|
චරිත කතාවක වඩා වැදගත් එහි යටි පෙළයි
නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස ගෙනෙන
නුවන් නයනජිත් කුමාර
ග්‍රන්ථය එළි දැක්වෙන්නේ 12 වැනි අඟහරුවාදා පස්වරු 3.00 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේදී. ග්‍රන්ථයේ පරිච්ඡේද අනුව මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, තිස්ස ලියනසූරිය, රවීන්ද්‍ර රන්දෙණිය, එම්. ඩී. මහින්දපාල, ජැක්සන් ඇන්තනි කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතයි.
ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ ලාංකේය සිනමාවේ සුපෝෂණය උදෙසා විවිධ අංශයන්ගෙන් පුරෝගාමී සහ අද්විතීය මෙහෙයක් ඉටු කළ විප්ලවකාරී චරිතයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරය. නමුදු බොහෝ වර්තමානිකයන් තුළ ඒ ඉතිහාසය පිළිබඳ ඇත්තේ අල්ප වූ දැනුමකි. නොඑසේ නම් අමතක වූ ‘මතකයකි’.
සිනමා හා කලා විචාරකයකු මෙන්ම ලාංකේය සිනමාව පිළිබඳ වටිනා ග්‍රන්ථ කිහිපයක්ම පාඨක ලොවට තිළිණ කළ මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර මෙවර අතගසා ඇත්තේ ආචර්ය නිහාල්සිංහ චරිතය මෙන්ම ඔහුගේ කලා මෙහෙවර පිළිබඳ පර්යේෂණාත්මකව හා විචාරාත්මකව අධ්‍යයනය කොට සුවිශේෂ ග්‍රන්ථයක් එළි දැක්වීමේ අභියෝගාත්මක කාර්යයටයි. නුවන් එය නම් කොට ඇත්තේ ‘නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස’ යනුවෙනි. මේ සංලාපය ඒ පිළිබඳය. ටයිටස් තොටවත්තයන් පිළිබඳ මා ලියූ සොඳුර ැ අදියුරු සකසුවාණෝ කෘතියේ මම එන්නේ ලංකාවේ සහ ලෝකයේ සංස්කරණ ශිල්පය ගැන කතා කරන්න. ටයිටස්ගේ චරිතය අපි පැත්තකින් තියමුකෝ. එහි යටි පෙළක් තියෙනවානේ. ඒ තමයි සංස්කරණ ශිල්පය. ඔහු සංස්කරණ ශිල්පයෙන් අපේ සිනමාවට දායක වූ අයුරු වගේ දේවල්. මගේ ඊළඟ පියවර තමයි නිහාල්සිංහ. ඔහු තමයි මම දකින්නේ අපේ සිනමාවේ එතෙක්, මෙතෙක් බිහි වූ අග්‍රගණ්‍ය සිනමා කැමරා ශිල්පියා. හරි, ඒ හරහා ඔහුගේ ජීවිත කතාවයි, නිර්මාණ භාවිතයයි ගැන කියන එක හැරුණාම කැමරාකරණයේ ඉතිහාසය මේ කෘතියේ තියෙනවා. ලංකාවේ සිනමා කැමරා ශිල්පය බිහි වූ හැටි, එහි ප්‍රවණතා සහ ඔහුගේ පුරෝගාමීත්වය. එතකොට මේ හරහා සිනමාව ඉතා ඉක්මණින් විශ්ව විද්‍යාලයේ උපාධි මට්ටමේ විෂයයක් බවට පත්වනු දැකීම තමයි මෙහි අනෙක් අරමුණ. නිහාල්සිංහයන් පිළිබඳ දන්නා අය, නොදන්නා දේත් මේ කෘතියේ අනතර්ගතයි. ඔබ මේ සුවිශේෂතා හඳුන්වා දෙන්නටත් උත්සුක වෙනවා? කෙනෙක් හිතන්න පුළුවන් නිහාල්සිංහ කියන අපේ සිනමාවේ සුවිශේෂී චරිතය විතරමයි මේ පොතේ තිබෙන්නේ කියලා. නැහැ. මේ පොතේ යටි පෙළක් තියෙනවා. මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා අසංක ඒ යටි පෙළ පාඨකයන් හා විචාරකයන් අතරට කොහොම හරි යයි කියලා. නිහාල්සිංහයන් පිළිබඳ යමකු අනුමාන වශයෙන් දන්න දේ මම මේ කෘතිය ඛ්රහා ඔප්පු කොට තිබෙනවා. ඒ වගේම මම අලුත් මතත් ගේනවා. ප්‍රධාන දේ තමයි ඔහු ලංකාවේ අග්‍රගණ්‍ය කැමරා ශිල්පියා. ඊළඟට විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන් අතලොස්සගෙන් කෙනෙක්. ඒ වගේම ආසියානු සිනමාවට සිනමාස්කෝප් කැමරාව හඳුන්වා දුන් පුරෝගාමියා නිහාල්සිංහ. ඔහු ලාංකිකයෙක්. ඒක හරි වටිනවා. ඒ 1971 දී ‘වැලිකතර’ චිත්‍රපටයෙන්. අපේ සිනමාවට හස්තගත කැමරාව හඳුන්වා දුන්නෙත් නිහාල්සිංහ? ඔව්. ඒ විතරක් නෙවේ. නිහාල්සිංහ තමයි ආසියානු සිනමාවට හස්තගත කැමරාව ගෙනා දෙවැන්නා. පළමුවැන්නා ජපානයේ කසු මියගා. ඔහු තමයි ‘රෂොමොන්’ චිත්‍රපටයේ කැමරා ශිල්පියා. නිහාල්සිංහයන් ඒ පුරෝගාමී මෙහෙවර සිදු කළේ ‘සත්සමුදුර’ චිත්‍රපටයෙන්. නිහාල්සිංහ නමැති සිනමා පරිපාලකවරයා පිළිබඳවත් ඔබ මෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා? චිත්‍රපට සංස්ථාව පැත්තෙන් සිදු වූ ඔහුගේ පරිපාලන කටයුතුනේ අපි මූලිකව දන්නේ. ඒ වගේම නිහාල්සිංහ තමයි දකුණු ආසියාවේ ප්‍රථම වර්ණ රූපවාහිනී වෘත්තීය ආයතනය ආරම්භ කරන්නේ. ඒ තමයි ‘ටෙලිසිනේ’ ආයතනය. ඒ එක්කම දකුණු ආසියාවේ පළමුවැනි ප්‍රාසාංගික ටෙලි නාට්‍යය ‘දිමුතු මුතු’ නිර්මාණ කළේත් ඔහු. එතකොට ඒ කාර්යයන් පිළිබඳ කතා කරන අතර මේකේ යටි පෙළ තමයි ඔහුගේ සුවිශේෂත්වය පිළිබඳ මතුªකරන කාරණා. අපේ සිනමාවේ ස්වර්ණමය යුගය ‘නිහාල්සිංහ යුගය’ කියන මතය තහවුරු කරන්නට ඔබ මෙහි ප්‍රමුඛ ස්ථානයක් දී තිබෙනවා? ඔව්. ඒ ඔහු ඊට නියම සුදුස්සෙක් නිසා. ඇතැමුන් එසේ කීවත් ඊට ප්‍රතිවිරුද්ධ මතවාදත් තියෙනවානේ, එය ස්වර්ණමය යුගය නෙවෙයි කියලා? ඉතින් එහෙනම් මොකක්ද . . ., කාගේද . . .? ඇඟිල්ල දික් කරලා පෙන්නන්න එපායැ . . . මෙහෙමයි, ඕනෑම රාජ්‍ය ආයතනයක ස්වර්ණමය යුගයක් බිහි කරන්න නම් ඔහු විෂයයට නියම සුදුස්සෙක් වෙන්න ඕනෑ. ඒ වගේම ඔහුගේ චින්තනය, පෞරුෂය. ඔය තුනම නිහාල්සිංහයන්ට තිබුණා. ඔහු චිත්‍රපට සංස්ථාවේ මහා කළමණාකාර හැටියට කටයුතුª කළේ 1972 සිට 1979 දක්වා වූ කාලය තුළයි. නිහාල්සිංහයන්ගේ මා දකින තවත් විශේෂත්වයක් තමයි ඔහුට හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න බැරි තැනදීී ඔහු ඉල්ලා අස් වුණා. 1979 වසරේ අපේ රටේ රූපවාහිනී ආගමනය සිදු වෙනවා. ඒ වසරේම තමයි නිහාල්සිංහයන් සිය සේවයෙන් සමුගන්නේ. ඔහුගේ සේවා කාලය තුළ මෙරටේ තිබූ සංවෘත ආර්ථික රටාව තුළ නිහාල්සිංහයන්ට ඒ ගමන යන්න විශාල අභියෝග තිබුණේ නැහැ. මේ කාල වකවාණු හා සමාජ පෙරළිවලට සාපේක්ෂ්ව බලද්දී ‘ස්වර්ණමය යුගය’ නිහාල්සිංහයන්ට නිසැක උරුමයක්ව තිබුණා යැයි කවරකු හෝ පැවසුවහොත්? ඔබ මතු කරන්නේ වැදගත් කාරණාවක්. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ මෙහෙමයි. නිහාල්සිංහයන් ගියාට පස්සේ ඇන්ටන් වික්‍රමසිංහ මහත්තයානේ ආවේ. එතකොට ඔහු නිහාල්සිංහ මහත්මයා කරගෙන ආපු වැඩ පිළිවෙල නතර කර දැම්මා. ඉන් පස්සේ ක්‍රියාත්මක වුණේ වෙනත් න්‍යාය පත්‍රයක්. නිහාල්සිංහ යුගයේදී ණය දුන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලත් පිරිසට විතරයි. ඒ නිසා චිත්‍රපට පෝළිමක් තිබුණේ නැහැ. නමුත් වික්‍රමසිංහ මහත්තයා ඉවක් බවක් නැතිව හැමෝටම චිත්‍රපට හදන්න ණය දුන්නා. පෝළිම් දිග් ගැහුණා. ප්‍රේක්ෂකයෝ අඩු වුණා. ඒ. ජේ. ගුණවර්ධන කමිටුව පත්කළාම ඒ අර්බුදය රූපවාහිනී පිට දැම්මේ ඇන්ටන් වික්‍රමසිංහ මහත්තයාගේ දුර්වලත්වය වහ ගන්න. එතකොට රූපවාහිනිය සිනමාවට තර්ජනයක් වුණේ නැතිද? 1979 දී අපේ රටට රූපවාහිනිය ලැබුණාට අවුරුදු කිහිපයක් යනතුරු ව්‍යාප්තව තිබුණේ නැහැනේ. රූපවාහිනිය මෙරට ස්ථාවර වීමට පෙර අපේ පේ‍්‍රක්ෂකයෝ සිනමාවෙන් ඈත්වෙලා හිටියේ. නිහාල්සිංහ පරිපාලනය බාර ගනිද්දී අපට හිටියේ ප්‍රේක්ෂකයෝ මිලියන තිහයි. 79 වසරේ ඔහු ආපසු යන කොට ඒ සංඛ්‍යාව මිලියන 74.4 දක්වා වැඩි කරනවා. ඒ විශ්මිත වර්ධනය හිතා ගන්න බැරුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල් නිහාල්සිංහයන්ගේ ක්‍රමවේදය මොකක්ද කියලා හොයන්න අපේ රටට එනවා. ලෝ්කයේ හැම රටක්ම මේ රූපවාහිනී අර්බුදයට මුහුණ දුන්නා. එය ජය ගත්තා. නමුත් එවකට තිබූ කලමණාකාරීත්වයේ දුර්වලකම් නිසා අපට ඒ අභියෝග ජය ගත නොහැති වුණා. නමුත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ එතුමිය විසින් රාජ්‍යය ආයතන තුනකට අති දක්ෂ පාලකයන් තිිදෙනෙක් පත් කළා. කවුද ඒ? එක් කෙනෙක් නිහාල්සිංහ. ඊළඟට ගුවන් විදුලි සංස්ථාවට රිජ්වේ තිලකරත්න සහ ඖෂධ සංස්ථාවට සේනක බිබිලේ. ඔවුන් තිදෙනාම විෂයයට සුදුසුයි. අනෙක් කෙහෙල්මල් නෙවේ. අනෙක් එක පෞරුෂත්වයක් සහ චින්තනයක් තිබ්බා. ඒ තුණ සම්පූර්ණ නොවූ කිසිම කෙනෙකුට කවදාවත් ස්වර්ණමය යුගයක් බිහි කරන්න බැහැ කිසිම රජයක් යටතේ. නිහාල්සිංහ චරිතය සෘජුව හා වක්‍රව ඔබේ දිවි මගට බලපෑ අයුරුත් ඔබ මෙහි විග්‍රහ කරනවා. ඒ පිළිබඳ සැකෙවින් කතා කළොත්? සිනමාවට තිබූ අසීමිත ඇල්ම නිසා මම පොඩි කාලේ ඉගෙනීම් කටයුතු පසෙකලා චිත්‍රපට බැලීමේ උමතුවක් තිබුණා. ස්කෝලෙ ඇරිලා එන්නෙම චිත්‍රපටයක් බලන්න. ඒ වීඩියෝ ඩෙක් එක ආපු කාලේ. අපි තමයි පළමුවැනි පරම්පරාව වී. එච්. එස්. එක වැළඳ ගත්තු. හැම තාක්ෂණයක්ම එන කොට මාර දෙයක්නේ. කොටින්ම පළවෙනි චිත්‍රපටය ගෙදර බැලුවේ මහ දවාලේ දොර රෙදි එල්ලලා, අඳුරු කරලා. මොකක්ද බලපු පළමු චිත්‍රපටය? වීඩියෝ මාධ්‍යයෙන් බැලුවේ රාජ් කපූර්ගේ හින්දි චිත්‍රපටයක් බොබී. 1979 වසරේ ඒ අත්දැකීම මම ලැබුවේ. එතකොට මට අවුරුදු තුනයි. මට ඒ ෆිල්ම් එකේ මතක ‘මේ ෂායර් තෝ නහී’ කියන සිංදුවේ එක ජවනිකාවක් විතරයි. හැබැයි මට තවම පුදුමයි ඒක මතක තිබුණ එක ගැන. පස්සේ මම ‘බොබී’ බැලුවා තුන්හතර පාරක්. නමුත් අරක තමා මුල්ම අත්දැකීම. මම ඔබේ කතාවට බාධා කළා . . .? තාත්තා හරියට දුක් වුණා මම ඉගෙන ගන්න එකක් නැහැ කියලා. පවුලේ එකම ළමයානේ. අම්මයි, තාත්තයි දෙන්නාම කනගාටු වුණා පුතා බයිස්කෝප් කාරයෙක් වෙයි ද කියලා. දවසක් තාත්තා බලන් ඉඳලා බැරිම තැන එක පාරටම කිව්වා, ඔයා සිනමාවේ ඕනෑ විෂයයක් තෝරා ගන්න. හැබැයි ඉගෙනීමට මුල් තැන දෙන්න කියලා. මොකද ඒ කාලේ රඟපාන්න, අධ්‍යක්ෂණයට මගේ කැමැත්තක් තිබුණා. ‘ඔයා කැමැති විෂයයක් තෝරා ගන්න, හැබැයි නිහාල්සිංහ අංකල් ඔය ඔක්කොම කරන්න කලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාවට උපාධියක් අරගෙන තිබුණා’ කියා තාත්තා එදා කිව්වා. මේක මගේ ඔළුවට මාරෙට වැදුණා. එතන ඉඳලා තමයි මම චිත්‍රපට බැලීම සීමා කරලා ඉගෙනීම දියුණු කරගන්න පටන් ගත්තේ. ඇත්තටම එහෙම බලපුවාම මම දැන් ආචාර්ය උපාධිය කිට්ටුවටම ඇවිත් ඉන්නවනේ. ශාස්ත්‍රවන්තයාගෙන් කලාකරුවාට කෙතරම් ආලෝකයක් ලැබෙනවාද කියලා මට දැන් හිතෙනවා. ඒ වගේම, නිහාල්සිංහයන් හා මම දෙදෙනාම ආනන්ද විද්‍යාලයේ වීමත් බලපෑවා. අනෙක් එක තාත්තාගේ යාළුවොත් නිතරම උදාහරණයට ගන්නේ නිහාල්සිංහයන්ව. ‘දැන් බලන්නකෝ නිහාල්සිංහ මහත්තයාගේ තාත්තා පත්තරකාරයෙක්. ඔයාගේ තාත්තත් පත්තරකාරයෙක්. ඕකම තමා පොඩි කාලේ මගේ කන වැකුණේ.
ඩී. බී. නිහාල්සිංහයන්ගේ මවුපියන් පිළිබඳත් ඔබ මෙම කෘතියේ දීර්ඝ ලෙස කතාබහ කරනවා? ඩී. බී. ධනපාල කියන්නේ ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය පුවත්පත්කලාවේදියා. ඒ කියන්නේ එයා තමයි නොම්බර එක. එදත්, අදත්. ඔහු අතික්‍රමණය කළ පුවත්පත් කලාවේදියෙක් තවමත් බිහි වූයේ නෑ කියන මතයට විරුද්ධ මතයක් කවුරුවත් ගේන්නේ නෑ. ඔහු තමයි සිංහල හා දේශීය පත්තර කලාව බිහි කරන්නට මුල් වුණේ. ඔහු පුවත්පත් කලාවට එන්න කලින් තිබුණ සිංහල ජාතික පුවත්පතනේ දිනමිණ. හැබැයි ඒක ‘ඩේලිනිවුස්’ පුවත්පතේ පරිවර්තනයක්. එතකොට නිදහස ලැබීමට පෙර දිනමිණට හිටියේ කර්තෘ මාණ්ඩලිකයන් නෙවෙයි, පර්වර්තකයෝ. ධනපාල මහතා තමයි ‘ලංකාදීප’ හරහා සිංහල ජාතික පත්තර කලාව ආරම්භ කළේ. ඒ විතරක් නෙවේ පුවත්පතක හැඩතල පවා නිර්මාණය කළේ එතුමන්? ඔව්. රූ රටා, එතකොට වස්තු විෂය. පත්තර ප්‍රභේද ඒ කියන්නේ කාන්තාවන්ට කාන්තා පත්තර, ළමයින්ට ළමා පත්තර, ටැබ්ලොයිඩ් පත්තර ඒ සියල්ල හඳුන්වා දුන්නේ ඔහු. ඊළඟට අලුත් පත්‍රකලාවේදීන් පරම්පරාවක්, ඒ තරම් ගෝලයෝ පිරිසක් හඳුන්වා දුන් වෙනත් අයෙක් නැති තරම්. අමරදේවට ශිෂ්‍යත්වයක් ලබා දෙන තැන ඉඳලා, විචාරක පරම්පරාවල්, කලාකරුවන් සියලු දේ හඳුන්වා දීමට මුල් වුණේ ඔහු. ඒ සියල්ලටම වඩා අදීන පත්තර කලාව කියන එක ඔහු අපට කියා දුන්නා. ඒ අදීනත්වය පිළිබඳ ඕනෑ තරම් සාධක අපට හමුවෙනවා. ඩී. බී. ධනපාලයන් ගැන හා ඔහුගේ බිරිය රතී ධනපාල යුවළ ගැන මම මේ කෘතියේ වෙනම පරිච්ඡේද කිහිපයක් වෙන් කළේ ඇත්තෙන්ම ඔවුන් දෙපළ ඩී. බී. නිහාල්සිංහයන්ගේ මවුපියන් වූ නිසාම නොවේ. අපේ රටේ බිහි වූ විශිෂ්ට පුරවැසියන් දෙදෙනෙක් වූ නිසයි. අනෙක මේ තිදෙනා දම්වැලක පුරුක් මෙන් අවියෝජනීයව එකට බැඳී සිටිනවා. රතී ධනපාල මහත්මිය ගැනත් යමක් කිව යුතුයි. තාගෝර්තුමාගේ අවසන් ශ්‍රී ලාංකික ශිෂ්‍යාව ඇයයි චිත්‍ර හා මූර්ති ශිල්පය පිළිබඳ. මාපලගම විපුලසාර හාමුදුරුවෝ, තිස්ස රණසිංහ වැනි උසස් ගණයේ මූර්ති ශිල්පීන් මෙතුමියගේ ගෝලයෝ. විශේෂ යමක් කීමට තියනවාද? නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස මම පිළිගන්වන්නේ මගේ මවුපියන්ට හා ඩී. බී. ධනපාල සහ රතී ධනපාල නාමයන්ට. ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ෆාස්ට් පබ්ලිකේෂන් හා සුරස පොත් අධිපති ප්‍රේම් දිසානායකට. ඔහු තමා ‘අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණාතා’ කෘතියෙන් මාව ග්‍රන්ථකරණයට හඳුන්වා දෙන්නේ. ඒ වගේම ‘සරසවි’ ප්‍රකාශකයෝ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හරහා මට විශාල අනුග්‍රහයක් ලබා දෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා අධිපති බන්දුල ඒකනායක මහතාත් බැතිබරව සිහිපත් කරනවා.
|