වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රස කතා

නිදහස ගැන හිතලා මුල් පුටුව අතහැරලා

නාලක වීරමන් පිළිබඳ පුවත්පත් ලිපියක් පළ වුණා ඔබට මතක ඇති. අප ඔහුව හඳුනා ගෙන හිටියේ සන්තුස් සහ දුෂ්යන්ත්ගේ පියා හැටියට විතරයිනේ. නමුත් ඔහු සතුව සිංහල සිනමා පට තොරතුරු ගබඩාවක් ද තියෙනවා කියලා හා හා පුරා හෙළි කළේ අපේ පුවත්පත් ලිපිය තුළින්නේ. එදායින් පසුව නාලකට එන දුරකතන ඇමතුම් සංඛ්‍යාව නිමක් නැති වෙලා. ඒ කතා කරන හැමෝම එක එක චිත්‍රපටවල විස්තර නාලකගෙන් අහනවලු.

නියම වැඩේ තමයි මටත් වුණේ කියලා නාලක කියනවා. ඔහු මොකද කරන්නේ කතා කරන අයට නෑ බෑ නොකියා ඒ තොරතුරු ලබා දෙන එක. ඒ අතරතුරදියි නාලකට සිනමාවට සම්බන්ධ ආයතනක මුල් පුටුවකටත් ආරාධනා ලැබිලා. වෙන කෙනෙක් නම් ඔය වගේ තනතුරක් ලැබුණ ගමන් දුවලා ගිහිින් බාර ගන්නවනෙ. නමුත් නාලක ගත්කටට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා. තමන්ට තියෙන නිදහස නැති වෙයි කියන බයටලු නාලක එහෙම කරලා තියෙන්නේ. ඔහුට ඕනෑ මේ හිටියා වගේ ඉඳලා සිනමාව ගැන උනන්දුවක් දක්වන අයට උදව්වක් පදව්වක් කරලා පාඩුවේ නිස්කලංකව විශ්‍රාම සමය ගෙවා දමන්නලු.

ටීචර් දැකලත් නෑ ලොකු අම්මත් නෑ

ඔය පිං පොං කියන කෙනා ඉන්නවා නේද? මිනිහා තරම් ලනුකාරයෙක් මේ තුන් ලෝකෙ නැතුව ඇති. මේ ළඟදී දවසක පිං පොං දුන්නනේ අපේ මානෙල් වානගුරුට හොඳ ලනුවක්. ඒක කොච්චර සැර ද කියනවා නම් තවමත් මානෙල් පිංපොංට දැක්ක තැන බනිනවලු. ඔන්න අහගන්නකො වෙච්ච වැඩේ. පසුගිය දෙසැම්බර් මාසයේ එක්තරා දිනයක පිංපොංට කෝල් එකක් ඇවිත්.

පිංපොං මහත්තයෝ, මම මේ කතා කරන්නේ . . . . පෙර පාසලේ . . . . කියල ගුරුවරියක්. අපේ කලා උත්සවය තියෙනවා දෙසැම්බර් 24. අනේ ඒකට ඔබතුමාට සහභාගිවෙන්න පුළුවන් ද ආරාධිත අමුත්තා හැටියට. අපිට ගෞරවයක් ඔබ මේ වැඩේට ආවොත්.

ලස්සන කට හඬකින් නළවලා කරලා එහෙම කියල. පිංපොං පොඩ්ඩක් සැරෙන්ඩර් වුණාලු. කතා කරපු ස්ටයිල් එකට දුකත් හිතිලා. හැබැයි දවස තමයි අවුල. දෙසැම්බර් 24 කියන්නේ නත්තල් දවසට පෙර දවස. පිංපොංගේ බිරිය කතෝලික හින්දා ගෙදර වැඩ කරලා දෙන්න එදා නම් ගෙදර ඉන්නම ඕනෑ. නැතිනම් බිරියගෙන් විසුමක් වෙන්නේ නැහැ කියලා පිංපොං දන්නවා. ඒත් පෙර පාසල් ගුරුවරියව මතක් වෙද්දී ටිකක් අප්සට්.

ඒක බොහොම පොඩි පුංචි, දුප්පත් පෙර පාසලක්. පිංපොංට දුක හිතිලා තියෙන්නේ ඒකයි. (නැතුව අර ගුරුවරිය හින්දා නෙවෙයි) අන්තිමේ පිංපොං තීරණය කළාලු තමන් නොයා වෙන කලාකරුවෙක්ව මේ වැඩේට යවන්න. ඔහුට මතක් වෙලා තියෙන්නේ මානෙල් වානගුරුව. ඒත් දෙසැම්බර් 24 වැනිදා ෂුවර් එකටම ඇයත් කාර්යබහුල ඇති කියලා පිංපොංට හිතුණා. ඔය වෙලාවේ තමයි පිංපොංගේ ටිකිරි මොලේට අදහසක් ආවේ. එවලේම ගත්තා මානෙල්ට කෝල් එකක්.

මානෙල් අක්කේ මගේ ලොකු අම්මගේ දුව මොන්ටිසෝරියක් කරනවා. එයාලගේ පොඩි උත්සවයක් තියෙනවා. ඔයාවමයි ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට එයාලා ඉල්ලන්නේ. දෙසැම්බර් 24 තමයි උත්සවේ තියෙන්නේ. මගේ ලොකු අම්මගේ දුව වෙනුවෙන් මේකට සහභාගි වෙන්න. ලොකු උදව්වක්.

මානෙල්ගෙත් හිත උණු වුණා. අනික පිංපොංගේ ලොකු අම්මගේ දුවගේ වැඩක් කියලත් කිව්වනෙ. මානෙල් 24 වැනිදා තිබුණු වැඩ සියල්ලම එහෙට මෙහෙට කරලා අතිනුත් වියදම් කරලා පෙට්‍රල් ගහගෙන අර තැනට ගියා. පෙර පාසලෙනුත් ඉහළ පිළිගැනීමකුත් ලැබුණා. දවස් දෙක තුනකට පසුව මානෙල්ට පිංපොං හමු වුණා. 'ඔන්න ඔයාගේ ලොකු අම්මගෙ දුවගෙ වැඩේට මං ගියා' මානෙල් බොහොම සතුටින් එහෙම කිව්වා.

මගේ ලොකු අම්මා? මට ඇති ලොකු අම්මෙක් නැහැ. ඒ ටීචර්ව මං ඇහැටවත් දැකලා නැහැ. ඔයාව කොහොම හරි එතෙන්ට යවන්න ඕන නිසයි මම ඒ කෙනා මගේ ලොකු අම්මගෙ දුව කියලා කිව්වේ.

පිංපොං එහෙම කියන වෙලාවේ හොඳ බූවල්ලක් මානෙල් අතට දුන්නා නම් පිංපොංගේ පතුරු යවනවා නිසැකයි.

අනුරපුරේ අකුරු කියයි රඟපෑමත් නතර කරයි

මෙන්න තවත් නිළියක් රංගනයෙන් ඈත් වෙලා. ඇය තමයි අශිකා මතසිංහ. තව කාලාන්තරයක් යනතුරු ඇය රඟපාන්නේ නැතිලු. ඒ විතරක් නෙවෙයි අශිකා දැන් කොළඹත් නැහැ. කාටත් නොකියාම ගිහින් අනුරාධපුරයට. පොඩි බබාලා දෙන්නත් එක්කමයි එහෙට ගිහිල්ලා තියන්නේ. සැමියාට අනුරාධපුරයට මාරුවක් ලැබිලා. අශිකත් තමන්ගේ වැඩ කටයුතු සේරම අතහැරලා පුංචි පවුලේ සුභසාධනය උදෙසා අනුරාධපුරයට ගිහින්. ලොකු බබාවත් එහෙ පාසලකට යොමු කරලා. මේ ආරංචිය නම් අශිකට ආදරය කරන ඔබලාට දුක හිතෙන එකක් වේවි. තව කාලයක් යනතුරු රඟ නොපාන බවයි අශිකා කියන්නේ. ඇයගේ පුංචි බබා නම් හරිම දඟමල්ලක්.

කොයි වෙලාවකවත් එක තැනකට වෙලා ඉන්නේ නැහැ. මෙයාට අකුරු කියවලා තියෙන්නේ පසුගිය දවසක. පොතක් එහෙම අරන් අශිකා පුංචි පුතාවත් වත්තම් කරගෙන ශ්‍රී මහා බෝධිය ගාවට ගියාලු බබාට අකුරු කියවන්න. පොත අතට දීලා අයන්න කියන්න කියපුවාම පොත පොළවෙ ගහයි කියලා අශිකා හිතලා තියෙනවා. නමුත් යස අගේට ළඟ හිටපු අය පුදුමයට පත් කරමින් බබා අයනු අල්මයනු මායනු කියලා අම්මා යන වචනය පවසලා. අශිකා කරලා තියෙන්නේ බබාව වඩාගෙන උණුසුම් හාදුවක් දුන්නු එක.

පාඩම් ඉස්සරහට රඟපෑම්, ගීත ගායනා පස්සට

නදීෂා රංගානි දයාරත්න. එහෙමත් නැතිනම් අපේක්ෂා ටෙලි සිතුවමේ පහන්දි. මේ දවස්වල දිගට හරහට පාඩම් කරනවා. ඇය කොතරම් කාර්යබහුල ද කියනවා නම් දුරකතන ඇමතුමකටවත් පිළිතුරු දෙන්නවත් ඇයට වෙලාවක් නැති තරම්ලු. නදීෂා මෙහෙම පාඩම් කරන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඇයගේ විභාගය වෙනුවෙන්. කවදා හරි උපාධියක් අරගෙන රටට වැඩදායි කෙනෙකු වෙනවා කියලා නදීෂා කියනවා. ඒත් එක්කම ඇයට රංගනය සඳහා ලැබෙන ආරාධනා ද වැඩි වෙලා. විභාගය හින්දා ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණාලු.

නදීෂාට හොඳට සිංදු කියන්න පුළුවන් කියලා වැඩි දෙනෙකු දන්නේ නැහැ. නෙලූ අධිකාරිගේ සිනහවකට වඩා ඔබේ කඳුළුවලට මං ආසයි ගීතය තමයි ඇය වැඩිපුරම ගයන්නට කැමැති. දිනක් ඇය ගීතය විශේෂ අවස්ථාවකදී ගයලා. ඊට පස්සේ නදීෂාට ගීත ගායනට ද ඇරැයුම් ලැබෙන්න පටන් අරන්. තියෙන වැඩ මදිවට සිංදු කියන්නත් එන්න කිව්වාම නෑවිදින් ඉන්නත් බැහැනෙ. ඒත් ඇය තියෙන තත්ත්වය ගැන කියලා ඒ අවස්ථාවන් මගහැරලා. කෙසේ නමුත් විභාග වැඩ කටයුතුවලින් පස්සේ නැවතත් රඟපාන්නයි සිංදු කියන්නයි ලැබෙන ආරාධනා අනිවාර්යයෙන්ම බාර ගන්නවාලු.

ගණ බල බලා ඉන්නා මම කඩියා

මහේෂ් ජයසිංහ සිංදු රැසක්ම කියලා තියෙනවා. ඒත් ඒවා එකක්වත් අද ඇහෙන්නේ නැති තරම්. එයට හේතුව ඔහුගේ ගීත අඩංගු සංයුක්ත තැටියක් සොයා ගන්නට බැරි වීම. මේ ගැන කල්පනා කරපු මහේෂ් තිරණයකට එළඹුණා. ඒ තමන්ගේ පැරැණි ගීත දොළහක් එකතු කරලා සංයුක්ත තැටියක් නිකුත් කිරීමට. එයට තවම නමක් යොදලා නැහැ. මේ දවස්වල ගණ බල බල මහේෂ් නමක් හදනවලු. මෙහි ගීතවල නව සංගීත සංකලනය මහේෂ්ගේ පුතු විසින් නිම කොට තිබීම විශේෂත්වයක්. ළඟදීම එම සංයුක්ත තැටිය නිකුත් වේවි. මෙහි මහේෂ්ගේ අන්වර්ථ නාමය වූ කඩියා යන නම පටබැඳුණ කඩියා ගීතය ද ඇතුළත් කොට තිබෙනවාලු.