වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




‘ජෝති සැමරුම් ප්‍රසංගය’ 12 වැනි දා සවස නව නගර ශාලාවේදී

‘ජෝති සැමරුම් ප්‍රසංගය’ 12 වැනි දා සවස නව නගර ශාලාවේදී

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 77 වන ජන්ම දිනය පෙබරවාරි 12 වැනි දිනට යෙදී ඇත.

මේ නිමිත්තෙන් එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම මඟින් සුපුරුදු පරිදි පින්කම් රැසක් සිදු කිරීමට මෙවරත් සූදානම් වේ.

එදින උදෑසන 10 ට මාලිගාවත්ත ‘එච්. ආර්. ජෝතිපාල මාවතේ’ පිහිටි ජෝති පිළිරුව අබියස දී වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් සහ අධ්‍යාපනය ලබන කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලා වෙත පොත් පත් බෙදා දීමේ පින්කමක් ද සිදු කෙරෙන අතර ඉන්පසු ‘ජෝති පිළිරුවට’ මල්දම් උපහාර පිදීමට ද සැලසුම් කර ඇත.

එම සංගමයේ සාමාජික සාමාජිකාවන් පමණක් ගීත ගායනා කරන “ජෝති ජන්ම දින සැමරුම් ප්‍රසංගය” සවස 6.00ට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අනුරුද්ධ කරුණානායක ප්‍රමුඛ ‘සාරංගා’ සංගීත කණ්ඩායම සංගීතයෙන් රස ගන්වන මෙම ප්‍රසංගය නැරඹීමට අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ රසික රසිකාවන් සියලු දෙනාට සහභාගී වන ලෙස ‘ජෝති මිතුරු සමාජය’ ආරාධනා කර සිටී.

නර්තන ශිල්පී රංජන සූරිය බණ්ඩාර භාරතයේ අගැයීමට....

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ මදුරාසියේ ආර්යපුරම් හි ටී. එන්. රාජරත්නම් රංග ශාලාවේදී පැවැත්වූ ඝාන මුකුඩප්ප්‍රිය ජාත්‍යන්තර නර්තන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘භාරත නෘත්‍ය රංජන කලා නිකේතනය, ඇකඩමි ඔෆ් ෆයින් ආට්ස් ශ්‍රී ලංකා’ ආයතනයේ ප්‍රවීණ භරත නාට්‍යාචාර්ය රංජන සූරියබණ්ඩාර විශේෂ ගෞරවයෙන් පිදුම් ලැබූ අතර එම ප්‍රසංගයට ඉදිරිපත් වූ ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්මාන, සහතිකපත් ලබා ගත්හ.

මෙය මහාචා්රය ගෝපාල් ක්‍රිෂ්ණන් මැතිතුමාගේ ආරාධනයෙන් පැවැති අතර මේ සඳහා විවිධ රටවලින් නර්තන කණ්ඩායම් රැසක් සහභාගී වූහ. ඒ අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම නර්තන කණ්ඩායම විශේෂ අගැයීමට ද ලක් වූහ.

වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර නර්තන උළෙලට 2011 – 2012 වසර දෙකෙහිම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම භරත නෘත්‍ය රංජන කලා නිකේතනය, ඇකඩමි ඔෆ් ෆයින් ආට්ස් ශ්‍රී ලංකා ආයතනය ලැබූ විශේෂ අවස්ථාවකි.

නර්තනාචාර්ය බැසිල් මිහිරිපැන්නයන්ගේ බැලේ නර්තනයක් දැක නර්තන කලාවට ලොබ බැඳගත් රංජන, මිහිරිපැන්නයන්ගේ ‘ශාරදා කලා නිකේතනයෙන්’ නර්තනයේ අත් පොත් තැබීය. පසුව 1999 වසරේ දී ඉන්දියාවට ගොස් ශ්‍රීමතී වසන්තා කුමාර් ගුරුතුමිය යටතේ භරත නාට්‍යම් තත්ත්ව දක්වා හැදෑරීය.

පසුව ලංකාවට නැවත පැමිණි ඔහු ගම්පහ ‘භරත නෘත්‍ය රංජන කලා නිකේතනය’ නමින් නාට්‍ය පාසලක් ආරම්භ කර අද දක්වා දැයේ දරුවන්ට දැනුම බෙදා දෙමින් සිටී. මේවන විට කුරුණෑගල, කොළඹ සහ මාවනැල්ල යන නගරවලත් එහි ශාඛා පැතිරී ඇත.