වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු චිත්‍රපටයේ කතාව 05

ඉන්දියානු චිත්‍රපටයේ කතාව 05

විදුලිය සමග චිත්‍රපට

සියවසක් ගෙවී තවත් සියවසක් ගෙවී යමින් තිබිණ. එළැඹුණේ විසි වන සියවසයි.ඒ සියවස සිනමාවේ සියවසයි.ප්‍රංශයේ පැතේ ෆෙරර් (පැතේ සහෝදර )සමාගම සිය චිත්‍රපට කණ්ඩායමක් කල්කටාව බලා පිටත් කරන ලද්දේ සියවස ආරම්භයේමය. ලෝකයේ දැනට ද ක්‍රියාත්මක වන පැරණිතම සිනමා සමාගම වන පැතේ ෆෙරර් සමාගම ඉන්දියාවේ දී හිරාලාල් සෙන් හා එක් වී වාර්තා චිත්‍රපටකරණයට බටුයේය.

එලෙස චිත්‍රපට නිර්මාණය උදෙසා ඉන්දියාවට පැමිණි මුල්ම සිනමා සමාගම වූයේ ද පැතේ ෆෙරර් ය.චාර්ල්ස් පැතේ එම සහෝදර සමාගමේ නිර්මාතෘවරයා විය.චාර්ල්ස් සිය ජීවිතය ඇරඹුවේ ඇමරිකාවේ තෝමස් අල්වා එඩිසන්ගේ සිනමා උපකරණ යොදවා චිත්‍රපට ප්‍රදර්ශනය අරඹමිනි.එහෙත් ඉක්මනින් ඔහු සිය ව්‍යාපාරය දියුණු කරන ලදදේ චිත්‍රපට උපකරණ නිෂ්පාදනයට යොමු වෙමිනි. එමෙන්ම ඉතා ඉක්මනින් ඔවුහු සිනමා නිර්මාතෘවරුන්වූ ලුමියේ සහෝදරවරු අබිබවා සිය ව්‍යාපාර ලෝකය පුළුල් කළේ චිත්‍රාගාරයක් ද අරඹමිනි.එමෙන්ම චිත්‍රපට උපකරණ නිෂ්පාදනයට ද ඔවුහු උර දුන්හ.ඔහුගේ අනෙක් ව්‍යාපාරික සහෝදරයාවූයේ එමිල්ය.

පැතේ සහ හිරාලාල් එකතුව පැතේට හිරාලාල්ට නම් විශාල අත්දැකීමක් ගෙන දුන්නේය.ඔහු කල්කටාවේ විවිධ මාවත් ඔස්සේ ඇති දර්ශන ද එහිම හූග්ලි ගංගාව,කුකුළු පොර ආදි නගරයේ විවිධ තැන් රූ ගත කළේය.එපමණක් නොව ඒ වන විට කල්කටාවේ ක්ලැසික් රංග ශාලාවේ වේදිකා ගත වූ විවිධ නාට්‍ය දර්ශන රූ ගැන්වූ හිරාලාල් පසුව ඒ දර්ශණ අදාල නාට්‍ය අතරමග ප්‍රදර්ශනය කළේය.අලිබබා, හරිරාජ්,දෝලේ ලීලා,බුද්ධ,සීතාරාම්,සරලා වැනි අතිශය ජනප්‍රිය නාට්‍ය දර්ශන ඒ අතර විය.

මේ කටයුත්ත කෙතරම් ජනප්‍රියවීද යත් ඒ වන විට කල්කටාවේ ජනප්‍රිය වේදිකා නළුවන් වු අමර් දත්තා,ගිරිශ් ගෝශ්,අම්රිත් ලාල් භෝෂ්. සහ කුසුම් කුමාර් වැනි නළු නිළියන්ගේ විවිධ රංගනයන් වෙනවෙනම ද රූ ගන්නවා හිරාලාල් සෙන් විසින් ප්‍රදර්ශනයට එක් කරන ලදී.කොටින්ම ඉන්දියාවේ මුල්ම චිත්‍රපටය හැදෙන්නටත් කලින් මෙකී වේදිකා නළුවන් සිනමා කැමරාව ඉදිරිපිට චරිත නිරූපණය කළහ.මේ සියල්ල ප්‍රදර්ශනය වනුයේ ක්ලැසික් රංග ශාලාවේ නාට්‍ය පෙන්වන අතරතුර ලැබෙන විවේක කාලයන් අතරතුරය.හිරාලාල් එයටත් වඩා වාර්තාවක් තැබුවේ ඉන්දියාවේ මුල්ම වෙළඳ දැන්වීම් යුගල චලන චිත්‍ර මගින් නිර්මාණය කරමිනි.ඒ සී.කේ. සෙන්ගේ ජබකුසුම් නමැති හිස තෙල් සහ භාත්ටෝ කිස්ටෝ පෝල් ගේ එඩ්වර්ඩ් ටොනික් පිළිබඳවය.

1905 වසර වන විට බෙංගාල ප්‍රාන්තය දෙකට බෙදා ඇසෑම් ප්‍රාන්තය නමින් නවතම ප්‍රාන්තයක් ඇරඹීමට බ්‍රිතාන්‍යය කල්කටාවේ නව ආණ්ඩුකාරවරයා වූ ඇන්ඩෲ ෆ්‍රෙෂර් කටයුතු කළේය. එයට විරුද්ධව බෙංගාල වාසින් විරෝධතා අරගල දියත් කරන ලදී.ඉන්දියානු ජාතික කොංග්‍රසය ස්වදේශිය ව්‍යාපාරය පණ ගැන්වූයේ ද මේ සමගය. එමගින් සියළු විදේශ නිෂ්පාදන වෙනුවට ස්වදේශීය නිෂ්පාදන පරිහරණය කිරීමේ ජාතිමාමක කටයුත්තක් ආරම්භ කෙරිණ.මෙලෙස කල්කටාවේ ඇවිලෙන නිදහස් අරගලයේ ගිනිසිළු ජෝතිශ් සර්කාර් විසින් රූ ගන්වන ලද්දේ මදාන්ගේ සහායෙනි.

කල්කටාව සහබොම්බාය සිනමාව එලෙස සිනමාව සමග සම්බන්ධ වන විට බ්‍රිතාන්‍ය ජාතික මේජර් වෝර්වික් මදුරාසියේ දී දී චිත්‍රපට ව්‍යාපාරික මට්ටමින් ප්‍රදර්ශනය ඇරඹුවේය.මදුරාසියේ මුල්ම චිත්‍රපට දැක්ම පවත්වා ඇත්තේ 1897 වසෙර්ය. ඒ එම්.එඩ්වඩ් විසිනි.කෙසේ වෙතත් වෝර්වික් 1901 වසරේ දි වර්තමානයේ චෙන්නායි හි අන්නා සාලෙයි හි එනම් එදා මදුරාසියේ මවුන්ට් රෝඩ් හි ඉලෙක්ට්‍රික් තියටර් හි චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුවේය. වෝර්වික් මේ සමයේ මෙරට ද චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹිමට කටයුතු කළ තැනැත්තෙකි.එයින් වසරකට පසු ඒ අසලින්ම කොහෙන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයකු චිත්‍රපට ප්‍රදර්ශණය ඇරඹූ අතර ඔහු සිය ශාලාව ලිරික්ස් නමින් නම් කළේය.

මේ වනවිට විවිධ ජාතිකයන් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර රැගෙන ලොව වටා ගමන් අරඹා තිබිණ. බොහෝ රටවල් චිත්‍රපට ප්‍රදර්ශනය හොද ආදායම් ලබන ව්‍යාපාරයක් ලෙස තීරණය කර අවසානය.ඩූ වොප්ට් නම් ප්‍රංශ ජාතිකයා ද ඇමෙරිකාවේ එඩිසන් සිනෙමටොග්‍රාෆ් යන්ත්‍රයක් රැගෙන ඉන්දියාවට පැමිණිය ද නොදන්නා රටක ඔහුගේ ව්‍යාපාරය බංකොලොත් වූයේය.දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් හි පදිංදි ව සිටි ස්වාමිකාන්ත් වින්සන්ට් නම් ඉන්දියානු දුම්රිය ඉංජිනේරුවරයා වොප්ට් ගේ යන්ත්‍රය මිලයට ගත්තේය.වින්සන්ට් අලුතින් සිතන්නට කැමැති මිනිසකු විය.ඔහු ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට තමන්ගේම විදුලි ජනන යන්ත්‍රයක් නිපදවා ගත්තේය. කොයිම්බතූර් වැසියෝ මුල් වරට විදුලි පහනක් දැක ගත්තේ වින්සන්ට්ගේ චිත්‍රපට ප්‍රදර්ශනයට පින්සිදු වන්නටය.

තමිල්නාඩුවේ දෙවැනි විශාලතම නගරය වන කොයිම්බතූර් පසුකලක පක්ෂිරාජා,සෙන්ටුල්,නැප්චූන් වැනි සුපතල දකුණු ඉන්දියානු චිත්‍රාගාර රැසකටම ජාතභූමිය වූයේය.එම චිත්‍රාගාරවල තැනුණ සිංහල චිත්‍රපට අතර අශෝකමාලා ඇතුළු චිත්‍රපට රැසක් ද වෙයි.කෙසේ හෝ වින්සන්ට් සිය සිනමා ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ ද සංචාරක සිනමාහල් හිමියකු හැටියටය. දුම්රිය සේවකයකු වීමේ වාසිය නිසාම ඔහු ඉන්දියාවේ තැනින්තැන යද්දී තම ව්‍යාපාරික උපකරණ ද එකින්එක රැගෙන යන්නට ඔහුට පහසු විය. මේ නිසාම වසර දෙක තුනක් ගත වද්දී ඔහු සංචාරය නොකළ ඉන්දියාවේ තැනක් නොමැති තරම් වූයේය.එබැවින්ම බොහෝ දකුණු ඉන්දියානු ගම්මානයන් වෙත චලන චිත්‍රයේ රස හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුනේ වින්සන්ට්ය. ඔහු මදුරාසිය වෙත පැමිනෙන්නේ 1909 වසෙර්ය.

ඒ වන විට මදුරාසියේ පැතේ නියෝජිතයා වන්නට තරම් ඔහු ශක්ති සම්පන්න වී සිටියේය.එහෙත් ඉංජිනේරු වරයකු බැවින් වඩා දියුණු උපකරණ රැසක් ඔහු සතු විය. ඒවායේ නඩත්තු කටයුතු කර ගත්තේ ද ඔහු විසින්මය.මදුරාසියේ එස්ප්ලෑන්ඩ් උද්‍යානයේ තම මුල්ම චිත්‍රපට දැක්ම පවත්වන විට ඔහු එයට සමගාමිව ගැලපෙන අයුරින් ග්‍රැමෆෝන් තැටියක් ද වාදනය කරන්නට සමත් වූයේය.ඔහු 1910 වසර වන විට කොයිම්බතූර් හි වැරයිටි නමින් සිනමාහලක් ඉදි කළේය. එය දකුණු ඉන්දියාවේ ඉදිවුණ මුල්ම ස්ථාවර සිනමාහලයි. මේ සිනමාහලට විදුලි ජනන යන්ත්‍ර නිර්මාණය කරන ලද්දේ ඔහු විසින්මය.

මේ වන විට එනම් විසි වන සියවසේ මුල් දශකය වන විට ඉන්දියාවේ සතර දිග් භාගයේ ම සංචාරක සිනමා ප්‍රදර්ශකයන් විසිර සිටියහ. මේ අතරින් ඇතැමකු ඉන්දියානු ඒජන්තවරුන්ගෙන් චිත්‍රපට සහ උපකරණ මිලයට ගත්හ. ඇතැම්හු ඒවා විදෙස් රටවලින් කෙලින්ම ආනයනය කළහ.මේ වන විට වර්තමාන පාකිස්ථානය ද අයත්වූයේ ඉන්දියාවටය. එමෙන්ම බුරුමය ද පාලනය වූයේ ඉන්දියාව මඟිනි. මේ සියල්ල අයත්වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටය. එබැවින් වෙළෙන්දෝ නිදැල්ලේ සිය ව්‍යාපාර කටයුතු කළහ. චිත්‍රපට තිර ගත කරවීමේ ව්‍යාපාරයට පිළිවෙළක් නොවීය. එහෙත් 1910 වන විට ඉන්දියාවේ ගම්නියම් ගම් ලක්ෂ හතක සැරි සරන්නට මේ සිනමා ප්‍රදර්ශකයන් සමත්ව සිටියහ.ඔවුහු හිටිවනම ගම්මාන වලට පැමිණියහ. එලෙසම ආපසු ගියහ.ඒවායේ නිත්‍ය දර්ශන පැවැත්වීමක් නොවීය.

එහෙත් 1907 වසරේ දී චාර්ල්ස් සහ එමිල් සහෝදරවරු කල්කටාවට පැමිණියේ පැතේ ඉන්ඩියා සමාගම ආරම්භ කිරීමටය. ඉන්දියානු සිනමා වෙළඳ පොළ කෙරෙහි කෙතරම් ලොව අවධානය දිනා ගත්තේදැයි මැන ගත හැකි කදිම සාධකයක් වනුයේ මේ සිදුවීමය.පැතේ ඉන්ඩියා පාලකයාවූයේ ඇලෙක්ස් හේග්ය. හේග් ඒ වන විටත් සිනමා ව්‍යාපාරය යුරෝපයේ හා ඇමෙරිකාවේ පතළ කිරීමේ කටයුත්තට උරදී සිටියකු විය. එබැවින් ඔහු අත්දැකීම් බහුල තැනැත්තෙකු ලෙස සලකනු ලැබිණ.එමෙන්ම ඔහුට මනා ව්‍යාපාරික සම්බන්ධතා තිබිණ.ඔහු යුරෝපයෙන් පමණක් නොව අමෙරිකාවෙන් ද චිත්‍රපට ආනයනය කළා පමණක් නොව ඒ සදහා පුළුල් ප්‍රචාරයක් ද ලබා දුන්නේය.එපමණක් නොව ආධුනිකයන් සඳහා අලුත්ම සිනමා කැමරාවක් හා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ද ඉන්දියාවට හඳුන්වා දුන්නේය.එය නම් කරන ලද්දේ පැතේ බේබි කැමරා යනුවෙනි.එහි මිල ඉන්දියානු රුපියල් දෙසිය පනහක් විය.ඒ වන විට කැමරාව ඉන්දියාවේ ඉහල පවුල් වලට පොහොසත් කම පෙන්විය හැකි අත්‍යාවශ්‍ය අංගයක් විය.

ඉන්දියානුවන් කැමරාවට පෙම් බැන්දේ එයට වසර ගණනාවකට කලිනි. ජායිපූර් මහරාජා විසින් එයට පෙර 1877 වසරේ අරඹන ලද ඡායාරූප සංගමය බොහෝ ඉන්දියානුවන්ගේ අවධානය දිනා ගත් සංගමයක් විය. එහි සාමාජිකයෝ රට පුරා විසිර සිටියහ.එමෙන්ම ආසියාවේ පැරනිතම ඡායාරූප සමාගමක් වූ බෝන් ඇන්ඩ් ෂෙපර්ඩ් සමාගම කල්කටාවේදී ඇරඹුනේ 1868 වසෙර්ය. එය ට වසර ගණනාවකට පෙර සැමුවෙල් බෝන්,චාර්ල්ස් ෂෙපර්ඩ් සහ ඒ. රොබින්සන් එක්ව ෆොටොග්‍රැෆික් ආටිස්ට් ස්ටුඩියෝ නමින් මේ සමාගම ආරම්භ කරන ලද්දේ 1840 වසෙර්ය. ඒ අග්‍රා නගරයේය.පසුව එය හොවාර්ඩ් ඇන්ඩ් බොන් නමින් 1862 වසරේ දී සිම්ලා නගරයේ දී යළි ඇරඹිණ. එය බෝන් ඇන්ඩ් ෂෙපර්ඩ් නමින් වඩා දියුණු කොට කල්කටාවේ ඇරඹුණේ එයින් පසුවය. මේ සමාගම මඟින් ඡායාරූපකරණය පිළිබද ඉන්දියානුවන් රැසකටම මුල් පාඩම කියා දී තිබිණ.හිරාලාල් සෙන් මේ සමාගම මගින් පැවැත්වූ ඡායාරූප තරගයකින් මුල් තැන දිනූවෙකි.එබැවින් හේග් ගේ අරමුණ වූයේ ඉන්දියානුවන් වෙතට චලන චිත්‍ර කැමරාව ව්‍යාප්ත කිරීමයි. ඉතා ඉක්මනින් පැතේ සමාගමේ එක් නියෝජිතයකු ලෙස බෝන් ඇන්ඩ් ෂෙපර්ඩ් පත්විය. හේග් ගේ අරමුණ සාර්ථකවූයේ පැතේ බේබි කැමරාව සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රය යමක් ඇති ඉන්දියානුවන්ගේ පෝසත් කම හුවා දැක්වීමේ සංකේතයක් වූ බැවිනි.

ඇලෙක්ස් හේග් ගේ ව්‍යාපෘතිය එයින් සීමා නොවීය. ඒ වන විටත් සිනමාව සමඟ ලොව පුරා සැරි සරමින් සිටි සිනමා නළුනිළියන් ද හඳුන්වා දීමට හෙතෙම කටයුතු කළේය. ඒ අනුව ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස්,හැරල්ඩ් ලොයිඩ්,නෝමා ටැල්මේජ්,මේරි පික්ෆෝඩ්, චාලි චැප්ලින් ආදින්ගේ චිත්‍රපට ඉන්දියාවට හඳුන්වා දුන්නේ ද හේග් ය.

1910 වන විට ඉන්දියාවේ බොහෝ නගරයන් හි චිත්‍රපට ප්‍රදර්ශකන ශාලා ඉදිවූයේ ඒ ජනප්‍රියත්වය සමඟය.මේ සමඟ ඉන්දියානුවන් අලුත් වීරයන් පිරිසක් දැක ගත්හ.එහෙත් බටහිර චිත්‍රපට නිසා එතෙක් නොකිලිටි ව පැවැති ඉන්දියානු සංස්කෘතියට බරපතළ තර්ජනයක් වනු ඇතැයි මේ වන විට ඉන්දියානු ජන නායකයෝ හඬක් නගන්නට පටන් ගත්හ. මුලින් ඒ හඬ ට නෑසු කත් ඇතිව සිටි බ්‍රිතාන්‍ය පාලකයෝ 1917 වසරේ දී ක්‍රියාත්මක වන්නට පටන් ගත්හ. ඒ චිත්‍රපට පනත හදුන්වා දෙමිනි.එහි මූලික අරමුණ වුයේ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාවයි. මේ අවදියේ සිනමාශාලා ආරක්ෂාව එයට රොක් වන ජනගහනය හා සසඳද්දී කිසිසේත් ගැලපෙන්නක් නොවීය.ඒ වන විට ආනයනික චිත්‍රපට ඉතා ඉක්මනින් ගිනි ඇවිලෙන සුළු ඒවා විය.

මේ පනත ගෙන ඒමට වඩාත් හේතු වූයේ කල්කටාවේ දි චිත්‍රපට අඩි ලක්ෂයක් ගිනි ඇවිලීමයි.එදින කිසිදු ප්‍රේක්ෂකයකුට හානියක් නොවූවද ඒ වාසනාව හැම විටම උරගා බැලිය නොහැක.

එයට වසර කිහිපයකට පෙර ප්‍රංශයේ සිනමාහලක ඇති වූ ගින්නකින් ප්‍රේක්ෂකයන් රාශියක් මරු වැලඳ ගත්හ.මේ අනුව කල්කටාවේ දී මුල් වරට චිත්‍රපට රසිකයන්ගේ ආරක්ෂාව උදෙසා නීති පනවනු ලැබිණ.එය ඉන්දීය සිනමාව උදෙසා මුල්ම රාජ්‍ය මැදිහත්වීම විය.එහෙත් එයින් පමණක් සෑහිමකට පක් වන්නට ඉන්දියානුවන් මැළි වූහ. තම සංස්කෘතිය හා සභ්‍යත්වය උදෙසා බොහෝ දෙනා හඬ නැගූහ.

ඒ බොහෝ අදහස් පුවත්පත් හරහා එංගලන්තයේ නිදහස් මතධාරින් ගේ ඇස් ඇරවීමට සමත් විය.මේ අනුව 1818 සිනමා පනත මඟින් රැඟුම් පාලක මණ්ඩලයක් ස්ථාපිත කෙරිණ.මේ පනත සදහා බ්‍රිතාන්‍ය රැඟුම් පාලක මණ්ඩලයේ එවකට සභාපතිවරයා මෙන්ම ලිබරල් මන්ත්‍රීවරයකු ද වූ ටී.පී.කොනර් ගේ අගනා උපදෙස් රැසක් ලැබිණ.කල්කටාව,බොම්බාය,රැංගූන්, සහ මදුරාසිය මේ පනත සෘජුවම ක්‍රියාත්මක කළ අතර හයිද්‍රාබාද්,මයිසූර් සහ ත්‍රිවැන්කෝට් වැනි පෙදෙස් වල එය ක්‍රියාත්මක වූයේ යම් යම් වෙනස්කම් සහිතවය.මේ පනතේ මුල් අරමුණ ඉන්දීය සංස්කෘතිය රැක ගැනීම සඳහා ඇති වූ හඬට කන් දීමක් ලෙස පෙණුන ද එහි යටි අරුත එයට වඩා වෙනස් එකක් විය. මේ වන විට බ්‍රිතාන්‍ය චිත්‍රපට වලට වඩා ඉල්ලුමක් අමෙරිකානු චිත්‍රපට සඳහා ඇති වෙමින් තිබිණ.මේ වාරණ නීති තදින් ක්‍රියාත්මක වූයේ ගලා එන ඇමරිකානු චිත්‍රපට වලට විනා බ්‍රිතාන්‍ය චිත්‍රපට වලට නොවීය.එහි අරමුණ ඒ වන විටත් ඇති වී තිබූ පළමුවන ලෝක මහා සංග්‍රාමය සමඟ බිද වැටෙමින් තිබුණ බ්‍රිතාන්‍ය සිනමාවේ වෙළඳ පොළ ආරක්ෂා කර දීමය.

මතු සම්බන්ධයි