වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




දේව්, විජේ, චේතන් මෙන් ශේකර් කපූර් ද ආනන්ද් පවුලේ නෑදෑයෝ

අද ආනන්ද් පවුල

දේව්, විජේ, චේතන් මෙන් ශේකර් කපූර් ද ආනන්ද් පවුලේ නෑදෑයෝ

බොලිවුඩයේ වැජඹෙන තරු ලොව පුරා රසික රසිකාවන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ පිරිසකි. බොලිවුඩයේ මේ තරු අතර පැවතෙන ඥාති සම්බන්ධතා ද විශේෂ වේ. දැනට ඉන්දියාවේ පැරණිතම සහ දැවැන්ත සිනමා පවුල වන්නේ ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් ඇරැඹි කපූර් පවුලය. එවැනි වූ තවත් බොහෝ පවුල් ගස් ඉන්දීය සිනමාව තුළ ඇත. 1950 - 60 දශකයේ දී අතිශය ජනප්‍රිය වූ නළුවෙක් නම් ඒ දේව් ආනන්ද්ය.

පුතුන් සිව් දෙනෙකු හා දියණියකගෙන් යුතු වූ පිෂෝරි ලාල් ආනන්ද් පවුලේ තෙවැනි පුත්‍රයා වූ දේව් ආනන්ද් බොලිවුඩයේ ඉහළතම ජනප්‍රියත්වයක් දිනාගත් නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයකු ද වූවේය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාවේ ශාකර්ග්‍රා (වර්තමානයේ පාකිස්ථානයේ පන්ජාබ්) ප්‍රදේශයේ 1923 වසරේ උපත ලද දේව් ආනන්ද්ගේ සිනමා ගමනය ආරම්භ වූයේ 1946 දී Hum Ek Hain චිත්‍රපටයෙනි. බොම්බායේ සුප්‍රසිද්ධ නව්කේතන් ෆිල්ම්ස් චිත්‍රපට නිෂ්පාදනාගාරය ඔහු ගොඩ නැංවූයේ සිය වැඩිමල් සොයුරු චේතන් ආනන්ද් සමඟිනි.

දේව් ආනන්ද් හින්දි සිනමාව තුළ සිය බලය පැතිරූ බලගතු චරිතයක් විය. හින්දි සිනමාපට සියයකටත් ඉහළ සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ඉන්දීය පුරවැසියකු ලබන ඉහළම සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබූයේ 2001 වසරේදීය. 2002 වසරේදී දාදාසහබ් පාල්කේ සම්මානයෙන් ඔහු පුදනු ලබන්නේ ඉන්දීය සිනමාව වෙනුවෙන් කළා වූ සේවය වෙනුවෙනි. ඔහුගේ ද රංගනයෙන් ඔපවත් වූ Afsar නව්කේතන් හි ප්‍රථම නිෂ්පාදනයයි. එයට එතරම් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට නොහැකි විය. 1954 වසරේදී ඔහු විවාහ දිවියට එළැඹියේ ඉන්දීය නිළි කල්පනා කාර්තික් සමඟිනි. දේව් කල්පනා විවාහ උත්සවය Taxi Driver චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී සිදු කෙරිණි. රූප සුන්දරියක වූ කල්පනාගේ මුල් නම මෝනා සිංග් විය. ඇය Baazi, Aandhiyan, House No 44 වැනි චිත්‍රපට සිය රංගනයෙන් ඔපවත් කළාය.

දේව් සහ කල්පනාගේ පුතු සුනෙල් සහ දියණිය දෙව්නා ආනන්ද් විය. Anand aur anand (1984), Car Thief (1986), Main Tere Liye (1988), ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට වේ. Master ඔහුගේ අධ්‍යක්ෂණයකි. නව්කේතන් ෆිල්ම්ස් සමඟින් ඔහු මේ වන විට Vagator Mixerනම් හොලිවුඩ් චිත්‍රපටයේ සම අධ්‍යක්ෂණ කටයුතු සහ රංගන කටයුතු සමඟින් කාර්යබහුලව සිටියි.

චේතන් ආනන්ද් දේව්ගේ වැඩිමහල් සහෝදරයාය. ඔහු හින්දි සිනමාවේ නිෂ්පාදකවරයෙක්, තිර රචකයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක් ද විය. ආනන්ද් පවුලේ වැඩිමහල් සහෝදරයා වන්නේත් චේතන්ය. Neecha Nagar, Afsar, Anandhiyan, Kala Zazar, Jaaneman, Kudrat වැනි චිත්‍රපට රැසක් ඔහු අධ්‍යක්ෂණය කළේය. 1946 වසරේදී Neech Nagar කාන්ස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර විය. චේතන්ගේ විවාහය සිදු වූයේ ඉන්දීය නිළියක හා මාධ්‍යවේදිනියක වන උමා ආනන්ද් සමඟිනි. Neecha Nagar සහ Taxi Driver චිත්‍රපට සඳහා උමා රංගනයෙන් දායක වූවාය. චේතන් - උමාගේ පුතුන් දෙදෙනෙකි. කේතන් හා විවේක් අතරින් සිනමාවට පිවිසියේ කේතන් ආනන්ද් පමණි. කේතන් හා විවේක් හට නිළි ප්‍රියා රාජ්වනාශ් ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අතර පසුව ඔවුන් නිදහස් කරන ලදී.

විජේ ආනන්ද්, දේව් ආනන්ද්ගේ බාල සහෝදරයායි. ඔහු ද ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. රංගනයෙන් ඇරැඹි සිනමා දිවියේ ඔහු වඩාත් සාර්ථක වුයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසනි. Johny Mera Naam, Tere Ghar Ke Samne, Jewel Thief, Teesri Manzil. Ram Balram Rajput ඔහුගේ අධ්‍යක්ෂණය අතින් සාර්ථක වූ චිත්‍රපට කිහිපයකි. ඔහු තිර රචනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මානයට ද පාත්‍ර වී තිබේ. දේව් ආනන්ද්ගේ බාල සහෝදරිය ශීල් කාන්තාගේ පුතු ශේකර් කපූර් ද නළුවෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද ඉන්දීය සිනමාවට දායක වේ.

1994 වසරේදී ඔහු අධ්‍යක්ෂණය කළ Bandit Queen චිත්‍රපටය අතිශය ජනප්‍රිය වූවක් විය. පුලාන් දේවි ගේ චරිතය ඇසුරින් නිර්මාණය වූ එය 94 වසරේ කාන් චිත්‍රපට උළෙලේ මංගල දර්ශනය ද විය. ඔහුගේ විවාහය සිදු වූයේ ඉන්දීය නිළියක හා ගායිකාවක වන සුචිත්‍රා ක්‍රිෂ්ණමූර්ති සමඟිනි. 1999 වසරේ විවාහ වූ ශේකර් - සුමිත්‍රා 2007 වසරේදී දික්කසාද වූහ. ඔවුන්ගේ දියණිය කාවේරි කපූර්ය. ඇය උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නීය. ශේකර් ඉංග්‍රීසි බසින් නිර්මාණය කරන ලද එලිසබෙත් බොලිවුඩ් සිනමාකරුවකු හොලිවුඩයේ නිර්මාණය කළ දැවැන්තම චිත්‍රපටයයි.

හින්දි නළු විශාල් ආනන්ද්, ආනන්ද් පවුලෙන් ඉන්දීය සිනමාට පිවිසි දේව් ආනන්ද්ගේ බෑණන්ඩියකි. ඔහු ද රංගනයෙන් හා නිෂ්පාදනයෙන් ඉන්දීය සිනමාවට දායක වූවේය. පූරබ් කොහිල්, ශේකර් කපූර්ගේ බෑණා කෙනෙකි. ඔහු ඉන්දියාවේ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පියෙකි. එමෙන්ම රූපවාහිනි හා සිනමා නළුවෙක් ද වේ. 2003 වසරේ Bus Yuhin  චිත්‍රපටයෙන් සිනමා රංගනය ආරම්භ කළ ඔහු 2008 වසරේදී Rock On චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලැබීය.