වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




විජය අනූ නමයෙන් බේරෙයි

විජය අනූ නමයෙන් බේරෙයි

මෙය ටයිටස් මහත්තයා අධ්‍යක්ෂණය කළ 'මරුවා සමඟ වාසේ' චිත්‍රපටය රූගත කරද්දී අනුරාධපුර කැළයක සිදු වූ බියකරු සිද්ධියකි.

එදින රූගත කිරීම්වලට තුවක්කුවක් අවශ්‍ය බව කලා අධ්‍යක්ෂවරයාට මතක් වූයේ රූගත කිරීම් සඳහා ලොකේෂන් එකට ගිය පසුවය.

රූගත කිරීම් නියමිත වූයේ කැලෑ නිලධාරියකුගේ කාර්යාලයකය.

කැලයේ ගස් කීපයක් අනවසරයෙන් කපා තාවකාලික පැලක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මරු සිරා විසින් සාදා තිබුණි. මේ චරිතය රඟපෑවේ විජය කුමාරතුංගය. කැලෑ නිලධාරීන් එම පැල ගිනිබත් කළේය. මේ නිසා සිරිපාල හා නිළධාරීන් අතර අරගලයක් ඇති විය.

'මං හෙට එනවා උඹලගේ කන්තෝරුවට. ඊට ඉස්සෙල්ලා මගේ පැල තිබුණ වගේ හදල තියාපල්ල . නැත්නම් හෙට මං උඹලගෙ කන්තෝරුවට ගිනි තියනවා' යි සිරිපාල කීය

කැලේ පැන සිටින සිරිපාල හෙවත් මරු සිරා තම කන්තෝරුවට එන බව කැලෑ නිලධාරීන් පොලීසියට දැන්වීය. මරු සිරා අල්ලා ගැනීමට මාන බලමින් සිටි පොලීසියේ නිලධාරීන් ද වෙස් වලාගෙන පැමිණ සිටියේය.

ලොකේෂන් එකට අවශ්‍ය තුවක්කුව පිළිබඳව සෙවීමේදී එම ගමේ පැලක තුවක්කුවක් ඇති බව ආරංචි විය.

කලා අධ්‍යක්ෂවරයා පැලට ගොස් එම තුවක්කුව ඉල්ලා ගත්තේය. තුවක්කුව සමඟ පැලේ සිටි ගොවියා ද ලොකේෂන් එකට පැමිණ සිටියේය.

චිත්‍රපටය රූගත කිරීම් දැකීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අය අතර කැලෑ නිලධාරීන් සහ වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරීන් ලෙස රඟන නළුවන් ද විය.

ටයි මහතා රූගත කිරීම්වලට පැමිණියේය.

මරු සිරාට පණ පොවමින් විජය කඩුවක් ද ගෙන කැලෑ කන්තෝරුවට පැමිණියේය.

කාර්යාලයේ මුරකරු පැලෙන් ගෙන ආ තුවක්කුව අතට ගත්තේය.

'එන්න එපා ඇතුල් වුණොත් වෙඩි තියනවා' යි මුරකරු කෑගැසීය.

මරු සිරාගේ ඒම නොනැවතිණ. මුරකරු තුවක්කුව මෑනුවේය. ඊයක වේගයෙන් ඉදිරියට පැන්න මරු සිරා මුරකරුගේ අතේ වූ තුවක්කුවට වැරෙන් පහරක් ගැසීය.

තුවක්කුවේ බටය අහස දෙසට හැරුණි. පලාතම දෙදරවමින් වෙඩිල්ලක් පත්තු විය.

මුරකරු බිය වී විසි වී වැටිණ. ටයි මහතා ද අන්දුන් කුන්දුන් විය.

මේ අතරතුර මරු සිරා වැට උඩින් පැන කාර්යාලය අසලට දිව ගියේය. ඔහු ඉනේ බැඳගෙන සිටි භූමිතෙල් බෝතලයක් ගෙන කාර්යාලය දෙසට වීසි කළේය. ගිනිකූරු කීපයක් ගසා කාර්යාලය දෙසට වීසි කළේය. කාර්යාලයට ගිනි ඇවිළිණි.

පසුව මරු සිරා කාර්යාලයේ කම්බි වැටෙන් පැන කැලයට ඇතුළු විය.

වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරීන්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.

අසළ වූ රූස්ස ගසකට නැගගත් මරු සිරා එයින් අසල වූ වැවකට පැන පීනා එගොඩ වී කැලය තුළ නොපෙනී ගියේය.

තුවක්කුව පත්තුවීම ගැන ටයි මහත්තයාට මතක් වූයේ රූ ගැන්වීම් නිම වූ පසුය.

'කාගෙන්ද මේ තුවක්කුව ගෙනාවේ' යි ටයි මහතා ඇසීය.

'ලොකේෂන් එකට තුවක්කුව ගේන්න අමතක වුණ. කිට්ටුව හේනකින් තුවක්කුවක් ඉල්ලා ගත්තා. මේ ඉන්නේ තුවක්කුව අයිතිකාරයා' කී කලා අධ්‍යක්ෂවරයා අසළ සිට අයෙක් පෙන්වීය.

'ඔව්, මගේ තුවක්කුව. අප පැලේ ඉන්නේ තුවක්කුවට පතරොමක් දාල. ඒකයි තුවක්කුවට පයින් ගැහුව ගමන් පත්තු වුණේ' ගොවියා වගතුග කීය.

'තුවක්කුව මානන කොට පත්තු වුණා නම් මොකද වෙන්නේ, මෙතැන ක්‍රිමිනෙල් එකක්. නළුවා අනූනවයෙන් බේරුණා. මිනිහෝ වැඩක් කරන කොට මීට වැඩිය මොලේ ඇතුව කරන්න ඕනෑ' යි ටයි මහත්තයා කීය.

විජය ගැසූ පහරට තුවක්කුව දෙකට කැඩී බටය කඳෙන් වෙන් වී තිබුණි. පත්තු වූ පතොරමේ කොපුව බිම වැටී තිබුණි.

'මේ ලොකු උන්නැහේට තුවක්කුව හදා ගන්න හරි, අලුතින් තුවක්කුවක් ගන්න හරි සල්ලි දෙන්නැයි' ගිගුලූ ටයි මහත්තයා එදින රූගත කිරීම් නැවැත්වීය.