|
මම කාලයක් දූ දරුවෝ හි දීප්ති වගේ කොණ්ඩෙ හැදුවා
සේමිණි තමා ප්‍රිය කරන චරිත ගැන කතා කරයි
එක්දහස් නවනසිය අසූ ගණන්වල තිරගත වූ දඩයම චිත්‍රපටය මගේ හිත ගත් චිත්‍රපටයක්. ඒ දවස්වල මම ගොඩක් පුංචියි. පාසල් නේවාසිකාගාරයේ සිටියත් ඉරිදට තාත්තා එක්ක එළියට යන්න අවස්ථාව ලැබුණා. තාත්තා කොහෙද එක්කරගෙන යන්න ඕනි කිව්වම එක දවසක් මම කිව්වා දඩයම බලන්න ඕනෑ කියලා. ඒ විදියට කොහොම හරි දහහතර වතාවක් විතර දඩයම චිත්‍රපටය බැලුවා. පුංචි වුණත් ඒ කාලෙදි එහි ස්වර්ණා මල්ලවආරච්චි විසින් කළ චරිතය මගේ හිතට තදින්ම දැනුණා. ඇත්තටම මට ඇගේ චරිතය දෙස බලාගෙන සිටියේ වශී වෙලා. මගේ ජීවිතයේදී දඩයම චිත්‍රපටයේ ඉදිරිපත් කළ විශිෂ්ට චරිතයක් විදියට දකිනවා. ඒ වගේම බ්ලැක් චිත්‍රපටයේ රාණි මුකර්ජි මිචෙල් ලෙස ඉදිරිපත් කළ රංගනයටත් මම ගොඩක් කැමැතියි. ඇත්තටම ඇය ඒ චරිතය අපට දැනෙන ආකාරයෙන් ඉතාමත් සාර්ථක අන්දමෙන් නිරූපණය කළා. එහිදී සංගීතය, කැමරා කෝණ, පසුබිම් දර්ශන සමඟින් පුදුමාකාර විදියට ඉස්මතු වුණා කිව්වොත් මම නිවැරදියි කියලා හිතෙනවා. ඇත්තටම මටත් ඒ වගේ චරිතයක් ලැබෙනවා නම් ගොඩක් සතුටුයි. මම හිතනවා මටත් ඒ වගේ චරිතයක් සාර්ථකව නිරූපණය කරන්න පුළුවන් වේවි කියලා. මගේ හිත ගත් චරිතයක් තමයි බ්ලැක් ස්වෝන් චිත්‍රපටයේ බැලේ නර්තන ශිල්පිනියක් ලෙස නැටලි පෝර්ට්මන් ඉදිරිපත් කළ චරිතය. ඒ චිත්‍රපටයත් මම ගොඩක්ම ආසාවෙන් නැරඹූ එකක්. ඇත්තටම ඒ චරිතයේ තාත්වික බව තමයි ඒ කෙරෙහි මගේ ආශාව වැඩි කරන්නත් හේතු වුණේ. ඇයගේ අලංකාර නර්තනය වගේම එහිදී සිදුවන මරණය ගැන කිසිවක් හිතා ගන්නවත් බැරි වුණා. මේ චරිතයට නම් කෙතරම් ඇලුම් කළත් මට නම් කවදාවත් ඒක කරන්න බැරි වේවි. අපේ ටෙලි නිර්මාණවලදී නම් මම වැඩි වශයෙන් පි‍්‍රය කළේ ගම්පෙරළිය ටෙලි නාට්‍යයේ නන්දාගේ චරිතයට. ඒ වගේම දූ දරුවෝ ටෙලි නාට්‍යයේ නිල්මිණි තෙන්නකෝන් දීප්ති ලෙස කළ චරිතයටත් මම ගොඩක්ම ඇලුම් කළා. මට මතකයි ඒ දස්වල මට තිබුණේ තරමක් දිග කොණ්ඩයක්. මම මගේ කොණ්ඩෙ දෙකට නමලා දීප්තිගේ කොණ්ඩෙ මෝස්තරය වගේ හදාගෙනත් හිටියා.
මගේ හිතට දැනු ක්‍රාන්තිවීර් හින්දි චිත්‍රපටයේ ප්‍රතාප් නාරායන් ලෙස නානා පටේකාර් ඉදිරිපත් කළ චරිතයත් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ලෙස මම දකිනවා. ඔහුගේ හැම රංගනයක්ම විශේෂයි. හැඟීම් ඉදිරිපත් කිරීම අතින් ඔහු හරිම පොහොසත්. ඔහුගේ ඒ භාව නිරූපණයන් චිත්‍රපටයට සජීවි බවක් ලබා දුන් බව මට හැඟෙනවා. මම ගොඩක් චිත්‍රපට නරඹන කෙනෙක්. සිනමා ලෝලිියෙක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් එය වැදගත් වෙනවා. මේ තුළින් මම මගේ පෞද්ගලික ජීවිතයට නම් ආදර්ශ අරගෙන නැහැ. ඒත් රංගන ශිල්පිනියක් විදියට නම් යම් යම් දේ මම ඒ මඟින් ඉගෙන ගන්නවා. ඒත් අනුකරණය කරන්නේ නම් නැහැ. ඒ මඟින් ලබන දැනුම ප්‍රයෝජනවත් වෙන අවස්ථා අපට උදා වෙන්න ඉඩ තියෙනවා. මීළඟට ඔබ කැමති තවත් ජනප්‍රිය තරුවක් තම සිත්ගත් චරිත සමඟින් හමුවේවි.
|