|
මගේ නමින් ෆේස් බුක් එකේ කවුදෝ වංචා කරලා
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය සමඟ කතා බහක්
මම අනුලා වගේම ගමට ආදරෙයි
කුරුලු පිහාටු මෙන් සුසිනිඳු, මනාලියන්ගේ මල් කළඹ මෙන් අලංකෘත නේක විධ මලින් බර වූ ... සියොතුන්ගේ ප්‍රේමාන්විත ගී නිතර කන වැකෙන සිත් වසඟ කරවන ගම් පියසකි. සිය ගණන් ගිරා මලිත්තන් තියුණු මිහිරි හඬ නඟමින් නිදහසේ උන්ගේ ලෝකවල සතුට, සුවය විඳියි. නිවෙස්වල ඇතිකරන ‘පුංචි ආදර කුරුල්ලකු’ මෙන් දෙගුණයක් විශාල හරිත පැහැයේ සිට මොනරපිලේ නීලවර්ණය දක්වා ද ලා කහ පැහැයද ගත් පිහාටුවලින් සුසැදි නේක විධ පක්ෂීන් මේ ගම් පියසේ ඕනෑ තරම්ය. ඒ කුරුල්ලන්ගේ කිචිබිචිය අසමින් ‘මටත් ඒ වගේ නිදහසේ ඉන්න ඇත්නම්’ යැයි සිතන ප්‍රියමනාප, හුරු බුහුටි, දැකුම්කලු දැරියකි. නගරයේ ගිනි ගහන කොන්ක්‍රීට් මාලිගා අතර සිර වී පාසලේ දී හා නේවාසිකාගාරයේ දී විවිධ දඟ වැඩ කළ දඟමල්ල, ගමට පැමිණි පසු ගමේ සිරියාවෙන් තැන්පත් වූ සෙයකි. මේ කලකට ඉහත තිරගත වූ ‘අඟර දඟර’ චිත්‍රපටයේ ගඟනී ය. ඒ අඟර දඟරට ගඟනී වූ ළදැරිය අද ලංකාවම කතා කරන සම්මානනීය ළමා නිළියක වී සිටින්නීය. ශනුද්‍රි පි‍්‍රයසාද්, මවු කුසේ සිටම කලාව විඳගත් ඈ ‘අඟර දඟර’ චිත්‍රපටයේ ගඟනි ලෙස හරිම අපූරු රංගනයක නියැළුණාය. උපතින්ම රැගෙන ආ කලා ආභාෂය නිසා රූපණය ඇයට ආගන්තුක වූයේ නැත. එම නිසාම මෙවර රූපවාහිනී ජාතික සම්මාන උළෙලේ දී ඇය ‘හොඳම ළමා නිළිය’ ලෙස සම්මානනීය විය. ඒ සමන් කුමාර ලියනගේ ගේ ’සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යයේ අනුලාගේ ළමා කාලයට ජීවය දීම වෙනුවෙනි. තවමත් පාසල් වියේ සිටින මේ දඟමල්ල සරසවිය සමඟ සම්මානයේ සතුට බෙදා ගැනීමට එක්වූවාය. ශනු .... සම්මානය ලැබෙන වෙලාවේ මොකද හිතුනේ? ඇත්තටම, එදා සම්මානයක් මට ලැබෙනවා කියලා දැනගෙන හිටියෙ නැහැ. සම්මාන උළෙලේ රාත්‍රී 11 වෙනකම් අම්මියි මමයි හිටියා. රෑ 11 ට පහුවදා ඉස්කෝලේ යන්නත් ඕනෙ නිසා අපි එතනින් ආවා. මඟට එනකොට සමන් අංකල් (සමන් කුමාර ලියනගේ) කතා කරලා කිව්වා මට සම්මානයක් තියෙනවා එන්න කියලා. අපි ආපහු එතනට යනකොට සම්මානය අරන් තිබුණේ සමන් අංකල්. ඊට පස්සේ මම සම්මානය ගත්තේ සමන් අංකල්ගේ අතින්. මීට පෙරත් සම්මාන ලැබිලා තියෙනවද? ඔව්, රයිගම් ටෙලි සම්මාන උළෙලෙදිත්, ඕ.සී. අයි. සී. සම්මාන උළෙලෙදිත් මට කුසලතා සම්මාන ලැබිලා තියෙනවා. ඔයා රංගනයට අත්පොත් තියන්නේ කොයි කාලෙද? මට අවුරුදු තුනේ දී තමයි මම චිත්‍රපටයක රඟපෑවේ. ඒ ‘ඔන්න බබෝ’ චිත්‍රපටයේ. හැබැයි ඉතින් මගේ අක්කලා දෙන්නා (ඩිනක්ෂි, ශේෂාද්‍රි)ට ඉස්සරවෙලා මම තමයි රඟපෑවේ. ඔයා ජනප්‍රිය වුණේ කොයි චරිතයෙන් ද? අඟර දඟර චිත්‍රපටයේ දඟකාර ගඟනිගේ චරිතයෙනුයි, සඳගිරි පව්ව ටෙලි නාට්‍යයේ අනුලාගේ චරිතයෙනුයි තමයි. මට මඟ තොටේදී නංගිලා මල්ලිලාගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩියෙන්ම ලැබෙන්නේ ඔය චරිත දෙකට. මේ වෙනකොට දායක වෙලා තියෙන නිර්මාණ? ඔන්න බබෝ, රෝස කැලේ, සුවඳ දැනුනා ජීවිතේ, අඟර දඟර, ඔළුව ජපන් කඳ ජර්මන් චිත්‍රපට වලටත්, කුල කුමරිය, ටිකිරි හපන්නු, සඳගිරි පව්ව, උපුලී, කියන ටෙලි නාට්‍යවලටත්, කඩදහි මල් ඇතුළු ඒකාංගික නාට්‍ය කිහිපයකත් රඟපාලා තියෙනවා. ඔයාට රඟපාන්න චරිතයක් ලැබුණාම කාත් එක්කද ඒ ගැන කතා කරන්නේ? අම්මි එක්කයි, ලොකු අක්කි (ඩිනක්ෂි) පොඩි අක්කි (ශේෂාද්‍රි) එක්කයි. එයාලා මට රඟපෑම ගැන ගොඩාක් දේවල් කියලා දෙනවා. තාත්ති නම් කාර්ය බහුල නිසා වැඩිපුර කතා කරන්න ලැබෙන්නෙ නැහැ. එයා කියන දේවල් මට ටිකක් තේරෙනවා අඩුයි. ලොකු වුණාම ඒවත් තේරෙයි. අක්කිලා එක්ක රණ්ඩු කරන්නෙ නැද්ද? සපත්තුවලට, ඇඳුම්වලට රණ්ඩු කරනවා. මම තමයි රණ්ඩු පටන් ගන්නේ. දුක හිතුනම ආයෙත් මමම යාළු වෙනවා. මම මගේ අක්කිලාට ගොඩක් ආදරෙයි. ඔයා සිංදු කියන්නත් දක්ෂයිලු නේද? මම 2010, ලෝක කුසලානය වෙනුවෙන් ටෙහාන් අයියත් එක්ක සිංදුවක් කිව්වා. ම්...ම්...තව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ගයාත්‍රි නිසංසලා අක්කා ලියපු ගීතයක් යෂාන් එක්ක ගායනා කළා. ඇත්තටම මම රඟපානවට වඩා ගීත ගායනයට දක්ෂයි. අක්කිලා දෙන්නා තමයි රඟපාන්න දක්ෂ. එහෙනම් අපට අනාගතයේ දී සම්මාන ලබන ගායිකාවකුත් බලන්න පුළුවන්? අනේ නැහැ. මම රඟපෑමවත්, ගායනයවත් රැකියාවක් හැටියට කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම ආසා බැංකු නිලධාරිනියක් වෙන්න. දැන් ඉස්කෝලේ කීයෙද ඉගෙන ගන්නේ? කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ එකොළහ ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. ඉංගී්රසි මාධ්‍යයෙන් අගනුවර පාසලක ඉගෙන ගන්න ඔයාට ‘සඳගිරි පව්වේ’ අනුලා වගේ ගැමි ළමයකුගේ චරිතයක් හොඳට රඟපාන්න පුළුවන් වුණේ කොහොමඳ? පොත්පත් වලින් කියවලා. අම්මිලා තාත්තිලා එක්ක ගම්වලට ගිහින් තියෙන නිසා ඒ ගැන දැනගෙන හිටියා. ඒ වගේම අධක්ෂණයේ දී සමන් අංකල් ගේ මග පෙන්වීමත් වැදගත් වුණා. ඇත්තටම මම ගඟනි වගේ ගමට ආසයි. පොත් කියවනවද? ඉංග්‍රීසි ෆැන්ටසි පොත් වැඩියෙන් කියවනවා. මගේ එකම විනෝදාංශය හින්දි ෆිල්ම් බලන එක. මමයි අක්කිලා දෙන්නයි ඒවා බලලා හින්දියෙන් කතා කරන කොට අපේ අම්මි හින්දි සින්දුවල කෑලි එකතු කරලා ඒ වචන කියලා කතා කරනවා. ඔයාගේ රඟපෑම්වල ගුණදොස් කියන්නේ කවුද? අපේ අම්මි තමයි. අක්කිලා දෙන්නත් කියනවා. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය නිසා ෂූටිං යනවා අඩුද? මේ අවුරුද්දට නම් මොනවත් ටෙලි නාට්‍ය භාර අරන් නැහැ.අධ්‍යාපන කටයුතු ඉවර වුණාම බලමු. වේදිකා නාට්‍යවල රඟපාලා නැද්ද? අනේ මට කවුරුවත් තවම කතා කළේ නැහැනේ. ලොකු අක්කි නම් කැමැතියි ස්ටේජ් ඩ්‍රාමාවල රඟපාන්න. ඒත් එයත් ටෙලි නාට්‍යයත් එක්ක කාර්යබහුලයිනේ. ඔයා ෆේස්බුක්වල ඉන්නවද? අනේ අයියේ ඒ ප්‍රශ්නේ අහපු එක නම් ගොඩක් හොඳයි. මගේ නමින් බොරු ෆේස්බුක් එකවුන්ට් ගොඩක් තියෙනවා. දවසක් මගේ නමින්, මගේ ෆෑන් කෙනෙකුට කියලා රීලෝ්ඩ් එකක් දාලා. එයා මට කතා කරලා අහනවා රීලෝඩ් එක ආවද කියලා. අනේ ඒ නිසා මම නම් ෆේස්බුක් එකේ නැහැ. සම්මානයක් ලැබුණු සතුටට ස්තුති කරන්නේ කාටද? මගේ අම්මිට, තාත්තිට, අක්කිලා දෙන්නට, ඒ වගේම සමන් අංකල්ට, තව මගේ ෆෑන්ස්ලට. අර සිංදුව පොඩ්ඩක් කියමුද?
සිහිනයේ මල් සිහිනයේ . . .
සුබ පතමු ජය පතමු . . . ඒ වර්ල්ඩ් කප් සිංදුව. ඇගේ රංගනය වගේම, සිත බන්දන ගී රාවය ද හරිම අපූරුය. සම්මානයක සතුට විඳිමින් සිටින ශනුද්රිට ඇගේ සිහිනය සැබෑ වෙන්න සරසවිය අපි ඉත සිතින් සුබ පතමු.
|