වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




නොදැක බලපු සුජාතා වාසනාව ගෙනාවා

සුජාතා මට වාසනාව ගෙනාවා

දිල්හානි ගහපු පාරට අඬපු හර්ෂි අම්මා ආවහම හිනා වෙලා
නහයත් කඩාගෙන දිගටම රඟපාලා

මේ දූ සිඟිත්ත සුජාතා ටෙලි සිතුවමට ගෙන එන්නේ අමුතුම සිරියාවන්තකමක්. ඇය එහි රංගනයේ නියැලෙන්නේ හරියට පුරුදුකාරියක් වගේ. හර්ෂි රසංගා ලෙස මම ඇයව හඳුන්වා දෙනවා. සුජාතා තමයි හර්ෂිගේ කුළුඳුල් ටෙලි සිතුවම. ඊට කලින් ඇය සිනමාපට ද්විත්වයකට රංගන දායකත්වය සපයලා තියෙනවා. ඒවාට අමතරව හර්ෂිව වෙළෙඳ දැන්වීම් කිහිපයක් ඔස්සේම අපට හමු වුණා. හර්ෂි සාමාන්‍යයෙන් රූපවාහිනිය නරඹන්නේ නැහැ. ඒත් පුදුමේ කියන්නේ ඇය සුජාතා ටෙලි සිතුවම විතරක් නොකඩවා නරඹා තිබෙනවා. හර්ෂි හීනෙකින්වත් හිතුවේ නැහැලු තව ටික දවසකින් තමාට එහි ප්‍රධාන චරිතයට කතා කරයි කියලා. සුජාතා හි පොඩි සුජාතා ලෙස පෙර චරිතය නිරූපණය කළේ සහේලි සදිත්මා සතරසිංහයි. හර්ෂිට හිමි වුණේ ලොකු සුජාතාගේ චරිතය.

හර්ෂි සුජාතා නිසා දැන් හරියට ජනප්‍රියයි. එහි අත්තටු මවලා ගීතය මේ දිනවල නිතර දෙවේලේ සිරස නාළිකාවෙන් විකාශය වන හින්දා හැමෝම වගේ ඇයව හඳුනාගෙන ප්‍රතිචාර දක්වනවා. හර්ෂි හා හාපුරා කියලා කැමරාව ඉදිරියට එන්නේ වෙළෙඳ දැන්වීමක රඟපාන්න. ඒකත් සිදු වන්නේ අහම්බෙන්. හර්ෂි පවුලේ අයත් එක්ක විහාර මහා දේවි උද්‍යානයට ගිහිල්ලා තියෙනවා ටිකක් විනෝද වෙන්න. එහිදී ඇයගේ මව ළඟට ඇවිත් සහාය අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඇගෙන් අහලා හර්ෂිව රඟපාන්න එවන්න කැමැති ද කියලා. අම්මත් අකැමැත්තක් ප්‍රකාශ කරලා නැහැ. හර්ෂිත් හා කිව්වලු. කොහොම හරි ඇය එම දැන්වීමට එකතු වෙලා. එන්න එන්න ඇයට වෙළෙඳ දැන්වීම් සඳහා ආරාධනා ලැබිලා. ඔය අතරේ හර්ෂිව දැකලා තියෙනවා සහාය අධ්‍යක්ෂ ජනක ආර්. දොම්මිනිගේ. ඔහු හර්ෂිට සිනමාවට එකතු වෙන්න අවස්ථාව දුන්නා. තරු අතර මම චිත්‍රපටයට ඇය මුලින්ම රංගනයෙන් දායක වෙනවා. එහි හර්ෂි රඟපාන්නේ ශේෂාද්‍රිගේ නංගි හැටියට.

ඊට පසුව ඇය චන්න පෙරේරාගේ තරු මිතුරෝ චිත්‍රපටයට එකතු වුණා. හර්ෂි එම සිනමා සිතුවමේ රඟපාන්නේ විශ්වි නම් වූ ප්‍රධාන චරිතය. මේ සිනමාපට ද්විත්වය තවම තිරගත වුණේ නැති හින්දා ළමා නිළියක් විදිහට හර්ෂිව වැඩිය කවුරුවත් හඳුනා ගත්තේ නැහැ. ඔය අතරේ තමයි ඇයට සුජාතා චරිතයට ඇරැයුම් ලැබෙන්නේ. සුජාතා නිෂ්පාදනය කරන සුසිල ආයතනයේ හර්ෂිගේ පින්තූරයක් තිබිලා තියෙනවා. එය දැකලා තමයි හර්ෂිට ලොකු සුජාතා චරිතයට කතා කරලා තියෙන්නේ. ඇත්තටම එය දෛවෝපගත සිදුවීමක්. හර්ෂි එතකොට සුජාතා ටෙලි සිතුවමේ රසිකාවක්. තමන් ඉතාමත් අසාවෙන් නරඹපු එකම ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබේවි කියලා ඇය හීනෙකින්වත් හිතලා නැහැ. සුජාතා පිටපතේ ගොඩක් ලොකු දෙබස් තිබිලා තියෙනවා. මුලදි මුලදි හත් අට සැරයක් ඒවා පාඩම් කළාලු. නමුත් දැන් ටක් ගාලා දෙබස් මතක තියනවා කියලා හර්ෂි අපත් සමඟ කිව්වා. ඒ වුණත් දස මහ යෝධයා ගැන තිබුණු දෙබස් කාණ්ඩය නම් ටිකක් අමාරුවෙන් තමයි කියලා තියෙන්නේ. සුජාතා දර්ශන තලයේදී හර්ෂි බිහිසුණු අනතුරකට මුහුණ දීලා තියෙනවා. හර්ෂි එයාගේ අම්මත් එක්ක දර්ශන තලයක සිට තවත් දර්ශන තලයකට යාම සඳහා එයාලගේ වාහනයට නැගලා. සුජාතාගේ යාළුවට රඟපාන මලිතිත් ඒකටම ගොඩ වෙලා.

ඔහොම යන අතරතුර පල්ලමකදී වාහනයේ බ්‍රේක් වදින්නේ නැතුව ගිහින්. එය පැද වූ හර්ෂිගේ අම්මා වාහනය පැත්තකට හරවලා. එය නැවතිලා තියෙන්නේ තාප්පයකුත් කඩාගෙන. වාසනාවට කාටවත් ලොකු ආබාධයක් සිදු වෙලා නැහැ. හැබැයි හර්ෂිගේ නහය කැඩිලා. කොහොම හරි නහයත් කඩාගෙන තමයි හර්ෂි ඒ දවස්වල රඟපාලා තියෙන්නේ. ඇය තරු අතර මම චිත්‍රපටය රඟපාන කොට හර්ෂගේ ඇඬිල්ල නවත්වාගන්න බැරි අවස්ථාවක් උදා වෙලා. ඇයගේ මව විදිහට එහි රඟපාලා තියෙන්නේ දිල්හානි අශෝකමාලා. ඇය හර්ෂිට පහරක් ගහන දර්ශනයක් තිබිලා තියෙනවා. දිල්හානි ගහපු පාරට දුක හිතිලයි හර්ෂි නොනවත්වා අඬලා තියන්නේ. එදා හර්ෂිගේ තනියට අම්මා ඇවිල්ලා නැහැ. එදා හර්ෂිට දුක හිතිලා අම්මා එනකම්ම අඬලා. අම්මා ආවට පස්සේ හර්ෂි හිනාවෙන්න පටන් අරගෙන තියෙන්නේ.

හර්ෂි රඟපාන්න එනකොට හතර වසරේ. දැන් හත වසරේ. කෝට්ටේ ආනන්ද බාලිකාවේ තමයි හර්ෂි ඉගෙන ගන්නේ. ඇය ආසම විෂය සංගීතය. රඟපානවට අමතරව හර්ෂිට හොඳට සිංදු කියන්නත් පුළුවන්. පාසලෙන් හර්ෂිට හොඳ සහායක් ලැබෙනවා. ඒ හින්දා හර්ෂි විදුහලේ විදුහල්පතිනි මල්කාන්ති මහත්මියට සහ පංති භාර ගුරුතුමිය සුනේත්‍රාව දෙතුන් පාරක්ම බොහොම ආදරෙන් මතක් කළා. රඟපාන්නට හර්ෂිට තවත් ආරාධනා ලැබෙනවා. නමුත් ඇය ඒවාට එකතුවන්න අදහසක් නැහැ. හර්ෂි කියන්නේ ඉගෙන ගත්තට පස්සේ රඟපාන්න එනවා කියලා. හැබැයි එහෙම කියන කොට හර්ෂිට ආදරය කරන රසික රසිකාවන්ට දුක හිතේවි. හර්ෂි කැමැති වෛද්‍යවරියක් වෙන්න. ඊට පසුව විනෝදාංශයක් විදිහට රඟපාන්න එකතු වෙන්න අදහසක් තමයි හර්ෂිට තියෙන්නේ.

හර්ෂිගේ පදිංචිය මාලබේ. ඇයට එක් සහෝදරියක් සහ සහෝදරයකු සිටිනවා. ඇගේ මව නිලන්ති සෙනෙවිරත්න. පියා අනුර කිත්සිරි. ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මේ දෙන්නා හර්ෂිගේ පිටුපස යෝධ සෙවනැලි දෙකක් වගේ ඉන්නවා. එය ඇයට මහත් ශක්තියක් බව ඇය කිව්වේ මවට තුරුළු වන ගමන්. අවසන් කොට හර්ෂි, සන්ධ්‍යා මෙන්ඩිස්, සුජාතා අධ්‍යක්ෂණය කරන රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක යන අයට තුති පිදුවා. ඒ වගේම සුජාතා නිෂ්පාදන කණ්ඩායමේ හැමෝවත් මතක් කරන්න ඇය අමතක කළේ නැහැ.