|
සජීවි වැඩ සටහනකදී නිවේදකට නින්ද ගියොත්?විශ්ව ලංකා හෙළි කරන අපූරු රහසක්
අදින් වසර ගණනාවකට පෙර කොළඹ තිඹිරිගස්යාය මංසන්ධියේදී ඉක්මන් ගමනින් බම්බලපිටිය දෙසට එන තරුණයෙකි. ඔහුගේ රුව මට තරමක් හුරුය. දෙරණ නාළිකාවේ උදෑසන වැඩසටහනක් මෙහෙය වන්නේ ඔහු බව මට සිහිපත් වූයේ එකවරමය. ඔහු ඉතාම සුන්දර නිවේදකයෙකි. මා ඔහු සමඟ කතාබහ කරන්නට පෙළඹුණේ එහෙයිනි. මං කොළඹ කෙනෙක් නෙවෙයි. ගම කුලියාපිටිය. හැමදාම බස් එකේ ඇවිත් වැඩසටහන කරලා ගෙදර යනවා. ගමන මඳක් පමා කොට ඔහු පැවසුවේ නිහතමානීවය. එමෙන්ම නිවේදනය පැත්තෙන් ඉදිරියට යනවා යැයි ද ඔහු කීවේය. මේ වන විට ඔහු ජනප්‍රිය නිවේදකයෙකි. නම විශ්ව ලංකාය. මේ ලිපිය ලියන්නට මා මුල පුරනුයේ තිඹිරිගස්යායේදීය. විශ්වට මතකද ඒ අතීතය? මොකද නැත්තේ කොණ්ඩෙ වවල පස්සට පීරලා, ජැන්ඩියට ඇඳගෙන, තඩි මල්ලකුත් කරේ දාගෙන ඒ කාලේ මං දෙරණට ආවේ. හැමදාම පාන්දර තුනට විතර ගෙදරින් එනවා. කොළඹට එනකොට උදේ නවයට විතර ඇති. මං වැඩ සටහනක් ඉදිරිපත් කරන්නට පෙර මාස හයක් විතර ට්‍රේනිං වුණා. එයින් මාස තුනක් මං දවස ගානේ ඇවිත් සජීවි වැඩසටහනක් කරන අන්දම බලාගෙන හිටියා. මං දෙරණට ආවේ රියැලිටි වැඩසටහනකින්. එහෙම මතු වුණයි කියලා එකපාරටම මට නිවේදනය කරන්න ලැබුණේ නැහැ. විධිමත් පුහුණුවකින් පස්සේ යැව්වේ. මං හිතනවා මගේ පැවැත්මට ඒ මහන්සියේ ප්‍රතිඵල තදින් බලපෑවා කියලා. එදා පයින් දෙරණට ආ ඔබ අද යාන වාහන අරගෙන ආර්ථික අතින් සවිමත් වෙලා? මම කළ කැප කිරීම්වල ප්‍රතිඵල තමයි මේ. මට මුලදී ඕනෑ වුණේ ලංකාවේ ජනප්‍රිය පුද්ගලයකු වෙන්න. නිවේදනය, රංගනය, දේශපාලනය හෝ වේවා රටේ පිළිගත්ත කෙනෙක් වුණා නම් මට ඒ ඇති. අහම්බෙන් නිවේදනයට යොමු වුණා. පාදා ගත්තු මාවතෙන් මං ඉදිරියටම ගියා. පැමිණි බාධක අනන්තයි. ඒවා දැඩි සිතින් පරාජය කළා. පසුව රංගනයට යොමු වෙලා ජනප්‍රියකම දෙගුණ තෙගුණ කර ගත්තා. විශ්වගේ ඒ සිහිනය දැන් සැබෑ වෙලා? නැත්නම්, මේක තමයි මගේ හොඳ කාලේ. විශ්ව මුලින්ම ඉදිරිපත් කළ වැඩසටහන මතකද? ඔව්. ඒකෙ නම එක්ස්ට්‍රා ස්පෙෂල්. උදේ අටේ ඉඳලා දහය වෙනකම් එය සජීවීව විකාශය වුණා. එදා ඒ මොහොතේ මතකය අද මතක් කළොත්? මගේ හොඳ වෙලාවට මං නෑවෙ නැහැ. බොහොම හොඳින් වැඩසටහන කළා. එහෙම වුණේ මුල හොඳ හින්දයි. වැඩසටහන් සජීවීව ඉදිරිපත් කරන කොට වුණු අමතකම නොවන අත්දැකීම මොකක්ද? මට සාමාන්‍යයෙන් වැරදීම් වෙනවා අඩුයි. ඒත් මට දවසක් නියම වැඩක් වුණා. මට ලයිව් එකේදී නිින්ද ගියානේ. කලින් දවසේ මම හොඳටම නිදි මරලා වෙහෙස වෙලා හිටියේ. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන්න ප්‍රධාන පාලක මැදිරියට යොමු වුණා. ඔය වෙලාවේ මං ටිකක් ඇහැපියා ගත්තා. මට හොඳටම නින්ද ගිහිල්ලා. නිෂ්පාදකතුමා කෑගහද්දි ඇහැරුණේ. දඩි බිඩි ගාලා නැගිටලා කිසිම දෙයක් නොවුණු ගාණට යළි වැඩසටහන ඉදිරිපත් කළා. නිවේදකයකු විදිහට විශ්ව වඩාත් අපහසුතාවයට ලක් වූ අවස්ථාව මොකක්ද? මම වැඩසටහන් ඉදිරිපත් කරන්නේ හරිම සැහැල්ලුවෙන්. නමුත් ඔබ ඇසුව පැනයට මෙවැනි පිළිතුරක් දෙන්න මට පුළුවනි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කරලා ඉවර වෙන කොට දැඩි වෙහෙසක් දැනෙනවා. ඇයි ඒ? දෙරණ නාළිකාවේ වැඩිම ප්රයත්නයක් දරලා නිර්මාණය කරන වැඩ සටහනක් තමයි ඒක. ඉතින් එහි ඉදිරිපත් කරන්නා විදිහට මම අසාර්ථක වුණොත් මුලු වැඩසටනම ෆේල් වෙනවා. ඒ හින්දා මගේ උපරිම ජවය මං ඊට ලබා දෙනවා. ඒ වගේම ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනෙන් මං ලබන තෘප්තිය අති මහත් කියලා කියන්න පුළුවනි. ඔබ අනුකරණය කළ නිවේදකයෝ ඇති? ඉන්නවා. මම ඇතැම් නිවේදකයෝ බලාගෙන ඔවුන්ව අනුකරණය කළා වගේම අනුගමනයත් කළා. නම් වශයෙන් කියන්න පුළුවන්ද ඒ අය කවුද කියලා? මොකද බැරි. අසේල බණ්ඩාරනායක, නාරද බක්මීවැව. මේ අයගේ ස්ටයිල් එක හදාරන ගමන් මම මගේම විදිහක් හදා ගත්තා. ඔබ හිතන විදිහට නිවේදකයෝ රඟපාන්න එන්නේ ඇයි? තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කර ගන්න. ඔබත් එහෙමද? බොරු කියන්නේ මොකටද, මමත් රඟපාන්න ආවේ වැඩි ජනප්‍රියත්වය සොයාගෙන. ප්‍රසිද්ධ තැනක නළුවකුයි නිවේදකයකුයි හිටගෙන හිටියොත් මිනිස්සුන්ගේ වැඩි ආකර්ෂණය යොමු වන්නේ නළුවට. එය මට හොඳටම දැනෙන්නේ මගතොටේදී හමුවන මිනිස්සු කියන කතාවලින්. ඔවුන් වැඩිපුර හඳුනන්නේ මා තුළ සිටින නළුවව. මම ඒ රසික ආදරයට ලෝබයි. ඒකද දිගින් දිගටම රඟපෑවේ? මට අවස්ථා හිමි වුණා නිතැතින්ම. ඒකයි දිගටම රඟපෑවේ. කොච්චර ආස වුණත් තමන්ට හැකියාවක් නැතිනම් ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මං මුලින්ම රඟපාන්න ආවේ ඉතාම සුළු චරිතයකින්. අද වන විට මං නිර්මාණ රැසක ප්‍රධාන චරිතය මවලා තියෙනවා. එහෙම වුණේ හැකියාවක් තියෙන නිසානේ. එතැනින් නොනැවතී විශ්ව නිෂ්පාදනයට ද පිවිසෙනවා? ඔව්. හැබැයි දැන් නම් ටිකක් කලකිරිලා ඉන්නේ. හේතුව? මං නොදැනයි නිෂ්පාදනයට අත තැබුවේ. එහිදී මං උත්සාහ කළේ හොඳ නිර්මාණයක් මිනිස්සුන්ට දෙන්න. එහෙම කරගෙන එනකොට මං ලොස්ට් වෙනකම් මම දන්නේ නැහැ. නමුත් වානිජ පරමාර්ථයෙන් බිස්නස් එකක් විදිහට නාට්‍ය හදන අය ඒවා හදලා හොඳට හම්බ කර ගන්නවා. මට එහෙම බැහැ. අන්තිමේ මට නිෂ්පාදකවරයා නිසා තිබුණු බොහෝ දේ නැති වුණා. ඔබ ආයේ නිර්මාණයකට අත තබන්නේ නැතිද? එහෙම වෙන්නේ නැහැ. මං දැන් මේ කලාව ඇතුළේ හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. මේ එන අප්‍රේල් මාසේ අලුත් වැඩක් පටන් ගන්නවා. හොඳ නිර්මාණයක් බිහි කිරීම සහ මුදල් හම්බ කිරීම යන පරමාර්ථ දෙක සමබරව තියාගෙනයි වැඩේට බහින්නේ. විශ්වගේ පවුලේ විස්තර කතා කළොත්? මමයි බිරියයි පුතයි. බිරිය දිලුනිකා. පුතාට තවම වයස අවුරුද්දයි. සාමාන්‍යයෙන් පුද්ගලයකු ජනප්‍රියත්වය ලබද්දී ආඩම්බර වෙනවා කියලා මතයක් තියෙනවා. එතකොට කලාකරුවන්ට මිනිස්සු බනිනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි කියලා? මටත් ඔය තත්ත්වයට මුහුණ දෙන්න වුණා. අපි ෂූට් එකේ ඉන්න කොට එන දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්න බැහැ. ඒ වගේ වෙලාවල්වලදී සමහර අය කෝල් කරලා ආන්ස්වර් නොකර හිටියම බනිනවා. දැන් විශ්ව උඩ ගිහින් කියලා. අනේ එහෙම නැහැ. පරණ විශ්වමයි ඉන්නේ. තවමත් මම පාසලේ යාළුවන්ගේ විශේෂ අවස්ථාවලට කතා කළොත් සහභාගි වෙනවා. මං තවමත් එදා වගේමයි.
|