වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පිටකොටුවේ සිට වේදිකාවට ඇති දුර කොපමණද?

පිටකොටුවේ සිට වේදිකාවට ඇති දුර කොපමණද?

පිටකොටුව කිව්ව සැනින් අපට සිහි වන්නේ බොහොම ඝෝෂාකාරී මෙන්ම කලබලකාරී පරිසරයකි. සීරුවට හඬ දෙන වාහන නාදයත් ඒ අතරින් ඇසෙන වෙළෙන්දන්ගේ හඬත් ඝෝෂාකාරී බවට එක් කරන්නේ තවත් උත්තේජනයකි.

මෙවැනි පරිසරයක හිඳ සන්සුන් රංගනයක නියැලී සම්මානනීය වූ ඔහු අද අපේ කතානායකයා වේ.

බස්නාහිර පළාත් කෙටි නාට්‍ය උළෙල – 2012 හොඳම නළුවා වීමේ භාග්‍ය උදා කරගත් හේ සමිල විදානගේ.

ඉතින් සමිල ඔබේ කතාව පවුල් පසුබිමෙන්ම අරඹමු?

මගේ පවුලේ ආච්චියි, අම්මයි, තාත්තයි, අයියල තුන්දෙනයි අක්කයි. මම පවුලේ බාලයා. මා හැදුණේ වැඩුණේ, පාසල් ගියේ පිටකොටුවේ. පාසල් ගියේ ඒ. ඊ. ගුණසිංහ විද්‍යාලයට. අපි පදිංචි වෙලා ඉන්නේ පිටකොටුවේ ඩයස් පෙදෙසේ.

මෙවන් පසුබිමක සිට ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ නොවී කලාව පැත්තට යොමු වුණේ ඇයි?

මගේ ආච්චි කලාවට බොහොම ලැදියි. ඇයට ගීතිකා, කවි ඕනෑම ගාථාවක්, වාද බයිලා, හිටිවන කවි, ගජමන් නෝනගේ කවි හොඳට ගායනා කරන්න පුළුවන්. ආච්චි නිතර මේවා ගායනා කරනවා මට පොඩි කාලේ ඉඳලා ඇහෙනවා. ගෙදර අයත් මාව මේ පැත්තට නැඹුරු කළා. මොකද මම ජීවත්වන පරිසරය එතරම් හොඳ නැති නිසා වෙන්න ඇති කියලා අද තේරෙනවා. තාත්තා මුද්‍රණාලයක් පවත්වාගෙන යනවා. ඒක අපේ පවුලේ ව්‍යාපාරයක් ලෙස අයියලා තුන්දෙනයි අක්කයි මමයි තාත්තාට සහයෝගය ලබා දෙනවා. තාත්තාගේ මුද්‍රණාලයෙන් පෝස්ටර් ප්‍රින්ට් කර ගන්න එන අයගෙන් තාත්තාට නාට්‍ය බලන්න ආරාධනා පත් ලැබෙනවා. ඒ නිසා මම පොඩි කාලේ සිටම වේදිකා නාට්‍ය නරඹනවා. ඒ නිසා තමයි වේදිකාවට මෙතරම් මම ඇලුම් කළේ.

සමිල වේදිකා රංගනයට පිවිසෙන්නේ යම් අධ්‍යයනයක නියැළීමෙන් පසුව නේද?

ඔව්. මහේන්ද්‍ර පෙරේරා, අනුර ද සිල්වා, නිශාන්ත ගුණවර්ධන, විමුක්ති ජයසුන්දර, සෞම්‍ය ලියනගේ, ජෙරම් ද සිල්වා යන අය පැවැත් වූ වැඩමුළු සහ පංති කිහිපයකට සහභාගීවීමෙන් ලද අත්දැකීම් තුළින් තමයි මගේ රංගන දිවිය අරඹන්නේ.

අද ඔබ වේදිකාවේ සම්මානනීය නළුවෙක්?

වේදිකා නාට්‍ය 16 ක පමණ රඟපා තිබෙනවා. ඒ අතරින් නිශාන්ත ගුණවර්ධන මහතාගේ නිර්මාණයක් වූ ලස්සනට දවස් ගෙවෙනවා - රන්හාමි චරිතය, ජෙරම් ද සිල්වා යටතේ ද වර්ඩ් එ හෑන්ස් ෆුල් නේලිස් හි ජුදාස්ගේ චරිතය ද, මෑන් හූ ටන්ඩ් ඉන් ටු එ ඩෝග් – බල්ලාගේ චරිතය මගේ සිත්ගත් චරිතයි. බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මෙහෙය වූ නාට්‍ය උළෙල නියෝජනය කළ සමන් විජේසිංහ අධ්‍යක්ෂණය කළ ධනාත්මක බල්ලෙක් වේදිකා නාට්‍ය රංගනයට තමයි මට සම්මානය හිමි වුණේ. ඒ නාට්‍යයේම වේදිකා පරිපාලනයට හිමි සම්මානයත් ලැබුණේ මටයි.

වසර ගණනාවක ලද බොහෝ කටුක අත්දැකිම් හා කළ කැපවීම නිසා ලැබුණු මේ අගැයීම මගේ ජීවිතය තවත් ශක්තිමත් කළා. මා මේ ලැබූ ප්‍රවේශය ඉදිරියටත් ආරක්ෂා කරගෙන හොඳ රංගනයක යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ රංගනයට වේදිකාවේම රැඳී සිටින්න ද අදහස?

නැහැ, මම රංගනයට පිවිසෙන්නේ 2006 වර්ෂයේදී. වේදිකාවට අමතරව ටෙලි නාට්‍ය 2 ක්, කෙටි චිත්‍රපට බොහොමයක්, සිංදුවල විෂුවල් කිහිපයක් රඟපෑමෙන් සහ අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදී චිත්‍රපටයකට අවස්ථාවක් ලැබුණොත් රඟපාන්න ආශාවෙන් සිටිනවා.

නොපසුබස්නා උත්සාහයත්, ලැබුණු කටුක අත්දැකීම් ජයගෙන පෙරට ආ මේ ගමනේදී ඔබට ස්තුති කළ යුතු අය බොහෝ ඇති?

මගේ පවුලේ සියලු දෙනා, මට ගුරුහරුකම් දෙමින් මට රංගනයට අවස්ථාව ලබා දුන් සැවොම, මගේ මිතුරන් ඇතුළු ප්‍රසන්න කුලරත්න, නලින් ජයසිංහ, විශාකා ජයවීර, පි. යේ. සමරසිංහ යන මහත්වරු මට ලබා දුන් ශක්තිය පිළිබඳව ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. මගේ රංගන දිවියට ඔබ සැබෑවට ඇලුම් කරන්නේ නම් මගේ දුරකථන අංක 0777590472 ට කතා කර මා දිරිමත් කරන්න.


උන්මාද චිත්‍රා හෝමාගමට එයි

නාට්‍යවේදී ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දුගේ උන්මාද චිත්‍රා වේදිකා නාට්‍යය මෙම මස 10 වැනිදා එනම් එන ඉරු දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී වේදිකා ගතවේ.

උන්මාද චිත්‍රා පෙම් පුවත රැගත් මෙහි හංසනී අනුරුද්ධිකා, ඉසුරු උදයංග, ඩීමන් හෙට්ටිආරච්චි, කීර්ති කොඩිතුවක්කු, සඳුනි පබසරා, මලිති හේවාවසම්, මිල්ටන් පෙරේරා, ජානක ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

අධ්‍යක්ෂණය මෙන්ම රචනය, ගී පද රචනය, තනු නිර්මාණය රෝහණ විසින්ම සිදු කොට ඇත.

විශ්‍රාම ලත් ගුරුවරයකු වන රෝහණ මීට ප්‍රථම නළ දමයන්ති, සකුන්තලා, හාමු, සොකරි වැනි නාට්‍ය නිර්මාණය කොට ඇත. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මග පෙන්වීම යටතේ නාට්‍යකරණයට පිවිසි හෙතෙම සහාය අධ්‍යක්ෂවරයකුª ද වශයෙන් නිර්මාණයන්ට දායකත්වය සපයා ඇත.