත්නායක

ඡායාරූප - පාලිත පෙරේරා