|
ඔබට නම් නැහැ නේද රත්නේ මට වගේ දුක් වේදනා
සුප්‍රකට ගීත රචක ඇලෝයි ගුණවර්ධන පසුගිය ඉරිදා සවස් යාමයේ මෙලොවින් සමු ගත්තේය. ඔහු මිය ගිය පුවත මට පැවසුවේ ඔහුගේ පුත් මංගලය. ඇලෝයි ගුණවර්ධනයන්ගේ ගීත ශ්‍රවණය කළ විනා ඔහු ජීවත්ව සිටින කාලයේ මට ඔහු මුණ ගැසී නැත. ඇලෝයි ගුණවර්ධනයන් මෙරට ගීත ක්ෂේත්රයේ අතිශය ජනප්‍රිය ගීත රාශියක පද රචකයාය. එකී ගීත විදග්ධ මට්ටමේ රචනා ලෙස ඔසවා තබන්නට නොහැකි වුවත් ඒ ගීත සියල්ලම වාගේ යුග යුග අතිශය ජනාදරයට පත් වූ ඒවාය. ඇලෝයිගේ මරණයත් සමඟ මෙරට ගීත රචක පරම්පරාවේ එක් පරිච්ඡේදයක් නිමාව ළඟාවන බව මගේ හැඟීමයි. මෙරට ගීත රචනා කලාව අතිශය ජනාදරයට පත් වන්නේ හතළිහේ, පනහේ දශකවල ආරම්භයත් සමඟය. ග්රැමෆෝන් යන්ත්‍රයක් යනු අද මෙන් සී. ඩී. ධාවකයක් වැනි සුලබ යන්ත්‍රයක් නොවීය. එය පැවැතියේ ගමේ ප්‍රභූ පැලැන්තියේ නිවෙසක පමණි. ග්රැමෆෝන් යන්ත්‍රය පොහොසත්කමේ ද ලකුණක් ලෙස එකල හුවා දැක්විණි. එබැවින් එහි ගීත ශ්‍රවණය කරන්නට ලැබුණේ එක්තරා කොටසකට පමණි. කොහොමටත් ගීතය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වන්නට හේතු වූයේ කාර්මික විප්ලවය සමඟ ග්රැමෆෝන් යන්ත්‍රය සොයා ගැනීම හේතුවෙනි. මන්දිරවල හෝ කුඹුරක, වැඩපොළක ගැයුණු ගීතයක්, කවියක් සමස්ත ප්‍රජාවගේම රස වින්දනයට සැලසුණේ එයින් පසුවය. අපේ රටේ ගීතය අතිශය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වනුයේ ගුවන් විදුලිය හා සිනමාව හරහාය. ගුවන් විදුලිය මෙන්ම සිනමාව ද ගීතය ශ්රාවකයා වෙත යොමු කර ගැනීමේ අති විශාල මෙහෙයක් අසූව දශකය දක්වාම ඉටු කළේය. එයින් බැහැරව වෙනම ගීත යුගයක් පරිවර්තනය වූයේ කැසට් පටය ගෙයින් ගෙට වැඩීමත් සමඟය. මේ අතරෙන් ඇලෝයි ගුණවර්ධන ඇතුළත් වන්නේ වෙළෙඳ තැටි ඔස්සේ ගීත රචනා කරමින් ගුවන් විදුලිය හරහා ජනප්‍රිය වූ ගීත රැසක හිමිකරුවා හැටියටය. සමකාලීන සෙසු ගීත රචකයන් මෙන් නොව ඇලෝයි ගුණවර්ධන චිත්‍රපට ගීත ක්ෂේත්රයට පිවිසෙන්නේ ඉතා අල්ප වශයෙනි. 'කොළඹ හාදයෝ' චිත්‍රපටයේ එන 'ජීවිතේ ප්‍රීති සංචාරකී ලොවේ' ඔහු රචනා කරන ලද එක් චිත්‍රපට ගීතයකි. ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ මුල්ම ගීතය වූ 'ආලේහි බැඳි ජීවිත අඳුරේ' ගීතය රචනා කරමින් ගේය පද ක්ෂේත්රයට පිවිසෙන ඇලෝයි ජෝතිපාලයන්ගේ තැටියට නැංවුණු මුල්ම ගීතය වන මුලදි බැන්ද ආදරයක ගීතයේ ද රචකයා විය. 'ඔබට නම් නැහැ නේද රත්නේ', 'පායා ඇයි හිනැහෙන්නේ', 'බලා ඉන්නවානේ', 'බැලුවේ නැහැනේ මාගේ දිහා', 'මගේ ජීවිතයේ සතු වී තිබූ දෙයක්, 'වෙනතක යන්න ගියා' වැනි ගීත පනහ, හැට දශකවල ජනප්‍රිය චිත්‍රපට රූප රාමු අපගේ මතකයට නංවන සුළුය. තැටියට නඟන නමුදු මේ ගීත මතු කරන රූප වඩා ළං වන්නේ සිනමාවටය. ඔහු රචනා කළ වෙනත් ගීත අතර වන ඇහැලේපොලගේ පුංචි පුතා, අම්මා අමොද කරුණා නිධානේ, පිළිගන්න මම චන්න ඇමති, සුවඳයි මුවේ මල්පැණි වැනි ගීත අද පවා ජනප්‍රිය ගීත අතර වෙයි. 1932 ජුනි 22 වැනිදා උපත ලද ඔහු කොළඹ කුමාර විද්‍යාලයෙන් හා ගුණානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඇලෝයිගේ පියා ඇන්ඩෲ ගුණවර්ධන වූ අතර මව සිසිලියාය. සුමනා ගුණවර්ධන සමඟ 62 වසරේ විවාහ වූ ඔහු පුතුන් සිව්දෙනෙකුගේ හා දියණියන් තිදෙනකුගේ පියෙකි. හතළිහ, පනහ දශකයේ ක්ෂේත්රයට පිවිසෙන ගීත රචකයන් බහුතරය එක්තරා ආකාරයකට ජන කවියන්ගේ ස්වරූපය ගන්නා බැව් මගේ පෞද්ගලික හැඟීමය. ජන කවියා රචනා කළ කවියේ අයිතිවාසිකම කිසිවෙකුට නැත. ඒ සියල්ල හුදී ජන පහන් සංවේගය උදෙසා නිර්මාණය වූ ඒවාය. හතළිහ, පනහ දශකවල බිහි වු බොහෝ ගීත කාගේදැයි කියන්නට හරියටම නොහැක. සමහර ගීත තැටිවල ගීත රචකයා කවුරුන්දැයි කියන්නට කිසිදු සටහනක් නැත. 'මාතලන්' චිත්‍රපටයේ ගීත රචකයා ලෙස චිත්‍රපටයේ නාමාවලියේ සඳහන් වන්නේ ද, ගී තැටිවල සඳහන් වන්නේ ද ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු යන නාමයයි. එහෙත් 'මාතලන්' චිත්‍රපට ගීත පොතේ රචකයන් ලෙස බෙනඩික්ට් ප්‍රනාන්දු මාස්ටර්ගේ මෙන්ම හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්ගේත් නම සඳහන්ය. චිත්‍රපටයේ දෙබස් රචනා කළේ එහි ප්‍රධාන චරිතයක් රඟපෑ හියුගෝ මාස්ටර් ජනප්‍රිය ගීත රචකයෙකි. වරක් මේ පටලැවිල්ල මම අපේ ගීත කෝකිලා ලතා වල්පොලගෙන් විමසා සිටියෙමි. ඇය අපූරු උත්තරයක් දුන්නාය. 'ඒ කාලයේ ඕවයේ් අයිතිවාසිකම් ගැන හිතුවේ නැහැ. මට මතක හැටියට හියුගෝ මාස්ටර්ත් ඕකේ සින්දුවක් දෙකක් ලිව්වා. බෙනඩික්ට් මාස්ටර්ට සල්ලි වගයක් උවමනා කරලා තිබුණා. ඒ හින්දා ඒ ගීතවලටත් බෙනඩික් මාස්ටර්ගේ නම දාන්න ඉඩ දුන්නා'. මෙවැනි සිද්ධි රාශියක් පැරැණි ගීත රචකයන්ගේ නිර්මාණ අනන්‍යතා සොයා යෑමේදී දක්නට ලැබෙයි. ඩී. ටී. ප්‍රනාන්දු, ටී. එල්. ජේ. නන්දන කීර්ති, සී. වීරසේකර, හර්බට් එම්. සෙනෙවිරත්න, ඒ. ජේ. ද සොයිසා වැනි එකල බොහෝ ගීත රචකයන්ගේ පමණක් නොව අසූව දශකය දක්වාම මේ පටලැවිල්ල දක්නට ලැබෙයි. ගීතය වෙළෙඳ භාණ්ඩයක් ලෙස ඉස්මතුවන තුරුම බොහෝ නිර්මාණකරුවන් නිර්මාණයේ යෙදුණේ මුදලට වඩා ආත්ම තෘප්තිය සලකා බලා බව පෙනෙන්නට තිබෙන කරුණකි. එය ගීත රචනයේ පමණක් නොව සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ද, ගායක ගායිකාවන්ගේ ද දක්නට ලැබෙන ලකුණකි. එච්. ආර්. ජෝතිපාලයන් වර්තමානයේ බොහෝ ගායකයන් මෙන් සංගීත සංදර්ශනවලට පැමිණි ආකාරය මට සිහිපත් වෙයි. ඔහු ගායනයේ යෙදුණේ මුදලට පමණක් නොව තම ආත්ම තෘප්තිය ද සලකමිනි. සංගීත සංදර්ශනයකදී ඔහුට නියමිත මුදල ගෙවන්නට බැරි වූ සංවිධායකයෙක් වෙනුවෙන් උණු වෙන හිතක් ඔහුට තිබිණි. ගයන්නට සැරැසෙන්නේ ගීත තුනක් වුව රසිකයන් ඉල්ලන්නේ දහයක් නම් ඔවුන් වෙනුවෙන් එකී ගීත දහයම ගායනා කරන්නට ජෝතිපාලයන් නිර්ලෝභීය. ඒ පරම්පරාවේ සිටි නිර්මාණකරුවන් එයින් පසු සිදු වන්නේ කුමක්දැයි යන්න සොයා බලන්නට උත්සාහ කළේ ඉතා අල්ප වශයෙනි. ඒ එදා පරපුරේ අවංක චේතනාව වර්තමානයේ කොල්ලයකට මඟ පෑදුවේය. පසුගිය දවසක බස් රථයක ගමන් කරද්දී මම සංගීත සංදර්ශනයක් නරඹමින් ගියෙමි. එහි නිවේදන කටයුතු කළා වූ වාචාල කොලු ගැටයෙක්ගේ හැඳින්වීමෙන් මා අසුනෙන් විසි නොවුණා පමණි. තරුණ ඝෝෂකයා සිය සංගීත කණ්ඩායමේ නවක ගායකයා සමඟ ඔහු ගයන නවතම ගීතය පිළබඳවද හඳුන්වා දුන්නේය. ඒ අනුව ගයනු ලබන ගීතය අදාළ තරුණ ගායකයාගේ පෞද්ගලික ජීවත අත්දැකීමක් මත ඔහුම රචනා කරන ලද ගීතයකි. හඳුන්වා දීම එපරිද්දෙනි. ගායකයා සිය නවතම ගීතය ගායනා කරන ලද්දේ මෙපරිද්දෙනි.
'ඇහෙනවා නම් හිත හඬන තරම් මේ තරුණයාගේ අත්දැකීම මීට වසර ගණනකට පෙර අප පාසල් යන අවධියේ තිරගත වූ 'අප්සරා' චිත්‍රපටයේදී ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාලයන් හඬ මුසු කර ගායනා කර තිබූ ආකාරය පුදුමයකි. වචන ද තනුව ද එකකි. වෙනස් හඬ පමණකි. මේ කොල්ලයක් ද? නැතිනම් නොදැනුවත් කමක්දැයි? නැතිනම් ගොන් පාට් එකක්දැයි මා නම් දන්නේ නැත. ඇලෝයි ගුණවර්ධන වැනි ගීත රචකයන් අයත් වූයේ එයින් වෙනස් වූ පැරැණි පරම්පරාවටය. වර්තමානයේ ගීත රචකයන් ඒ අතින් තම නිර්මාණ කෙරේ උනන්දුය. මගේ මතකය නිවැරැදි නම් තම ගීතයක අයිතිය පිළිබඳ නඩු මඟට පිවිසි මුල්ම ගීත රචකයා ආචාර්ය අජන්තා රණසිංහය. ඒ අවධියේ ඔහු නවයුගය පුවත්පතේ කතුවරයාය. එය නිර්මාණකරුවනට තම අයිතිය පිළිබඳ තහවුරු කරන්නට සිත දුන් අවස්ථාවක් ලෙස මම දකිමි. වර්තමානයේ සිටින ගීත රචකයන් ආත්ම තෘප්තිය උදෙසා ගීත රචනයේ නොයෙදෙන්නේ යැයි කියා ඔවුන්ට අගෞරව කිරීමට මා කැමැති නැත. ඒත් ඔවුන් අතීත පරම්පරාවේ මෝඩකම් කරන්නේ නැත. ගීතයේ නිර්මාණ වටිනාකම පමණක් නොව එහි වෙළෙඳ වටිනාකම ද ඔවුන් අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. එක අතකින් එදා පරම්පරාවේ අය මෙන් නොව වර්තමානයේ පාරිභෝගික අවශ්‍යතාව ඉහළය. එදා නිර්මාණකරුවෙකුට දුරකථනයක් තිබීම ද ලොකු වස්තුවකි. වර්තමාන පරම්පරවේ පාරිභෝගික අවශ්‍යතා ඉහළ යන්නට ගීතයේ මිල ද ඉහළ යයි. එදා ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය කරවා ගන්නට පැනිය යුතු වැටකඩොලු එමට වුව ද ඒ සඳහා වැය කළ යුතු මුදල නොසැලකිය නොමැති තරම්ය. එහෙත් අද ගීතය යනු තනිකරම වෙළෙඳ භාණ්ඩයකි. එබැවින් එයට මිලක් ලබා ගන්න බොහෝ දෙනෙකුට සිදුව තිබේ. ඉතින් ඇලෝයි ගුණවර්ධනලාගේ පරම්පරාව මේ සමඟ අවසන් වනු ඇත. මේ පරම්පරාවේ තව ඉතිරිව ඇත්තේ එක් අයෙක් හෝ දෙන්නෙකි. ඔවුන්ගෙන් පසු මේ පරිච්ඡේදය සදහටම අවසන් වනු ඇත. |