|
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
විශාරද සුජාතා අත්තනායක
ගායන ශිල්පියෙක් හා ශිල්පිනියක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
ජීවිතයේ සොඳුරු මතක රැසක් අප හදවත පත්ලේ සැඟ වී ඇත්තේ නොමැකෙන ලෙසිනි. ඒ මතක වරින්වර අප හදවතට පැමිණ වරෙක ජීවිතය යළි යළිත් නැවුම් පැතුමක් කරා රැගෙන යයි. තවත් වරෙක ඒ මතකය අපගේ සිත ශෝක සයුරේ ගිල්වන අවස්ථාද නැතිවාම නොවේ. මෙවර ‘මතක ගී පොත’ට ඒ සොඳුරු මතක අවධි කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සුජාතා අත්තනායකය. කුඩාකල මා හැදී වැඩුණේ දැඩි නීති රීති මැද්දේ ය. ඒ සඳහා බලපාන ලද්දේ තාත්තා පොලිස් නිලධාරියෙක් වීම ය. ඔහු සිය ආයතනයට කොපමණ නීති ගරුක වීද, සිය රැකියාවට කොපමණ නීති ගරුක වීද ඒ තරමටම අපට ද ජීවිතයේ නීති ගරුක වන අයුරු ඉගැන්වී ය. මේ නිසා ඔහු සිය නිවෙස ද පාලනය කළේ පොලිසියක් පරිද්දෙනි. ඒ කුමක් වුවද අපගේ තෝරා ගැනීම්වලට ඔහු විරුද්ධ වූයේ නැත. එසේ විරුද්ධ වූයේ නම් අද මා වැනි ගායිකාවක් බිහි නොවන්නට ඉඩ තිබිණි. තාත්තාගේ රැකියාව අනුව විවිධ ප්‍රදේශවල පදිංචිය තෝරා ගැනුනු අතර මා ඉපදෙන්නටත් පෙරම කැලණිය ප්‍රදේශය අපගේ ස්ථිර පදිංචිය ලෙස තෝරා ගැනිණි. තාත්තා නීති ගරුක පොලිස් නිලධාරියෙක් වුවද කලාවට බෙහෙවින් ආදරය කළේ ය. අපගේ නිවෙසේ වූයේ කලාකාමී පරිසරයකි. එවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑවේ අම්මා ප්‍රසිද්ධ ටවර් හෝල් රංගන ශිල්පිනියක් වීමම පමණක් නොවේ. අපේ තාත්තාට හොඳට ගයන්නට, රඟන්නට මෙන්ම වයන්නටද හැකිවීම එවැනි පරිසරයක් ඇතිවීමට බලපෑම් කළ අනෙක් සිද්ධියයි. මේ නිසා නිතරම අපේ නිවසෙන් ඇසුණේ සංගීතයේ සප්ත ස්වරයයි. තාත්තා තබ්ලාව වැයූ අතර ලලිතා අක්කා සර්පිනාව වාදනය කළා ය. සුසිල් මල්ලී කොංගෝ එක වාදනය කළේය. මමත්, අම්මාත්, ඒ සංගීතයේ ස්වරයට ගී ගැයුවෙමු. ඊට තාලයට නර්තනයේ යෙදුණේ රංජනී නංගීය. මීට අමතරව සමහර දිනෙක මම ද සිතාරය වාදනය කළෙමි. සතියකට දින දෙක, තුනක් මෙලෙස සංගීත සාජ්ජ පැවැත් වූ අතර මේවා පැවැත්වීමේ මූලිකයා වූයේ තාත්තාය. මධුවිතක් තොල ගාන තාත්තාගේ ආහාරය වූයේ සංගීතයයි. ඒ නිසා පසු කලෙක සෑම දිනෙකම මෙන් ගී ගැයීමත්, නර්තනයත්, වාදනයත් ඇසීම අවට කිසිවෙක්ටත් අමුත්තක් නොවූයේය. අවසානයේ ඒ සිදුවීම අපට හිසරදයක් වන තරමටම වර්ධනය වූ නිසා, තාත්තා පැමිණෙන විට කොහේ හෝ හැංගීම අපි පුරුද්දක් කර ගත්තෙමු. ඒ අනුව සංගීතය මට උරුම වූයේ ලේවල උරුමයෙනි. මා සංගීතයට නැඹුරු වීම තාත්තාට ප්‍රශ්නයක් නොවූයේ මේ නිසාය. ඔහු කිසිම දිනෙක මගේ අනාගතයේ පැවැත්ම සඳහා සංගීතය තෝරාගත යුතු ද? නැද්ද? යන්නවත් සඳහන් කළේ නැත. මා ගායිකාවක ලෙස ජනතාව අතරට යොමු වූයේ ගුවන් විදුලි පරීක්ෂණයෙන් සමත් වී ගී ගයන්නට වූ පසුවය. එතැන් පටන් තාත්තා ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වන මා ගයන ගී අසන්නට දැක්වූයේ දැඩි කැමැත්තකි. ඒ ගී ඇසූ දිනෙක ඔහු කෙතරම් සතුටට පත්වීද යත් මා කැන්දා උකුළේ හිඳුවා ගෙන හිස අත ගාන්නේ අසීමිත ආදරයෙනි. එහෙත් ඊළඟ දවසේ අසන ගීතය ඔහුගේ සිතට හරි නොගිය කල “ සුජාතා, අද නම් පුතේ ඔයා ගැයුව සින්දුව හරි නෑ ” කියන්නට ද අමතක නොකළේය. එවිට ඔහු අසලකටවත් නොයන්නට මම වග බලා ගත්තෙමි. මේ නිසා තාත්තා සංගීතය නියම වශයෙන් උගත්තෙකු නොවුවද ගීත රස විඳීමේ අපූරු රසවතෙක් විය. එකල තාත්තා දවස ආරම්භ කළේ වෙළෙඳ සේවය ඔස්සේ ශ්‍රවණය කරන සෙත් පිරිත් ඇසීමෙනි.වෙළෙඳ සේවය ඒ කටයුත්ත අවසානයේ වැඩසටහන් ආරම්භ කරන ලද්දේ මා ගයන ගීතයකිනි.එක් දිනෙක ඒ ගී රසවිඳී ඔහු පැවසුවේ අපූරු කතාවකි. “ මගේ දූ තමයි මුළු ලංකාවම අවදි කරන්නේ.” තාත්තාගේ ඒ කතාව ඇසූ මම පුදුමයට පත්වීමි. ඒ ඒ තරමටම ඔහු මා පිළිබඳ සිතන බව සිහිපත් වීමෙනි. මෙවැනි මතක රැසක් මතකයට රැගෙන එන ටී. එම්. ජයරත්න ගයන මේ ගීතයට මම දැඩි සේ ප්‍රිය කරමි.
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
මවකට මුවා වී නුඹවෙත දිවි දුන්නේ ගේයපද - මාලනී ජයරත්න සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - ටී. එම්. ජයරත්න තාත්තාගේ සෙනෙහස සිහිපත් කරන මේ ගීතය නිතර අසන්නට පි‍්‍රය කරන මට ඒ අතීතය හා සම්බන්ධ සිදුවීම් එකික් එක සිහිපත් වන්නේ නිතැතිනි. එවිට මේ සිදුවීමද මගේ මතකයේ නොමැකෙන ලෙස ලියැ වී තිබේ. අපගේ නිවෙස පිටුපස විවෘතව ඇත්තේ වෙල් යායකටය. එහි සිට හමන මදනලේ පහස අපගේ ගතෙත්, සිතෙත් විඩාව නිවා දැම්මේය. ඒ නිසා බොහෝ වේලාවක් එහි ගත කිරීමට අපි ප්‍රිය කළෙමු. ඒ ප්‍රනය කිරීමට තවත් හේතුවක් ද තිබුණේ ය. ඒ බිලිං ගස ය. බිලිං ගසට නැඟගත් පසුව එහි අතුවල වාඩි වී සුවසේ හිඳීමින්, සොඳුරු වෙල්යාය නරඹමින් සිත් සේ මදනලේ පහස විඳීය හැකිය. එදිනත් මමත්, රංජනී නංගීත් බිලිං ගසට නැංගේ සුපුරුදු කාර්යයේ නිරත වනු පිණිස ය. නොසිතූ අයුරෙන් තාත්තා නිවෙසට පැමිණියේ ඒ අතරතුරය. දනිපනි ගා මා ඉන් බැස ගත්තද රංජනී නංගී ගසෙන් බැස්සේ ප්‍රමාදවය. ඇයව තාත්තාගේ අතටම අසුවිය. “ ගැහැනු ළමයි ගස් නඟිනවද ?” කියමින් කෝටුටක් කඩාගත් ඔහු අප දෙදෙනාටම දඬුවම් කළේ නැවත බිලිං ගසට නොනඟින්නට ය. හරුන් ලන්ත්‍රා ගයන මේ ගීතයට මම බෙහෙවින් ඇළුම් කරමි. එහි නාද මාලාවට මෙන්ම ගීතය ගයන ස්වරයද මගේ සිත ඇද බැඳ ගනු නිසැකය.
මගෙ නාමලී බැඳී ආදරේ
බැඳී ආදරේ සුකුමාලියේ
ඒ ලොවේ කවුරුත් නෑ පි‍්‍රයේ
බට ලී හඬෙ තාලේ මගේ ගේයපද - ධර්මසිරි ගමගේ සංගීතය - ආර්.මුත්තුසාමි ගායනය - හරුන් ලන්ත්‍රා හරුන් ලන්ත්‍රාට ඇත්තේ අපූර්ව වූ ශබ්ද මාධුර්යයකි. ඒ මාධුර්යයෙන් යුත් ස්වරයෙන් ගැයීම කාගේ වුවද සිත ඇද බැඳ තබයි. ඔහු ගීතය ගයන්නේද හැඟීම් බරව ය.‘ගොපලු හඬ‘ චිත්‍රපටයේ ගැයෙන මේ ගීතයේ ජවනිකාවට ටෝනි හා ජීවරාණි රඟන අයුරු මට මැවි මැවී පෙනෙයි. මේ චිත්‍රපටයේ මාත් ගීත ගයා ඇති නමුදු මේ ගීතය මට විශේෂ ය. මන්ද ඒ තරමටම එහි රූප පෙළ මෙන්ම ගීතය ද මගේ සිත්ගත් බැවිනි. චිත්‍රපටයේ ගීත පටිගත කරන ලද්දේ එක්වරම නොවේ. එක් දිනෙක මා ද තවත් දිනෙක හරුන් ලන්ත්‍රා ද පටිගත කිරීම් සඳහා සහභාගි වූ අතර මේ ගීත පටිගත කරන ලද්දේ කඳානේ එස්. පී. එම්. චිත්‍රාගාරයේදීය. එසේ පටිගත කළ ද මේ ගීතය මට අසන්නට ලැබෙන්නේ චිත්‍රපටය තිරගත කරන අවධියේයි. ඒ මුල් ශ්‍රවණයෙන් මා හදවත සොරාගත් මේ ගීතය පසු කාලයේ මම නිතර අසන්නට පුරුදු වූයෙමි. එමෙන්ම මේ ගීතය ලියැවී තිබුණේ හින්දි ගීතයක තනුවකට වීම නිසා ඒ ගීතය සොයාගෙන අසන්නටද මම පසුබට නොවීමි. හින්දි ගීතය ගයන්නේ කිශෝර් කුමාර්ය. ඔහු ගයන ගැයුමට වඩා මම හරුන් ලන්ත්‍රා ගයන ස්වරය අසන්නට ප්‍රිය කළෙමි. ඒ තරමටම සොඳුරු ලෙස ඔහු ගීය ගයා තිබුණේය. දිනක් දුරකථනයෙන් මම හරුන් ලන්ත්‍රා ඇමතීමි. “හරුන්, මේ ගීතයේ හින්දි ගීතයට මම ලකුණු සීයක් දෙනවා නම් ඔයා ගයන ගීතයට දෙසීයක් දෙනවා.” ඔහු සිනහ වූයේ ය. ඒ තරමටම අපූරු ලෙස මේ ගීතයට ඔහු සාධාරණයක් ඉටුකර තිබිණි. හරුන් ලන්ත්‍රා වැඩිපුර කතා කරන අයෙක් නොවේ. ලැජ්ජාශීලී කෙනෙක් වූ ඔහුත්, මාත් ගීත ගැයුවේ තරගයටය. ඒ තරගයේදී මට වඩා හොඳට ගයන්නට ඔහු උත්සාහ කරන අතර ඔහුට වඩා හොඳට ගයන්නට මම උත්සාහ කළෙමි. අප දෙදෙනා ගයන ගීතයකදී ඔහු ගයන පදයකට ස්වර සංගතියක් දැමුවහොත් මා ගයන පද කොටසට ඊටත් වඩා දෙයක් දමන්නට මම උත්සාහ කරමි. එසේ ගැයූ ගීත දෙකක් මගේ මතකයේ වෙයි. ඒ එස්. පී. එම්. චිත්‍රාගාරයේ දී ‘ රන්රස‘ චිත්‍රපටයට ගැයූ ‘ හද මල් පඳුරේ......‘ ගීතයත්, කැලණිය චිත්‍රාගාරයේ දී ගැයූ ‘හංස රාජිනී........‘ ගීතයත් ය. මේ ඔස්සේ ඇතිවණු හිතවත්කමත් සමඟ බැඳුණු අපූරු ළබැඳීයාවක් අප අතරවූ බව මට නොකියාම බැරි ය. කලක් මම ඇමෙරිකාවේ පදිංචි වී සිටි කාලයේ රංජනී නංගී මා ඇමතුවාය. ඒ අවස්ථාවේ හරුන් ලන්ත්‍රා පිළිබඳව ද මට ඇය කියා සිටියේ අප අතර එකල තිබුණු ළබැඳීයාව ඇයද දත් නිසා ය. ඔහු පත්ව සිටි අසරණ තත්ත්වය ඇසූ මගේ සිතේ ඇති වූයේ දුකකි. එහෙත් සිතූ සැනෙන් එන්නට නොහැකි නිසා මම නංගීට ඔහුට උදව් කරන්නට යැයි පවසමින් සුළු මුදලක් එවීමි. මගේ මව් රටට ආ පසුව ඔහුට පැවැත් වූ උපහාර උළෙලකට සහභාගි වීමි. වේදිකාව මතට නැඟ ඔහුට මල් පොකුරක් පිළිගැන්වීමි. ඉන් ඔහු බෙහෙවින් සතුටට පත් වූ වග මම දනිමි. කලා සහෘදයෙක්ව බලන්නට යා යුත්තේ ජීවත්ව සිටින අවධියේ මිස ඔහු මිය ගිය පසු නොවේ. එය මම තරයේ අදහන දහමක් වෙමි.
|