වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




මේක නව දේශපාලන සංස්කෘතියක්

මේක නව දේශපාලන සංස්කෘතියක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක - අසංක දේවමිත්‍ර සමඟ දේශපාලන කතිකාවක...

එදා ‘One Shot’ නම ඇසූ පමණින් සටකපට දේශපාලුවෝ බියෙන් තැති ගත්හ. සංත්‍රාසයෙන් ඇළලී ගියහ. දූෂණයට, භීෂණයට මෙන්ම යුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් වැදුණු ඒ ‘One Shot’ අපේ සිනමා ප්‍රේක්ෂකයන් අතර ‘සුපිරි වීරයකු’ වූයේ නිරායාසයෙනි.

මෙදා රන්ජන් රාමනායක යැයි කියූ විට හීන් දාඩිය දමන, තොල කට වේලෙන දේශපාලනඥයන් ද අප දැක්කෙමු. ඒ රිදී තිරයේ මායාවක් ලෙස නොව මේ මහ පොළොවේ යථාර්ථයක් ලෙසය.

නළුවන් දේශපාලනයට පිවිසියේ අද ඊයෙක නොවේ. ඒ අතරින් වඩාත් ආන්දෝලනාත්මක චරිතය රන්ජන් රාමනායක බව මගේ විශ්වාසයයි. ඔහු අපේ බොහෝ දේශපාලනඥයන් මෙන් මුදලට විකිනුණේ නැත. පෞද්ගලික ලාභ, අපේක්ෂාවන් උදෙසා සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ ද නැත.

වත්මන් සමාජයේ වඩාත් කතාබහට ලක්වන්නේ රන්ජන් රාමනායක නැමැති දේශපාලන චරිතයයි. අද මෙකී සංවාදය පෙළ ගැසෙන්නේ ඒ චරිතය ප්‍රමුඛ කොට ගනිමිනි.

වත්මන් දේශපාලන ලෝකයේ ආන්දෝලනාත්මක චරිතයක් ඔබ?

මට මතකයි මම ක්‍රියාකාරී දේශපාලනයට ආවේ 2006 වසරේ. එදා ඉඳන් මම මේ දූෂණයට, හොරකමට විරුද්ධව සටන් කළා. ඒ නිසා ජනතාව හිතනවා ඇති මම ආන්දෝලනාත්මක චරිතයක් කියා. විපක්ෂයේ රාජකාරිය හරියට, සීයට සීයක් නිවැරදිව කළා කියලා මම හිතනවා.

වත්මන් රජයේ ඔබ නියෝජ්‍ය ඇමතිවරයෙක්. මෙවැනි ඉලක්කයක් සපුරා ගැනීමට ද ඔබ ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වුණේ?

අනේ නෑ. මගේ අරමුණ ඊට වඩා පුළුල්. බලය ලබා ගැනීම තමයි ඕනෑම දේශපාලන ව්‍යාපාරයක අභිප්‍රාය. බලයක් තියෙන්න ඕනෑ ජනතාවට සේවය කරන්න. මැද පෙරදිග ගෘහ සේවිකාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් තමයි මම පාර්ලිමේන්තුවේ පෙනී සිටියේ. ඔවුන්ගේ සුබසාධනය ගැන. මේ ඇමැතිකම් ගන්න ඕනෑ කියලා හිතාගෙන ආපු ගමනක් නෙවේ. විජය කුමාරණතුංගගේ දේශපාලනය දැක්කා ඒ කාලේ. ඔහු සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරීව වැඩ කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ගේ හොරකම් නොකරන, පරිණත දේශපාලනය දැක්කා. ඒ නිසයි ඊට සම්බන්ධ වුණේ.

දිගින් දිගටම එකම දේශපාලන ස්ථාවරයක ඔබ සිටියා?

ඇත්ත. පටු දේශපාලන වාසි තකා මම කවදාවත් මගේ ආත්මය පාවා දුන්නේ නෑ. තනතුරු පසුපස හඹා ගියෙත් නෑ. නමුත් කෙනෙකුට යමක් ලැබෙන්න තියෙනවා නම් ඒක වලක්වන්න කාටවත් බෑ. හැබැයි බලය ලැබෙනවා කියන්නේ ඔළුව උදුම්මවා ගන්න ඕනෑ කාරණාවක් නෙවෙයි. මේක තණ අග තියෙන පිණී වගෙයි. කොයි වෙලේ එහාට, මෙහාට දෝලනය වෙනවාද දන්නේ නෑ. හොඳම උදාහරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. ජනතාවට පුළුවන් පාරේ ඉන්න හිඟන්නෙක් රජ පුටුවේ තියන්න. ඒ වගේම රජ පුටුවේ ඉන්න කෙනා මහ පාරට ඇදලා දාන්න. මේ යථාර්ථය තමයි අප තේරුම් ගන්න ඕනෑ.

අපි අහලා තියෙනවා දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැහැ කියලා. ඒත් අද අපි අත් විඳිමින් සිටින්නේ පසමිතුරු, වෛරී දේශපාලන සංස්කෘතියක්?

මම නම් එහෙම හිතන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා වුණේ. ඉතින් එතනම තියෙනවා ඒකට උත්තරය. මේ වගේ දේශපාලන සංස්කෘතියක් ජීවිතේට මම දැකලා නෑ. මැතිවරණ ඉතිහාසය දිහා බලන කොට ඡන්දයක් ඉවර වුණාම අපි දැක්කේ විවිධ ගැටුම් වගේම පුද්ගල මරණ. ඒත් ෆැපරල් සංවිධානයට අනුව මේ තමයි එවැනි දේවල් අවම වූ මැතිවරණය. අද ජාතික දේශපාලනයට ලොකු තැනක් තියෙනවා. මංගල සමරවීරලා මෙහාට එනවා. අපේ මහ ලේකම්තුමා එහාට යනවා.

අලුත් දේශපාලන සංස්කෘතියක්?

පසුගිය ජනාධිපතිවරණය බලද්දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ එකට එක්වෙලා සහයෝගය දුන්නා. මුස්ලිම්, දෙමළ, වන්නි ඡන්ද එතුමාට ලැබුණා. ඉතින් ඒවාත් එක්ක බලන කොට ඔබ කිව්වා වගේ අපේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වුණා ඉතිහාසයේ ප්‍රථම වතාවට. එහෙම බලද්දී මට හිතෙනවා අර යුරෝපා රටවල තිබෙන දේශපාලන සංස්කෘතිය තව අවුරුදු විස්සක් විතර යනකොට අපේ රටටත් එයි. කටවුට්, පෝස්ටර් ගහන්නේ නැති රූපවාහිනී සංවාදවලින් විතරක් තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශ කරන සංස්කෘතියක් නුදුරු අනාගතයේ අපේ රටේ ඇති වේවි.

ඒත් පක්ෂ දේශපාලනය තුළ සිරගත වුණ දේශපාලන සංස්කෘතියක් තමයි තවම අපේ රටේ තියෙන්නේ. මම හිතන්නේ ගැටුම් නිර්මාණය වන්නේම ඒ පටු දේශපාලන ක්‍රමය නිසයි?

තමන් කැමැති තමන් විශ්වාස කරන පක්ෂයක්, නායකයෙක් තෝරා ගැනීමේ අයිතිය අප කාටත් තිබිය යුතුයි. උදාහරණයක් හැටියට ගනිමු ඔබ වෙජිටේරියන් කෙනෙක්. මම එග්ටේරියන් කෙනෙක්. ඒත් සියලු මස් අනුභව කරන මාංශ භක්ෂකයකුත් අප අතර ඉන්න පුළුවන්. අපි තුන් දෙනා එකම මේසයක කෑම කන්න වාඩි වෙලා වාද වවාද කර ගත යුතු නෑ. මම මස් කන්නේ නෑ කියලා තව කෙනෙකුට මස් කන්න එපා කියන්න මට බෑනේ. මොකද ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.

කෙසේ වෙතත් දේශපාලනය නිසා සදාකාලික සතුරන් බවට පත් වූ කලාකරුවන් පිළිබඳ මා දන්නවා?

ඩඩ්ලි සේනානායක යුගයේ ඉඳන් නළු, නිළියන් මම හිතන්නේ දේශපාලන වේදිකාවට නැග්ගා. එල්. එම්. පෙරේරලා, ඩොමී ජයවර්ධනලා දේශපාලන වේදිකාවට නැග්ගා. එතකොට ෂේන් ගුණරත්නලා වෙනම නැග්ගා. ඉතිං ඒක ලෝකයේ හැම තැනම වෙනවා අසංක. මැතිවරණ උණුසුමත් එක්ක ඒ තත්ත්වය හිමිහිට අඩුවෙලා ආයේ මතු වෙන්නේ ඊළඟ ඡන්දෙදි. මම ඒක දැකලා තියෙනවා හොඳට. දැන් මේ කෑ ගහගන්න නළු, නිළියන් ඊට පස්සේ ෂූටිං එනවා. රෑට සෙට් වෙනවා. එතකොට දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. ඒ කාලේ සෝමරත්න දිසානායක එක්ක වාද කරන්න ප්‍රතිවිරුද්ධ පැත්තෙන් යන්නේ මම. නමුත් අද ඔහු ඉන්නේ අප සමඟ. මේ සතුරු, මිතුරුකම් මම හිතන්නේ එහාට, මෙහාට දෝලනය වෙන දෙයක්.

මේ පිල් මාරුව එතකොට දේශපාලඥයන් අතර විතරක් නෙවේ කලාකරුවන් අතරත් තිබෙන දෙයක්?

ඔව්. අපි ඒ වගේ දේවල් දැකලා තිබෙනවා. නමුත් මම ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. මොකද ඒක ඔවුන්ගේ අයිතියක්.

දැන් රන්ජන් රාමනායක කියන්නේ මේ රටේ අතිශයින් ජනප්‍රිය කලාකරුවෙක්. ඒ වගේම ඔබ වත්මන් දේශපාලන ලෝකයේත් ප්‍රබල චරිතයක්. තවමත් පෙර තිබූ ජනප්‍රියත්වය ඔබ සතුව ඇතැයි සිතනවාද?

මම ජනප්‍රියද කියලා දන්නේ නෑ. හැබැයි අපේ පක්ෂයෙන් නම් කියන්නේ ‘රන්ජන් තමයි හොඳම ක්‍රවුඩ්ෆුලර්’ කියලා. පෝස්ටර්වල දැම්මේ ‘රන්ජන් ඔබ අමතයි’ කියලා. මම සහභාගි වූ දේශපාලන සංවාද ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මම දේශපාලන රැස්වීමකට ගියත්, රූපවාහිනී සංවාදයකට ගියත් මොකක්දෝ ආන්දෝලනාත්මක දෙයක් සිදු වෙනවාමයි. ඒක වරක් නිරෝෂා පෙරේරාත් මට කිව්වා. ‘‘You are a controversial man. where ever you go something happen’ ’ කියලා. බෙන්තර - ඇල්පිටියේදී මම ‘නානා බුදිද’ කියලා ඇහුවා. ඔබට මතකනේ. ඌ දිනුවා. දේශපාලන වේදිකාවල නිරායාසයෙන් ඒ වගේ ආන්දෝලනාත්මක දේ වෙනවා. Call එකක් දුන්නත් ඒකෙන් ලොකු කතාවක් හැදිලා, නඩු වැටිලා මොනවා හරි වෙනවා.

එහෙම නඩු කිහිපයක්ම තිබෙනවා?

ඔව්. දැන් නඩු පහක් විතර මට වැටිලා තියෙනවා.

අර ‘මාතර සුනිල්’ කියලා එක්තරා රූපවාහිනී සංවාදයකදී දුරකතන ඇමතුමක් ලබා දුන්නෙත් ඔබ නේද?

දැන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ.

රන්ජන් රාමනායක කියන්නේ අද්භූත වැඩ කරන, ඇස් රතුවෙන කොළොප්පම් කරන චරිතයක්. මේකත් දේශපාලන ලෝකයේ එහෙම දාපු සෙල්ලමක් වෙන්නැති?

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වුණු වෙලාවේ ඒ ඇමැතිවරයා මගේ ළඟට දුවගෙන ඇවිත් ඇහුවා ‘මොකක් ද මචං ඒ කරපු වැඩේ කියලා. ‘අපරාදේ බං මට තද වුණේ’ කියලත් ඔහු කිව්වා. එතකොට මම කිව්වා ‘ඉතිං මචං මම උඹේ නම කිව්වේ නෑනේ’ කියලා. මම කිව්වේ ඒ සංවාද මණ්ඩපයේ හොරෙක් ඉන්නවා කියලා විතරයි. එතුමා ඒ තොප්පිය දාගත්තා කියලා මට කරන්න දෙයක් නෑනේ.

දේශපාලනඥයෝ සාමාන්‍යයෙන් සටකපට උදවියනේ. නමුත් රන්ජන් රාමනායක කලාකරුවෙක් නිසා ඒ සටකපට කම් නොදැනදෝ අදාළ දුරකථන ඇමතුම ලබා දුන්නේ තමන්ගේම ජංගම දුරකථනයෙන්. මේක අත්වැරැද්දක්ද? නැතිනම් ඇයි එහෙම වුණේ?

මට අවශ්‍යය වුණා මගේ මතය ප්‍රකාශ කරන්න. ඒ හැර මගේ කිසිම සැලසුමක් තිබුණේ නෑ. මම ඔහුව දැක්කා. තිරයේ අංකයක් තිබුණා ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න කියලා. ඉතින් බොහොම අව්‍යාජයිනේ.

ඇයි එහෙනම් ‘මාතර සුනිල්’ කෙනෙක් විදිහට රඟපෑවේ?

මගේ නම කියලා ඉල්ලුවා නම් සමහර විට ඔවුන් ඒ අවස්ථාව මට නොදී ඉන්න තිබුණා. මොකද මගේ කටට ‘බ්‍රේක්’ නෑ කියලා කවුරුත් දන්නවානේ. ඒ නිසා දන්නවා මොකක් හරි ලෙඩක් දාන්න යන්නේ කියලා. අපි පක්ෂයේ ඉන්දැද්දී ඒ් වගේ මොනවා හරි උපකුම යොදා ගන්න ඕනෑ. කොහොම හරි ඒක සමාජගත වුණානේ. එතන ලොකු කතිකාවක් ඇති වෙලා පත්තරවල පළ වෙලා, උසාවි යන්නත් සිදු වුණා.

අහක තිබුණ ලෙඩක් නේ දාගත්තේ කියලා හිතුණේ නැද්ද?

නෑ. අවශ්‍යය දේ වුණා. දේශපාලනයේදී විවිධ සටන් ක්‍රම උපයෝගී කර ගන්න වෙනවා. ගරිල්ලා සටන් ක්‍රම.

ඔබ සිනමාවේ නිර්මාණය කරපු ‘one shot’  අපේ ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැළඳ ගත්තා. නමුත් දැන් ඔබ මහ පොළවට බැහැලා, බොහොම යථාර්ථවාදීව ඔබේ දේශාපාලන දර්ශනය ක්‍රියාත්මක කරනවා?

ඔව්. ඇත්ත වශයෙන්ම.

සිනමාවේ ඔබ කළ දේශපාලනයට වඩා මේ දේශපාලනය හැබැයි හරි වෙනස්. මොකද මහ පොළොව මත තිබෙන දේශපාලනයක් එය?

සිනමාවේ one shot  නාමය දේශපාලනයේදීත් මට පටබැඳුණා. සිනමාපටයක් මිනිස්සුන්ට දැනෙනවානේ. අපි බැලුවොත් ‘සින්ගල්ස්ටික්’ වගේ චිත්‍රපටයක්, නැතිනම් ‘රාජ්නීති’ කියන හින්දි චිත්‍රපටය. එතකොට ‘ගෝඩ් ෆාදර්’ චිත්‍රපටයේ තියෙන්නේ දේශපාලනය. ‘ද ග්‍රේට් ඩික්ටේටර්’ චාලි චැප්ලින් නිර්මාණය කළේ හිට්ලර්ට විරුද්ධව.

අපේ සිනමාවේත් එවැනි උදාහරණ තියෙනවා?

‘කොටි වලිගය’, ‘උතුමණෙනි’ එතකොට ‘සාගරයක් මැද’ වගේ චිත්‍රපටවල මම හිතන්නේ ඇත්තටම තිබුණේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න. එතකොට ‘සරුංගලේ’ වගේ චිත්‍රපටයත්. ඉතින් මම හිතන්නේ චිත්‍රපටවල ඉන්න චරිතත් සැබෑ ලෝකයේ ජීවත්වන චරිත. ඒ චරිත හරහා තමයි සිනමාව නිර්මාණය වෙන්නේ. ඉතින් සමහර විට දේශපාලනයේදී යථාර්ථයක් කර ගන්නට බැරි වූ දේවල් අධ්‍යක්ෂවරු සිනමාවේ මවනවා. මෙහෙම හොරු නැති, දූෂකයෝ නැති සුන්දර රටක් බිහි වෙයි කියලා. මේ ෆැන්ටසිය තුළ ඉඳගෙන තමයි සමහර චිත්‍රපට නිර්මාණය වන්නේ.

දැන්‘one shot’ චිත්‍රපටයත් එහෙම ෆැන්ටසියක්?

අර දේශපාලනඥයකුට පාරේ දාගෙන ගහන දර්ශනයක් චිත්‍රපටයේ තිබුණානේ. ඒක බලපු ඇමැතිවරයෙක් මූ මට ගහලනේ චිත්‍රපටය කරලා තියෙන්නේ කියලා ඉන්ටවල් එකේ නැගිටලා ආවාලු. හැබැයි එක්තරා රාජ්‍ය ආයතනයකදී ඒ දේම මේ ඇමැතිවරයාට වුණා. ඒවා බොරු නෙවෙයිනේ. වැරදි කරපු දේශපාලකයින්ට මහ පාරේ බිම ඇදගෙන ගිහින් ජනතාව පහර දෙන යුගය වැඩි ඈතක නෙවෙයි. එහෙම බලද්දී ෆැන්ටසියක් වුණත් කවදා හරි යථාර්ථයක් වෙන්න ඉඩ තියෙනවා.

‘පාර්ලිමන්ට් ජෝක්ස්’ ‘‘one shot’’ - 01 වැනි චිත්‍රපටත් කෙදින හෝ එබඳු දේශපාලන යථාර්ථයක් විය හැකියි කියන ඉඟිය ද ඔබ ඔය පළ කරන්නේ?

‘වීර්සාරා’ චිත්‍රපටයේ දෙන්නා අවසානයේ එකට එකතු වෙනවා. පොඩි කාලේ නැති වුණ සහෝදරයෝ සිනමාවේ යළි එකට එකතු වෙනවා. සැබෑ ලෝකේත් එහෙම එකට එකතු වෙලා තියෙනවා. ‘රාම්ලීලා’, ‘රෝමියෝ ජුලියට්’ වගේ ආදරය වෙනුවෙන් දිවි දුන් පෙම්වතුන් අපි සිනමාවේ දකිනවා. සැබෑ ලෝකේත් දකිනවා. ෆේස්බුක් නිසා දිවි නසා ගන්නා අය අපි සිනමාවේ වගේම සැබෑ ලෝකයේත් දකිනවා. ඒ යථාර්ථය අත් විඳනවා. නිර්මාණකරුවා ප්‍රේම් එක තුළින් දකින දේ සැබෑ ලෝකයේ සිදු වෙනවා කියලා මම කිව්වේ ඒ නිසයි. මේවා සම්භාව්‍ය චිත්‍රපට නොවුණත් හිස් ප්‍රලාපමත් නෙවෙයි.

කොහොම වුණත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න අද ඔබට අවස්ථාව උදා වෙලා?

සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මා පත් කොට තිබෙනවා.

මොකද හිතෙන්නේ මේ ඇමැතිකම ගැන?

මෙතන අමාත්‍යාංශ තුනක වැඩ කටයුතු ඒකාබද්ධ කරලා තිබෙන තැනක්. ෆීලික්ස් පෙරේරා, තොන්ඩමන් වගේ අමාත්‍යවරුන් මේකෙ සේවය කළා. ජනතාවට ලොකු සේවයක් කළ හැකි පුළුල් විෂයය ක්ෂේත්‍රයක් මේක. පසුගිය කාලේ මගේ කාලය වැඩිපුරම ගත වුණේ අල්ලස් හා දූෂණ කොමිසමට යම් යම් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහායි. මැතිවරණ වේදිකාවේදී අපට අත්පුඩි ගැසුවේ, ජය ඝෝෂා පැවැත්තුවේ හොරුන්, දූෂකයන්, මංකොල්ලකරුවන් අල්ලන බවට, ඔවුන්ට එරෙහිව නීතිය දැඩි සේ ක්‍රියාත්මක කරන බවට අප ජනතාවට පොරොන්දු වූ නිසයි. එය මේ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක්. එය දැනටමත් ක්‍රියාත්මත වෙමින් පවතින එක ගැන සංතෝෂයි.

දූෂණයට, වංචාවට එරෙහිව ප්‍රබල හඬක් නැංවූ චරිතයක් බවට ඔබ අද පත්ව සිටිනවා?

ඒ වෙනුවෙන් කවදත් මම පෙනී සිටියා. තමන්ගේ රටට බොරු කරපු, වංචා කරපු දේශපාලනඥයන් පසු කලෙක තමන්ගේ ආරක්ෂාව හොයාගෙන ගියේ විදෙස් රටවලට. ඉඩි අමීන් රටේ මහා ධනස්කන්දයක් අරගෙන සවුදි අරාබියට ගිහින් මැරෙන කල් රෝහල් ගත වී හිටියා. ඒ වගේ අපේ රටේ වැරදි කරපු දේශපාලනඥයින් පිටරටවලට පැන ගියොත් ඔවුන් අල්ලාගන්න කරදර වෙනවා. මොකද වත්කම් විශාල වශයෙන් පෙන්වා පුරවැසි බව ලබාගන්නට පුළුවන් රටවල් ලෝකයේ තිියෙනවා. ඔවුනට දේශපාලන රැකවරණය ලබා දෙන්නත් එබඳු රටවල් සූදානම්.

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වසා ඵලක් නෑනේ?

තනි පුද්ගලයකු හෝ එක පවුලක් රටේ මුදල් ට්‍රිලියන ගණක් වැරදි විදිහට උපයාගෙන තියෙනවා නම් එය බරපතල වැරැද්දක්. ඒක එක්සත් ජනතා නිදහස් සන්ධානය ද, එක්සත් ජාතික පක්ෂය ද, හෙළ උරුමය ද කියලා ප්‍රශ්නයක් නෑ. වැරැද්ද නම් වැරැද්දමයි. තමන්ගේ පක්ෂයේ අයෙක් දූෂණ, වංචාවලට වැරදිකරුවකු වූ පසු ඔහු ඉවත් කරන්නට කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. නමුත් අනෙක් මහ පක්ෂ කවදාවත් ඒ පූර්වාදර්ශය දුන්නේ නෑ. එක චණ්ඩියෙක් මෙල්ල කරන්න තව චන්ඩියෙක් දැම්මා. ඒ චණ්ඩියා මෙල්ල කරන්න තවත් චණ්ඩියෙක් දැම්මා. අද මහ ඇමතිලා ඉන්නවා හොරු. සී ප්ලේන්, හෙලිකොප්ටර්, ජෙට් තියෙන ඇමැතිවරු ඉන්නවා. ඒ හොර මැරකම් නිසයි ඒ අය දැන් ‘හිටපු’ ඇමතිලා වෙලා ඉන්නේ.

හොරු සමඟ හෙළුවෙන්?

ඔව්. මම හිතන්නේ මේ ක්‍රමය වහාම වෙනස් විය යුතුයි. මෙවැනි චෝදනා තිබෙන කිසිවකුට කිසිම පක්ෂයකින් නාම යෝජනා දිය යුතු නෑ. අපේක්ෂකත්වය ලබා දිය යුත්තේ තමන් නිර්දෝෂියි කියලා ඔප්පු කරන අයකුට පමණයි. එහෙම චෝදනාවලට ලක් වූ අයටත් යුතුකමක් තියෙනවා තමන් නිර්දෝෂි බව ඔප්පු කරලා ඊට පස්සේ ජනතාව අතරට යන්න. උප්පැන්න සහතිකයේ ඉඳන් මරණ සහතිකයට යනතෙක් බොරු කරන තත්ත්වයක් උදා වුණා පසුගිය කාලේ. ඒ කියන්නේ හොඳම හොරෙකුට පුළුවන් දේශ හිතෂෛී කියලා නම්බු නාමය ගන්න. මැරයකුට පුළුවන් ආචාර්ය පට්ටමක් ගන්න. ලංකාව පුරා හොර දොස්තරලා හතළිස් දාහක් ඉන්නවා. එතකොට මගී ප්‍රවාහන සේවයේ නියුතු අය 40% ක් ගංජා බොනවා. 25% ක් කුඩුවලට ඇබ්බැහි වෙලා. මේ බස් ඩ්‍රයිවර්ලා.

ඉතා භයානක තත්ත්වයක්?

ලස්සන වෙන්න හොර රූපලාවණ්‍ය මධ්‍යස්ථානවලට ගිහින් වෛද්‍යවරියක් මිය යනවා. ඒවාට ක්‍රියාත්මක වෙන නීතියක් ඇත්තෙම නෑ. නීතිය අරාජික වෙලා. කුඩු සංස්කෘතියක් එක්ක අපි ජීවත් වුණේ. මාධ්‍යවේදීන්ට ගහන, ඔවුන් අතුරුදන් කරන තත්ත්වයක් ඇති වුණා. ප්‍රමිතියෙන් තොර පොහොර ගේනවා. මේ නිසා කී දෙනෙක් වකුගඩු රෝගීන් වුණාද? ජනාධිපතිවරයකුගේ පුත්‍රයෙක් ලියුම් දෙනවා උසස් පෙළ සමත් නැති අය විශ්වවිද්‍යාලයට බඳවා ගන්න කියලා. නීති ක්ෂේත්‍රය මුළුමනින් බිඳ වැටුණා. හැම ක්ෂේත්‍රයක්ම ඒ වගේ ජරාජීර්ණ වුණා. මේ ළඟදී මංගල සමරවීර ඇමතිතුමා ඉන්දියාවට ගියාම එහෙන් අහනවා කෝ අනෙක් අය කියලා. එතකොට නෑ අපි මේ තුන් හතර දෙනා විතරයි ආවේ කියලා ඔහු කියනවා. මොකද වෙනදා ඒ ගමනට හැටක්, හැත්තෑවක් ගියා. අමෙරිකාවේ U. N. . මීටින් එකට මෙහෙන් දෙසිය ගාණක් ගිහිල්ලා තිබුණා.

ඔබ මන්ත්‍රීවරයකු ලෙස පක්ෂයේම ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් විවේචනය කළා. අද පවා ඒ තත්ත්වය වෙනස් වෙලා නැහැ?

අදත් මේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මම යම් යම් දේවල් විවේචනය කරනවා. එහෙම කරන්න තරම් පිට කොන්දක් මට තියෙනවා. අපි බලයට ආවේ ජනතාවට පොරොන්දු රාශියක් දීලා. ඒවා ඉටු කරන තුරු ජනතාව බලාගෙන ඉන්නේ. ඉතින් අපි ඒවා නොපිරිහෙලා ඉටු කළ යුතුයි.

දේශපාලනයේදී ඔබ ආවේගශීලී වැඩියි කියා හිතෙන්නේ නැතිද?

ඒ ස්වභාවය නිසා තමයි මම දේශපාලන ලෝකයේ ආන්දෝලනාත්මක චරිතයක් වෙලා තියෙන්නේ. මම අල්ලස් හෝ දූෂණ ගැන කතා කළාම එහි කොමසාරිස්වරයා පවා වෙව්ලනවා. මුලින්ම මම අල්ලස් හෝ දූෂණ කොමිසමට ගියේ අවුරුදු දෙකකට කලින්. කවුරුවත් සත පහකට මාව ගණන් ගත්තේ නෑ. මීට මාස හතරකට උඩදි ගියා. මාව ගණන් ගත්තේ නෑ. ජනවාරි 08 වැනිදායින් පස්සේ මගේ නිල නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් තුන් පාරක් ආවා. ‘සර් මේ තොරතුරු මදි. තව විස්තර ඕනෑ’ කියලා ඔවුන් කියනවා. දැන් ඒ පැමිණිලි බාර ගන්නේ මගේ ගෙදරට ඇවිත්. ඉතින් ඒක හොඳයිනේ. මගේ අර ඔබ කියාපු ආවේගශීලී ගතිය නිසානේ එහෙම වුණේ.

කලාකරුවන් වෙනුවෙන් යම් සුබසාධන වැඩපිළිවෙලක් දියත් කරන්නත් ඔබ බලාපොරොත්තු වෙනවා?

අපට තියෙන ජනප්‍රිය චෝදනාවක්නේ මේ කලාවෙන් දේශපාලනයට ආපු පුද්ගලයෝ කලාවට සේවයක් කළේ නෑ කියන එක. මේ ටිකේ මම අපේ කාලකරුවන්ගේ යම් යම් යෝජනා ලබාගන්නවා. සනත් ගුණතිලක මහත්මයත් එක්ක පැයක් විතර කතා කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙසිය විසි පහක් ඉන්නවා. එක මන්ත්‍රී කෙනෙකුට ඇමැති කෙනෙකුට ලක්ෂ පනහක් හම්බ වෙනවා අවුරුද්දකට. ඔවුන්ගෙන් රුපියල් ලක්ෂය බැගින් එකතු කරලා මේ කලාකරුවන් වෙනුවෙන් අරමුදලක් පටන් ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව ගෙනාවේ සනත් අයියා. එයින් අපට පුළුවන් කලාකරුවන් වෙනුවෙන් මසකට රුපියල් 15,000 - 20,000 ක් ලබා දෙන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කරන්න.

කලාකරුවන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයකුත් දියත් කරන්න ඔබ කටයුතු කරන බව දැනගන්න ලැබුණා?

ඔව්. මේ පිළිබඳ මම සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාත් එක්ක කතා කළා. එතුමාගේ පියාණන් වූ ආර්. ප්‍රේමදාස මහතා අපේ කලාකරුවන් වෙනුවෙන් කලාපුරය ඇති කළා. ජිවිතයේ සැඳෑ සමය ගෙවන අසරණ කලාකරුවන්ට හිසට සෙවනක් ලබාදීම අපේ අරමුණයි. සමාජ සේවා අමාත්‍යාංශය මගින් ගෙවල් කිහිපයක් ඉදිකර තිබෙනවා. ඒවා හැදුවේ ෆීලික්ස් පෙරේරා හිටපු අමාත්‍යතුමාගේ අධීක්ෂණය යටතේයි. අපේ කලාකරුවන්ට ඒ නිවාස ලබාදීමටයි මම කැබිනට් අනුමැතිය ලබාගන්න කටයුතු කරගෙන යන්නේ.

එතකොට ඔබට ගෙයක් හදා ගන්නේ නෑ?

අම්මා මට අපේ ගේ ලිව්වේ 1994 දී. ඒ හම්බ වුණ මුල් සතියෙම මම ඒක විකිණුවා සිනමාවට එන්න ඕනෑ නිසා. එදා ඉඳලා මගේම කියලා නිවසක් තිබුණේ නෑ. කුලියට හිටියා. ඊට පස්සේ මන්ත්‍රී නිල නිවාසයේ. ‘ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා සිට’ කියලා කියනවනේ. මට නම් තවම ගෙයක් නෑ. මම නිවසක අයිතිකරුවෙක් වෙයි කියලා මම හිතන්නේ නෑ. අර විජය මාමා කිව්වා වගේ අම්මාගේ කුසයෙන් ගෙනා දුප්පත්කම තියාගෙන මැරෙන්න ලැබුණොත් මට ඇති.

රන්ජන් රාමනායක කියන කලාකරුවාට ඉදිරියේදී මොකද වෙන්නේ?

මම මුලින්ම හිතාගෙන හිටියේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඒකෙන් තමයි පටන් ගත්තේ. සිංදු එහෙමත් කිව්වානේ. විජය මාමා රඟපාන චිත්‍රපටයක මටත් රඟපාන්න ඕනෑ කියලා හිතුණා. ඒවා බොහොම සුන්දර සිහින. ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ මම අතුරු චරිතයක් රඟපෑවා. ඒකට මට නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු දුන්නේ බත් පාර්සලයයි, දිවුල් කිරි එකයි’. ඊට පස්සේ ‘භාග්‍යා’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ගමට ගියාම හරි සංතෝසයි. අතුරු චරිත, කොමඩි චරිත, දුෂ්ට චරිත ඊට පස්සේ උප ප්‍රධාන චරිත, ප්‍රධාන චරිත මට ලැබෙනවා.

අවසානයේ අපේ සිනමාවේ ‘සුපිරි තරුව‘ බවට ඔබ පත් වෙනවා?

‘සරසවිය’ ජනප්‍රිය නළු සම්මානය හය වතාවක් ලැබෙනවා. හොඳම නළුවා වෙනවා. පීපල්ස් අවෝඩ් එක අට වතාවක් ලැබෙනවා. එක දිගට. ඊට පස්සේ මම පාර්ලිමේන්තු යනවා. නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙනවා.

මේ කිසිවත් ඔබ හිතපු, බලාපොරොත්තු වූ දේවල් නෙවෙයි?

මේ කිසි දෙයක් මම බලාපොරොත්තු වුණේ නෑ. මගේ ගමේ යාළුවො හිතුවෙත් නෑ. අම්මලා, තාත්තලා ජීවතුන් අතර හිටියා නම් මේවා දකින්න කියලා ක්ලීටස්ලා වගේ යාළුවෝ කියනවා. එතකොට පුංචි දුකක් දැනෙනවා. තවමත් ඒ දුක හිතේ කොනක තිබෙනවා. කොහොම වුණත් මට තවම මිනිස්සු ආදරෙයි. දේශපාලනයට ගියා කියලා ඔවුන්ට මාව එපා වෙලා නෑ. මගේ හඳහනේ තියෙන්නේ සිංහාසන යෝගයක්ද, හිඟන යෝගයක් ද කියලා මම දන්නේ නෑ. එන විදිහකට ජීවිතයට මුහුණ දෙනවා. හැබැයි නළුකමෙන් නම් මම කවදාවත් ඈත් වෙන එකක් නැහැ.