වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




එදාට වඩා වෙනස් එහෙත් වඩා දැනුවත්

එදාට වඩා වෙනස් එහෙත් වඩා දැනුවත්

තුමිඳු දොඩන්තැන්න සමඟ යළිත් වේදිකාවට

තරුණ නාට්‍ය වේදියෙක් වන තුමිඳු දොඩන්තැන්නගේ ‘අරුන්දතී’ වේදිකා නාට්‍යය පෙබරවාරි මස පළමු වැනිදා සවස 02.30ට සහ 06.30ට බොරැල්ල නාමෙල් -මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. නව නිෂ්පාදනයක් ලෙසින් කරළියට පිවිසි ‘අරුන්දතී’ වේදිකා නාට්‍යයේ විශේෂත්වය වන්නේ මීට පෙර නිෂ්පාදනයේ රඟපෑ නළු නිළියන් බහුතරයක් මෙහි නැවත රඟපෑමයි. ඒ අතීතය පිළිබඳත්, ‘අරුන්දතී’ නැවත වේදිකාවට රැගෙන පැමිණීම පිළිබඳත් තුමිඳු සමඟ සරසවියට කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

ඒ වන විට තුමිඳු හිටියේ ඉලන්දාරි වයසේ ඉහ ඉද්දර. නාට්‍ය කලාව පිළිබඳ ඔහු පෙලූ උණයි අරුන්දතී අරගෙන එන්න ඔහුට පාර කිව්වේ. ඒ උණ නිර්මාණය වෙන්නේ සාධක කිහිපයක එකතුවකින්.

තුමිඳු ඉපදුණේ අනුරාධපුරයේ. ඔහුගේ තාත්තාට කොළොම් පුරවරයට පිවිසෙන්න සිද්ධ වෙන්නේ හරියටම ඔහු හයේ පන්තියට පාස් වුණ කාලයේ. ඒ ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් විදියට. තාත්තත් එක්ක සිය පවුලම කොළඹට ආව ගමන තුමිඳුගේ ජීවිතයේ සංදිස්ථානයක්. අධ්‍යාපනය ලබන්න පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කරන ඔහුට හමුවන්නේ අපූරු ගුරුතුමියක්. ඈ නාට්‍ය හා රංග කලාව උගන්වන සමදරා රත්නපාල ගුරුතුමී. නාට්‍ය කලාවට ආදරය කිරීමේ මූල බීජය තුමිඳුගේ සිතේ රෝපනය කරන්නේ ඈ. ඒකටම හරියන යාළුවෝ ටිකකුත් තුමිඳුට හිටියා. සම්පත්, තරුපති ඒ අතර හිටිය කිහිපදෙනෙක්. ඒ බීජය හැදී වැඩෙන්න පොහොර දැම්ම තවත් කෙනෙක් හිටියා. ඒ තුමිඳුගේ තාත්තා. නාට්‍යයට, කලාවට මේ සිතැත්තා කොතරම් ආදරය කළා ද කිව්වොත් නාට්‍යකරුවන් සමඟ ඔහුට තිබුණේ ළඟ ඇසුරක්. ඒ අය එකතු වුණු සමහර දවසක ගෙදර දෙක වෙන්න ගැයුවේ නාට්‍ය ගීත.

“ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රෝහණ දන්දෙණිය කියන නාට්‍යයකරුවෝ නිතර අපේ ගෙදර ආවා ගියා. ඒ වෙලාවෙදි ඔවුන් ගයන නාට්‍යය ගීත අහන් ඉන්න මම නිතරම ආශා කළා. නාට්‍යය කලාවට ආදරය කරන්න ඒ පසුබිම වගේම මට බලපෑවේ පන්නිපිටිය ධර්මපාලයෙන් ලැබූ අධ්‍යාපනයයි. ඒක ලොකු ආඩම්බරකාර මතකයක්. එහිදි නාට්‍ය ගුරුතුමියගෙන් ඉගෙන ගත් හෙන්රි ජයසේන, බන්දුල ජයවර්ධන, ලූෂන් බුලත්සිංහල යන නාට්‍යකරුවන්ට මා බොහෝ සේ ආදරය කළා. කවදහරි දවසක ඔවුන්ගේ නිර්මාණවල රඟපාන්න ඇත්නම් කියන සිතුවිල්ලෙන් මා නිතර පීඩා වින්දා. ඒ සිහිනය මා සැබෑකර ගන්නේ පාසලෙන් ඉවත් වී ටවර් හෝල් රඟහල නාට්‍ය පාසලේ කළ ඉගෙනුමෙන් පස්සේ. ‘හුණුවටයේ ’ සෙන්පති ෂල්වා ලෙසත්, ‘ බෙරහඬ’ නාට්‍යයේ යක් පිරිසෙත්, ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයේ චූන්චෑන් ලෙසත් රඟපාන්නට මට ලැබීම අපූරු අත්දැකීම් රැසක් මගේ ජීවිතයට රැගෙන ආවා. මේ ලැබූ සියලු අත්දැකීම් ඔස්සේ පෝෂණය වූ මට දිගු නාට්‍යයක් කිරීමේ ආශාව ඉපදෙන්නේ මේ අතරයි. ඉන් පසුවයි ‘අරුන්දතී’ ඒ සඳහා තෝරා ගන්නේ. ‘අරුන්දතී’ ඇතුළේ එතෙක් මා ඉගෙන ගත් සියලු දේ තිබෙන බව මගේ හැඟීමයි.”

‘ අරුන්දතී‘ගේ තේමාව තුමිඳුට ලැබෙන්නේ බොහොම අපූරු විදියට. දවසක් තුමිඳු, තාත්තා ලිව්ව උපදේශාත්මක පොතක් කියවන්නේ අහම්බයෙන් වගේ. ඒ අතර ඔහුගේ හිත යන්නේ අපූරු උපදේශාත්මක කතාවකට.

එහි තිබුණේ අරගලකාරීව අඩු කුලයක ඉපදුණු තරුණයෙක්, කුලයෙන් ඉහළ තරුණියක් දිනා ගන්න කරන අරගලයක්. මේ කතා තේමාව ඔස්සේ මම ලිව්ව පිටපත දුන්නේ ධර්මප්‍රිය ඩයස්ට. ඔහු ඒ පිටපත බොහොම අපූරු එකක් බව පැවසුවේ සිනාමුසු මුහුණෙන්. ජයනාත් බණ්ඩාර, ධර්මපි‍්‍රය ඩයස්, හෂිනිකා කරලියැද්ද, ගයනි ගිසන්තිකා කියන අයවත් සහභාගි කර ගනිමින් මම නාට්‍යයේ පුහුණුවීම් කළා. එහි ගී හතක් ලිව්වේ මංජුල වෙඩිවර්ධන. එක ගීතයක් තරංග දන්දෙණිය. ඇඳුම් නිර්මාණය වගේම නර්තන නිර්මාණය කළේ ප්‍රසන්නජිත්.

සාලිය ලියනාරච්චිත් මාව ධෛර්යවත් කළ මගේ තවත් මිතුරෙක්. ඔවුන් සියලුදෙනාටත් උවමනා වී තිබුණේ දිගු නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්නයි. මේ විදියට අපි සියලු දෙනාගේ එක්තැන් වුණු ඡවය යොදාගෙන කළ පුහුණු වීම් එළි දැක්වෙන්න කාලය පැමිණියා. ඒ අනුවයි1999 වසරේ අගෝස්තු මාසය ඊට අපූරු කාලේ බව වැටහුණේ. නාට්‍යය වේදිකා ගතවුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාර අපව ධෛර්යවත් කළා. ඒ ලැබුණු ධෛර්ය කොතරම් ද කිව්වොත් යෞවන සම්මාන උළෙලේ සම්මාන දොළහක් ගන්නට තරම් අපට හැකිවුණා.

2000 වසරේ දී රාජ්‍ය නාට්‍යය උළෙලට ඉදිරිපත් කිරීමෙන් සම්මාන කිහිපයක් ද හිමිවුණා. ඒ හොඳම සංගීතය, හොඳම අධ්‍යක්ෂණය තුන්වැනි ස්ථානය හා හොඳම රචනය තුන්වැනි ස්ථානයයි. ඒ සියලු සම්මාන අපට ලැබෙන්නේ ධර්මසිරි බණ්ඩාරනායක, බන්දුල ජයවර්ධන, කේ. බී. හේරත් වගේ ප්‍රවීණ නාට්‍යයකරුවන් අතරින් වීමත් විශේෂත්වයක්. එයින් මා බොහෝ සේ තෘප්තියට පත්වුණා.”

මේ විදියට වේදිකා ගතවුණු ‘අරුන්දතී’ වේදිකාවෙන් ඉවත් වෙන්නේ නළු නිළියන් විසිරුණු නිසා. එත් තුමිඳු කියන තරුණ අධ්‍යක්ෂවරයා යළිත් ‘ අරුන්දතී’ අරගෙන වේදිකාවට එන්නේ අවුරුදු පහළොවකට පස්සේ. ඒ අර මිත්‍ර සමාගමේ උනන්දු කිරීම්වලට පින්සිදු වෙන්න.

“ තරුත්, ගයනිත් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙලා ඉන්න කාලයේ මට අපූරු යෝජනාවක් කරනවා. ඒ ‘අරුන්දතී’ නැවතත් වේදිකාවට අරගෙන එන්න කියලා. එහි මුල් පියවර ලෙසයි නාට්‍යය ඔස්ටේ‍්‍රලියාවේ වේදිකා ගත කරන්නත් සියල්ල සූදානම් කරන්නේ. මේ විදියට කාලයකට පස්සෙයි ජයනාත්, ධර්මපි‍්‍රය, ගයනි, හෂිනිකා, තරු මුණ ගැහෙන්නේ. හරියටම ඒ 2012 වසරේ. ලංකාවට ඇවිත් නව නිෂ්පාදනයක් ලෙසින් ‘අරුන්දතී’ වේදිකා ගත වෙන්නේ ඉන් පස්සේ.”

අවුරුදු පහළොවක් කියන්නේ දිගු කාලයක්. ඒ කාලයේ මොනතරම් වෙනස් වීම් සිදු වෙන්න ඇති ද කියලත් සිතෙන වාර ඕනෑ තරම්. ඒත් නළු නිළියන් ඒ අයමයි. කොහොම නමුත් එදා තිබුණු ඡවය ගැන කාට වුණත් ඇති වෙන්නේ ප්‍රශ්නයක්.

“ මේ නාට්‍යයට තේමාව වෙන්නේ විවාහ සංස්ථාව ඇතුළේ මිනිස්සු මුහුණ දෙන අර්බුදයයි. කුලය, පවුල, සමාජය කියන ගැටලු විවාහ සංස්ථාව ඇතුළට පැමිණියාට පස්සේ ඒ අය මුහුණ දෙන අර්බුදයයි. එදා ‘අරුන්දතී’ කරන අවස්ථාව වනවිට විවාහ වී සිටියේ ජයනාත් විතරයි. ඒ නිසා සමහර අවස්ථා අධ්‍යක්ෂණය කරන විට මම ඔහුගෙන් අහනවා ඇත්තටම ඔහොම වෙනවාද කියලා. ඒත් අද අපි හැමෝම විවාහ වෙලා. විවාහ සංස්ථාව ඇතුළේ ඉදලයි අද අපි කතා කරන්නේ.

ඒ අනුව නාට්‍යය ගැන නැවතත් හිතන විට සත්‍යය අත්දැකීම් සමඟයි ඊට අප පිවිසෙන්නේ. පෙර තිබුණු ඡවය මෙවර නාට්‍යයට පිවිසෙන්නේ වෙනස්ම අයුරෙන්. මට වුණත් ඒ අත්දැකීම් එහෙමමයි. අදටත් ජයනාත් වගේම ගයනිත් පෙර පරිදිම නටනවා. මේ නිසා මට හැඟෙන්නේ එදාට වඩා පරිනත විදියට සියලු නිර්මාණ ශිල්පීන් ‘අරුන්දතී’ වේදිකාවට රැගෙන එන්න දායක වන බවයි. නාට්‍ය නැරැඹුව බොහෝ දෙනා කිව්වේ අලුත් මුහුණුවරක් නාට්‍යයට පැමිණිලා ඇති බවයි. නමුත් එදා තිබුණු වර්ණවත් බව ඒ ආකාරයෙන්ම වෙනසක් නොවී තිබෙන බවත් ඔවුන් පැවසීමම සතුටට කරුණක්. ”

එදා ඉලන්දාරි වයසේ උන්නු තුමිඳු අද වැඩිහිටියෙක් බවට පත්වෙලා. ජීවිතය පිළිබඳ, පවුල පිළිබඳ අත්දැකීම් ඇත්තෙක් වෙලා. ඒ ලැබූ අත්දැකීම් ඔස්සෙයි ඔහු අද නිර්මාණය දෙස බලන්නේ.

“ මම මගේ නාට්‍යය ඇතුළේ හැමවිටම උත්සාහ ගත්තේ මිනිස්සුන්ගේ අභ්‍යන්තරයෙන් පැන නගින දේශපාලනය සමාජ දේශපාලනයක් විදියට පෙන්නන්නයි. මම උත්සාහ කළේ මිනිස්සු කියවමින් එතැන සිට සමාජය කියවන්නයි. මම ඉලක්ක කළේ මිනිස්සුන්වයි. ඔවුන් හිතන පතන විදිය, ඔවුන් වැඩ කරන විදියයි. ඒ ඔස්සේ සංකීර්ණ චරිත නිරූපණ හතරක් ගැන මෙහිදි කතාබහට ලක් වෙනවා. අඩු කුලයේ තරුණයා, බමුණු කුලයේ තරුණිය හා ඇගේ මව සහ පියා ඒ චරිතයි. ගරා වැටෙමින් යන බමුණු සමාජය ගොඩගන්න මුක්කු ගහන්න තනන ඔවුන්ගේ ජීවිත වටායි මේ නාට්‍යය දිවෙන්නේ. අවුරුදු පහළොවකට පස්සේ ප්‍රේක්ෂකයන්ට මේ නාට්‍යය අලුත් අත්දැකීමක් වේවි. ඒ අත්දැකීම නොලබපු අයට ඇවිත් නාට්‍යය නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ”

සමුගන්නට මොහොතකට කලින් ඔහු පැවසුවා. අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයෙක්. රංගන ශිල්පියෙක්. අපට ඔහු ගැන හිතුණේ එහෙමයි.