|
රූපවාහිනියේ ලාංඡනයේ ඉන්නේ මගේ සැළලිහිණියාප්රදර්ශනය 10 දා ලයනල් වෙන්ඩ්ට්හිදී බන්දුල පීරිස්ගේ උඩුගං බලා මූර්ති, ලෝහ කැටයම් කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී හෙට (08) සිට ලබන 10 වැනිදා තෙක් මූර්ති, ලෝහ කැටයම් නිමැයුම් රැසක අසිරිය විඳගන්න ඔබට අවස්ථාව උදා වෙනවා. මූර්ති ශිල්පී බන්දුල පීරිස් ඔබ වෙත ගෙන එන මේ සුවිශේෂ නිර්මාණ එකතුව ‘උඩුගං බලා’ පිළිබඳ කළ සංවාදයයි මේ. ඔබ විසින් ඉදිරිපත් කරන උඩු ගං බලා ප්‍රදර්ශනය ගැන මුලින්ම විස්තර කරමු? මවිසින් කාලයක් පුරා කළ නිර්මාණ එකතුවක් තමයි මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන්නේ. මූර්ති, පිත්තල ලෝහ කැටයම් ඇතුළත් මෙවැනි ප්‍රදර්ශනයක් මම විසි වසරකට පමණ පසුවයි සිදු කරන්නේ. අද වන විට බොහෝ නිර්මාණ බිහි වන්නේ පරිගණකය ආශ්‍රයෙන්. පරිගණකය අපට උපකරණයක් විතරයි. නමුත් අද වන විට සියයට අනූවක් පමණ කාර්යයක් ඒ මත පැටවෙනවා. නමුත් නියම කලාව තියෙන්නේ අපේ අතේ. මට පෙන්වන්න උවමනා වුණේ එයයි. ඒ නිසා මෙය උඩු ගං බලා ලෙස නම් කළා. මෙය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නත් මම මූර්තියක් නිර්මාණය කළා. මේ ප්‍රදර්ශනයේදී ‘යටි ගං බලා’ නමින් එය ප්‍රදර්ශනය කෙරෙනවා. මේ විෂය ක්ෂේත්‍රයේ එදා මෙදාතුර ඔබේ ගමන් මග ගැනත් කියමු? 1970 – 75 කාලයේදී මම චිත්‍ර මූර්ති විෂය පිළිබඳ හැදෑරීමට කොළඹ රජයේ කලා හා කලා ශිල්ප විදුහලට (හේවුඩ්) ඇතුළත් වුණා. ඒ තුළින් තමයි මේ පිළිබඳ පූර්ණ අවබෝධය ලබා ගත්තේ. පසුව හුංගම විජයබා මහ විදුහලේ චිත්‍ර කලා උප ගුරුවරයෙක් ලෙස සේවයට එක් වුණා. පසුව 1977 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ලෝහ කැටයම් උපදේශක ලෙස කටයුතු කළා. මම රූපවාහිනී සංස්ථාවට ඇතුළු වුණේ 1982 වසරේදී. මාධ්‍ය රූප හා සජීවිකරණ ශිල්පියකු වශයෙන් සේවය කළා. එවිට බටහිර බර්ලින් නුවර ඉ ජ් ඕ ආයතනයේ සජීවිකරණ විෂය පිළිබඳ අධ්‍යයනයට ඇතුළත් වූ අතර 1988 වසරේදී මගේ ප්‍රථම මූර්ති හා කැටයම් නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වූවා. පසුව 1991 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේ පාඨමාලා අධ්‍යක්ෂ ලෙස කටයුතුª කර 2010 වසරේදී විශ්‍රාම ගත්තා. 1993 වසරේදී පරිගණක මාධ්‍ය රූප යනු කුමක්දැයි මුල්වරට හෙළි කරමින් සුවිශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වූවා. අනෙකුත් නිර්මාණ සමඟ සැසඳීමේදී ලෝහ කැටයම් හා මූර්ති කලාව තරමක් වෙනස් ස්වභාවයක් ගන්නවා නේද? නිර්මාණාත්මක ලෙස සිතීම මෙහිදී වැදගත් වෙන්නේ. ඇත්තටම මේ කලාවට වැඩි දෙනකු යොමුවන්නේ නැහැ. ලෝහ සැලසුම් ශිල්පය පාරම්පරික ලෙස පැවත එන එකක් ලෙසයි සැලකෙන්නේ. ඒක බර වැඩක්. ගින්දර සමඟ කටයුතු කරන්න සිදු වෙනවා. නමුත් නිර්මාණය වටිනාකම අතින් ගොඩක් ඉහළයි. ඔබේ අත්දැකීම් සමඟ වර්තමානයේදී මේ සඳහා යොමුවන පිරිස ගැන සඳහන් කළොත්? මෙහි තියෙන බැරෑරුම්කම නිසාම බොහෝ දෙනෙක් මේ සඳහා යොමු වෙන්නේ නැහැ. යොමු වුණත් ප්‍රායෝගික දැනුම ඉතාම අඩුයි. පාරම්පරිකව පැවත එන වගේම කුල ක්‍රමය නිසාත් සමහරු මේ සඳහා යොමුවෙන්න මැළිකමක් දක්වන බව පේනවා. නමුත් සමහරු මේ පිළිබඳ හදාරන අවස්ථා දකින්නට ලැබුණත් ප්‍රායෝගික පැත්තට යොමුවනවා අඩුයි. එදා මෙදාතුර ඔබ අතින් දැයට දායාද කළ නිර්මාණ? 1977 න් පසු පළ කෙරුණ ප්‍රසිද්ධ ප්‍රකාශන බොහොමයක කංචුක චිත්‍ර, රේඛා චිත්‍ර නිර්මාණය වුණේ මා අතින්. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ තෙවන මැදිරි ආලින්දයේ සන්නිවේදනයේ විකාශනය තේමා කර ගත් අර්ධ මූර්තිය, තොටගමුව තෙල්වත්ත පුරාණ රජ මහා විහාර භූමියේ ඉදි කළ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රතිමාව, මහනුවර දළදා මාලිගාවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන දියවඩන නිලමේවරු 18 දෙනාගේ උඩුකය මූර්ති නිර්මාණ බිහි වුණේ මා අතින්. එහිදී මුල් නිළමේවරු පස් දෙනාගේ රූප අප සතු නොවීම ගැටලුවක් වුණත් එකල ජනතාව අතර නිලමේවරයකුගේ ස්වරූපය හිතෙන් මවාගෙන තමයි ඒවා නිර්මාණය කළේ. නමුත් දළදා මාලිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ කම්පනයෙන් ඒ පහම විනාශ වුණා. යළිත් ඒවා නිර්මාණය කරන්න මට සිදු වුණා. ඒ වගේම 1980 වසරේ අලුත් පාර්ලිමේන්තුවට අත්තිවාරම තබනු දින සමරු කලාපයට මම සැළලිහිණියෙකු නිර්මාණය කළා. දැනට ජාතික රූපවාහිනියේ නිළ ලාංඡනය වන්නේ ද එයයි. විශ්‍රාම සුවයෙන් පසුවන ඔබ ඉදිරි කාලය වැය කරන්නේ? ලෝහ කැටයම් හා මූර්ති ශිල්පය වෙනුවෙන් තමයි මගේ කාලය දැන් වෙන් කෙරෙන්නේ. ඒක තමයි මගේ විනෝදාංශය. මේ ප්‍රදර්ශනයට වෙන් වූ නිර්මාණ පසුගිය කාලයේ මා අතින් නිර්මාණය වූ ඒවා. ඒ හැර වෙනත් වැඩ පිළිවෙළකට නම් යොමු වෙලා නැහැ. මට හැකිතාක් කාලයක් මෙවැනි නිර්මාණ ඉදිරයටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ උඩු ගං බලා මූර්ති හා ලෝහ කැටයම් ප්‍රදර්ශනය නරඹන්න එන්න කියලා සරසවිය පාඨක ඔබට ආරාධනා කරනවා.
|