|
කන පලා බණ්ඩක්කා හිටවන්න ලැබුණු උපදේශයක්
පුදුම හතෙන් ඔබට අද කතා කරන්නේ දශක දෙකකට අධික කාලයක් පුරා සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කළ සහාය අධ්‍යක්ෂවරයෙකි. ඉර මැදියම, ආකාස කුසුම්, පවුරු වළලු, අස්වැසුම, සූරිය අරණ, කුස පබා, ඉනිඅවන් ඇතුළු ලාංකේය සිනමාවේ වැඩි කතාබහට ලක් වූ සම්මානනීය සිනමා නිර්මාණ රැසක් සඳහා සිය දායක්වය ලබා දී ඇති ඔහු පළමුවරට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ‘මෙගා’ නම් ටෙලි නාට්‍යයෙනි. හේ නමින් දමින්ද මඩවල ය. අද ඔහු පුදුම හතට පවසන්නේ ඔහුගේ ජීවිතයට වැදගත් වූ චිත්‍රපට දෙකක් සහ තරුණ පරපුරෙන් අපගේ සිනමාවට දායාද වූ නවතම සිනමා නිර්මාණ පහක් පිළිබඳවය.
අනන්ත රාත්‍රිය...‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටය මගේ සිනමා ජීවිතයේ සුවිශේෂ චිත්‍රපටයක්. එය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ ගේ දෙවැනි චිත්‍රපටය වන්නේ ද එයයි. ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටය නරඹා සිනමාව ගැන ඉතා උනන්දුවෙන් සිටින කාලයක වත්මන් ‘සරසවිය’ කර්තෘ අරුණ ගුණරත්න නිසා මට ප්‍රසන්න විතානගේ නම් ඔහු හඳුනා ගන්න ලැබුණා. ඒ සමඟ ලද අවස්ථාවෙන් මම ‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටය සඳහා දායක වීමට කොන්දේසි විරහිතව එකඟ වුණා. මෙරට පළමු වතාවට චිත්‍රපටයක් සඳහා කලර් ෆිල්ටර්ස් යොදා ගත්තේ ද අනන්ත රාති‍්‍රය චිත්‍රපටයේ යි. එහිදි මට කැමරා අධ්‍යක්ෂ එම්. ඩී මහින්දපාල, සංස්කරණ ශිල්පී ලාල් පියසේන සමඟින් කටයුතු කරන්න ලැබීමත් අත්දැකීම් රාශියක් එකතු කළා. වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහත් දැනුම් රැසක් මට ලබා දුන්නා. එහිදී මම තෙවන සහාය අධ්‍යක්ෂ ලෙසිනුයි කටයුතු කළේ. මා ප්‍රිය කළ නළු නිළියන් වූ රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවාරච්චි සමඟින් මගේ පළමු සිනමා අත්දැකීම බෙදා ගන්න ලැබීම ගැනත් තියෙන්නේ ලොකු සතුටක්. මට මතකයි එදා මම අනන්ත රාත්‍රිය චිත්‍රපටයේ කටයුතු කරනවිටදී එහි කටයුතු කළ තවත් අයෙක් ‘කණ පලලා බණ්ඩක්කා හිටෝනවා’ යැයි කියා මට බැන්නා. එදා නම් මට ඇඬුණා. ඒක දැන ගත්තු ප්‍රසන්න අයියා, උඹත් එහෙමම කියපං කියලා මට කිව්වා. මෑත කාලයේදී මට යළිත් එම රූගත කිරීම් සිදුකළ කෑගල්ලේ වික්‍රමසිංහ වළව්වට යාමට අවස්ථාව ලැබුණා. එදා එහිදී සිදු වූ සියලු මතකයන් යළි සිහිපත් වන විටදී අද මා සිටින තැන ගැන විශාල සතුටක් දැණුනා.
බඹර වළල්ල...අතුල ලියනගේ අධ්‍යක්ෂණය කළ ‘බඹර වළල්ල’ චිත්‍රපටයත් මගේ සිනමා ජීවිතයේ වැදගත් වූ සිනමා නිර්මාණයක්. අපි චිත්‍රපටයක් කරමු යැයි අතුලගේ යෝජනාව අනුව බඹර වළල්ල චිත්‍රපටය නිර්මාණය කරන්න සූදානම් වුවත් හදිසියේම නිෂ්පාදකවරයා මුදල් දීමට නොහැකි බව පැවසීමත් සමඟ දර්ශන තලයට ගිය අපට මුහුණ දෙන්න සිදුවුණේ නොසිතූ ඇබැද්දියකට. කලා අධ්‍යක්ෂ මංජුල අයගමගේ යෝජනාවක් අනුව මම සිනමා රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දුට කතා කළා. කොහොම හරි නීටා අක්කා මගේ වචනේ අහලා මේ චිත්‍රපටය වෙනුවෙන් මුදල් වැය කරන්න එකඟ වීමත් සමග ඉක්මනින් එහි වැඩකටයුතු ආරම්භ කරන්න හැකි වුණා. ඒ වගේම මටත් එහි නිෂ්පාදනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා විතරක් නෙවෙයි, විධායක නිෂ්පාදනය, සහාය අධ්‍යක්ෂණය, නිශ්චල ඡායාරූපකරණය යන අංශයන්ගෙන්ද දායක වෙන්න අවස්ථාව ලැබුණා. විවිධ ප්‍රශ්න මැදින් පැමිණියත් බඹර වළල්ල චිත්‍රපටය සාර්ථකව නිම කෙරුණා. විචාරකයන් පවා එදා සඳහන් කළේ මෑත කාලයේ නිර්මාණය වූ අලුත් පරපුරේ වෙනසක් ඇති කළ අවංක චිත්‍රපටයක් බවයි. විදෙස් සිනමා උළෙලවල පවා සම්මානනීය වීමෙන් එහි ප්‍රතිඵල ලොවටම පෙන්වන්නත් හැකි වුණා. චිත්‍රපටය රූගැන්වුණු කාලය පුරාම අපට මිනී පෙට්ටි වගේම මළ මිනී සමඟිනුයි කාලය ගත කරන්න සිදු වුණේ. මිනී පෙට්ටි උඩ වාඩිවෙලා කාපු බීපු හැටි නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ත්‍රීවිලර් ඩයරි‘ත්‍රීවිලර් ඩයරි’ චිත්‍රපටයත් ගොඩක් සුවිශේෂ චිත්‍රපටයක්. ඩෙනිස් පෙරේරා අධ්‍යක්ෂණය කළ එය රූගත කිරීමට වැය වුණේ දින නවයක කාලයක්. වෑන් දෙකයි, ත්‍රීවිලර් එකයි, චරිත තුනයි රූගත කරන්න 5ච් වර්ගයේ කැමරාවයි, ලයිට් දෙකයි ඕන වුණේ. සම්පූර්ණ චිත්‍රපට කණ්ඩායමටම හිටියේ පහළොස් දෙනයි. නිශ්චිත ප්ලෑන් එකක් තිබුණේ නැහැ. රූගත කරන තැන අවට ස්ථානයක රාත්‍රිය ගත කළාට පසු උදෑසන ආයෙමත් රූගත කිරීම් ආරම්භ කළා. ඒ විදියට තමයි සියල්ල සිදු කෙරෙැණේ. ත්‍රීවිලර් ඩයරි චිත්‍රපටය ඇත්තටම ගරිල්ලා ෆිල්ම් එකක්. කොහේ හරි තැනකට එකපාරටම ගිහින් එතැන රූගත කරනවා. සමහර වෙලාවට අවට අයවත් දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. පාලිත පෙරේරා නම් දක්ෂ කැමරා ශිල්පියා තමයි එහි කැමරාව මෙහෙය වූවේ. ත්‍රීවිලර් ඩයරි කියන්නේ වෙනස්ම තාලයකට නිර්මාණය කළ වෙනස්ම චිත්‍රපටයක්. එවැනි නිර්මාණයක් සඳහා දායක වෙන්න ලැබීම සුවිශේෂ කරුණක්. කෞෂල්‍යා ප්‍රනාන්දු, තුසිත ලක්නාත් සහ ජගත් මනුවර්ණ ප්‍රධාන රංගනයෙන් දායක වූ මෙය වෙනස්ම රැඩිකල් වැඩක්. අපේ රටේ කඨෝර සිනමාවක් බිහිවීමටත් මෙවැනි චිත්‍රපට හේතු වුණා. ඒ කඨෝර සිනමාවේ නිළි රැජන වෙන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු. අමාරු, වධ දෙන වැඩක් වුනොත් හොයාගෙන යන්නේ කෞෂ්‍යාව තමයි. ඇය පහසුකම් හොයන්නේ නැති කැපවීමෙන් කටයුතු කරන රංගන ශිල්පිනියක්.
හෝ ගානා පොකුණඉන්දික ෆර්ඩිනැන්ඩු මා සොයාගෙන විත් කළ ආරාධනය අනුව දායක වෙන්න අවස්ථාව ලද ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයත් මගේ සිනමා ජීවිතයේ මා ලද විශේෂ වූ චිත්‍රපටයක්. කොළඹ හැදී වැඩුන තරුණියක් පළමු පත්වීම ලෙස දුෂ්කර පාසලකට ලබන ගුරු පත්වීමෙන් එහි දූ දරුවන්ගේ ජීවිතවලට කරන්නා වූ වෙනස කියැවෙන මේ චිත්‍රපටය මට වගේම සිනමාවටත් සුවිශේෂ චිත්‍රපටයක් වේවි. ඒ වගේමයි විදේශිය චිත්‍රපට උළෙල කිහිපයකම සම්මානයට පාත්‍ර වූ මෙය ඉතාමත් සුන්දර පවුලේ චිත්‍රපටයක්. මේ සඳහා අවශ්‍ය වූ පාසල සඳහා අපි යොදා ගත්තේ මහව ප්‍රදේශයේ අතහැර දමා තිබූ පාසලක්. එහි එක් ගොඩනැගිල්ලක් පමණක් තිබුණා. එය අපි නැවතත් පාසලක් බවට පත් කළා. අනුසුයා සුබසිංහ කළ රංගනය ගැනත් කතා කළ යුතුමයි. එහිදී ඇයට බයිසිකල් පදින්න වගේම විශාල බස් රථයක් ධාවනය කිරීමටත් සිදුවුණා. එහි කුඩා ළමුන්ගේ රංගනයන් ගැනත් කතා කළොත් ඔවුන් ඉතා දක්ෂ ලෙස රංගනයේ නිරත වුණා. හැබැයි ඉතින් පුංචි දරුවන් දහඅට දෙනෙක් සමගින් කටයුතු කරන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.
ප්‍රේමය නම්කුලරත්න ආරියවංශගේ පුතුන් දෙදෙනා වන වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයත් වර්තමානයේ බිහි වූ වෙනස් නිර්මාණයක්. මානසික රෝගයකින් පෙළෙන තරුණයෙක් රෝගී තත්ත්වය සුව කරගනිමින් තම ජීවිතය පිළිවෙළ කරගැනීමට ගන්නා උත්සාහය ගැන කියැවෙන මෙම චිත්‍රපටය ජීවිත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හොඳ චිත්‍රපටයක්. මෙහි රූගත කිරීම් වෙනුවෙන් අපි දින විස්සක් පමණ අංගොඩ මානසික රෝහලේ සිටියා. රෝගී තත්ත්වයක් හේතුවෙන් සමාජයෙන් කොන්කර තබන මේ මිනිසුන් ගැන දැණුනේ පුදුමාකාර කනගාටුවක්. මානසික රෝගීන් කියන්නේ සමාජයෙන් වැඩියෙන්ම ආදරය ලැබිය යුතු පිරිසක් කියන දේ මම තේරුම් ගත්තේ එහි සිටි කාලයේදී යි. ප්‍රේමය නම් චිත්‍රපටය වෙනුවෙන් අමතර නළු නිළියන් මානසික රෝගීන් ලෙස පුරුදු පුහුණු කළා. රෝහල ආශ්‍රිතව කළ රූගත කිරීම් සඳහාත් එහි කාර්යය මණ්ඩලයෙන් විශාල සහයෝගයක් ලබුණා. ජීවිතය ගැන කතා කරන ප්‍රේමය නම් චිත්‍රපටයත් හැමෝම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසින් මම දකිනවා. ඒ සඳහා දායක වෙන්න ලැබීමත් මට සතුටක්.
මෝටර් බයිසිකල්‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය මට විශේෂ වෙන්න සුවිශේෂී කරුණක් හේතු වෙනවා. ඒ තමයි එය අධ්‍යක්ෂණය කළේ ශමීර රංගන නම් මගේ ගෝලයෙක්. සහාය අධ්‍යක්ෂණය කළත් මා තවමත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර නැහැ. මගේ ගෝලයාගේ එම චිත්‍රපටයෙත් සහාය අධ්‍යක්ෂවරයා වුණේ මම. එසේ කටයුතු කිරීම මදිකමක් ලෙස කවදාවත් මට සිතුණෙ නැහැ. මුලදී ඔහු මට මේ සඳහා කතා කළේ නැහැ. ඒ වුණත් මගේ ගෝලයෙක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා දකිද්දී මා තරම් සතුටු වෙන වෙනත් කෙනෙක් නැතුව ඇති. ඔවුන් ඉහළට යනවා දැකීම මට ලොකු සතුටක්. එහි දසුන් පතිරණ සමඟින් සමනලී ෆොන්සේකා ඉතා දක්ෂ අයුරින් රංගනයේ නිරත වුණා. මේ කතා පුවත සත්‍ය කතාවකින් නිර්මාණය වූවක්. කොළඹ පේළි ගෙවල් ආශ්‍රිතව ජීවත් වන තරුණයෙකුගේ කතා පුවතක් මෙයින් ගෙන එනවා. මේ තරුණයාගේ බලාපොරොත්තුව මෝටර් බයිසිකලයකින් තම පෙම්වතිය සමඟ ඇවිදින්න යාමටයි. එහිදී ඔහුට ලැබෙන පරණ බයික් එකෙන් බොහෝ දුෂ්කරතා මැදින් ඇයත් සමඟ යන සුන්දර ගමන මෝටර් බයිසිකල් චිත්‍රපටයෙන් ගෙන එනවා. ඉස්සර ශමීරටත් තිබුණා ඒ වගේ පරණ බයික් එකක්. මට මතකයි මමත් ඔහු සමඟින් ඒ බයික් එකේ විවිධ ගමන් ගියා. ඒ මතකය සුන්දරයි. හරියට මේ චිත්‍රපටය වගේ. තරුණ පරපුරෙන් ඉදිරියට එන ශමීර වගේ යොවුන් අධ්‍යක්ෂවරයෙක් බිහි කරන්න අවස්ථාව ලැබීමත් මට බොහෝ වටිනවා.
දැකල පුරුදු කෙනෙක්මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටයත් සිංහල සිනමාවට ගෙන එන ආදර්ශවත් චිත්‍රපටයක් ලෙසින් මම දකිනවා. පවුල් ජීවිතයක් ගත කරනවිටදී එකිනෙකා පිළිබඳ ඇති කරගත යුතු අවබෝධය ගැන කතා කරන චිත්‍රපටයක් ලෙසින් එය සුවිශේෂ වෙනවා. ඒ වගේම අද සමාජයට සමීපවන චිත්‍රපටයක් ලෙසත් එය විශේෂයි. ලන්ඩන් චිත්‍රපට උළෙලේදී එය නැරඹූ ප්‍රේක්ෂකයෙක් මට පැවැසූවේ, චිත්‍රපටය පුරාවටම තමන් එහි කොහේ හෝ ඇතැයි බියෙන් සිටි බවයි. ඒ තරමටම බාහිර සමාජයේ ජීවිතවලට දැනෙනා ආකාරයෙන් මලිත් නළු නිළියන් හසුරුවා තියෙනවා. මලිත් කියන්නේ තමන්ට අවශ්‍ය ආකාරයටම රූගැන්වීම කෙරෙනා තෙක් රූගත කිරීම් කරනා අධ්‍යක්ෂවරයෙක්. ඔහු එහි ප්‍රතිඵල නියමාකාරයෙන් ලබාගෙන තිබුණා. ඒ වගේමයි සියලු දෙනාගේම සහයෝගයත් මේ නිර්මාණයට නොඅඩුව ලැබීමත් සාර්ථකත්වයට තවත් හේතුවක්. මට ඒ සඳහා දායක වෙන්න ලැබීම ගැනත් විශාල සතුටක් හිතට දැගෙනනවා. ත්‍රීවිලර් ඩයරි, හෝ ගානා පොකුණ, ප්‍රේමය නම්, මෝටර් බයිසිකල් සහ දැකල පුරුදු කෙනෙක් ඔබට ඉදිරියේදී නරඹන්න අවස්ථාව ලැබේවි. එවිට ඔබටම මේ වෙනස දැකගන්න හැකි වේවි. ඒ වගේම සිනමාවේ අනාගතය වෙනුවෙන් මේ තරුණ පරපුරට ඉදිරියට එන්න අපි තව තවත් ඔවුන්ට ශක්තියක් විය යුතු බව කිව යුතුමයි.
|