වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




ජනප්‍රිය ගායක නාමල් උඩුගම ජීවිත අවදානමක

ජනප්‍රිය ගායක නාමල් උඩුගම ජීවිත අවදානමක

අක්මාවක කොටසක් බද්ධ කිරීමට සිදු වෙලා
නාමල් සුවපත් කරගන්න ඔබේ සහාය අවශ්‍යමයි

මම ඔහුගේ දුරකතන අංකයට ඇමතුමක් දුන්නෙමි. සිතේ ඇත්තේ මහත් වූ අවිනිශ්චිතභාවයකි.
 

ඔබේ ලොවේ අද මා රැඳිලා

බලා හිඳී සැනසුම පතලා

සෙනේහයේ සිහිලැල් සොයලා

ඔබේ ලොවේ අද මා . . . රැඳිලා

එහා අන්තයෙන් ඇසුන ගීතය හදවත සලිත කරන්නට සමත් විය. ඇත්තටම ඔහු අපගේ ලෝකය තුළ රැඳී සිටි අපේ කාලයේ කුමාරයා යැයි කීම වරදක් නැත.

හෙලෝ . . .

ඔහුගේ හඬ යන්තම් ඇසිණි.

නාමල් අයියේ . . .?

ඔව්. මේ කතා කරන්නේ නාමල් තමයි.

එහෙනම් මේ වෙකම් රට පුරා පැතිර ගිය ආරංචිය දූෂමාන එකක් බව මට ඉබේටම සිතිණ. නාමල් උඩුගම නම් ඒ සුපිරි තරුව අකාලයේ මිලිනව ගියා යැයි අපට කිහිප දෙනෙකු කතා කොට කීවේය. ඒ පසුගිය සඳුදාවේ පාන්දරය. එය අපට අදහාගත නොහැකි විය. ඇතැම් ගුවන් විදුලි නාලිකාවන් ඒ පුවත පවසා නාමල්ගේ ගීත කිහිපයක් ද උපහාර වශයෙන් ද ප්‍රචාරය කොට තිබිණ.

නාමල් අසනීපව සිටි බැව් නම් සැබෑය. නමුත් ජීවත්ව සිටියදීම අසුබ පුවතක් සමාජගත වීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. මේ පිළිබඳ නාමල්ට ද දැනගන්නට ලැබිණ. ඒ සංවේගයෙන්ම ඔහු තවමත් පසුවන බැව් නාමල් කතා කරන විලාසයෙන්ම අපට පැහැදිලි විය.

අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා ඔවැනි කතා පතුරවන අය. ඒගොල්ලො බලාගෙන ඉන්නේ කාට හරි කරදරයක් වෙනකම් කතා හදන්න. ඔය වැරදි ආරංචි වැඩිපුරම ගිහිල්ලා තියෙන්නේ ෆේස්බුක් හරහා. මං මගෙ රසික රසිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එකට මං ගැන ඔවැනි ආරංචියක් ආවොත් ඒක අනිත් අයට යවන්නේ නැතුව මකලා දාන්න කියලා.

නාමල් වචන පිට කරනුයේ තරමක අපහසුවෙනි. එහෙයින් අපි තවත් ඔහුව අපහසුතාවයට පත් නොකළෙමු. තවමත් නාමල් සිටින්නේ අසනීප තත්ත්වයෙනි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මේ වන විට වත්තල මාබෝලේ පිහිටි සිය නිවසෙහි විවේකී සුවයෙන් පසු වෙයි. අසනීප වන්නට මත්තෙන් නාමල් සිටියේ ගහක් ගලක් මෙනි. ඊයේ පෙරේදා දිනයක තමන්ගේ නවතම සංයුක්ත තැටිය ද දොරට වැඩීම සිදු කළේ බොහෝ රසික රසිකාවන්ගේ ඉල්ලීම් පරිදිය. එපමණක් ද නොව නාමල් ප්‍රසංග වේදිකාවේ ද සක්‍රීය චරිතයක් විය. සියල්ල සිදුවන්නේ දෛවයේ නියමයටය. නාමල් හදිසියේම රෝගී වූයේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි අයුරිනි. ඔහුව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙන ලදී. නාමල් යන්තම් සුව අතට හැරුණ ද වෛද්‍යවරුන්ගේ නියමය නම් නාමල්ට අක්මාවක කොටසක් බද්ධ කළ යුතු බවයි. එය සතියක් ඇතුළත සිදු කරන්නට ද අත්‍යාවශ්‍ය යැයි ද වෛද්‍යවරුන් පැවසීය.

නාමල් උඩුගම යනු කලක් මෙරට වසඟ කළ ගායකයෙකි. සාමාන්‍යයෙන් එකල ගායකයකු කැසට් පටයක් නිකුත් කළ පසු එහි අඩංගු ගීතවලින් ජනප්‍රිය වන්නේ දෙකක් තුනක් පමණි. නමුත් නාමල්ගේ කැසට් පටයක සියලුම ගීත ජනප්‍රිය විණි. කෙටියෙන්ම කිවහොත් නාමල් උන්මාදයක් රට තුළ තිබිණ. එවන් වූ ජනකාන්ත ගායකයකු ඉක්මනින් සුවපත් කර ගැනීමේ සටනට ඔබත් හවුල්කාරයකු විය යුතු යැයි අපගේ හැඟීම වන්නේය. නාමල්ට අවශ්‍ය අක්මාවේ වර්ගය 'ඒ පොසිටිව්' වේ. තම අක්මාවේ කොටසක් ලබා දීමෙන් පරිත්‍යාග කළ පුද්ගලයාට කිසිදු ජීවිත හානියක් සිදු නොවන බව වෛද්‍යවරු වගකීමෙන් යුතුව පවසා සිටිති. සාමාන්‍යයෙන් මිනිස් අපට කරදර එන්නේ එක පිටය. නාමල්ට ද ඒ දහම පොදු එකකි. ඔහුට පැමිණි ඊළඟ ගැටළුව නම් මෙම ශල්‍යකර්මය සිදු කිරීමට අති විශාල මුදලත් වැය වීමය.

මිතුරු තොමෝ දුක් සැප දෙකෙහිම ළඟ සිටිති, බිතු සිතුවම් රූමෙන් පිටු නොපා යති. මේ කියමන නාමල්ට නම් සත්‍ය එකකි. මන්ද යත් තමන් අසනීපව සිටි මොහොතේ සිට මේ දක්වා අචලව බිරිය රුවන්ති මෙන් තම මිතුරු කණ්ඩායම ළඟ සිටි බැවිනි. නිවේදක ප්‍රියන්ත විජේසිංහ ඔවුන්නේ කෙනෙකි. ඔහු නාමල්ගේ නිවසට ගියේ තම කලණ මිතුරා වෙනුවෙන් කරන්නට යමක් ඇත්දැයි සොයා බැලීමටය. ප්‍රියන්ත ඒ ගමන නිමවා එන අතරතුරදී අපට කතා කළේය.

නාමල් කියන්නේ අපට සිටින වටිනාම ගායකයෙක්. ඔහුව මේ වෙලාවේ තනි කරන්න හොඳ නැහැ. අනික අපේ යුතුකමක් තියෙනවා නාමල් වෙනුවෙන් යමක් කරන්න. මොකද ඔහුගේ ගීත අපි දවසක් හරි රස විඳලා තියෙන නිසා. මමයි, මධුමාධව සහ ප්‍රියංකර පෙරේරා ඇතුළු පිරිස එකතු වෙලා නාමල්ව ඉක්මනට සුව කරන්නට අවශ්‍ය මුදල සොයාදීමට කුමක් හෝ වැඩ පිළිවෙලක් කරනවා. මේ වන විට අපි ඒ ගැන සාකච්ඡා කරමිනුයි සිටින්නේ.

අපට දැනගන්නට ලැබෙන පරිදි නාමල්ගේ සැත්කම සඳහා අවශ්‍ය වන මුදල ලක්ෂ සියයකට ආසන්නයි. එමෙන්ම එය සිදු කරන්නේ ද ඉන්දියාවේ. කෙසේ නමුත් අප ඉක්මනින් නාමල්ව සුව කරගත යුතුය. තවත් කාලාන්තරයක් ඔහුගේ ගීත රස විඳිය යුතුය. ඔබ කුමන ආගමක හෝ වේවා ඒ ආගම දහම අදහන මොහොතක නාමල්ට සෙත් පතන්න. අපි ඉක්මනින් නාමල්ව සුවපත් කර ගනිමු.

මේ නාමල්ගේ දුරකතන අංකයයි 0773936555.