|
තරුෂිගෙන් අලුත් ආරංචියක්
ඔබගේ ආදරය දිනාගත් ජනප්‍රිය නිළියක් වන තරුෂි පෙරේරා විවාහ දිවියට පත් වී ගෙවන්නේ සොඳුරු ජීවිතයක්. ඇගේ ඒ සොඳුරු ජීවිතය තවත් සොඳුරු වී ඇති බවක් අපට පසුගිය දිනෙක ආරංචි වුණා. ඈ කලක සිට බලාපොරොත්තු වුණු ‘මව්පදවිය‘ ලැබීමේ උරුමයට උරුමකම් කියලා. ඒ ලැබුණු ආරංචිය සත්‍යයක් ද කියලා අහන්න අප ඇයව සොයාගෙන ගියා. මව්පදවිය උරුම වග කියන සොඳුරු පණිවුඩය හරියටම දැන ගත්තේ කොහොමද? මේ සොඳුරු ආරංචිය ලැබුණේ ගිය වසරේ. ඒ මාස කිහිපයකට විතර කලින්. ඒ කොහොමද? මගේ මහත්තයා මා පිළිබඳ බොහොම ඉවසිලිවන්තයි. ඒ ගැන අපි නිතර කතා කළා. මගේ සහෝදර සහෝදරියොත් සමඟ මම නිතරම හිතවත් නිසා ඔවුන්ගේ අදහස් විමසුවා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ඒ අදහස හරියටම ස්ථිරකර ගත්තා. ඒ ස්ථිරත්වයේ දී මහත්තයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? එයාට ඒ ගැන ගොඩක් සතුටුයි. කොයිතරම් වැඩ ගොඩක හිටියත් මේ ආරංචිය ලැබුණු වෙලාවේ එයා ගොඩක් සතුටු වුණා. ඉදිරියටත් ඔය ගෙදරම තනියම ඉන්නද කල්පනාව? ඇත්තටම ඔව්. සුමේධ කිව්වේ ඉදිරියේදී අපට ලැබෙන්නේ වාසනාවන්ත කාලයක් කියලයි. ඒ නිසා එදා ගත්ත තීරණයේම අදත් ඉන්නවා. වෙනසකට තියෙන්නේ වෙනදා මම තනියම කරගත්තු බොහෝ දේවල්වලට එයාගෙන් වැඩි සහයෝගයක් ලැබෙන එකයි. වෙනදාට වඩා වැඩි ආදරයක් ලැබෙනව වගේම නිතරම වගේ මගේ ළඟින්ම ඉන්නවා. මේ පදවියට උරුමකම ලැබීමත් සමඟ මාව බලාගන්න ඕන කියන හැඟීම ඔහුට ඇතිවෙලා. වෙනදාට වඩා ඔහු වෙනස් වෙලා. අපූරු රැකවරණයක් මට ලැබෙනවා. පුළුවන් හැම වෙලාවකම වේලාසනින් ගෙදර එනවා. මේ ගැන ඔබට තියෙන්නෙ මොනවගේ හැඟීමක් ද? මට ගොඩක් සතුටුයි. මොකද මගේ හීන අතර තියෙන වැදගත්ම හීනය තමයි මේ. ඒක හැබෑ වෙනවා කියන්නේ ගැහැනියක් ලබන්න පුළුවන් උපරිමය ලබනවා කියන එකයි. ගැහැනියකට ඊට වඩා දෙයක් තිබේවි කියලා මට හිතෙන්නේ නැහැ. මුලින්ම මම හොඳ විවාහයකට හීන දැක්කා. ඒක හැබෑ වුණා. තවත් කෙනෙක් වෙනුවෙන් කැප කීරීම් කරන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඉන් පස්සේ මවක් වෙනව කියන්නේ තවත් කැප කිරීම් රාශියක් හිමිවෙනවා කියන එකයි. පුංචි පැටියගේ මුහුණ බලාගන්න තුරු ඉවසිල්ලක් නෑ නේද? අපෝ ඔව්. ඒ නොඉවසිල්ල නිරතුරුවම තියෙනවා. නිතරම වගේ පුංචි පැටියා ගැන හිතලා තමයි මම කටයුතු කරන්නේ. කෑමබීම වුණත් එහෙමයි. ඒවා ගැන නිතරම මට උපදෙස් ලැබෙන්නේ සහෝදරියන්ගෙන්. ඔවුන්ට ඒ ගැන අත්දැකීම් ඕනෑ තරම් තියෙනවා. මේ කාලයේ වෙන ශාරීරික වෙනස්කම්වලට ඔබ සූදානම්ද? මේ වනතුරුම බොහොම යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් තමයි මම කටයුතු කළේ. මවක් වීමෙදි වෙන ඕනම දෙයකට සූදානම් වෙලයි මම ඉන්නෙ. මහත් වුණාට, කැත වුණාට කමක් නැහැ. ඒ ඒ කාලයට අවශ්‍ය දේවල් නිසා ඒවා මම සතුටෙන් බාර ගන්නවා. දවස ගත කෙරෙන්නේ කොහොමද? පොතපත කියවන පැත්තට මම ආයෙත් යොමුවුණා. ඒ අතර රූපවාහිනියත් නරඹනවා. වෙනදා තරම් වැඩ භාර නොගත්තත් රූපලාවන්‍ය කටයුතු නිදහසේ කරගෙන යනවා. ඉඳලා හිටලා යන්නට පුළුවන් රූපවාහිනි වැඩසටහනකටත් සහභාගි වෙනවා. ඒ අතර වෙනදා නැති නිදිමතකුත් මට එනවා. ඒ වෙලාවට ටිකක් විතර නිදාගන්නත් අමතක කරන්නේ නැහැ. ලැබෙන්නේ දුවෙක් ද පුතෙක් ද කියලා බැලුවාද ? අපි ළඟට එන්න ඉන්නේ කවුද කියලා නොබලන්නයි අපි තීරණය කළේ. ඒ කෙනා කවුරු වුණත් අපි සතුටින් භාර ගන්නවා. සුමේධ වුණත් ඕනම කෙනෙකුට කැමැතියි. මේ වනතුරු දොළ දුකක් එහෙම හැදුණේ නැද්ද ? එහෙම විශේෂයෙන් කන්න කැමැතිම කෑමක් ගැන ආසාවක් මට ආවේ නැහැ. ඒත් මම උයනවට වඩා ගෙදර අය උයල දෙන කෑම නම් කන්න මට ආසයි. තවම නම් දොළ දුකක් මට හැදිලා නැහැ. හැබැයි කම්මැලිකම නම් ටිකක් තියෙනවා. දුවල පැනල ඇවිදින තරුෂි කම්මැලි වුණේ කොහොමද ? ඒ ගැන මම මුලින්ම බයවුණා. ඒත් මේ කාලයට ඒ වගේ දේවල් සිදුවිය හැකි බවයි වෛද්‍යවරු පවසන්නේ. මේ වනවිට ඉදිරිය සැලසුම් කරලාද? බබා ලැබෙන්න රෝහල් ගත වෙන්නේ පෞද්ගලික රෝහලකටයි. මම වඩාත් කැමැති සාමාන්‍ය විදියට බබා ලැබෙන එකටයි. කොහොම වුණත් ඒ සියල්ල ලැබෙන විදියට මම බාර ගන්නවා. දරුවෙක් කියන්නේ දෙවියන්ගෙන් ලැබිච්ච ලොකු දායාදයක්. ඒ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ නිරෝගීමත් දරුවෙක්. ඉදිරියේදී නිර්මාණවලින් ඔබව දකින්නට නොලැබේවිද ? මේ සිදුවීම දැනගත්තට පස්සේ රඟපාමින් සිටිය නිර්මාණයට පමණක් දායක වුණා. ඉදිරියේදි භාර අරගෙන තිබුණු නිර්මාණ රැසකින්ම ඒ ඒ අධ්යක්ෂවරුන් සමඟ කතා කරලා ඉවත් වුණා. ඒ කියන්නේ තරුෂි රඟපෑමෙන් සමුගන්නවා කියලද ? මම කලාවෙන් සමුගන්නේ නැහැ. නමුත් බබා ලැබිලා ටික කාලයක් යනතුරු මට නිර්මාණවලට දායක වෙන්න නොලැබේවි. ඒ බබා ලොකු වෙනතුරු එයත් එක්කම කාලය ගත කරන්න මම හිතාගෙන සිටින නිසා.
|