වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




විසි වසරකට පසු පතිරාජ නැවත සිනමාවට

විසි වසරකට පසු පතිරාජ නැවත සිනමාවට

අලුත් චිත්‍රපටයේ වැඩ 12 වැනිදා

අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් ඉතා දිගු කාලයකට පසුව නිර්මාණය කිරීමට සූදානම් වන ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් එළඹෙන 12 වැනිදා කළුතරදී ඇරැඹීමට නියමිිතයි.

මතුයම් දවස සිනමාපටයෙන් අනතුරුව වසර විස්සක නිහැඬියව බිඳිමින් ආචාර්ය පතිරාජයන් ඇරැඹි මෙම සිනමා කෘතියෙහි ප්‍රධාන චරිතය පණ පොවනු ලබන්නේ නීටා ප්‍රනාන්දු විසිනි.

ඩබ්ලිව්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා, විශ්වජිත් ගුණසේකර, රෙනී ද සිල්වා, තුසිත ලක්නාත් මෙහි සෙසු චරිත රංගනයේ යෙදෙති.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙයවයි. රංජිත් මතඟවීර අංග රචනයෙන් එක් වෙයි. එල්මෝ හැලිිඩේගේ සංස්කරණයකි. ලාල් හවීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂවරයාය. නදීක ගුරුගේ ස්වර රටා මවයි. එරික් ඉලෙයප්පෙරුමආරච්චිගේ තිර රචනයකි. සුගත් අමරජීව සහාය අධ්‍යක්ෂවරයාය.

තවමත් නමක් තබා නැති මෙහි රූගත කිරීම් කළුතර ප්‍රදේශයට අමතරව නුවරඑළිය සහ ලෝකාන්තය අවට ද සිදුවනු ඇත.


 

‘ස්වර’ සිනමාපටයට ගී‍්‍රන් රෝස් සම්මානය සරසවිය අපේ සුබපැතුම්!

ඉන්දියාවේ ජ්‍යාපූර් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ස්වර සිනමාපටය ජූරියේ සම්මානයකින් පිදුම් ලබයි. ඒ හොඳම විශ්වීය පණිවුඩය රැගත් චිත්‍රපටය වෙනුවෙන් ගී‍්‍රන්රෝස් සම්මානයයි.

සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ස්වර නීටා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. ස්වර ලබාගත් මෙම සම්මානයට ‘සරසවිය’ අපේ උණුසුම් සුබපැතුම් ගෙන එන්නෙමු.


අරුණි මල්ලවාරච්චි තිරයට ගෙනෙන සීමා නෑ ආකාසේ වැඩ ඇරැඹේ

මාධ්‍යවේදිනියකට ප්‍රධාන චරිතය ලබා දෙමින් තිර කතා රචක නිහාල් බණ්ඩාර ‘සීමා නෑ ආකාසේ’ නමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙයි. අරුණි මල්ලවාරච්චි එලෙස රිදී තිරයට හඳුන්වා දෙන මාධ්‍යවේදිනිය වේ. ඇය සමඟින් පුබුදු චතුරංග මෙහි ප්‍රධාන නළු භූමිකාවට පණ පොවනු ලබයි.

තාරුණ්‍යය තේමා කොට ගෙන නිර්මාණ්‍ය වන සීමා නෑ ආකසේ නිහාල් බණ්ඩාරගේම තිර රචනයකි.

ඔහුගේ අධ්‍යක්ෂණයට බුද්ධදාස විතානාච්චි, ශ්‍රියානි අමරසේන, සංගීතා තදානි, චාම් ඩික්මන්, සංජුල දිවාරත්න, සම්පත් ජයවීර, රොහාන් ප්‍රියදර්ශන, කල්ප කැලුම්, ගයාන් හෙට්ටිආරච්චි, තිළිණ බණ්ඩාර සීමා නෑ ආකාසෙහි රංගනයේ යෙදෙනු ඇත.

චිත්‍රපටයේ නිෂ්පාදකවරයා තිස්ස උපජිත් බාලසූරියයි. ජේ. රුවන් කැමරා අධ්‍යක්ෂවරයාය. සහාය අධ්‍යක්ෂණයෙන් සුනෙත් රසාංග එක් වෙයි. ශ්‍රීලාල් වික්‍රමගේ ගේ නිෂ්පාදන කළමනාකරණයකි. දීප්ති මංගලසෝමගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වෙන සීමා නෑ ආකාසේ වෙනුවෙන් නලීන් ප්‍රේමතිලක අංග රචනයේ යෙදෙයි. ප්‍රවීන් ජයරත්න මෙය සංස්කරණය කරයි. මංජු ගුණවර්ධන කොණ්ඩා සැකසුම්කරු වේ.


සඳුදා සුජාත දියණිය යයි

අභීත දියණිය එයි

මේ වන විට විකාශය වනුයේ සුජාත දියණිය මාලා නාටකයෙහි අවසන් කොටස් කිහිපයයි. රටක් වසඟ කළ සුජාත දියණිය හෙවත් අප ආදරය කළ චංගුමීගේ නික්ම යාම ලබන සඳුදා දිනයේදී සිදුවනු ඇත. එතැන් පටන් එම ගුවන් කාලය වෙන් වනුයේ එවැනිම වූ රසවත් සහ ආදර්ශමත් කතාවකටයි.

සුජාත දියණි අපෙන් සමුගන්නේ අභීත දියණිය කැඳවාගෙන එමිනි. එය එදින සිටම ජාතික නාලිකාවෙහි සෑම සතියේ දිනකම රාත්‍රී 6.30 – 7.30 දක්වා පුරා හෝරාවක් ප්‍රේක්ෂක ඔබේ මනදොළ පිනවීමට සූදානමිනි.

දකුණු කොරියාවේ එම්. බී. සී. ආයතනයේ නිෂ්පාදනයක් වන මෙහි මුල් නම වනුයේ ද ජවෙල් ඉන් ද ක්‍රවුන් (දොංයි) වේ. සුජාත දියණිය සේම අභීත දියණිය ද හඬ කැවීමට ලක්වනුයේ අතුල රන්සිරිලාල්ගේ අධීක්ෂණය යටතෙහිය.

මෙය ආදරය, වෛරය, වරද සහ සමාව දීම, සාධාරණය, අසාධාරණය, සරල බව, සංකීර්ණත්වය අතර දෝලනය වෙමින් අධිෂ්ඨානය සහ සත්‍යවාදී බව පෙරටු කර ගනිමින් ජීවිතය ජය ගන්නා දොංයි නම් වූ තරුණියකගේ කතාවයි.

කුඩා අවධියේදීම පියා සහ සොහොයුරා අහිමිව අනාථ දැරියක වන දොංයි බුද්ධිමත්, අනලස්, චතුර, කරුණාවන්ත හදවතක් ඇත්තියකි. රජ මාලිගයේ වාද්‍ය අංශයේ ශිල්පීන් හට අත් උදවු සපයන වහල් සේවිකාවක ලෙස අප්‍රසිද්ධව දිවි ගෙවන්නේ ඇය පිළිබඳ ආරක්ෂක අංශ ප්‍රධානීන් තොරතුරු සොයන බැවිනි.

කොරියානු පොසොන් අධිරාජ්‍යයේ පාලක සුක්ජෝන් රජුගේ අහඹු හමුවීම ඇයගේ දිවියේ නව මං පෙත් විවර කරන්නට වූහ. එතැන් පටන් දොංයි ගේ කතාව දිග හැරෙනු ඇත.

සත්‍ය කතාවක් පදනම් කර ගනිමින් නිර්මාණය වූ අභීත දියණිය දකුණු කොරියාවේ ක්‍යොංගිදෝ, චොංගු සහ යොංගින් ෂී යන පළාත්වල රූගත කොට තිබේ.

මෙය පළමු වතාවට දකුණු කොරියාවේ එම්. බී. සී. ජාලය මගින් විකාශය කරන ලදී.

මෙහි දොංයිට පණ පොවනුයේ හන් හ්‍යෝජ විසිනි. ඊබ්‍යුන් හුන් සහ සං හ්‍යුප් අභීත දියණිය හි අධ්‍යක්ෂවරුන්ය. මුල් නිපැයුම කිම් හෝ යුං, අන් සං ගක්, ඊ සේ ජුං යන තිදෙනාගෙනි. මුල් පිටපත කිමි යි යොංගේ රචනයකි.

ද ජවෙල් ඉන්ද ක්‍රවුන් අභීත දියණිය කිරීමට මෙරටින් දායක වූ සම්පත් දායකත්වය මෙසේය.

හඬ කැවීම සහ නිපැයුම – අමාලි විජේසේකර, තුසිත විදානපතිරණ

හඬ සටන සහ මුසුව - අසංක කුමාරපේළි, සුමුදු විජයවර්ධන

දෙතොල් සම දෙබස් පිටපත – නන්දා ජයමාන්න, බන්දුල විතානගේ, බුද්ධිමා කරුණාරත්න, ඉදුමිණි දර්ශිකා, තිළිණි ගුණතිලක, උදාරි සේනාරත්න, වත්සලා සේනානායක

තේමා ගී තනු - නුවන් සමරසිංහ

ගී ගැයුම් – ඇන්ජලීන් ගුණතිලක, ශෂිකා නිසංසලා

මෙහෙයුම් සහාය – අනුර ධර්මසේන, රංජිත් ද සිල්වා

හඬ කැවීම් නිපැයුම, සංස්කරණය, තේමා ගී පද – අතුල රන්සිරිලාල්

හඬ කැවීමේ ශිල්පීන්- කරුණාරත්න අමරසිංහ, පරාක්‍රම පෙරේරා, සීලරත්න සෙනරත්, සෝමසිරි චන්ද්‍රසේන, නිමල් ජයසිංහ, උලපනේ ගුණසේකර, රෝහණ සිරිවර්ධන, කමල් ගමගේ, මිලින්ද පෙරේරා, නයනා ජයතිලක, කුසුම් පීරිස්, ගීතා කාන්ති ජයකොඩි, මෙලනි අශෝකා, ගීතානන්ද අබේගුණවර්ධන, කුමාරි පෙරේරා, ඉනෝකා බොතේජු, ෆර්නි ;රීෂිණී, අචලා ගුණසේකර, අප්සරා ජයවර්ධන, ඩබ්ලිව්. ඒ. නිමල්, පියුමි විජේවර්ධන, ඉසිනි තිසාරා, චතුක දිවාශන, ශක්ති ලක්නාථ, ටෂන්ති සිරිවර්ධන, වසන්ති රන්වල, තිළිණි අතුකෝරාල, සමීර ගුණතිලක