වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පරක්කු වී ආ කුමාරට දඬුවමක්

පරක්කු වී ආ කුමාරට දඬුවමක්

සරත් කොතලාවල

නරි බුරති 150 යි

‘නරි බුරති’ වේදිකා නාට්‍යයේ එකසිය පනස් වැනි දර්ශනය මෙම මස 09 වැනිදා සවස මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙයි. එහි අධ්‍යක්ෂ සරත් කෙතලාවල සමඟ මේ කෙරෙන කතා බහ ඒ වෙනුවෙනි.

වත්මනහි වේදිකා නාට්‍යයක් මෙවන් වූ දර්ශන වාරයන් ගණනක් පැවැත්වීම ඇත්තටම අභියෝගයක්. කොහොමද ඔබ එය ජය ගත්තේ?

අංක එක කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම. මේක වෙන කාගෙවත් නොවෙයි අපේම නාට්‍යයක් කියන හැඟීම අපට තිබුණා. ඒකෙ විශේෂම හේතුව මෙහි රංගනයේ යෙදෙන මම ඇතුළු අට දෙනාම නාට්‍යයේ නිෂ්පාදකවරුන් වීම. ඒක නිසා අට දෙනාගෙම ශ්‍රමයයි නරි බුරති හරහා රංගත ගත වන්නේ. මේ හේතුව නිසා ඇතුළේ කිසිම කෙනෙක් අයින් වෙන්න හිතුවේ නැහැ.

නාට්‍යයහි ඇති රසවත්භාවය හින්දා ඉල්ලුම වැඩි වුණා. ප්‍රේක්ෂකාගාරයෙනුත් ඉහළ ප්‍රතිචාරයන් ලැබුණා. ඒවත් ‘නරි බුරති’ එකසිය පනහ දර්ශනය පිටුපස තිබෙනවා.

‘නරි බුරති’ කණ්ඩායම එකතු වෙලා මේ වන විට අවුරුද්දකටත් වැඩියි. මේ කාලය අතරතුරදී ඔවුනොවුන් අතර පුංචි හෝ මත ගැටුමක් වෙලාම නැතිද?

මොකද නැත්තේ, බහින් බස්වීම් ඕන තරම් වෙනවා. හැබැයි ඒවා බොහොම කෙටි කාලයකදී නිමවනවා.

කණ්ඩායමේ කාටදා වැඩිපුරම කේන්ති යන්නේ?

හේමන්ත ඊරියගමට.

නරි බුරති නරඹන්න ඔබ ඉලක්ක කළ ප්‍රේක්ෂකයන් කණ්ඩායම නාට්‍යාගාරවලට පැමිණියාද?

පළමුව කියන්න ඕන අපි මේ සඳහා මේ මේ වයස් මට්ටම්වල හෝ චින්තනය අනුව ප්‍රේක්ෂකයන්ව බෙදුවේ නැහැ. අපට වුවමනාව තිබ්බේ ඕනෑම තරාතිරමක අයකුව රංග ශාලාවට ගෙන්වීම පමණයි. හිතපු විදිහට ඒ පිරිස නාට්‍යය බලන්න ආවා.

නමුත් වයසින් බාල ළමුන්ට නරි බුරති තේරෙන්නේ නැහැ?

ඇත්ත, නරි බුරති තේරුම් ගන්නට යම් වයස් මට්ටමකට එන්න ඕන. නමුත් මෙහි ඇති සරල ප්‍රහසනය පුංචි දරුවන්ට තේරෙනවා. එහි ඇති අභ්‍යන්තර පණිවුඩය නම් ඔවුනට නොතේරෙනවා ඇති. කෙසේ වෙතත් වයස්බේදය නරි බුරති නැරැඹීම සඳහා ගැටලුවක් නෙවෙයි.

වේදිකාවට, වේයෝ, බූරුවෝ, කොක්කු, බල්ලො ආවා. සරලව කිව්වොත් පසුගිය සමයේ සත්තුන්ගේ නම් භාවිත කරමිනුයි වේදිකා නාට්‍යවල නම් හැදුවේ. ඔබත් ඒ සිස්ටම් එකමයි යොදා ගත්තේ?

මෙහිදී කියන්න ඕන නරි බුරති පිටපත ලියලා දැනට වසර දහයකටත් වැඩියි. මා පළමුව ඊට තිබ්බේ නරි ටවුන් කියලා. මට ඒක ඒ කාලයේදීම වේදිකා ගත කරන්න නොහැකි වුණා ශිල්පීන් හොයා ගැනීමට බැරි වූ නිසා. බැරි වෙලාවත් පිටපත ලිව්ව අලුතම නාට්‍යය කළා නම් ඔය හැමෝටම කලින් සතකුගේ නමක් රැගෙන නාට්‍ය කරපු කෙනා මම වෙනවා.

කුණු රසයෙන් යුක්ත වේදිකා නාට්‍ය මෙරට ඕනෑ තරම් බිහිවනවා. ඒවා අතර නරි බුරති මොන වගේ තැනකද තියෙන්නේ?

මා මගේ නාට්‍ය හැර වෙනත් කිසිදු නාට්‍ය නිර්මාණයක් ගැන කතා කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. මන්ද යත් මං නාට්‍යකරුවකු මිස විචාරකයකු නොවන හින්දා. පැහැදිලිවම කියන්න ඕන නරි බුරති වැදගත් ප්‍රහසනයක්. ඒත් දෙපිට කැපෙන වචන කියන එකක් නෙවෙයි. යටි අර්ථයක් නාට්‍යයේ තියනවා. එතකොට මේක නිකම්ම නිකම් ප්‍රහසනයක් නෙවෙයි. මේ නාට්‍යවලට නමක් තියනවා බ්ලැක් කමඩි කියලා.

ඔබ ‘නරි බුරති’ කණ්ඩායමේ අයව පිට පළාත්වලට රැගෙන ගියාම ඒ අයට නාන්න දෙන්නෙ නැතිලු. ඇයි ඒ?

මෙහෙමයි. කණ්ඩායමක් වශයෙන් ඉන්න කොට එයාලව බලා ගැනීමේ වගකීම තියෙන්නේ මටනේ. ඒක නිසා ඇළවල්, දොළවල්, දිය කඩිතිවලට බහින්න දෙන්නේ නැහැ මං. එක පාරක් එහෙම අවස්ථාව දීලා කට්ටිය පමණ ඉක්මවා ගියා. එදා ඉඳලයි මං මේ තීරණය ගත්තේ. නාන්නම ඕන කිව්වොත් පළමුව මං වතුරට බහිනවා. දණිස්සෙන් පහළට වතුර තිබ්බොත් විතරයි නාන්න දෙන්නේ.

මේ වගේ තවත් අත්දැකීම් ඇති මේ දර්ශන වාර එකසිය හතළිස් නවය ඇතුළේ?

ඔන්න මාතර ෂෝ එකකට අපි ගියා. පුබුදුයි වජිරයි වෙනමම එන්නම් කිව්වා. දැන් ෂෝ එක පටන් ගන්න වෙලාව කිට්ටුයි. මං දෙන්නටම කතා කළා. එක වාහනේ ආවට දෙන්නා දෙන්නේ දෙවිදිහක උත්තර. පුබුදු කියනවා තවම කළුතරලු, වජිර කියනවා කොට්ටාවෙන් හයිවේ එකට දැම්මලු. කොහොම හරි වෙලාව පරක්කු වෙලා ඩබල ආවා. මගෙන් දෙන්නම හොඳටම බැනුම් ඇහැව්වා එදා.

දවසක් කුමාර තිරිමාදුර රිහසල්වලට පරක්කු වෙලා ආවා. අපි එයාව ගණන් ගන්නෙ නැතුව දවසම පුහුණුවීම්වල යෙදුණා. හැන්දෑවෙයි ඔහු හා කතා කළේ. එතකන් කුමාර ඈනුම් ඇර ඇර හිටියා. පරක්කු වුණාට දඬුවම තමයි ඒ.

අවසන් වශයෙන් කියන්නකෝ ‘නරි බුරති’ වේදිකාවට ගෙන ඒමේ ඔබේ අරමුණ මේ වන විට ඉටු වෙලාද?

සත්තකින්ම. මගේ එකම අරමුණ වූයේ මාගේ ප්‍රකාශනය වේදිකා නාට්‍යයක් හරහා සමාජගත කිරීම පමණයි. ඒක ඉටු වුණා. මෙහිදි තව දෙයක් කියන්න ඕන. ‘නරි බුරති’ නිර්මාණය කොට නාට්‍ය කලාවට මෙහෙවරක් කරන්නවත්, එය වැඩි දියුණු කරන්නවත් මං උත්සාහ කළේ නැහැ .

නරි බුරති පිරිවර:

රංගනය:

කුමාර තිරිමාදුර - ෆෝමන්
පුබුදු චතුරංග - ඇබා
සරත් කොතලාවල - රොබා
චින්තක පීරිස් - රෝසි
වජිර කොඩිතුවක්කු - වේටර්|
ජනක රණසිංහ - සුදු පුතා
මිහිර සිරිතිලක – ඇනා
හේමන්ත ඊරියගම - නොමන්

නිෂ්පාදන පිරිස:

වේදිකා පසුතල නිර්මාණය -ප්‍රේමලාල් ලියනගේ
වේදිකා පරිපාලනය සහ සංගීතය – විමල්ජිත් දොඹගහවත්ත
ඇඳුම් නිර්මාණය - පුෂ්පා සමන්ති
ශබ්ද පරිපාලනය – නිශාන්ත චන්දන
සහය – උපුල්, ඉන්දික, හර්ෂ