වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කමල් හසන් - ෂාරුක් වර්ගවාදී අනතුරක

කමල් හසන් - ෂාරුක් වර්ගවාදී අනතුරක

විශ්වයේ රූපය වෙනස්ම අයුරකින් දකින්නට යාම නිර්මාණකරුවාගේ ස්වභාවයයි. මේ උඩුගං බලා යාමේදී ඔවුනට විවිධ ගැටලුවලට මුහුණ පාන්නට සිදුවීම ද අනිවාර්යය.

කවදත් අති දැවැන්ත සිනමා නිර්මාණ කරන කමල් හසන් ද මුහුණ පා ඇත්තේ එවන් වූ අකරතැබ්බයකටය. අමෙරිකානු ඩොලර් මිලියන 17.29 ක් (පවුම් කෝටි 95 ක්) වැයකර නිපද වූ සිනමාපටය උපන් තැනම වළලන්නට සිදුවේවි ද යන සාධාරණ චිත්ත පීඩාවෙන් ඔහු පසුගිය කාලයම ගත කළේය. එහෙත් දැන් ‘විශ්වරූපම්’ සිනමාපටයට දිගු නියං සමයකින් පසු වසන්තය උදා වී තිබේ.

සිනමාපටය තිරගත කිරීමට පැනවුණු නීතිමය තහංචි ඉවත් වූ පසු එය මුලින් තිරගත කෙරුණේ උතුරු ඉන්දියාවේයි. උත්තර ප්‍රදේශයේ සිනමාපටය පෙන්වන්නට තිබියදී සමාජ්වාදී පක්ෂයෙන් ඊට රතු එළි දැල්විණ. දැඩි ආරක්ෂාව යටතේ සිනමාපටය තිරගත කෙරුණි. ලක්නව් හි ෂුබ්හම් සිනමා ශාලාව ඉදිරිපිටත්, අග්‍රාවල සිනමා ශාලා සංකීර්ණයක් ඉදිරිපිටත් පැවැත්වුණු සුළු විරෝධතාවක් හැර කිසිදු බලපෑමක් තිරගත කිරීමට එරෙහිව ක්‍රියාත්මක නොවීය.

සිනමාපටය තිරගත කළ පළමු දිනයේ (පෙබරවාරි 1 වැනි දිනයේ) ආරම්භයේදී මඳ වශයෙන් ආදායම ලැබුණත් දැන් එය අනෙකුත් උත්තර භාරතීය සිනමාපට අතර වඩාත් සාර්ථක ලෙසින් තිරගත වන්නේය. 1981 දීී කමල් රැඟූ ‘ඒක් දූජේ කේ ලියේ’ සිනමාපටයෙන් පසු වඩාත් සාර්ථක ලෙසින් තිරගත වී තිබෙන්නේ මෙයයි. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, අයර්ලන්තය වැනි විදෙස් රටවල ද ජනවාරි 25 වැනිදා සිට සිනමාපටය තිරගත වූ අතර මේ වන විට හොඳ ආදායමක් ලැබෙමින් පවතී.

කමල් හසන්ගේ සිනමා රාජධානියේ එනම් දකුණු ඉන්දියාවේ සිනමාපටය තිරගත කෙරුණේ තරමක් ප්‍රමාදවීලායි. එනම් පෙබරවාරි 7 වැනිදායි. ජයලලිතා ද මතභේදකාරීන් හා සාකච්ඡාකර සිනමාපටය තිරගත කිරීම වෙනුවෙන් සටන් කළාය.

මුස්ලිම් ප්‍රජාවට සිනමාපටයෙන් කිසියම් සිත් රිදවීමක් වනු ඇතැයි කියා සිනමාපටයට නීතියෙන් තහංචි පැනවුණු විට ඊට එරෙහිව කමල් සමඟ ඉන්ද්‍රඛීලයක් සේ නැඟී සිටියේ ඔහුගේ සිනමා හිත මිතුරා රජිනිකාන්ත්ය.

උතුරු ඉන්දියාවෙන් සල්මන් ඛාන් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

විශ්වරූපම් ඉන්දියානු සිනමාවේ සුවිශේෂී සලකුණක් වන්නේ තිරගත කිරීමට නීතිය සමඟ කිරීමට සිදු වී ඇති අරගලය නිසා නොවෙයි. එය ඒභපධ 3ච් ශබ්ද තාක්ෂණය යොදා නිම කළ ලොව දෙවැනි සිනමාපටය වන නිසයි. මේ ශබ්ද තාක්ෂණ ක්‍රමය යෙදූ පළමුවැනි සිනමාපටය 2012 දී තිරගත වූ අමෙරිකානු යුද සිනමා පටයක් වූ රෙඩ් ටේල්ස්ය. ඒ වාගේම මෙය ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් සැටලයිට් ක්‍රමයට නිපද වූ පළමුවැන්න ද වෙයි. ත්‍රාසජනක සිනමාපටයක් වන විශ්වරූපම් සිනමාපටයේ කමල් හසන්ට අමතරව පූජා කුමාර්, රාහුල් බෝස්, ඇන්ඩ්‍රියා ජෙරමියා, සම්රත් චක්‍රබාර්තී, සරීනා වහබ්, නසාර්, ෂේකර් කපූර් ඇතුළු නළු නිළියෝ රැසක් රඟති. නීතිමය තහංචි නිසා කමල්ට සිනමාපටයේ සුළු වෙනස් කිරීම් කිහිපයක් කිරීමට සිදුවිණි.

විශ්වරූපම් රූගත කිරීම ඇරැඹුණේ 2011 වසරේදීයි. මුලින්ම සිනමාපටයේ කතා නායිකාවට, කමල් හසන්ගේ බිරියගේ චරිතයට තෝරා ගෙන සිටියේ සෝනක්ෂි සිංහය. චරිතය සඳහා ඇයට අමෙරිකානු ඩොලර් 364,000 ක් (පවුම් කෝටි 2 ක්) ගෙවීමට ද එකඟ වී තිබුණි. එහෙත් රූගතවීම් ප්‍රමාද වීම නිසා ඇය සිනමාපටයෙන් ඉවත් වූවාය. පසුව කත්‍රිනා, දීපිකා, සෝනම්, විද්‍යා, සමීරා රෙඩ්ඩි වැනි තාරකාවන්ගේ නම් යෝජනා වුව ද අවසානයේදී චරිතය හිමි වූයේ පූජා කුමාර්ටය. ඇය නිව්යෝර්ක් හි මෝස්තර නිරූපිකාවකි. නිළියකි. කමල්ට පූජා හඳුන්වා දී ඇත්තේ ඔහුගේ වර්තමාන පෙම්වතිය වන ගෞතමීය.

වර්ගවාදී සිනමාපටයක් නිර්මාණය කිරීම නිසා කමල් හසන් බරපතළ ගැටලුවකට මුහුණ පා තිබියදී ෂාරුක් ඛාන් ද වර්ගවාදය නිසා පඹ ගාලක පැටලී සිටියි.

පකිස්ථානු රජයේ ප්‍රකාශයක් මේ පඹ ගාලකට මුල පුරා ඇත. ‘ෂාරුක් ඛාන්ට ඉන්දියාව අනාරක්ෂිත නම් පකිස්ථානය ඔහු පිළිගැනීමට සුහද ලෙසින් බලා සිටිනවා’ යන හෆිස් සහීඩ්ගේ ප්‍රකාශය ගැටලුකාරී තත්ත්වයක් උදාකර ඇත. ෂාරුක්, භාරත දේශයේ යෝධ සංකේතයකි. දේශ සීමාවක් නැතිව ලොව පුරාම රසිකයෝ ඔහුට ඇළුම් කරති.

ෂාරුක් ටර්නිං පොයින්ට් නම් සඟරාවට කළ සාකච්ඡාවේදී පැවැසූ දේ වරදවා වටහා ගැනීමෙන් පකිස්ථානයේ සහීඩ් මෙවැනි ප්‍රකාශයක්කර තිබේ. පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහෙමාන් මලික් ෂාරුක්ට ඉන්දියානු රජයෙන් නිසි ආරක්ෂාව ලබා දිය යුතු බව පැවසීමෙන් ප්‍රශ්නය උත්සන්න විය.

මේ සියලු ගැටලු ලිහෙන ආකාරයේ පිළිතුරක් ෂාරුක් ලබා දුන්නේය. ‘ඉන්දියාවේදී මා ඉතා සුරක්ෂිතයි. ඉන්දියානුවෙක් වීම ගැන සැබැවින්ම ආඩම්බරයි. මගේ ලිපියෙන් මතභේදාත්මක දේ ඇති කරන්න එපා!’

ඔහුගේ සිත නොසන්සුන් වී ඇති මේ කාලයේදීම අඬන ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වාගේ, සිනමා රූගත කිරීමකදී සල්මන් ඛාන් ෂාරුක්ගේ රංගනය සමච්චලයට ලක්කර තිබේ. සල්මන්, ෂාරුක් තරු යුද්ධය කලක සිට පැවතෙන්නකි.