වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ කොයි කවුරුත් අදත් අප සමඟ සම්බන්ධයි

සිනමාවේ කොයි කවුරුත් අදත් අප සමඟ සම්බන්ධයි

සම්මානනීය වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහගේ බිරිය සරෝජනී

දශක පහකට වැඩි කලක් ලාංකේ සිනමාවේ විශිෂ්ට වේශ නිරූපණ ශිල්පියෙකු ලෙසින් තිරය පිටුපස විවිධ චරිතයන්ට පණ දුන් ඊබට් විජේසිංහයන් හදිසියේම සිංහල සිනමා ඉතිහාසයට මෙන්ම ජීවන සිනමාවෙන් ද සමු ගත්තේය. ඒ කවුරුත් නොසිතූ නොපැතූ මොහොතකය. සිංහල සිනමා ඉතිහාසයේ නම නොමැකෙන ලෙසින් සටහන් කිරීමට සමත් වූ ශිල්පීන් අතරින් කෙනකු වූ ඊබට් විජේසිංහයන්ට අත් වනුයේ ඒ අතරින් ප්‍රමුඛ ස්ථානයකි. ජනාධිපති, සරසවිය, ඕ. සී. අයි. සී, ස්වර්ණ සංඛ ආදී සම්මාන රැසකින් සිය නිර්මාණශීලී කලා දිවිය ඔපවත් කර ගත් විජේසිංහයන් අප අතරින් වියෝ වී මෙම මස 27 වැනිදාට වසර දෙකක් සපිරිණි.

ඔහු මිය යන විට සිංහල සිනමාවේ වේශ නිරූපණය සම්බන්ධයෙන් දැවැන්තයෙකි. ඊබට් විජේසිංහ රඟපෑමට ද දක්ෂයෙකු විය. සාරවිට චිත්‍රපටය තුළින් වේශ නිරූපණය ආරම්භ කළ ඔහු සැණකෙළිය චිත්‍රපටය හරහා රංගනයට අවතීර්ණ විය. ඊබට් අවසන් වරට සිය නිර්මාණ දායකත්වය එක් කරනු ලැබුවේ වෛෂ්නාවි චිත්‍රපටයටය. එදා මෙදාතුර චිත්‍රපට දෙසීයකට වැඩි ප්‍රමාණයක සිය නිර්මාණ දායකත්වය එක් කළ ඊබට් විජේසිංහයන්ගේ නිවහනට අපි ගොඩ වූයේ එදා තරු පිරී තිබූ මේ නිවහනේ අද දවසේ තොරතුරු ටිකක් කතාබස් කරන්නටය. 14 38/2 හෝකන්දර පාර, පන්නිපිටිය නිවහනේ අද කල් ගෙවන්නේ මේ ඊබට් විජේසිංහයන්ගේ ප්‍රිය බිරිය සරෝජිනී විජේසිංහයන් හා ඊබට්ගේ එකම පුතු උදාර විජේසිංහයන්ය. පාලුව තනිකම අකාමකා ගන්නා සරෝජිනී තම සැමියා ගැන මතකයන් සිහිපත් කළේ අපි සමඟ අතීත මතකයන් සිහිපත් කරමිනි.

මේ ගෙවෙන්නේ ඊබට් අයියා නැති වෙලා දෙවැනි අවුරුද්ද?

ඔව්. ජනවාරි 27 වැනිදාට එයා නැති වෙලා අවුරුදු දෙකක්.

එදාට මොන වගේ වැඩ කොටසක් ද ඒ වෙනුවෙන් කළේ?

ඊබට්ව සිහිපත් කරලා සාංඝීක දානයක් පරිනැමුවා.

කොහොමද අදත් එදා වගේම ගෙදර නළු නිළියන්ගෙන් පිරී යන දවස් තියෙනවාද?

ඊබට් ඉන්න කාලේ වගේ නම් නෑ. හැබැයි කොයි කවුරුත් අදත් මාත් සමඟ සම්බන්ධයි. ටෙලිෆෝන් කරලත් විස්තර අහනවා. මමත් එහෙමයි. ඊබට් නැහැ කියලා නෑ කාගේ වුණත් කලාකාරයෙක්ගේ වැඩකට යනවා. මල ගෙදරක් වුණත් එහෙමයි. මට යන්න බැරිම නම් පුතාව හරි යවනවා. එදා ඉඳලා තිබුන බැඳීම අපි කාගෙන්වත් දුරස් වෙලා නැහැ. අද මේ ක්ෂේත්‍රයට එන කෙනෙක් හැරුණ කොට මේ ක්ෂේත්‍රයේ හිටිය හැම කෙනෙක්මත් මාව හොඳට දන්නවා.

ඊබට් අයියා ඔබට මුණ ගැහෙන්නේ කොහොමද?

මගේ අයියා කෙනෙක් හිටියා මැල්කම් මන්තාරා කියලා. එයා සැණකෙළිය චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකාරයෙක් ලෙස වැඩ කළා. ඒ කාලේ මම ඕලෙවල්වත් කරලා නැහැ. මමත් අයියත් හොඳ පිච්චර් පිස්සෝ. දවසක් අයියා සැණකෙලිය චිත්‍රපටයේ ෂූටින් බලන්න එක්ක ගියා. ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග තමයි ප්‍රධාන චරිත කළේ. මටත් පොඩි සීන් එකකට කතා කළා. එදා තමයි ඊබට්ව මම දැක්කේ. ඒ වෙලේ ඉඳලා මෙයා මගේ පස්සේ. මම කැමැත්තක් පෙන්නුවෙත් නැහැ. නළු නිළියන්ට මාව බලෙන් හඳුන්වලා දෙනවා. ඒ දවස්වලම එහි අධ්‍යක්ෂක විමලදාස පෙරේරාගේ චිත්‍රපටයක විජයගේ නංගිගේ චරිතයටත් මාව තෝරා ගත්තා.

ඔය මුණ ගැසීම විවාහයක් දක්වා දුර දිග ගියේ?

ඊබට් බිරිය සරෝජිනි සමඟ

ඊබට් මගේ මල්ලි කෙනෙක් වන රංජිත් මතඟවීර එයාගේ සහායට වැඩ කරන්න තෝරා ගත්තා. අපේ මල්ලිත් හොඳ පිච්චර් පිස්සා. කොහොම හරි ඊබට් අපේ ගෙදර එනවා මල්ලිව එක් කරගෙන යන්න. මෙහෙම ඇවිත් තමයි මගේ කැමැත්ත ගත්තේ.

කොච්චර කාලයක් වුණා ද ඔබ දෙපලගේ යුග දිවියට?

අවුරුදු තිස් අටක්. ඒ කාලේ මම ඊබට්ට අයියේ කියලා කතා කළේ. උදාර පුතා ලැබුණාට පස්සේ මම එයාට අයියා කියන එක අතහැරලා තාත්ති කීවා. ඊට පස්සේ එයා නැති වෙන තුරාවට මම කතා කාළේ තාත්ති කියලා. එයා මට කතා කළේ චූටි කියලා.

තාත්ති, චූටි කතාවේ රහස මොකක්ද?

මේ කලා ක්ෂේත්‍රයේ ටෝනි රණසිංහ ඇරෙන්න අනෙක් කවුරුවත් මගේ නම සරෝජිනී කියලා දැනගෙන හිටයේ නැති තරම්. හැම කෙනෙක්ම මට කතා කළේ චූටි කියලා. ඒ කාලේ කලා ක්ෂේත්‍රයේම අය චූටි, තාත්ති කිව්වහම මේ දෙන්න කවුද කියලා හොඳට දන්නවා.

අද තාත්ති නැති එකේ කා තුළත් අදත් ඔබ චූටිද?

ඔව්. අදටත් චුටි අක්කේ, චූටි නංගි කියලා තමයි කවුුරුත් කතා කරන්නේ. ටෝනි අයියා තාත්ති නැති වුණාට පස්සෙ මගේ දුක තුනී කරන්න පැය ගණන් මට ෆෝන් කරලා කතා කරනවා. තාත්ති කරපු කියපු දේ කියලා මගේ හිත හදනවා විතරක් නෙමේ එයා කරපු වැඩ කියලා හිනා ගස්සනවා.

මේකප් කලාවේ අමරණීය චරිතයක් වූ ඊබට්ගේ වෙස් ගැන්වීම් අතරින් ඔබගේ සිත් ගත් නිර්මාණ සිහිපත් කළොත්?

දෑස නිසා චිත්‍රපටයේ ජෝ අබේවික්‍රමට කළ වෙස් ගැන්වීම, හුලවාලි චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාට කළ වෙස් ගැන්වීම සුවිශේෂයි.

සුන්දර නිළියන් අතපත ගාන කොට ඊබට් ගැන සැකයක් ඊර්ෂියාවක් එහෙම ඔබ තුළ ඇති වුණේ නැද්ද?

එයා කරන රස්සාව ගැන හොඳ අවබෝධයක් තිබුණා. එයා කරපු රැකියාවට හොඳට ඉවසීම වගේම සංවරකමත් අවශ්‍ය වුණා. ඒ දෙකම ඊබට් තුළ තිබුණා . බොහෝ නිළියන් ඊබට්වම ඉල්ලා සිටි අවස්ථා කොතෙකුත් තිබුණා. මම හිතන්නේ ඒ ඔවුන් තුළ තිබුණ විශ්වාසය. නිළියකගේ වැසිය යුතු අවයවයන් ඇරෙන්න අනිත් හැම තැනකටම වගේ ඊබට් මේකප් දාලා ඇති. ඔහු තුළ තිබුණ සංවරකම නිසාම නිළියන්ට ඊබට් සහෝදරයෙක් වුණා. එහෙම නොවන්න මෙතරම් කීර්තිධර වේශ නිර්මාණ ශිල්පියෙක් වෙන්න කවදාවත් ඊබට්ට හැකි වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි.

ඔබේ ආදර සැමියාගේ ජීවිතයේ අවසන් මොහොත ඔබට වේදනාකාරී මතකයක් වෙන්නැති?

මගේ හැට වන උපන් දිනය නිමිත්තෙන් මගේ සහෝදරයාගේ ගෙදර කට්ටියත් මගේ පුතත් මටත් නොදන්වා රෑ සර්ප්‍රයිස් පාටියක් ලෑස්ති කරලා තිබුණා. අපි දෙන්නට මේ වගේ දෙයක් ලෑස්ති කරලා කියලා දැනගන්න ලැබුණෙත් සවස් භාගයේ. කොහොම හරි එදා රෑ ඊබට් මදුවිතත් අරගෙන බොහොම සතෝසයෙන් හිටිය දවසක්. බාල මල්ලි ඉන්නේ ඉතාලියේ. එයත් ස්කයිප් එකෙන් අපිත් එක්ක එදා සාදයට එක් වෙලයි හිටියේ. එයාගේ ඉල්ලීමක් වුණේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය කියන්න කියලා. ඒත් ඊබට් ඒකට කැමැති වුණේ නෑ එයා මධුවිත අරන් නිසා. ඒත් මගේ පෙරැත්ත නිසාම එයා මේ ගීතය ගායනා කළා. කොහොම හරි පාන්දර වෙනකම් පාටිය තිබුණා.

අපේ ගෙදර ළඟමයි මල්ලිගේ ගෙදර තිබුණේ. මේක ඉවර වෙලා බඩු අස්පස් කරලා අපි දෙන්නා ගෙදර ඇවිත් නිදා ගත්තා. කොහොම හරි පාන්දර පහට විතර අපි අවදිවීම පුරුද්දක්. එදත් ඊබට් කුස්සියේ දොර ඇරගෙන එලියට ගිහින් තිබුණා. ටික වේලාවකින් කුස්සියේ දොර වැහෙන සද්දයක් මට ඇහුණා. ඒ එක්කම දඩස් ගාල වැටෙන ශබ්දයක් ඇහිලා මම කුස්සියට දුවගෙන ගියා. ඒ යන කොට ඊබට් සිංක් එක ළඟ වැටිලා උගුරෙන් ගොර හඬක් නිකුත් වෙනවා. මම එයාගේ ඔලුව උස්සල අනේ තාත්ති මාව දාලා යන්න එපා කියලා කෑගහල ඇඬුවා. මට ඒ වෙලාවේ තේරුණා තාත්ති අපිව දාලා යන්න හදනවා කියලා. මම එයාගේ ඔලුව අත ගාමින් තුනුරුවන් සිහිපත් කරමින් එයාට සෙත් පතන අතරේ මගේ දෑත් උඩ අවසන් හුස්ම ටික පිට කළා.

ඔබ දෙපල අවසන් වරට ගියෙත් කැලණි පන්සල් නේද?

මගේ උපන් දිනයට බෙල්ලන්විල යන්න තමයි එයා හිතන් හිටියේ. මම කිව්වා කැලණි පන්සලට ගියොත් හොඳයි කියලා. ඒ මගේ කකුළේ ඔපරේෂන් එකක් කරලා තිබුණ නිසා තරමක් අපහසුවෙන් තමයි මම හිටියේ. කොහොම හරි එයා මගේ අදහසට කැමැති වෙලා කැලණි යන්න මට කතා කළා. අපි දෙන්නා පාරේ බස් එකෙන් කැලණි යන්න පාරට ගියත් හඳුනන ත්‍රීවිලර් එකකින් කැලණි යන්න අපිට හැකි වුණා. ඒ ගිහින් එයා හිටගෙන බෝධියට වැන්දා. මම ඉඳගෙන බෝධියට වැන්දා. එතනදි එයා මගේ ඔලුව ඉඹලා කිව්වා චූටි උඹ මගේ ආයුෂත් අරන් තවත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ කියලා. ඒ ගිහින් අපි ගෙදර ආවේ සවස් වෙන්න කලින් කඩෙන් බත් පාර්සලයක් අරන් ඇවිත් කාලා එහෙම ඉන්න කොට තමයි පුතා එයාගේ බිරිඳත් දරුවෝ දෙන්නත් එක්ක මට තෑගි අරගෙන ඇවිත් මටත් හොරා එයාල ලෑස්ති කරලා තිබුණ පාටියට යන්න කතා කළේ.

ඔබ ආදරයට කියන තාත්ති කොයි වගේ පුද්ගලයෙක් විදියට ද ඔබ හඳුනාගෙන තිබුණේ?

එයා බොහොම විනෝදයෙන් හිටිය කෙනෙක්. වෙලාවකට පොඩි ළමයෙක් වගේ. වැඩකට යන කොට මම එයාට කවදත් කිව්වේ තාත්ති ගෝරි එහෙම දාගන්න එපා කියලා. හැබැයි එයා ළඟ පිළිවෙලක් නෑ. මට ඕනෑ වුණේ පිළිවෙලට හැම දෙයක්ම. මම තමයි ගෙදර පාලනය . එයා හම්බ කරන දේ මම තමයි වියදම කළේ. මට පුදුම විදියට එයා ආදරය කළා. අපේ පවුලේ හැම කෙනෙක්ම මට වඩා ආදරේ ඊබට්ට. ඒ තරම් ලෙන්ගතුකමක් එයාලට තිබුණා ඊබට් ගැන. ඊබට්ගේ පවුලේ අය වුණත් එහෙමයි. මට පුදුම විදියට එදත් අදත් ආදරෙයි. මේ පවුල් දෙකේම අය එයා නැති වුණා කියලා මාව තනි කළේ නැහැ. මට හැම විටම වචනයෙන් පවා ශක්තියක් වුණා. මට අවුරුදු හැට පිරුණ දවසේ මගේ ඥාතීන් කිව්වා ඔන්න අයියේ දැන් අක්කා වයසට ගිහින් කියලා. ඒ පාර එයා කිව්වා යකුනේ මගේ ගෑනි අදටත් ඉස්සර වගේම රෝස මලක් කියලා.

ඔබේ ආදරණීය තාත්ති එහෙමත් නැතිනම් ආදරණීය සැමියා ඊබට් කවදාවත් ඔබට මේකප් එහෙම දැම්මේ නැද්ද?

මොකද නැත්තේ. මේකප් කරන්න ගන්න හැම දෙයක්ම මුලින්ම ගෙනත් මගේ මුහුණට තමයි දාලා බැලුවේ. ඒ කලේ මමත් සුරූපිණියක්. මුහුණ කැත කරන්න, ලස්සන කරන්න, වෙනස් කරන්න දාන හැම දෙයක්ම එයා මගේ මුහුණට දැම්මා. ඊට පස්සේ තමයි එයා අනිත් අයගේ මුහුණට මේකප් දාන්න පටන් ගන්නේ. මම හිතන්නේ මේ සිනමාවේ එයා අත නොගාපු මුහුණත් නැති තරම් කියලයි.