වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය - සරසවියක් කළ මහාචාර්ය ආර්. ඩී. (ඩයස්) ගුණරත්න

සරසවිය - සරසවියක් කළ

මහාචාර්ය ආර්. ඩී. (ඩයස්) ගුණරත්න

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන මහාචාර්ය ධුරය දැරූ

ආර්. ඩී. ගුණරත්න

අඩ සිය වසරක් ඉක්ම ගොසිණි. එහෙත් සරසවිය තවමත් විරාජමානව වැජඹේ. අඩ සිය වසක් පුරා සිනමාව ගැන කතා කළ සරසවිය ආරම්භයේදී එයට දායක වන්නට ලැබීම මා දකිනුයේ භාග්‍යයක් ලෙසය. එය අහඹු සිදුවීමක් වුවත් එකී වාසනාව ලැබීම ගැන මම අද ද සිහිපත් කොට සිතින් සතුටක් ලබමි. පුවත්පත් කලාවේදියකු ලෙසින් මා ජනතා පත්තරයේ ප්‍රවෘත්ති අංශයට එක් වූයේ 1961 වසරේදීය.

එවක එහි ප්‍රධාන කර්තෘවරයා වූයේ වෙත්තසිංහ මහතාය. ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළේ එඩ්මන් රණසිංහයන්ය. ජනතාවේ සේවය කළ ද ලේක්හවුස් වෙනත් පුවත්පතකට ලිවීමට අවසර තිබිණ. එකම ආයතනයේ බැවින් වෙන් නොවී සහෝදර බැඳීමකින් කවුරුත් වැඩ කිරීම ද එවක කර්තෘ මණ්ඩලවල තවත් සුවිශේෂී ගුණයක් විය. එබැවින් මම ජනතා පත්තරයේ සේම සිළුමිණ පත්තරයේ ද වැඩ කළෙමි. සිළුමිණ පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා වූයේ මීමන ප්‍රේමතිලකයන්ය. එහි ප්‍රධාන උප කර්තෘවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ විමලසිරි පෙරේරා මහතාය. මේ අවදියේ සිනමා පත්තර කිහිපයක් නිකුත් වුව ද ඒ අතර ජනප්‍රිය වූයේ විසිතුර පුවත්පතය.

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වූ රංජිත් විජයවර්ධන මහතාට ද සිනමා පත්තරයක් පටන් ගැනීමේ ආශාවක් ඇති විය. ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාව ද එවක මෙරට ජනප්‍රිය සිනමා මුද්‍රිත මාධ්‍යයක් විය. එබැවින් මෙවැනි පුවත්පතක අවශ්‍යතාවය අවබෝධ කරගත් රංජිත් විජයවර්ධන මහතා සරසවිය ආරම්භ කිරීමේ මූලික කටයුත්ත භාර දෙනු ලැබුවේ එවක සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වූ මීමන ප්‍රේමතිලකයන්ටය. මීමන ප්‍රේමතිලකයන්ගේ මිතුරකු වූ පරසතු මල්, කුරුලු බැද්ද, සිකුරු තරුව ආදී චිත්‍රපට රැසක තිර රචනය කළ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න අලුත් පුවත්පතට සරසවිය නම යෝජනා කෙරිණි.

ඒ සඳහා කාගේත් කැමැත්ත පළ විය. 1963 අප්‍රේල් දහවෙනිදා සරසවිය මුල්වරට නිකුත් වූයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී.එල්. ගෞතමදාසයන්ගේ තෙලිතුඩින් ඇඳි චිත්‍රයකින් මුල් කවරය සැරසීගෙනය. කලාප කීපයක් මුද්‍රණය වීමත් සමඟ තමා හැදූ සරසවිය වඩා ගැනීමේ වගකීම මීමන ප්‍රේමතිලකයන් විමලසිරි පෙරේරා මහතාට භාර කරනු ලැබුවේය. ඒ පාලන අධිකාරියේද අවසරය මතය. එතැන් පටන් සරසවිය වඩාගෙන හැදුවේ විමලසිරි පෙරේරා මහතාගේ නායකත්වය යටතේය.

සරසවිය කර්තෘ මණ්ඩලය සඳහා විමලසිරි පෙරේරා මහතා හැරුණු විට තවත් දෙදෙනකු ස්ථිර සේවකයන් ලෙස එක් කොට තිබිණි. ඉන් එක් අයකු වූයේ මාය. එයට මා යොමු කළේ පාලන අධිකාරියයි. අනෙක් තැනැත්තා වූයේ නිමල් පෙරේරා අබේවර්ධනයන්ය. නිමල් ඒ වන විටත් ආයතනයේ ප්‍රධාන ඡායාරූප සංස්කාරක ලෙස කටයුතු කළ දක්ෂතා රාශියකින් හෙබි කෙනෙක් විය. ඇත්තටම නිමල් පෙරේරා සරසවියට මිණිපහනක් විය. සරසවියේ යන ලිපි ලේඛන සකස් කිරීමත්, එයට උචිත අයුරින් ලිපි සම්පාදනය මා වෙත පැවරුණු කටයුතු අතර ප්‍රධාන විය.

විමලසිරි මහතාගේ නායකත්වය තුළ නිමල්ගේත් මගේත් සහයෙන් ටික කළක් එළි දුටු සරසවියට පිටතින් බොහෝ අය ලිපි සැපයුවේය. 1966 මැද භාගය වන විට මා සරසවියට සමුදීමට තීරණය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රැකියාවට යාමට සිදුවීමත් සමඟය. මගේ අඩුව පිරවීමට සරසවියට එක් වූයේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ය. ඔහු විමලසිරිට හොඳ ජවයක් එක් කරමින් සරසවිය විරාජමාන කිරීමට උත්සුක වූයේ තවත් බොහෝ දක්ෂතාවන්ගෙන් පිරි ලේඛකයන්ගේ ද සහායෙනි.

සරසවියෙන් සමුගෙන ගිය ද මා ටික කලක් යන තුරු සරසවියට ලිව්වෙමි. හැත්තෑව දශකය වනතුරු ලේක්හවුස් ආයතනයට පැමිණියෙමි. ඒ මා මිත්‍ර බෙනඩික්ට් දොඩම්පේගම හමුවීමේ අභිලාෂයෙනි. චිත්‍රපට විචාර ලිපි බොහොමයක් මා වරින්වර ලියන ලද්දේ සිළුමිණ පුවත්පතටය. අතීතයේ සරසවියේ මැද පිටුව බොහෝ විට මගේ ලිපියකින් සැකසීමට විමලසිරි මහතා උත්සුක විය. නම්‍යශීලී මටසිලිටු භාෂා විලාසයකින් සිත්ගන්නා ලෙස ඉදිරිපත් කරමින් රසාලිප්තව මා ලියන රචනා ශෛලිය වඩාත් අගය කළ විමලසිරි මහතා බොහෝ සාර්ගර්භ ලිපි ලිවීම මට පැවරුවේය.

ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල සේ අපේ නළු නිළියන් ද සම්මානයෙන් අගැයීමේ කටයුත්තට මුල පිරීමට රංජිත් විජයවර්ධනයන් උත්සුක වූයේ ඒ වන විට අපේ සිංහල සිනමාවේ ද විශාල පිබිදීමක් ඇතිවෙමින් තිබූ අවධියක් වූ නිසාය. දක්ෂතා අගයමින් ඔවුන් දිරිමත් කොට සිංහල සිනමා කර්මාන්තයේ පුනර්ජීවනයට ශක්තියක් එක් කිරීමට සරසවිය සම්මාන පිදීම ඇරැඹියේ 1964 දීය. විල්මට් පෙරේරා මුල්ම සරසවිය සම්මාන උළෙලේ චිත්‍රපට විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් පත් විය. සරසවිය සම්මානයේ ලෝහමය පිළිරුව තැනීම තිස්ස රණසිංහයන්ට භාර විය. සරසවිය සම්මාන උළෙලේ ඇරැඹුමට සරස්වතී අභිනන්දන ගීතයක් අවශ්‍ය විය.

විමලසිරි පෙරේරා මහතා මෙය ලබා ගැනීමට අවශ්‍ය වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතිනි. බහුශ්‍රැත දැනුමත්, පෙර අපරදිග ගීත කලාව පිළිබඳවත්, පුවත්පත් කලාව පිළිබඳවත් හසල දැනුමක් ලබා තිබූ මානවසිංහයන් සොයා දිනක් මමත් විමලසිරි පෙරේරාත් එතුමන්ගේ නිවසට ගියෙමු. ඒ යන දවස වන විටත් මානවසිංහයන් සිටියේ අසනීප තත්ත්වයෙනි. විමලසිරි පෙරේරාගේ ඉල්ලීම අහක දැමීමට සිත් නොදුන් මානවසිංහයන් පැය දෙක තුනක් අප සමඟ කතාබහ කළේ අසනීප තත්ත්වයද නොකතාය. ඒ කතාබහේදීම කොළයක් අතට ගෙන ගී පද වැලක් එක හුස්මට මානවසිංහයන් ලියා ගෙන ගියේය. ඒ වන විටත් බොහෝ රෑ බෝ වී තිබිණි. ඒ ගැන වගක්වත් සිතට නොගත් අපිදු මානවසිංහයන් අතින් ලියැවෙන ගීතය කුමක් ද යන්න කුතුහලයෙන් යුතුව බලා සිටියෙමු. ටික වේලාවකින් ඔහු විමලසිරි මහතා අත කොළ කැබැල්ල තැබුවේ, විමලසිරි මෙන්න පද ටික කියා කියමිනි.

එහිදී මානවසිංහයන් අපුරු ඉල්ලීමක් ද කෙරිණි. මේ පද ටිකට තනුව දාගන්නත් කියව ගන්නත් ඕනෑ අමරදේවගෙන්. උඹේ ඉල්ලීම මම කරල දුන්නා. දැන් මේක අරන් ගිහින් මගේ ඉල්ලීම ඉටු කරපන්. ඒ මානවසිංහයන්ගේ ඉල්ලීම විය. අපිදු ඔහුගේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු කළෙමු. ජගන් මෝහිනී මධුර භාෂිණී චාරු දේහිනී කමල වාසිනී සරස්වතී දේවි වන්දේ සරස්වතී දේවී . . . ගීතය අද රට පුරා සරස්වතිය අභිනන්දනය වෙනුවෙන් ගැයෙන සරසවිය ගීතය ලියවුණේ එපරිද්දෙනි. මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම නිළිය වූයේ පුණ්‍යා හීන්දෙණියයි. හොඳම නළුවා වූයේ ඩී. ආර්. නානායක්කාරය. සම්මාන උළෙල අවසන් වී මාස කීපයක් ගිය තැන ‘සරසවිය සිනමා’ නමින් වාර්ෂික සඟරාවක මංගල කලාපය නිකුත් කෙරිණි. මෙහි සැකසුම් සියල්ල භාර වූයේ මටය.

 සඟරාව පුරා කලා නිමැවුම සිදු වූයේ නිමල් පෙරේරා අතිනි. සිබිල් වෙත්තසිංහයන්ගේ චිත්‍රයෙන් ද, ඇස්. ආර්. හේමපාලගේ සිරස්තල අක්ෂරයන්ගෙන් ද හැඩ වූ මෙහි මංගල කලාපයේ කවරය සැකසුණේ එවර හොඳම නිළිය වූ පුණ්‍යාගේ වෛවර්ණ ඡායාරූපයකිනි. සම්මාන උළෙලේ ඡායාරූප ද සමඟින් ඩී. ආර්. නානායක්කාර, රුක්මණී දේවි, ජීවරාණි කුරුකුලසූරිය, ගාමිණී ෆොන්සේකා, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, ආනන්ද ජයරත්න, ක්ලැරිස් ද සිල්වා, හෙන්රි ජයසේන, ලීනා ද සිල්වා, ෆ්ලොරිඩා ජයලත් ආදීන් පිළිබඳ ලිපි හා ඡායාරූප ද ඇතුළත් කෙරිණි. විල්මට් ඒ. පෙරේරා, සිරි ගුණසිංහ, රෙජී රණසිංහ, එල්මෝ ගුණරත්න, ජෝ අබේවික්‍රම, ඩබ්ලිව්. ඩී. අමරදේව, මාර්ටින් වික්‍රමසිංහ, පී. කේ. ඩී. සෙනෙවිරත්න, ටයිටස් තොටවත්ත, එල්මෝ ගුණරත්න, ගුණදාස අමරසේකර, ආර්. ඩී. කේ. ජයවර්ධන, ලෙස්ටර් ජේම්ස් පීරිස්, රූබී ද මෙල්, හර්බට් ඇම්. සෙනෙවිරත්න, ධර්මපාල වෙත්තසිංහ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මේ සඳහා ලිපි රචනා කළේය. සියලු ලිපි සංස්කරණය කොට සඟරාව නිර්මාණය කිරීමේ කටයුත්ත මා අතින් සිදු විය. 1964 නොවැම්බර් මස 24 වැනිදා ‘සරසවිය සිනමා’ පාඨක දෝතට පත් කෙරිණි. එදිනම පැය කීපයක් තුළ සියලු පිටපත් විකිණී අවසන් විය. පිටපත් දස දහසක් මුද්‍රණය කළ ද උණු කැවුම් මෙන් ඒ සියල්ල අලෙවි වීමත් සමඟ සමහරු සඟරාව සොයා ලේක්හවුස් පැමිණියේය.

මෙතරම් ඉක්මනින් මෙහි පිටපත් අලෙවි වීම නිසාම රංජිත් විජයවර්ධනයන්ට තවත් පිටපත් මුද්‍රණය කරමු යැයි මම යෝජනා කළෙමි. එහෙත් ඔහු ඒ සඳහා ස්ථිර වචනයක් නොදුන්නේ යම් හෙයකින් වැඩිපුර මුද්‍රණය කිරීමෙන් පාඩුවක් ලබන්නට සිදු වේද කියා සිතූ නිසාදැයි මම නොදනිමි. කෙසේ හෝ සරසවිය සිනමා සඟරාව එළි දකින විට සම්මාන උළෙල සඳහා සරස්වතී අභිනන්දන ගීතය ලියූ මානවසිංහයන් සදහටම අප අතහැර ගොසිනි.

එකල සිළුමිණේ සිට සරසවියට ලියු බෙනඩික්ට් දොඩම්පේගම අගනා පුද්ගලයෙක් විය. ඔහු සමඟ මා නිතර කතාබහ කළේ සිනමාව පිළිබඳවය. නිමල් පෙරේරා ද අමුතුම ආකාරයේ චරිතයකින් හෙබි පුද්ගලයෙක් විය. මේ දෙදෙනාගෙන්ම මට ලැබුණේ ලොකු සහයෝගයකි. එවක තිබූ විසිතුර සිනමා පත්තරය අබිබවා යමින් පාඨක ග්‍රහණය සරසවියට නතුªකර ගැනීමට අපට වැඩි කලක් නොගොස් හැකියාව ලැබිණි.

එකල කොම්පඤ්ඤවීදියේ කාසල් නමින් හෝටලයක් තිබිණි. නිමල් පෙරේරාට ස්කූටරයක් ද තිබිණි. අපි දෙදෙනා දවල් ආහාරය සඳහා වැඩිපුර ගියේ කාසල් හෝටලයටය. නිමල්්ගේ ස්කූටරයේ නැඟී කාසල් හෝටලයට යන අපි පැය ගණනක් වාද විවාද කරනුයේ සමහර අවස්ථාවල ආහාර ගැනීම පසෙක තබාය. ඒ සියලු වාද විවාද සරසවිය පත්තරයේ නිමැවුමට අදාළ දේවල්ය.

සරසවිය සමඟ මා ගෙවූ කාලය කෙටි එකකි. ඩයස් ගුණරත්න ලෙසින් මා සරසවිය පාඨකයන් අතරට සිනමා ලොවේ තොරතුරු රැගෙන විත් එයින් මා නික්ම ගිය පසු රාජකාරි කටයුතුª නිසාවෙන් සරසවිය හා තිබූ බැඳීම් දුරස් වී ගියේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන මහාචාර්ය ධුරය දරන්නට වාසනාවන්ත වූ ආර්. ඩී. ගුණරත්න නම් වූ මා අදත් විශ්මිත වු දෙනෙතින් ආපසු හැරී බලනුයේ පණස් වසක් ගොසිනුත් තවමත් වැජඹෙන සරසවිය පුවත්පත කලා ලොවේ දිදුලන ආකාරය දෙසය. එහි මුල් පහන්සිළ දල්වන්නට මා ද දායක වූ බව හැඟෙන විට අද මට දැනෙන්නේ කිව නොහැකි තරම් සතුටකි.