|
සුරංගනා කතාවකට අලුත් මානයක්
කුඩා කල අප අසා ඇති සුරංගනා කතා, කිසිදා අප මනසින් ගිලිහී නොයයි. ඒවායේ චමත්කාරය සිහි කරන හැම විට අපමණ සතුටක් දැනේ. ඒ සුරංගනා කතා, සැබෑ ලෝකයේ මැවේ නම් කෙතරම් අපූරුද? ලොව ප්රකට ‘හැන්සල් ඇන්ඩ් ග්රේටල්’ සුරංගනා කතාව සැබෑ ලොවට පැමිණ තිබේ. අමෙරිකානු රිදී තිරය හැඩ කරන නවතම සිනමාපටය එයයි. පියා විසින් කැලයට අතහැර දමනු ලබන හැන්සල් හා ග්රේට්ල් අයියා නගෝ දෙපළකි. දෙදෙනා කැලය මැද පිහිටි අපූරු නිවසක් වෙතට පැමිණෙති. එය ඉඟුරු විස්කෝතුª නිවසකි. නපුරු මෙන්ම මහලු මන්ත්රකාරියක් මේ නිවසේ හිමිකාරියයි. දරු දෙදෙනා ඇයගේ මෙහෙකරුවන් බවට පත් වෙති. මන්ත්රකාරියගේ තාඩන පීඩන නොඉවසිය හැකි තැන දරුවෝ තීරණයක් ගත්හ. දිනක් මුළුතැන්ගෙයි උඳුන සකස් කරන මොහොතක ඒ සඳහා අවස්ථාව උදා විය. දෙදෙනාම එක්ව මන්ත්රකාරිය උඳුනට තල්ලු කර දැමූහ. මෙතැන් සිට ‘හැන්සල් හා ග්රේට්ල්’ මන්ත්රකාරියන් නසන්නට සමත් සූරයන් ලෙස ප්රසිද්ධියට පත් වෙති. මන්ත්ර බන්ධන හා ශාපයන්ට ගොදුරු නොවීම අයියා - නගෝ දෙදෙනාගේ දඩයම් කාර්යය පහසු වීමට හේතුවයි. ඒ අතර, අමාවක රාත්රියක මියුරියෙල් නම් දුෂ්ට මන්ත්රකාරියක් සිදු කරන්නට යන විශාල ලේ සෙලවීමක් ගැන තතු සැළවෙයි. බලගතු මන්ත්රයක් නිරිමාණය කිරීම මියුරියෙල්ගේ අරමුණ වී ඇත. ඒ වෙනුවෙන් කුඩා ගැහැනු දරුවන් හා පිරිමි දරුවන් කිහිප දෙනෙකුගේ රුධිරය සෙලවිය යුතුයි. මේ කාර්යය වැලැක්වීම හැන්සල් හා ග්රේට්ල් හමුවේ ඇති ප්රබලම අභියෝගයයි. මේ කාර්යය අතරතුර, දෙදෙනාට ඔවුන් කාලයක් තිස්සේ සෙවූ පැනයකට පිළිතුරු ද ලැබේ. එම පැනය කුමක්ද? පිළිතුර ඇත්තේ ‘හැන්සල් ඇන්ඩ් ග්රේට්ල් : විට්ච් හන්ටර්ස්’ තුළයි. අමෙරිකාවේ මෙම චිත්රපටය නිල වශයෙන් ප්රදර්ශනය කිරීම ආරම්භ වූයේ පසුගිය 25 වැනිදායි. ‘පැරමවුන්ට්’ නිෂ්පාදන සමාගමට චිත්රපටයේ බෙදා හැරීමේ අයිතිය සතුයි. ප්රකට ජර්මානු ළමා සුරංගනා කතාව ‘හැන්සල් හා ග්රේට්ල්’ පාදක කර ගනිමින් කතාව ගොඩනැංවී ඇත. ත්රාසජනක චිත්රපටයක් ලෙස මෙය හඳුන්වා ඇතත්, මෙහි තිර පිටපත ඇතැම් විචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. හැන්සල් ඇන්ඩ් ග්රේට්ල් නෝර්වීජියානු චිත්රපට කතා රචක අධ්යක්ෂ ටොමී වර්කෝලාගේ පළමු හා දැවැන්තම අමෙරිකානු නිෂ්පාදනයයි. 2009 තිරගත වූ ‘ඩෙඩ් ස්නෝ’ ත්රාසජනක සිනමාපටයේ අධ්යක්ෂවරයා වන්නේ ද ටොමී වර්කෝලාය. ‘ළමා කාලයේ මා ඇසූ මේ කතාව ගැන මට විශාල කුතුහලයක් තිබුණා. මන්ත්රකාරියගෙන් දැඩි ලෙස බැට කෑ දරුවන් දෙදෙනා ඇත්තටම මොන තරම් අභියෝගයන්ට මුහුණ දෙන්නට ඇත්දැයි මම නිතරම කල්පනා කළා. මගේ යටි හිතට තදින්ම කා වැදුණු මෙම සිදුවීමයි එය සිනමාවට නගන්න මා පෙළඹ වූයේ’ ටොමී වර්කෝලා එලෙස කියා සිටියා. චිත්රපටයේ දර්ශන මුලුමනින්ම පාහේ රූගත කර ඇත්තේ ජර්මනියේයි. බේබල්ස්බර්ග් ස්ටුඩියෝ, බර්ලින් අගනුවර ආසන්නයේ පිහිටි කෑලෑවක් බ්රවුන්ෂ්වෙයිග් නගරය දර්ශන තල ලෙස යොදා ගැනුණා. ත්රිමාණ සිනමාපටයක් ලෙසින් එළිදැක්වුණු ‘හැන්සල් ඇන්ඩ් ග්රේට්ල්’ රුසියාව තුළ මහත් ජනප්රියත්වයක් ලබා ඇති බවට වාර්තා පළ වේ. ජෙරමි රෙනර් හැන්සල් ලෙසත් ජෙමා ආර්ටටන් ග්රේට්ල් ලෙසත් ප්රධාන චරිත නිරූපණය කරති. ෆැමිකි ජැන්සන් ‘මියුරියල්’ නම් මන්ත්රකාරියගේ චරිතය නිරූපණය කරයි. ඊට අමතරව පීලා විල්ටාලා, පීටර් ස්ටෝර්මෙයාර්, තෝමස් මැන් චරිත නිරූපණයෙන් එක් වෙති. කතා රචනය, ටොමී වර්කෝලා සහ ඩාන්ටේ හාපර් ගෙනි. විලී ෆෙරල්, ඇඩම් මැක්කේ, කෙවින් මෙසික්, බියු ෆ්ලින්, ක්රිස් හෙන්චි, ක්රිස්ටොත් ෆිසර් නිෂ්පාදනයෙන් දායක වන්නන්ය. සංස්කරණයෙන් ජිමි පේජ්. ‘හැන්සල් ඇන්ඩ් ග්රේට්ල්’ සඳහා කැමරාකරණයෙන් දායක වන්නේ මයිකල් බොන්චිලියන්.
|