වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

සූරසේන චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක වූයේ කුමක්ද?

රංජිත් සොයිසා - මොරටුව

සූරසේන චිත්‍රපටයට පාදක වූයේ මලෙයි කල්ලන් නමැති ජනප්‍රිය දෙමළ චිත්‍රපටය බවයි ප්‍රසිද්ධ මතය. කෙසේ වුවත් එම්. ජී. ආර්. හා වී. බානුමතී රඟපෑ මලෙයි කල්ලන් චිත්‍රපටය අතිශය ජනප්‍රියවීමත් සමඟ එය භාෂා පහකින් නිර්මාණය වූවා. එම්. ටී. රාමරාඕ, පී. බානුමතී යොදාගෙන ‘අග්නි රාම 3’ නමින් තෙළිගු චිත්‍රපටයකුත්, දිලිප් කුමාර් හා මීනා කුමාරි යොදා හින්දි භාෂාවෙන් අසාදි නමිනුත්, මලයාලම් බසින් ‘තස්කර විරාත්’ නමිනුත්, කණ්නඩ බසින් ‘බේනාද කල්ලා’ නමිනුත් චිත්‍රපට නිර්මාණය වූවා.

මෙම චිත්‍රපට සියල්ලම නළු නිළියන් පමණක් වෙනස්වන එකම පසුතලවල එකවර රූගත කෙරුණු ඒවායි. මේ සියල්ලට පාදක වූයේ වා රාමලිංගම් පිල්ලේ විසින් රචනා කරන ලද ‘මලෙයි කල්ලන්’ නමැති නවකතාවයි.

සිනමාවට සම්බන්ධ රංජිත් පෙරේරලා කී දෙනෙක් සිටියෝද?

ආනන්ද ප්‍රනාන්දු – නිට්ටඹුව

දිනුම් කණුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රංජිත් පෙරේරා, තහනම් ගහ, සඳමඬල නිෂ්පාදනය කළ රංජිත් පෙරේරා හා සිනමා නළු රංජිත් පෙරේරායි.

සමහර චිත්‍රපට පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරු කැඳවා සාකච්ඡා පැවැත්වීම ඔබ දකින්නේ කිනම් අයුරකින්ද?

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව

ඕනෑම ක්ෂේත්‍රයකදී ඒ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබෙන බහුතරය එහෙම සාකච්ඡාවලට සහභාගී වීම අදාල ක්ෂේත්‍රයේ අයට මහෝපකාරී වන දෙයක් හැටියටයි.

බොහෝ එෆ්. එම්. නාලිකාවල ගායකයාගේ නමත්, රචකයාගේ නමත් සඳහන් කරනවා අඩුයි. එයට හේතුව කුමක්ද?

සරත් වික්‍රමසිංහ – අතුරුගිරිය

ඒ ඒ නාලිකාවලට නිර්මාණය විනා අනෙක් කරුණු වැදගත් නැතිව ඇති.

වසර 66 ක් සපිරුණු අපේ සිනමාව ඔබට හිතෙන විදියට දැන් පසුවෙන්නේ තරුණ වියේද, මහලු වියේද? එහෙමත් නැත්නම් මරණාසන්න අවදියේද?

කරු මන්දාවල – නාත්තන්ඩිය

සිනමාවේ පැරැණි දේවල් කාලානුරූපව මහළු වී නැති වෙනවා. හැබැයි අලුත් පරම්පරාවක් එනවා. මා හිතන්නේ සිනමාව යාවත්කාලීන වෙනවා. යාවත්කාලීන නොවන සිනමාවේ හැම දෙයක්ම මහලුව විනාශ වී යනවා.

ද්‍රවිඩ සිනමාවේ ‘ඥාණ සුන්දරී’ නමින් චිත්‍රපට දෙකක් තිබුණාද?

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩසන් – වෙන්නප්පුව

ඔව්. ඥාණ සුන්දරී නමින් චිත්‍රපට කිහිපයක් තිබුණා. එකක් 1929 කළ නිහඬ චිත්‍රපටයක්. දෙවැන්න 1961 නිපදවූවක්.

ජනප්‍රිය නිළියක්ව සිටි සුරේනි සෙනරත් රඟපා ඇති චිත්‍රපට මොනවාද? ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට මොනවාද?

කමල් ප්‍රියන්ත – නාක්කාවත්ත

ඇය, ලොකු තාත්තා, අමරණීය ආදරය, ඩොක්ටර් සුසන්තා, රස රහසක් ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවා. ඇය රඟපෑ ‘ස්වාමි භක්තිය’ චිත්‍රපටය තිරගතවීමට නියමිතයි.

‘අහසින් පොළොවට’ චිත්‍රපටය කුමන හෝ සම්මානයක් ලබා ගත්තෙහිද?

මණිකේ විල්වල – කෑගල්ල

අහසින් පොළොවට චිත්‍රපටයට කයිරෝ අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී තුන්වැනි ලෝකයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා. 1984 දී පළමු ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය වූයේද එයයි.

සමහර නවක රංගන ශිල්පිනියන්ගේ රඟපෑම් දැක්කම ලයිට් කණුවලට පණ ඇවිත් කියලා හිතෙනවා නේද?

සුජාතා ගුණවර්ධන – කඩවත

මොන නවකද සමහර ප්‍රවීණ අය දැක්කාමත් මට එහෙම හිතෙනවා.

කේයස්ගේ ‘සුදෝ සුදු’ කවි කතා සංග්‍රහය විදෙස් කෘතියක අනුකරණයක්ද?

රනිල් වීරසිරි – මල්වාන

අනුකරණයක් කියා සෘජුවම කියන්න මට බැහැ. සුප්‍රකට කිවි ටෙනිසස්ගේ අතිශය ජනප්‍රිය ‘ඉනොක් ආර්ඩින්’ කාව්‍ය සංග්‍රහයට යම් සමානකමක් තියෙනවා. සංගම්, පර්ල් හාබර්, මනුෂ්‍යත්වය, විජයබා කොල්ලය වගේ කතාත් මෙයට සමානයි.

ප්‍රවීණ සංගීත ශිල්පී ‘සිහශක්ති’ සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා පසුගියදා අසනීප තත්ත්වයෙන් පසු වූ බව දැන ගන්නට ලැබුණා. ඔහුට දැන් සුවයිද?

අචිනි විලෝකා - හොරණ

ඔහු දැන් හොඳින් තමන්ගේ නිර්මාණ කටයුතුවල නියැලෙනවා.